
මුදල් ගෙවා දැවිතෙල් නමැති කුණුගොඩ රට තුළට ගන්නා එකම රට ශ්‍රී ලංකාව බව පසුගිය දා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. හෙතෙම මෙලෙස ප්‍රකාශ කර සිටියේ මෙරට තුළ සිදුවෙමින් පවතින දැවිතෙල් ජාවාරම පිළිබඳව කරුණු අනාවරණය කරමිනි. මෙරට වරායන් වෙත පැමිණෙන නැව් මඟින් බැහැර කරන දැවිතෙල් මඟින් රටට ලැබිය හැකි ඩොලර් ආදායම මේ නිසා අපට අහිමිවන බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය එක්ව ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුබව පෙන්වා දුන්නේය. දැනට ගබඩා කර ඇති දැවිතෙල් පරිසරයට බැහැර කරන ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට හා එය නියාමනය කිරීමටද එහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් ඇති නීති යාවත්කාලීන කිරීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා විසින් මේ වන විටත් යොමු කර තිබේ.
දැවිතෙල් යනු නැව් යාත්‍රා කිරීමේ දී දහනයෙන් පසුව ඉතිරි වන තෙල්ය. මේවා වෙනම ටැංකි තුළ ගබඩා වේ. ජාත්‍යන්තර නීතිය අනුව එක් වරායක සිට තවත් වරායකට නෞකාවක් ගමන් කරන අතරතුර එලෙස එකතුවන දැවිතෙල් ඊළඟට නැංගුරම්ලන වරාය විසින් බාරගත යුතුය. එහිදී අදාළ නැව් සමාගම විසින් එම වරායට ඒ සඳහා ගෙවීමක් කළ යුතුය. උදාහණයකින් පැහැදිලි කරන්නේ නම් සිංගප්පූරුවෙන් පිටත්වන නෞකාවක් තූත්තුකුඩියේ සිට කොළඹ වරායට පැමිණෙන්නේ නම් එම නෞකාවේ ඇති දැවිතෙල් බැහැර කිරීමේ වගකීම අප රට විසින් බාරගත යුතුය. දැවිතෙල් මුළුමනින්ම අප ද්‍රව්‍යයකි. මෙම අපද්‍රව්‍ය නිසා සිදුවන පාරිසරික විනාශය වළකා ගැනීම සඳහා අදාළ නැවූ සමාගම විසින් කිසියම් මුදලක් අදාළ රටට ගෙවිය යුතු වේ. එය සාමාන්‍ය ජාත්‍යන්තර නීතිය වේ. නමුත් දසක තුන හතරක පමණ කාලයක සිට මෙරට තුළ මෙම දැවිතෙල් අපහරණ ක්‍රියාවලිය සිදු වන්නේ ජාවරමක් ලෙසය.
මෙරටට පැමිණෙන නැව්වලින් දැවිතෙල් බා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව බලපත්‍ර 27ක් නිකුත් කර තිබුණි (මේ වසරේ බලපත්‍ර 24 ක් ලබාදී ඇත). බලපත්‍රලාභීන් විසින් ලබා ගන්නා දැවිතෙල් නිසි පිරිපහදුවකින් පසු ආරක්ෂිතව ප්රතිචක්රීයකරණය නොකර වෙන්කර ගන්නා විෂ සහිත ජලය ජලාශවලට එකතු කිරීමට කටයුතු කර තිබුණි. කාලයක සිට මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබුණ ද බොහෝදෙනාගේ මතය වූයේ මේ බලපත්‍ර නොලැබුණු පුද්ගලයන්ගේ බොරු චෝදනා බවය. නමුත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මේ පිළිබඳව කරුණු සොයා බලා තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරියකුට බාර කළේය. එම නිලධාරියා මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත ලබා දුන්නේය.
එය කියවා බැලූ අමාත්‍යවරයා මෙනිසා විශාල පරිසර හානියක් පමණක් නොව මෙරට ජනතාව රෝගී වන බව ද අවබෝධ කර ගත්තේය. මෙම ක්‍රියාවලිය දශක තුන හතරක කාලයක සිට විශාල ජාවාරමක් ලෙස පැවතෙමින් මේතාක් පැමිණ ඇති බවද එහිදී අවබෝධ විය. මේ නිසා අදාළ කාලය තුළ ඩොලර්වලින් ලැබීමට තිබූ විශාල විදේශ විනිමයක් මෙරටට අහමි වී ඇති බවද පෙනී ගියේය. මෙම අවිධිමත් ක්‍රියාව හේතුවෙන් සිදුවන පාරිසරික හානිය සම්බන්ධව පරිසර අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි. ඊට මධ්‍යම පරිසර අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව, සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය හා දැවිතෙල් ආශ්‍රිත ව්‍යාපාරයන් හි නිරත පුද්ගලයින් ද සහභාගි වූහ. මේ සාකච්ඡාවේදී පෙනී ගියේ මෙම දැවිතෙල් අපහරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අනර්ථකාරී ලෙස සුදුවන බවය. එසේම නැව්වලින් බැහැර කෙරෙන මෙම දැවිතෙල් ආශ්‍රිතව සිදු කෙරෙන ජාවාරම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආදායමට ද විශාල බලපෑමක් එල්ල වී ඇති බවය.
මෙරට වරායන් වෙත පැමිණෙන නැව් මඟින් ඉවත් කෙරෙන දැවිතෙල් එම නැව්වලට මුදල් ගෙවා ලබාගැනීමට මෙම බලපත්‍රලාභීන් කටයුතු කරති. සාමාන්‍යයෙන් සිදුවන්නේ අදාළ නැව් මඟින් තමන් සේන්දු වන වරායට කිසියම් ගෙවීමක් කර දැවිතෙල් බැහැර කිරීමය. එහෙත් මෙරට සිදුවන්නේ මෙහි අනෙක් පැත්තය. පවත්වා ගෙන යනු ලබන ක්‍රමවේදය අනුව මෙමඟින් මෙරටට කිසිදු ආදායමක් නොලැබෙයි. දැවිතෙල් ලබාගැනීමට මෙම බලපත්‍රලාභීන් අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක නැව්වලට ඩොලර් ගෙවා ඒවා ලබා ගැනීමට මොවුන් කටයුතු කිරීම ඊට හේතුවයි. මේ නිසා මෙරට විදේශ විනිමය පිටතට ඇදී යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මෙම තරගයට හේතු වී ඇත්තේ ඉන්ධන සහ විවිධ නිෂ්පාදන සඳහා මෙම දැවිතෙල් විකිණිය හැකි පසුබිමක් මෙරට තුළ නිර්මාණය වී තිබීමය. මෙම දැවිතෙල්වලින් වෙන් කර ගන්නා ඩීසල් වාහන සඳහා අලෙවි කරයි. මෙලෙස ඉන්ධන ලෙස දැවිතෙල් අලෙවි කරන සමාගම් 08ක් පමණ ඇති අතර, මින් සමාගම් දෙකක් දැවිතෙල් ගබඩා කරයි. එම සමාගම් දෙකට අයත් ගබඩා දැවිතෙල්වලින් පිරි ගොස් පවතින අතර මින් කාන්දු වන දැවිතෙල් නිසා සිදුවන පරිසර හානිය ද ඉහළ ගොස් ඇත.
මීට ප්‍රධාන හේතුව වන්නේ මෙම දැවිතෙල්වලින් ඉවත් කරගන්නා විෂ සහිත ජලය ගංගා ඇළ දොළ වැනි ජල මූලාශ්රයන්ට ඍජුවම බැහැර කෙරෙන නිසාය. දැවිතෙල් මඟින් ඉවත්වන විෂ සහිත අපිරිසිදු ජල ලීටරයකින් පිරිසිදු ජල ලීටර් 10,000ක් දූෂණය වන බව පර්යේෂණ මඟින් සොයා ගෙන තිබේ. මෙම අපිරිසිදු ජලය තුළ ආසනික්, සයනයිඩ්, ඊයම් හා කැඩ්මියම් වැනි බැරලෝහ අඩංගු වේ. මේවා ජල මූලාශ්‍රවලට මුදාහැරීම නිසා ඒවා පානීය ජලයට එක්වීමෙන් වකුගඩු දියවීම, පිළිකා වැනි මාරාන්තික රෝග රැසකට මුහුණ දීමට මෙරට ජනතාවට සිදුව ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි. මේනිසා මෙම ව්‍යාපාර නියාමනය කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගැනීම ප්‍රශංසනීය කටයුත්තක් බව ඔහුගේ අදහසය.
සමුද්‍රීය ආරක්ෂණ ප්රතිගහන පහසුකම් පැපයීමේ දී දැවිතෙල් කාණ්ඩය සඳහා ලියාපදිංචි වීමට අදාළ සේවා සපයන්නන් විසින් 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සංස්ථාගත කිරීමේ සහතිකය, 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනත යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද අදාළ කාණ්ඩය සඳහා වරායක් තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ කාර්යය සඳහා ලබාගත් බලපත්‍රය, නැව්වලින් සුන්බුන් එකතු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිෂ්කාශන සහතිකය, අන්තරායදායක තෙල් අපද්‍රව්‍ය එකතු කිරීමේ, ගබඩා කිරීමේ, ප්‍රවාහනය කිරීමේ සහ බැහැර කිරීමේ කාර්ය සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය සහ පරිසර ආරක්ෂණ බලපත්‍රය යන බලපත්‍ර දෙකම ලබා තිබිය යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් මෙන්ඩිස් ගුණසේකර පවසයි. මේ සඳහා අවසර ලබාදීමෙන් අනතුරුව මෙම සේවය නිසියාකාරයෙන් ඔවුන් අතින් සිදුවනවාද යන්න ඔවුන් දැවිතෙල් බවුසරවලට පැටවූ මොහොතේ සිට අදාළ පිරිපහදු අංගණයට යනතෙක් GPS තාක්ෂණය මඟින් කිසියම් නියාමනයකට ලක්කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරන බව හෙතෙම පවසයි. එසේ වුවත් නිසි නෛතිත රාමුවක් නොමැති බැවින් අවසාන වශයෙන් මේවා කුමන ආකාරයකට පාවිච්චි කරන්නේද යන්න නියාමන කිරීමට තම ආයතනය නොහැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පසයි.
වසරකට ලංකාවේ වරායන් වෙත පැමිණෙන නැව් ප්‍රමාණය 1700 පමණ වේ. මේ නැව්වලින් වසරකට දැවිතෙල් ටොන් 20000ත් 27000 අතර ප්‍රමාණයක් අපහරණය කරනු ලබනයි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදී තිබෙන බලපත්‍රලාභීන්ගෙන් දැවිතෙල් පිරිපහදු කළ හැකි දාරිතාව සහිත ආයතන ඇත්තේ හතරක් පමණි. ඉතිරි ආයතන 23ට මේවා පිරිපහදු කිරීමේ කිසිදු හැකියාවක් නැත. මෙම ආයතන හතරේ පවතින දාරිතාව අනුව වසරකට පිරිපහදු කළ හැක්කේ දැවිතෙල් ටොන් 4800ක් පමණි. මින් වැඩි ප්‍රමාණයක් පිරිපහදු කරන්නේ කොළඹ පිහිටි පෞද්ගලික පිරිපහදු අංගණය මඟිනි. ඉතිරි දැවිතෙල් ටොන්වලට සිදුවන්නේ කුමක්ද යන්න හෝ ඊට වගකියන්නේ කවුරුන්ද යන්න ගැටලු සහගතය.
පරිසර අමාත්‍යවරයා විසින් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය. මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් මේ දැවිතෙල් මඟින් රටට ඩොලර් ආදායම් උපයා ගැනීමට මෙන්ම විධිමත් විද්‍යාත්මක නියාමන ක්‍රමවේදයක් මඟින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි යන්න අප කාගේ අපේක්ෂාවය.