
අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ස්ථාපිත ලංකා සතොසේ සිදු කළ සුදුලූනු වංචාව කරලියේ කතා බහට ලක්වී ඇත.
සුදු ලූනු කතාව දිග හැරෙන්නේ පසුගිය ජූනි මාසයේ සිටය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ජූනි මස 7 වැනිදා සුදු ලූනු ආනයනයට පියවර ගන්නා ලදී. ඒ අනුව ලංකා සතොස විසින් සුදු ලූනු කිලෝ ලක්ෂ දෙකක් පමණ මෙරටට ආනයනය කරන ලදී. ඒ පසුගිය ජූලි මස අවසානයේ අගෝස්තු මාසයේ මුල් වකවානුවේදීය. රටේ කොවිඩ් 19 උග්‍ර ලෙසින් පැතිර යමින් තිබූ මේ වකවානුවේ ආනයනික භාණ්ඩ කෙරෙහි අවධානය තරමක් අඩුව තිබුණි.
එයින් එම අවධානයේ අඩුව උපරිම පෞද්ගලික ප්‍රයෝජන උදෙසා යොදවන්නට සතොසේ නිලධාරීන් කිහිප දෙනකු විසින් කටයුතු කරන ලදී.
සතොසට සුදු ලූනු කිලෝ ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ආනයනය කෙරෙන්නේ පසුගිය අගෝස්තු මාසයේය. සතොසේ සුදුලූනු නැතත් බාහිර වෙළෙඳ පොළේ හොඳින් තිබුණි. කිලෝ එකක් රුපියල් 400කටත් වඩා අධික මිලක් නිසා රටේ ජනතාවගෙන් 80%කට අධික පිරිසක් වරෙක මිලදී ගත්තේ ග්‍රෑම් 250ක් හෝ උපරිම වශයෙන් ග්‍රෑම් 500ක පමණ වූ ප්‍රමාණයකි.
එවන් දුෂ්කර තත්ත්වයක ජනතාව දිවි ගෙවමින් සිටියදී සතොස විසින් ආනයනය කරන ලද සුදුලූනු කිලෝ ග්‍රෑම් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේදී පරීක්ෂා කරනු ලබන සතොස නිලධාරීන් ඒවා පරිභෝජනයට ඉතා සුදුසු බව නිර්දේශ කිරීමෙන් පසුව වැලිසර සතොස ගබඩාවට යවන ලදී.
රේගුවේදී පරිභෝජනයට ඉතා සුදුසු වූ එම සුදුලූනු වැලිසරදී පරිභෝජනයට නුසුදුසු බවට නිර්දේශ කර තිබේ. පුදුමය වන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු බව එසේ නිර්දේශ කර ඒවා පෞද්ගලික අංශයට අලෙවි කිරීමට කටයුතු කර තිබීමයි. යම් ආහාර ද්‍රව්‍යයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු නම් කළ යුත්තේ සත්ව ආහාර ලෙස ඒවා බැහැර කිරීම හෝ සත්ව ආහාර නිපදවන සමාගම් වෙත ටෙන්ඩර් කැඳවා ලබා දීමයි. එමෙන්ම එහිදී සිදුවන මූල්‍ය පාඩුව සම්බන්ධව අදාළ ආයතනයේ ප්‍රධානියා දැනුවත් කළ යුතුය.
එහෙත් මෙහිදී සිදුව ඇති ක්‍රියාදාමය ඊට හාත්පසින්ම වෙනස්ය. අදාළ සුදුලූනු තොගයෙන් කොටසක් එසේ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට සතොස කටයුතු කර තිබේ. ඒ කිලෝ 60,000කට ආසන්න ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමේදී ඕනෑම ආයතනයක භාණ්ඩ හෝ සේවාවන් වෙනුවෙන් තක්සේරු වටිනාකමක් ලබා ගනී. එවන් තක්සේරුවක් කිරීමට බොහෝ විට අදාළ ආයතනයට හැකියාවක් නොමැති අතර ඒ සඳහා සුදුසුකම් ඇති තක්සේරුකරුවකුගේ සහාය ලබා ගනී.
සතොස සුදුලූනු අලෙවියේදී එවැනි ටෙන්ඩර තක්සේරු ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කළ බවක් පෙනෙන්නට නැත.
මිනිස් භාවිතයට නුසුදුසු බව පැවසූ සතොස සුදුලූනු මිලදී ගැනීමට ඉදිරිපත්ව ඇති එක් ආයතනයක් වන්නේ එන්.එස්. එන්ටර්ප්‍රයිසස් සමාගමයි. එය ඉන්දීය ජාතික ක්‍රිෂ්ණකුමාර් වසන්ජි නමැත්තාට අයත් සමාගමකි. සතොස ආයතනයෙන් සුදුලූනු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර්පත් තුනක් ඉදිරිපත් කර ඇති අතර ඉන් දෙකක් ක්‍රිෂ්ණකුමාර් වසන්ජි නමැත්තාට අයත් සමාගම් දෙකකින් ඉදිරිපත් කර තිබේ. අනෙක් ටෙන්ඩර්පත ඔහුගේ හිතවතකුට අයත් සමාගමකින් ඉදිරිපත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එහිදී ටෙන්ඩර් පත ලබා දී ඇත්තේ සුදු ලූනු කිලෝ එකක රුපියල් 135ක් බැගින් අදාළ පෞද්ගලික ආයතනය විසින් මිලදී ගැනීමටය. එන්.එස්. එන්ටර්ප්‍රයිසස් සමාගමේ හිමිකරු වන ක්‍රිෂ්ණකුමාර් වසන්ජි එක් සුදුලූනු කිලෝ එකක් වෙනුවෙන් රුපියල් 30ක මුදලක් සතොස නිලධාරීන්ට කොමිස් ලෙස ගෙවා ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ අනුව ඔහු විසින් මිල දී ගත් සුදු ලූනු කිලෝ 54860 වෙනුවෙන් රුපියල් 1,645,800 ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත. එමෙන්ම ඊට අමතරව රුපියල් ලක්ෂ 5ක් බැගින් තවත් පුද්ගලයන් දෙදෙනකුට ගෙවා ඇති බවද අනාවරණය වී ඇත. ඔහු විසින් මිල දී ගත් සුදු ලූනු සඳහා කිලෝ එකක් රුපියල් 135ක් බැගින් කිලෝ 54, 860ට රුපියල් 74,61,000ක් ගෙවා ඇත.
සුදුලූනු වංචාව අනාවරණය වීමෙන් පසුව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් විසින් එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයාට මේ බව දැනුම් දී තිබේ. ඒ ඔස්සේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරේ. සතොස පරිගණක දත්ත ගබඩාවේ සුදුලූනු කිලෝ එකක වටිනාකම ලෙස දක්වා ඇත්තේ රුපියල් 355.00කි එවන් මුදලක් පරිගණක පද්ධතියට ඇතුළත් කර සුදුලූනු අලෙවි කර ඇත්තේ රුපියල් 135.00කටය. එය කොතරම් ජනතා සහනයක්ද යන්න සිතා බැලිය යුතුය. එහෙත් එය ලබා දී ඇත්තේ පෞද්ගලික ආයතනයකට සාමාන්‍ය වෙළෙඳ පොළ මිලටම අලෙවි කිරීමට වීම මෙහිලා කළ මහා අපරාධය වේ.
අදාළ සුදුලූනු තොගය මිලට ගත් ව්‍යාපාරිකයා කන්ටේනර් දෙකක මගින් ඒවා වැලිසර සතොස ගබඩාවෙන් ඉක්මනින්ම පිටකර ගෙන ගොස් තිබේ. අදාළ සුදු ලූනු ගබඩා කර තිබූ ස්ථානයන් සම්බන්ධව යම් නිලධාරීන් පිරිසකගේ වැඩි අවධානයක් තිබීම හේතුවෙන් පිරිසකට මේ සම්බන්ධව යම් සැකයක්ද ඉපිද තිබේ.
මේ අයුරින් කාලාන්තරයක් තිස්සේ සතොස විසින් සිදු කර ඇති වංචාවන් පිළිබඳව මේ වන විට හෙළිවෙමින් පවතී. සිද්ධිය අනාවරණය වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුසිරි පෙරේරාගෙන් මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු සිදු කිරීම අරඹන ලදී. ඒ අනුව සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගෙන වත්තල (වැලිසර) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඒ අතර සුදුලූනු මිලදී ගත් ව්‍යාපාරිකයා හා එම ආයතනය විසින් ඉදිරිපත් කළ මිල ගණන් හා දෙපාර්ශ්වය අතර ඇති කර ගන්නා ලද ගිවිසුම්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇත. ඒ ඔස්සේ යමින් 56 හැවිරිදි අදාළ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගන්නා ලදී. ඒ දැන දැනම මේ වංචාව සිදු කළ බව හෙළි වීම නිසාය. එසේම බම්බලපිටියේදී 25 හැවිරිදි ඔහුගේ පුත්‍රයාද අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ලංකා සතොස සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂ 19,000 ක මුදලක් වංචා කිරීම, කූට ලේඛන සකස් කිරීම හා සොරබඩු සන්තකයේ තබා ගැනීම යන වැරදි සිදුකරමින් එම වංචාවට ආධාර අනුබල දීම චෝදනාව යටතේය.
විමර්ශන කටයුතු සිදු කෙරීමේදී මේ වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන සතොස තවත් විධායක නිලධාරීන් සිවු දෙනකුද අත්අඩංගුවට ගෙන වත්තල (වැලිසර) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඒ නිලධාරීන් අතර ලක් සතොසේ මිලදීගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සැපයුම්), කළමනාකරු (සැපයුම්) සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු අයත් විය. ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදීමට පසුගිය 11 වැනිදා පැමිණි අවස්ථාවේදීය. එහිදී අධිකරණයට කරුණු දක්වමින් ලක් සතොසේ මිලදී ගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය පැවසුවේ තමන් මෑතදී සේවයට පැමිණි අයකු බවයි. එහෙත් මේ වංචාව සිදු වූ කාලයේ ඇය සේවයේ යෙදී සිටි නිසා ඇයටද රක්ෂිත බන්ධනාගාරගත වන්නට සිදු විය. මේ වන විට සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සම්පූර්ණ සැකකරුවන් ගණන 9 කි.
මේ අතර සතොස පරිගණක පද්ධතියේ අදාළ සුදුලූනු කිලෝ එකක මිල රුපියල් 355ක් ලෙස දක්වා ඇති බව අනාවරණය වීමෙන් පසුව එම පරිගණකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම භාරයට ගන්නා ලදී. එසේම එහිදී සුදුලූනු වංචාවට අදාළව දත්ත වෙනස් කළ බව කියන ලංකා සතොස ආයතනයේ පරිගණක සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් ආරම්භ කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා සතොස ආයතනයට අයත් සම්පූර්ණ පරිගණක සංඛයාව 07 කි. කොළඹ වොක්ෂෝල් විදීයේ පිහිටි ලංකා සතොස මූලස්ථානයේ තිබූ පරිගණක හතරක් සහ වැලිසර ලංකා සතොස ආයතනයේ තිබූ පරිගණක තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් ඔක්තෝබර් 06 වැනිදාය.
සුදුලූනු ටෙන්ඩරයට ලංසු කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව අයදුම්පත් යොමු කළ අය පිළිබඳවත් ඊට අදාළ ඊමේල් ගනුදෙනු, ප්‍රසම්පාදන කටයුතු, තත්ත්ව පරීක්ෂණ වාර්තා, එම වාර්තා අනුව කරනු ලබන නිර්දේශ සහ නිගමන යන මේවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ. යම් හෙයකින් කවුරුන් විසින් හෝ හිතාමතාම දත්ත විනාශ කර හෝ මකා දමා ඇත්නම් එම කාල වකවානු මොනවාද යන්න අනාවරණය කර ගැනීමට මෙම පරීක්ෂණ සිදු කෙරේ.
මේ සම්බන්ධයෙන් මේ වන විට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සුදුලූනු වංචාවට ඍජුවම එරෙහි වූ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාර ගුණවර්ධනගේ නිවසට සුදු පැහැති වෑන් රථයකින් නාඳුනන කිහිපදෙනෙක් පැමිණ ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා කිරුළපන පොලිසියට පැමිණිලි කර ඇත. ස්විස්ට්සර්ලන්තයේ ඩොලර් 34,000 ක් ඉහළ වැටුපකට සේවය කරමින් සිටි තමා මව්රටට පැමිණියේ රුපියල් ලක්‍ෂයක වැටුපකට බවද පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ වරයා මාධ්‍යයට පවසා තිබුණි.