
ගම්පොළ ගෙලිඔය සහ වැලිගල්ල ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකක ඉන්ධන තොග සඟවා තබාගෙන ජනතාවට ඉන්ධන නොමැති බවට පැවසූ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඊට බලපෑ හේතුව වූයේ මේ දිනවල ඉන්ධන මිල ඉහළ යන බවට පැතිර යන රාවයයි.
විශේෂයෙන් පසුගිය 23 වැනිදා රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දමන බවට පැතිරුණු කටකතාවත් සමඟ එදින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල දැඩි තදබදයක් දක්නට ලැබිණි. ඒ නිසාම ඔක්ටේන් 92 පෙට්‍රල් හිඟයක් ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් වාර්තා වූ අතර භූමිතෙල් සැපයුම ද සීමා කර තිබිණි. ඔක්ටේන් 95 පෙට්‍රල් අඛණ්ඩවම සපයනු ලැබිණි. අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඔක්ටේන් 92 පෙට්‍රල් අවශ්‍ය තරම් සපයනු ලැබූවත් අයි.ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රු: 5.00කින් ඉහළ දැමීමත් සමඟ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු: 162.00ක්ද ඔටෝ ඩීසල් ලීටරයක් රු: 116.00ක් ද වශයෙන් අලෙවි කිරීම නිසා පාරිභෝගිකයන් වැඩි නැඹුරුවක් දක්වන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන මිල දී ගැනීමට ය. මේ මොහොත වන විට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු: 157.00 කටත් ඔටෝ ඩීසල් ලීටරයක් රු: 111.00කටත් අලෙවි කෙරේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර තමන් ඒ පිළිබඳව ජනතාවට දැනුම් දෙන බවයි. ඉන්ධන මිල ඉහළ දැමීමට තවමත් රජය සූදානම් වී නොමැති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
එහෙත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ සංස්ථාවට සිදු වී ඇති අලාභය පියවා ගැනීමට නම් අනිවාර්යයෙන් ඉන්ධන මිල වැඩි කළ යුතු බවයි.
“ඉන්ධන මිල වැඩි කිරීමක් අපි රජයෙන් ඉල්ලුවා. මිල වැඩි කිරීමක් මේ මොහොතේ කරන්නේ නැහැ කියලා රජය දන්වලා තියෙනවා. ලංකා ඛනිජතෙල් සංස්ථාවටවත් මුදල් අමාත්‍යාංශයටවත් රජයටවත් බැහැ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නතර කරන්න. ඒනිසා ඉන්ධන මිල ඉහළ දමන්නේ නැතිනම් රජයෙන් යම් සහනයක් බලාපොරොත්තු වෙනවා.“ යනුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.
මේ අතරවාරයේදී අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ඩීසල් ලීටරයකින් රු: 30.00ක පාඩුවක් ලබන බවත් ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා රජයේ තීරණ තමුන්ට බලනොපාන නමුත් රජය ඉන්ධන මිල ඉහළ දැමීම කෙරෙහි දක්වන ප්‍රතිචාර කෙරෙහි අවධානයෙන් සිටින බවත් පවසා, අවසානයේදී ඔක්ටේන් 92 පැට්‍රල් සහ ඩීසල් ලීටරයක් රු: 5.00කින් ඉහළ දමනු ලැබීය. අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ලංකා ඛනිජතෙල් සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීම කෙරෙහි නැවතත් අවධානය යොමු කරන බව පෙනේ.
“රාජ්‍ය සංස්ථා ස්ථාපිත කර තිබෙන්නේ රටේ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න. ඒනිසා රාජ්‍ය සංස්ථාවල ප්‍රධාන අරමුණ වෙන්නේ ජනතා සේවය මිස ලාභ ලැබීම නොවෙයි. ලංකා ඛනිජතෙල් සංස්ථාව පටන් ගත් දවසේ සිට අද දක්වා රුපියල් බිලියන 407ක අලාභයක් ලබනවා. මේ අලාභයට 70%කින් බලපාන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල. 30%ක් බලපාන්නේ රජයේ බදු සහ පිරිවැය. මේ දවස්වල රටේ ජනතාව දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒනිසා ඉන්ධන මිල වැඩි කළොත් ජනතාවට ජීවන බර දරාගන්න බැරි වෙනවා. ඒනිසා මේ දවස්වල ඉන්ධන මිල ඉහළ දමනවාට අපිත් කැමති නැහැ. ඒත් හැමදාම පාඩු ලබන්න බැරි නිසා අලාභය පියවා ගැනීමට දීර්ඝකාලීන විසඳුමක් ලබා දීම අත්‍යවශ්‍යයි. ලංකා ඛනිජතෙල් සංස්ථාව පාඩුයි කියනවා. හැබැයි ඒ පාඩුවේ වගකීම කවුරුවත් බාර ගන්නේ නැහැ. ඒ වගකීම සංස්ථාව හෝ රජය බාරගත යුතුයි.“ යනුවෙන් පැවසුවේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ - ඛනිජතෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර ය.
ඔහු සඳහන් කරන ආකාරයට ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් ආයතනය රුපියල් බිලියන 66ක් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගෙවීමට තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 86කි. “ඛනිජතෙල් සංස්ථාව රටට බරක් කියලා කිව්වාට ඛනිජ තෙල් සංස්ථාවටයි රට බරක් වෙලා තියෙන්නේ.“ යනුවෙන් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ - ඛනිජතෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පැවසුවේ එබැවිනි.
එහෙත් ජාතික සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත පැවසුවේ මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටුවේදි ලංකා ඛනිජතෙල් සංස්ථාව 2020 වර්ෂයේදී අධික ලාභයක් ලැබූ බව අනාවරණය වී ඇති බවයි.
“2019 දෙසැම්බර් මාසේ ආණ්ඩුව පත්වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවෙලා තිබුණේ. ඒනිසා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අධික ලාභයක් ලැබුවා. ඒ බව කෝප් කමිටු වාර්තාවෙත් සඳහන් වී තිබෙනවා. ඒ කාලයේ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සහ සභාපති තෙල් මිල අඩු කිරීම ගැන කතා කළා. ඒත් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය සහ පොලීය පියවීමට ඒ ලාභය යොදවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එහෙම ගෙව්වෙ නැතිනම් ලංකා බැංකුවත් මහජන බැංකුවත් කඩා වැටෙන බවත් පැවසුවා. මිල ස්ථායි කිරීමේ අරමුදල පිහිටුවලා ලාභය අරමුදලට යොදවන බව එදා අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඒත් තෙල් ගේන්න අද ඉන්දියාවෙන් ඕමානයෙන් ණය ගන්නවා.“ යනුවෙන් ජාතික සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත පැවසුවේය. ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඕමානයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6ක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය 22 වැනි සිකුරාදා ය.
ලංකා අයි.ඕ.සී. සමාගම පාඩු ලබන බව හුවා දැක්වූවද 2020/2021 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු: මිලියන 876.74ක බදු ගෙවීමෙන් පසුව ලාභ ලැබූ බවත් 2021 අප්‍රේල් - ජුනි කාර්තුව තුළ පමණක් ලැබූ ලාභය රු: මිලියන 273ක් බවත් එකී ලාභය කොටස්කරුවන්ට ගෙවීමට නියමිත බවත් වාර්තා විය. පාඩු ලබන බව පවසා ඉන්ධන මිල ඉහළ දැමූ අයි.ඕ.සී. සමාගම ලාභ බෙදනු ලබන්නේ කෙසේදැයි වෙනමම විමසා බැලිය යුතු කතාවකි. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑමත් සමඟ අගෝස්තු 31 වැනිදා වන විට රුපියල් බිලියන 70ක අලාභයක් ලබන බවයි. අවසාන වරට තෙල් මිල ඉහළ දැමූ ජුනි 11 වැනිදා වන විට ලෝක වෙළඳපොළේ ඔක්ටේන් 92 තෙල් බැරල් 1ක මිල ඩොලර් 78.8ක් ද ඩීසල් බැරලයක මිල ඩොලර් 76.7ක් ද බව පෙන්වා දුන් සභාපති සුමිත් විජේසිංහ, අද වන විට පැට්‍රල් බැරලයක මිල ඩොලර් 92 - 92.67 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබේ. මෙම මිල ඉහළ යෑමත් සමඟ අද වන විට පැට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක පාඩුවක් ද ඩීසල් ලීටරයකින් රුපියල් 31.46ක පාඩුවක් ලබන බව ඔහු තවදුරටත් පැවසීය. එමනිසා පාඩුව පියවා ගැනීම සඳහා ගත හැකි එකම විසඳුම ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම පමණි.
ඉන්ධන මිල ඉහළ යන බව නිවේදනය කළ විට රත් වී දහදිය දමන්නේ වාහන හිමියන්ට පමණක් නොවේ. ඉන්ධන මිල ඉහළ යෑමට සමගාමීව බස් ගාස්තු - ත්‍රීවිලර් ගාස්තු - පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ යෑම, එළවළු - පලතුරු - සහල් ඇතුළු සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල ඉහළ යෑම වැනි අතෝරක් නැති ජීවන ගැටලු රැසකට සාමාන්‍ය ජනතාවට මුහුණදීමට සිදු වේ. තෙල් මිල ඉහළ යෑම රටේ සමස්ත ජනතාවට දරුණු ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත.
ජනතාවට සදාකාලිකව සරදම් කරන ඉන්ධන ඉතිහාසය විමසා බැලීමේදී ලංකාවට මුලින්ම තෙල් ආනයනය කළේ ඉරානයේ ඉරානියන් ලයිට් හා ඕමානයේ ඕමාන් ලයිට් නිෂ්පාදන සමාගම්වලිනි. එහෙත් ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන් ඩුබායි රටේ නිෂ්පාදනය කරන මෙරබියන් තෙල් සිංගප්පූරුවෙන් ආනයනය කිරීමට පියවර ගැනුණි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යන විට මෙරට තෙල් මිල ඉහළ යෑම වළක්වනු පිණිස 2007 දී හෙජින් ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය.
එහෙත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යෑමත් සමඟ පෙර තිබූ මිල ගණන්වලට ගෙවීමට සිදු වීමෙන් ලංකාවට මහත් පාඩුවක් සිදු විය. එයින් හෙජින් ක්‍රමය කෙරෙහි විශ්වාසයක් නැති වී ගියේය. 2018 දී ඉන්ධන මිල සූත්‍රය සකස් කෙරුණේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන විට ඊට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල ඉහළ ගියද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යන විට ලංකාවේ තෙල් මිල අඩු නොවීමේ ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණෙනි.
ඉන්ධන මිල සතිපතා වෙනස් විය යුතු බවට යෝජනා වුවත් එය ප්‍රායෝගිකව අපහසු නිසා මාසයකට වරක් තෙල් මිල වෙනස් කිරීමට තීරණය විය. ඉන්ධන මිල සූත්‍රය සකස් කිරීමේදී සිංගප්පූරුව වෙළෙඳපොළේ ඉන්ධන මිල සැලකිල්ලට ගනු ලැබුවේ ලංකාව බොරතෙල් ලබා ගන්නේ සිංගප්පූරුවෙන් වන නිසාය. ඊට අමතරව ලංකාව විසින් තෙල් මිලදී ගන්නා මිල හා විනිමය අනුපාතික ඉන්ධන මිල සූත්‍රය සකස් කිරීමේදි සැලකිල්ලට ගැනිණි.
වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ - ඛනිජතෙල් ශාඛාවේ සභාපති, බන්දුල සමන් කුමාර සඳහන් කළේ ඛනිජතෙල් සංස්ථාව 2018 වර්ෂය තුළ පමණක් රුපියල් බිලියන 106ක පාඩුවක් ලැබීමෙන් ඉන්ධන මිල සූත්‍රය අසාර්ථක බව පැහැදිලි වන බවයි. ජාතික සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත පැවසුවේ ඛනිජතෙල් සංස්ථාව බංකොළොත් වූයේ 2008 දී බව වත්මන් අමාත්‍යවරයා පිළිගන්නා බව ය.
කෙසේ නමුදු ඛනිජතෙල් සංස්ථාව මහජන බැංකුවටත් ලංකා බැකුවටත් ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 600ක් බව වාර්තා වේ. ඛනිජතෙල් සංස්ථාව බැංකුවලට ණය ගැතියෙක් වී සිටියි. ඒ අතර ශ්‍රීලන්කන් එයාර් ලයින්ස්, ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලට ණය හිමියෙක් වී සිටියි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම ඛනිජතෙල් සංස්ථාවට ප්‍රධාන වශයෙන් බලපානු ලැබුවද ඊට පරිබාහිර අවශේෂ කාරණා කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
රුපියල අවප්‍රමාණය වීම ඛනිජතෙල් මිලදී ගැනීමේදී ඍජු ආකාරයට බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. 2001 - 2020 දක්වා කාලය තුළ ඇමෙරිකන් ඩොලරයට රුපියලේ අගය රුපියල් 114.90 - 185.60 දක්වා පරාශයක වෙනස් වුණත් මෑතක සිට ඉතා ශීඝ්‍රයෙන් රුපියල අවප්‍රමාණය වීම, ආනයන වියදම් කෙරෙහි අහිතකර අන්දමට බලපානු ලැබේ.
එමෙන්ම තෙල් පිරිපහදු කිරීමේ පහසුකම් පුළුල් නොකිරීමෙන් බොරතෙල්වලට වඩා පිරිපහදු කළ තෙල් ආනයන කිරීමට සිදුවීම ද අවාසිදායක කරුණකි.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වූ විට තෙල් මිල දී ගෙන ගබඩා කර තබා ගැනීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම ද ලංකා ඛනිජතෙල් සංස්ථාව මුහුණ දෙන තවත් ගැටලුවකි. මෙම ගැටලුවලට විසඳුම් සොයාගෙන යම් ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම කෙරෙහි ලංකා ඛනිජතෙල් සංස්ථාව අවධානය යොමු කළ යුතුය. ඉන්ධන මිල ඉහළ දැමීම කෙටිකාලීන විසඳුමක් මිස දිගුකාලීන විසඳුමක් නොවන බව මේ වන විටදීත් ඔප්පු වී තිබෙන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාව දැන් ණය උගුලක සිර වී සිටින නිසාය.