දේශ­ගුණ විප­ර්යාස අවම කරන්න ලෝක නාය­කයෝ එක්වෙති | සිළුමිණ

දේශ­ගුණ විප­ර්යාස අවම කරන්න ලෝක නාය­කයෝ එක්වෙති

 

නෑම දෙයකට විපර්යාසවලින් තොර පැවැත්මක් නැති වුවද දේශගුණික විපර්යාස සුළුකොට තැකිය නොහැක්කේ දිනෙක ලෝක විනාශයට ද ඒ විපර්යාස හේතුවන නිසාය. එබැවින් දේශගුණික විපර්යාස හැකි තරම් අවම කරගනිමින් ලෝකය පවත්වාගෙන යෑම සඳහා ලෝකයම එක්සත්ව තීන්දු තීරණ ගත යුතු සහ ක්‍රියාත්මක කළ යුතු පසුබිමක අප දිවි ගෙවමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානය දශක 3කට අධික කාලයක් තිස්සේ ලෝකයේ සෑම රටක්ම කාලීන වශයෙන් ඉතා වැදගත් මාතෘකාව බවට පත්ව ඇති දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවට නැඹුරු කරගැනීමට උත්සාහ දරමින් සිටින්නේ ද එබැවිනි. එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNFCCC) විසින් පවත්වනු ලබන වාර්ෂික ගෝලීය දේශගුණික විපර්යාස සමුළු Conference of the Parties(COP) හෙවත් පාර්ශ්වයන්ගේ සම්මේලනය ඒ අතර වැදගත් ස්ථානයක් ගනී.

මේ වසරේ එකී ‘පාර්ශ්වයන්ගේ සම්මේලනය’ COP පැවැත්වෙන්නේ 26 වැනි වතාවට බැවින් එය COP26 ලෙස හැඳින්වේ. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් (Glasgow) හිදී අද (ඔක්තෝබර් 31දා) ඇරඹෙන COP26 සමුළුව නොවැම්බර් 12 වැනිදා දක්වා සති දෙකක කාලයක් පැවැත්වෙන අතර රටවල් 190කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ඒවායේ රාජ්‍ය නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශගුණික විශේෂඥයන්, පරිසර අමාත්‍යවරුන් සහ ලේකම්වරුන්, ව්‍යාපාරික ලොව ප්‍රබලයන්, මාධ්‍ය වේදීන්, පරිසර වේදීන් සහ තාක්ෂණික විශේෂඥයන් සහ පරිසරය සම්බන්ධ විවිධ වැඩසටහන පවත්වන කණ්ඩායම් ඇතුළු පිරිසක් ඊට සහභාගි වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

COP26 සමුළුවේදී දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම සඳහා ඒ ඒ රටවලට ලබාදී ඇති ජාතික සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳ පුළුල් සාකච්ඡාවකට ලක්වේ. ශ්‍රී ලංකාව රටක් ලෙස ඊට මුහුණ දෙන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින ඉතා ශක්තිමත් න්‍යාය පත්‍රයක් සමඟ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

විශේෂයෙන් හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉකුත් මාස 18ක කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආසියානු කලාපයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටින බවත් ඔහු පැවසුවේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාරිසරික සුරක්ෂිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඉලක්ක රැසක් ද මේ වන විටත් සපුරා තිබීම ප්‍රශංසනීය ය.

ඒ ප්‍රශංසාව ශ්‍රී ලංකාවට හිමිවූයේ මෙවර COP 26 සමුළුවට සහභාගී වීමට කලින්මය.

ඒ, එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලය වන COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය රටවල තානාපති Ken o’ Flaherty හා කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සමෘද්ධිමත් භාවය පිළිබඳ ඒකකයේ ප්‍රධානී, Andrew Price පසුගිය අගෝස්තු මාසයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ නිල වශයෙන් හමුවූ අවස්ථාවේදී ය.

දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන තිබෙන වැඩ පිළිවෙළ අගය කරන බව ඔහු එහිදී පවසා තිබිණ.

දේශගුණ විපර්යාස නිසා ඇති වන බලපෑම් වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව විසින් ගනු ලැබූ තීන්දු තීරණ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ එහිදී තානාපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දේශගුණ විපර්යාස සඳහා ඉවහල්විය හැකි කරුණු රැසක් සම්බන්ධව ප්‍රතිපත්තිමය තීන්දු රැසක් මේ වන විට ගෙන ඇති බවත් ඒවා COP 26 සමුළුවට ඉදිරිපත් කෙරේ.

2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් ශුන්‍යතාව සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර, වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී.

නැවත ගල් අඟුරු විදුලි බලාගාර ඉදිනොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් තීරණය කර ඇත. විදුලිබල උත්පාදනයට ජල විදුලි බලය මෙන්ම සුර්ය බලය හා සුළං බලය වැඩිපුර උපයෝගී කර ගැනීම, ද්‍රවීකෘත වායු හෙවත් LNG බලාගාර දෙකක් ඉදිකිරීම, විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ ආනයනය සඳහා ආනයනකරුවන් දිරිමත් කිරීම, 2030 වන විට මේ රටේ වන ගහනය සියයට 30 දක්වා ඉහළ නැංවීම ද එකී තීරණ අතර ප්‍රධාන වේ.

වායු දූෂණය සිදුවීමට බලපාන ජාතික ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීම ද රජයේ එක් ඉලක්කයකි. වායු දූෂණයට මෙන්ම පාංශු දූෂණයට හේතුකාරක වන පොලිතින් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන රැසක් මේ වනවිට මෙරටට ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තහනම් කර ඇත. දේශගුණ විපර්යාසවලින් රටට මෙන්ම ලෝකය සිදුවිය හැකි ආපදාවන් වළක්වා ගැනීම සඳහා එම තීරණ සියල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි ගන්නා ලද තීරණ බව ද ඇමති මහින්ද අමරවීර පැවසීය.

දේශගුණික විපර්යාස සැලකීමේදී වඩාත් බරපතළ තත්ත්වය ලෙස හඳුනාගෙන ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යෑමයි.

ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වාගෙන යෑම අතිශයන්ම අසීරු විය හැකි බව COP 26 සමුළුවේ සභාපති ආලෝක් ශර්මා අනතුරු ඇඟවූයේ මීට මාස කිහිපයකට පෙරය. 2021 අවසන් වන විට ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2ට අඩු මට්ටමක පවත්වා ගැනීම ලෝකයම හමුවේ ඇති අභියෝගයකි. දේශගුණික විපර්යාස නිසා සිදුවන හානිවලින් වැඩිපුරම බලපෑම් එල්ල වන්නේ දූපත් රාජ්‍යයන්ටය. ශ්‍රී ලංකාව ද දූපතක් නිසා ඉන් සිදුවන අහිතකර ගෝලීය බලපෑම් නිසා වැඩි වශයෙන් හානිකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාසයන් වළක්වා ගැනීම සඳහා වන අන්තර්ජාතික නිර්දේශ අනුව කටයුතු කිරීමේදී ඉදිරියෙන් සිටී.

දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ තිරසර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ජනාධිපතිවරයා විසින් පිහිටුවු ලැබු අතර පරිසර අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ 17ක් ඊට ඇතුළත්ය. පරිසරය විනාශ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කාර්ය බළකාය, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති අතර පරිසරයට හානි කරන්නන් සඳහා දඬුවම් වැඩි කිරීමට ද කටයුතු කර ඇත.

පරිසර සුරක්ෂිතතාව පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ලෝකයේ පළමු වැනි රැම්සාඩ් තෙත්බිම් නගරය ලෙස කොළඹ නගරය පත් කරනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.

කොළඹ තෙත් බිම් සංරක්ෂණය කිරීමේ වැඩසහටහන ද වත්මන් ජනාධිපතිවරයාගේ තවත් අගනා සංකල්පයකි.

ඉකුත් 27 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සංවාදයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පැවසුවේ ශ්‍රී ලංකාව ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම - නායකයකු වීම පිළිබඳව ආඩම්බර වන බවයි.

තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මඟින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරීමට අපෙක්ෂා කරන බවත් ඒ සඳහා කෘතිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් බවත් පැවසූ ජනාධිපතිවරයා එමඟින් සෞඛ්‍ය ගැටලු විසඳාගැනීමට මෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමට හැකිවනු ඇති බව ද සඳහන් කළේය.

එකී සියලු ක්‍රියාමාර්ග අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් COP26 සමුළුවට සහභාගි වන්නේ ශක්තිමත් න්‍යාය පත්‍රයක් සමඟ ක්‍රියාත්මක වන වැඩසටහනක් සමඟය.

ශ්‍රී ලංකාව වායු විමෝචනය ඉතා අඩු රටක් වුවද ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැළක්වීම ඇතුළු දේශගුණික විපර්යාස සඳහා බලපාන කරුණු පාලනය කිරීම වගකීමෙන් කිසිසේත් බැහැර වී නැති බවට ඒ සියල්ල සාක්ෂි දරයි.

 

Comments