
ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා පැතිරවූ ක්ෂේත්‍ර අතර "සිලෝන් ටී" ලෙස හැදින්වෙන මෙරට තේ කර්මාන්තයට හිමි වන්නේ ප්රමුඛස්ථානයකි. ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් හේවාහැට, ලූල්කඳුර වතුයායේදී ආරම්භ කළ මෙරට තේ කර්මාන්තයට මේ වන විට වසර 150 කට එහා ගිය ඉතාම සුවිශේෂී ඉතිහාසයක් ඇති අතර එම කර්මාන්තය මේ වන විට මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට ද පත් ව තිබේ. මෙරට නිෂ්පාදිත තේ සඳහා ලොව බොහෝ රටවලින් ඉහළම පිළිගැනීමක් ලැබී ඇති අතර සෑම වසරකටම තේ කිලෝ මිලියන 300 ඉක්මවූ නිමි තේ ප්‍රමාණයක් අපනයනය කිරීමට මෙරට තේ නිෂ්පාදකයන් හට හැකියාව ලැබී ඇත.
මෙරට තේ නිෂ්පාදන සදහා ලොව පුරා ජනතාවගෙන් ලැබී ඇති ප්‍රතිචාර කෙතරම් උණුසුම් වී තිබේදැයි කිවහොත් “ලොව පිනවන සිරිලක තේ” යන වැකියෙන්ම ඒ බව මොනවට පැහැදිලි වේ. ඉන්දියාව, චීනය, කෙන්යාව, සහ වියට්නාමය වැනි තේ නිෂ්පාදනයේ නිරත අනෙකුත් රටවල් හා කරට කර සටන් කරමින් අනර්ඝ ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදන ලොව පුරා තේ රස ප්‍රිය කරන ජනතාවගේ රසවත්ම තේ සපයන රටක් ලෙස කිරුළ හිමි කර ගෙන ඇත.
තේ රස ප්‍රිය කරන ලොව පුරා ජනතාව අතර "සිලෝන් ටී" හෙවත් මෙරට තේ කර්මාන්තය එවැනි සුවිශේෂී වූ කීර්තියක් හිමි කර ගැනීමට සමත් වෙත්දී ඒ වෙනුවෙන් තේ දලු නෙළන කම්කරුවන්ගේ සිට කුඩා තේ වතු හිමියන්, මධ්‍යම හා මහා පරිමාණයේ තේ කර්මාන්තශාලා හිමියන් හා නිෂ්පාදකයන් ඇතුළු විශාල පිරිසක් අනේක විද කැපකිරීම් හා දුක් ගැහැට විද තිබේ.
එලෙස කැපකිරීම් හා දුක් ගැහැට විදිමින් තේවල රසය, ප්‍රමිතිය මෙන්ම ගුණාත්මක බව රැක ගත් තේ කම්හල් හිමියන් අතර අතුකෝරල සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂ අනුර අතුකෝරල ද ප්රමුඛයෙකු වන අතර ඔහුට අයත් අතුකෝරල තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද තේ සඳහා පසුගිය ඔක්තෝබර් මස 12 වැනි දින පැවැති කොළඹ තේ වෙන්දේසියේදීද ඉහළම මිලක් හිමි කර ගැනීමට අවස්ථාව හිමි වුණි. එම දැවැන්ත තේ වෙන්දේසියේදී තේ කිලෝවක් සඳහා රු 1400/- ක ඉහළම ලංසුව අතුකෝරල තේ කර්මාන්ත ශාලාව මඟින් වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණු තේ නිෂ්පාදන වෙත හිමි විය. අතුකෝරල සමූහ ව්‍යාපාරයට අයත් "අතුකෝරල තේ" මෙන්ම "පිටිගල තේ" ද මීට පෙරද අවස්ථා කීපයකදීම කොළඹ තේ වෙන්දේසියේදී මෙලෙස ඉහළම මිලක් තම තේ නිෂ්පාදන සදහා ලබා ගැනීමට සමත්ව ඇති අතර නියමිත ප්‍රමිතිය හා ගුණාත්මක බවින් යුතුව තේ නිෂ්පාදනය කිරීම ඊට ප්‍රධානතම හේතුවයි.
ඒ අනුව ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු තේ නිෂ්පාදනය සදහා අතුකෝරල තේ කර්මාන්ත ශාලාව ඉතා සුවිශේෂි සම්මාන රාශියක්ද හිමි කර ගෙන ඇති අතර ISO 22000:2018, HACCP යන ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන්ට අනුකූලව පවත්වා ගෙන යන මෙම තේ කර්මාන්ත ශාලාවේ දැනට තේ වර්ග ගණනාවක් නිෂ්පාදනය කරනු ලබයි.
අතුකෝරල තේ කර්මාන්ත ශාලාව මෙරට තේ කර්මාන්තයට හිමි කර දුන් මෙම ජයග්‍රහණ පිළිබදව එහි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂක අනුර අතුකෝරලගෙන් අප අදහස් විමසා සිටි අතර එහිදී ඔහු සදහන් කර සිටියේ තම ආයතනය සෑම විටකම මෙම තේ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ ගුණාත්මක බවින් උසස් අමු තේ දලු බවයි. එලෙස එම අමු තේ දලු ලබා ගැනීමේදී තම කර්මාන්ත ශාලාවට අයත් තේ වතු වලින් 10% ක පමණ ප්‍රමාණයක අමු තේ දලු සපයා ගන්නා බවත් ඉතිරි 90% ක අමු තේ දලු කර්මාන්ත ශාලාව පිහිටා ඇති පිටිගල අවට පෞද්ගලික වතු වලින් සපයා ගන්නා බවත් පැහැදිලි කළ අනුර අතුකෝරල තම කර්මාන්ත ශාලාවට තේ දලු සපයන 1200ක පමණ පිරිසක් සිටින බවද සදහන් කළේය.
යම් යම් කාල වලදී "සිලොන් ටී" ප්‍රතිරූපයට හානි සිදු වූ සිදුවීම් සිදු වූ නමුත් මේ වන විට මෙරට නිෂ්පාදනය කෙරෙන තේ සදහා හොඳ ඉල්ලුමක් ඇති වී ඇති බවත්, තමාගේ බලාපොරොත්තුව තේ නිෂ්පාදනයේදී ප්‍රමිතිය වැඩි දියුණු කර ගනිමින් අගය එකතු කළ තේ නිෂ්පාදනය කිරීම පුළුල් කිරීම බවත් පැවසූ අතුකෝරල තේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක අනුර අතුකෝරල මීට වසර 30 කට පමණ පෙර තම පියා වන ඩී. ඩබ්ලිව් අතුකෝරල හා එක්ව පිටිගල ප්‍රදේශයේ පිහිටි මෙම තේ කර්මාන්ත ශාලාව තමන් විසින් ආරම්භ කළ බව ද සිහිපත් කළේය.
මේ වන විට තම ආයතනය “කාබනික තේ”නිෂ්පාදනය කිරීමද සිදු කරන බවත්, තේ වෙන්දේසි සදහා නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී තේ වල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ගැනුම්කරුවන් සලකා බලන ප්‍රධානතම සාධක බවත් ඔහු අනාවරණය කළ අතර මෙවර තේ වෙන්දේසියේදී FBOPF ශ්‍රේණියේ තේ වර්ගය සඳහා උපරිම මිලක් ලබා ගැනීමට තම ආයතනය සමත් වූවේද එම සාධක පිළිබදව දැඩි ලෙස සැළකිළිමත් වෙමින් තේ නිෂ්පාදනය සිදු කිරීම නිසා බවද පැහැදිලි කළේය.
අතුකෝරල තේ කර්මාන්ත ශාලාව මේ වන විට මසකට නිමි තේ කිලෝ 50,000 ක් 60,000 ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ඔවුන්ගේ එම නිෂ්පාදන එංගලන්තය, ඇමරිකාව, චෙක් ජනරජය, මැලේසියාව, චීනය, ජපානය වැනි රට වලට අපනයනය කරන බවද දැන ගන්නට ලැබුණි. ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් ලබා දෙන C. Q. C. තනි තරුව තත්ත්ව සහතිකය, මතුගම කලාපයේ හොඳම තේ කර්මාන්ත ශාලාව, දකුණු පළාතේ විශාල ව්‍යාපාර අංශයේ රන් සම්මානය, ජාතික මට්ටමේ නිෂ්පාදන සඳහා ලෝකඩ හා කුසලතා සම්මාන, ජාතික ඵලදායිතා විශේෂ කුසලතා සම්මානය, කම්කරු දෙපාර්තමේන්තුවේ සමාජ කථිකාවත විශිෂ්ටතා රන් සම්මානය යන සම්මාන හා තත්ත්ව සහතික රැසක්ම අතුකෝරල තේ කර්මාන්ත ශාලාව හිමි කර ගෙන ඇති අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙම තේ කර්මාන්ත ශාලාව ගාල්ල දිස්ත්‍රික්කයේ ආදර්ශමත් තේ කම්හල ලෙස තෝරා ගෙන තිබීමද එම ආයතනය ලැබූ තවත් විශේෂිත ජයග්‍රහණයක් ලෙස හදුන්වා දීමට පුළුවන.
අතුකෝරල තේ කර්මාන්ත ශාලාව හා එහි කළමනාකාර අධ්යක්ෂ අනුර අතුකෝරල සිය තේ නිෂ්පාදන කටයුතු සාර්ථක ලෙස සිදු කිරීමේදී Tea Tourism යන සංකල්පය සදහා ප්රමුඛ අවධානයක් ලබා දී ඇත. සත්‍ය වශයෙන්ම කියනවා නම් මෙම අතුකෝරල තේ කර්මාන්ත ශාලාව තේ සම්බන්ධ විවිධ පර්යේෂණ හා හැදෑරීම් සිදු කරන පිරිස් සදහා උපකාරී වන විශ්ව විද්‍යාලයක් ලෙස හැදින්වීම නිවැරදි වන අතර මේ කර්මාන්තශාලා පරිශ්‍රයේ තේ පැළ තවානක්,තේ වත්තක්, තේ කර්මාන්ත ශාලාවක්,තේ අලෙවි මධ්‍යස්ථානයක්,"කුරුදුවත්ත විලා" නැමති විදේශීය සංචාරක නිවහනක් සහ ආකර්ශණිය පාරිසරික වටපිටාවකින් සමන්විත වී තිබේ.
ඒ අතරින් තේ අලෙවි මධ්‍යස්ථානය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇති අතර එහි පැමිණෙන සංචාරකයින් "අතුකෝරල තේ" හා "පිටිගල තේ" නිෂ්පාදන එහිදී මිලට ගනී.
අතුකෝරල තේ කර්මාන්ත ශාලාව ඉහළ මිලක් හිමි කර ගත් මෙම කොළඹ තේ වෙන්දේසියේදී එම තේ තොගය අලෙවි කරන්නට යෙදුණේ ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් ලිමිටඩ් ආයතනය වන අතර එම ආයතනයේ ජ්‍යේෂ්ඨ රස පරික්ෂක ගිම්හාන විජයබාහු සදහන් කර සිටියේ මෙරට තුළ තේ නිෂ්පාදනය ඉතා සරුවට සිදු කෙරෙන විවිධ ප්‍රදේශ වල තේ මෙම තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් වන බවයි. පහුගිය කාලය තුළ ඇතිවූ කොවිඩ් වසංගත තත්වය නිසා මෙම තේ වෙන්දේසිය සාර්ථක කර ගැනීම අභියෝගයක් වූ නමුත් නවීන තාක්ෂණයට අනුව අන්තර්ජාලයේද සහයෙන් E වෙන්දේසියක් ලෙස මේ වන විට එය නව්‍යකරණයට ලක් වී ඇති අතර සෑම සතියකම අඟහරුවාදා හා බදාදා යන දිනවල එය පැවැත්වේ.
මෙම තේ වෙන්දේසිය මඟින් මේ වන විට තේ කොළ මෙට්‍රික් ටොන් 6000 ත් 7000 අතර ප්‍රමාණයක් එක් සතියක් තුළ අලෙවි වන අතර නිෂ්පාදන ආයතන දෙසියයක් පමණ ඊට සහභාගී වේ. වෙන්දේසිය මඟින් වසරකට තේ මෙට්‍රික් ටොන් 300,000 ක් පමණ අලෙවි වන බවට ඇස්තමේන්තු ගත කර ඇති අතර මෙම ප්‍රමාණය රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 95% ඉක්මවා තිබීම විශේෂත්වයකි.
මේ වන විට මෙරට මෙරට තේ කර්මාන්තය ලබා ඇති ප්‍රගතිය පිළිබදව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ ද අදහස් දැක්වූ අතර එහිදී ඔහු සදහන් කර සිටියේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් කඩා වැටුණත් කඩා නො වැටුණු එකම කර්මාන්තය ලෙස මෙම තේ කර්මාන්තය හදුන්වා දිය හැකි බවයි. මෙරට තේ කර්මාන්තය නගා සිටුවීම සදහා වත්මන් රජය පැහැදිලි සැළැස්මකට අනුව කැපවීමෙන් යුතුව කටයුතු කරන බවත් ඒ නිසා මේ වන විට මෙරටට වැඩිම විදේශ විනිමය ආදායමක් උපයා දෙනු ලබන ප්‍රධානතම ආදායම් මාර්ගයක් ලෙස මෙම තේ කර්මාන්තය පත්ව ඇති බවත් ඔහු අවධාරණය කළ අතර මෙරට තේ කර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීමෙන් වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි වෙනවා පමණක් නොව ආර්ථික,සමාජීය දියුණුව ඉක්මනින් ළගා කර ගැනීමේ හැකියාව ඇති බවත් ඔහුගේ අදහසයි.
ඔන්ලයින් ක්‍රමය භාවිත කරමින් මේ වන විට තේ වෙන්දේසිය සෑම සතියකම අඟහරුවාදා හා බදාදා දිනවල පැවැත්වෙන අතර තේ වෙන්දේසිය මේ ආකාරයට හෝ පැවැත්වීමට කටයුතු යෙදීම නිසා පසුගියදා අතුකෝරල තේ නිෂ්පාදන සදහා ඉහළ මිලක් ලැබුණු අයුරින්ම මෙරට තේ නිෂ්පාදකයන්ට ඉදිරියේදී සිය තේ නිෂ්පාදන සදහා ඉහළම මිලක් ලබා ගත හැකි වටාපිටාවක් නිර්මාණය වනු ඇති බව තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ වැඩිදුරටත් සදහන් කර සිටියේය.