
ජනතාවට සේවය සපයන මහජන සේවා ආයතනවලට ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා නිසා සමාජයේ ගල් වරුසා එල්ල වන අවස්ථා බොහෝය. මේ අතුරින් මුල් තැනක් ගන්නේ ගමේ ජනතාවට සේවය සපයන්නට ගමේම හෝ ගමට ආසන්නයේ පිහිටා ඇති ප්‍රාදේශීය සභා සහ සාමය රැකීමට ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා පොලිසියයි.
ඊළඟ ගැටලුව වන්නේ මහජන සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ජනතාවගේ ආරක්ෂකයා ලෙස නිල නාමය හිමි පොලිසියෙන් ඇතැම් විට සිදුවන ක්‍රෑර වද හිංසාවන්ය. පසුගිය සති කිහිපයේම පොලිසිය ගැන කතාබහ රැසක් ඇති විය. කඩවතදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමක් ගැන අපට වාර්තා විය. එහිදී ඇතැම් පොලිස් නිලධාරීන් බීමත්ව සිටි බවක්ද සැල විය. එමෙන්ම ඊට කලකට පෙර හයිලෙවල් පාරේ අනතුරක් කළ පුද්ගලයකුට බිම දාගෙන පහර දුන් පොලිස් නිලධාරියකු ගැන මාධ්‍යයේ දැඩි කතාබහට ලක් විය. ඔහු ‘රෙස්ලින් රාලහාමි‘ යනුවෙන් ද ප්‍රසිද්ධ වූයේ උඩ පැන බිමට වැටුණු පුද්ගලයාගේ ඇඟට පැනීම නිසාය.
මේ පොලිස් සිදුවීම් මාලාවේ අලුත්ම පිටු දෙකක් පසුගිය සතියේ පෙරළිණි. ඒ රත්නපුරදීද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු විසින් පසුගිය අඟහරුවාදා පුද්ගලයකුට මහ මඟදී පහර දීමක් හේතුවෙනි.
අනෙක් කතා බහ ගැන කතා කරන්නට අප නැඟෙනහිර කෙළවරට යා යුතුය. ඒ කතාවේ මූලාරම්භ නගරය එරාවුර්ය. එරාවුර් මුස්ලිම් ජනතාව බහුල ප්‍රදේශයක් ලෙස පෙනුණත් එහි වැඩි වශයෙන් ජීවත් වන්නේ දෙමළ ජාතිකයන්ය.
මේ සිදුවීම වන්නේ පසුගිය ඔක්තෝබර් 22 වැනිදාය. එදින පස්වරු 6.30ට පමණ එරාවුර් මුහුදු වෙරළ දක්වා දිවෙන පුණ්ණකුඩා මාර්ගයේ හදිසි අනතුරක් සිදු විය. එය දුරදිග ගොස් පැමිණිල්ල පොලිසිය දක්වා ගියේය. පොලිසියට කළ දැනුම් දීමට අනුව සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු යතුරු පැදියකින් එහි ගොස් තිබුණි. අඳුර වැටීගෙන එද්දී පොලිස් නිලධාරීන් දෙදෙනා අනතුර පිළිබඳ සාක්ෂි සොයා බලා පසුව අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ මැනුම් කටයුතු කරන්නට විය.
එක්වරම පුණ්ණකුඩා දෙස සිට හෙල්මට් නොමැති දෙදෙනෙක් යතුරු පැදියක අධික වේගයෙන් පැමිණියහ. අධික වේගයෙන් හෙල්මට් නොමැතිව පැමිණි යතුරු පැදිය දුටු මාර්ගයේ මැනුම් කටයුතු කළ සැරයන්වරයා එය නවත්වන්නැයි අතින් සංඥා කෙළේය.
එය ගණනකටවත් නොගත් යතුරුපැදිකරුවන් වේගය මඳක් අඩු කර පොලිස් සැරයන්වරයා දෙසට යතුරු පැදිය මඳක් ළංකර අදාළ මැනුම් පටියද ඇදගෙන එරාවුර් නගරය දෙසට යන්නට විය. සැරයන්වරයා අතින් මිනුම් පටිය අතැහැරෙනු අනෙක් පස සිටි කොස්තාපල්වරයා දුටුවේය. එසේම සැරයන්වරයා කැරකැවී බිම වැටෙන්නට මෙන් විසිවනුද ඔහු දුටුවේය. සැරයන්වරයා යතුරු පැදිකරුගේ ක්‍රියාව නිසා අනතුරට පත්වන්නට ඇතැයි ඔහු සිතන්නට ඇත. මිනුම් පටියද යතුරු පැදිය සමඟ ටික දුරක් ඇදී ගොස් අතරමඟ වැටී තිබුණි.
හෙල්මට් නොමැතිය පැමිණීම වරදකි. එමෙන්ම පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීමද වරදකි. අණ නොතකා යාමද වරදකි. එමෙන්ම පොලිස් නිලධාරියා අනතුරට පත් කිරීමට උත්සාහ දැරීමද වරදකි. අධික වේගයෙන් නගර සීමාවේ යතුරු පැදියක් ධාවනයද වරදකි.
අනෙක් පස සිටි පොලිස් කොස්තාපල්වරයා වහාම අණ නොතකා ධාවනය වූ යතුරු පැදිය හඹා ගියේය. පිට්ටනියක් අසල සිට ඔවුන් හෙල්මට් දමනු ඔහු දුටුවේය. වෙනත් පසකින් ඔහු ඉදිරියට පැමිණෙන විට යතුරු පැදිය මඳක් ඉදිරියට ගියද වැඩිදුරක් යන්නට නොහැකි විය. ඔහු එය නවත්වා ගත්තේය. ඔහු ප්‍රශ්න කරන්නට වූ නමුත් පිටුපස පැමිණි තැනැත්තා ඒ කිසිවක් ගණනකට නොගෙන පිළිතුරු දුන්නේ ‘රාත්‍රී කෑම ගෙන යාමට පැමිණි‘ බවකි.
එසේම යතුරු පැදිය පණ ගැන්වූයේ ඉදිරියට යෑමටය. එයින් කිපුණු පොලිස් කොස්තාපල්වරයා ඔවුන් දෙදෙනාටම පහර දුන්නේය. පසුපසින් පැමිණි තැනැත්තාට පයින් පහර දුන්නේ පිරිසක් එය වීඩියෝ ගත කරමින් සිටියදීය. එය චිත්‍රපටයක පහර දීමක් බඳුය. තාත්ත්වික දර්ශනයකි. එමෙන්ම යතුරු පැදිය පැදවූ තැනැත්තාගේ හෙල්මටය ගැලවෙන්නට ඔහු පහර දුන්නේය.
හෙල්මටය යන්තම් අටවාගෙන සිටි හෙයින් එය ගැලවී ගියේය. රටේ මහජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සිටින පොලිස් නිලධාරියකුගේ ඒ හැසිරීම පහර දීම අනුමත කළ නොහැකිය.
එරාවුර් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු විසින් (පො.කො. 61169) මේ පහරදීම සිදු කරන ලදී.
තරුණයන් දෙදෙනා රාත්‍රී ආහාරය ලබා ගැනීම සඳහා යතුරු පැදියෙන් නගරයේ පිහිටි අවන්හලක් වෙත පැමිණෙමින් සිටියදී යතුරුපැදිය නතර කරන ලෙස පොලිස් නිලධාරියා කළ අණ කිරීම නොකතා ඔවුන් යතුරුපැදිය ධාවනය කිරීම නිසා මේ පහර දීම කළ බව සමාජ මාධ්‍යවල වාර්තා විය.
මේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සැරිසරන්නට විය. පසුව එය මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකා ඔස්සේද ප්රවෘත්ති විකාශයන්හි පවා ප්‍රචාරය වන්නට විය. එය දුටු මහජන සාමය පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කෙළේ ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසයි.
නැඟෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන ලද අතර මඩකළපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා යටතේ සිදු කළ මූලික විමර්ශනයෙන් පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
මේ සම්බන්ධව එරාවුර් පොලිසිය විසින්ම අදාළ පොලිස් නිලධාරයා අත්අඩංගුවට ගෙන එරාවුර් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අපි අමාත්‍ය සරත් වීරසේකරයන්ගෙන් විමසුවෙමු. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නට තමන් නියෝග කළ බවත් පහර කෑමට ලක් වූ අදාළ තරුණයන්ට අවශ්‍ය නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවත් ඔහු පැවසුවේය.
වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතර අපරාධ නීතිය යටතේද ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ. කිසිදු හේතුවක් මත කිසිදු අයකුට තවත් අයකුට පහර දීමට නොහැකිය. විශේෂයෙන්ම නීතිය ආරක්ෂා කරනු ලබන පොලිසිය ඒ අතින් වඩාත් සංවර හා විනය ගරුක විය යුතුය.
පොලිස් කොස්තාපල්වරයාගේ පහර කෑමට ලක් වූ එක් තරුණයෙක් රෝහල්ගතව සතියකට අධික කාලයක් ප්‍රතිකාර ලැබුවේය. මේ වන විට ඔවුන්ටද අදාළව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ඉහත අප දැක්වූ රථවාහන වැරැදි සම්බන්ධයෙන් ඔවුන්ට නඩු පැවරීමට අදාළ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
එහෙත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිසි අවධානයකින් තොරව සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් විචාරකයන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් කිසිසේත්ම අනුමත කළ නොහැකිය.
පොලිස් නිලධාරියාගේ පහර දීම කිසි ලෙසකින් අනුමත කළ නොහැකිය.
එමෙන්ම අදාළ තරුණයන් විසින් සිදු කළ රථවාහනයන්ට අදාළ වැරැදි 4ක් සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන වරද ද එක් වූ කළ එය කිසිදු ලෙසකින් සාධාරණය කළ නොහැක්කකි. ඒ ගැන සොයා බලා හෝ කතා කිරීම සමාජ වගකීම් සහිත කාගේත් කාර්යයකි.
අවම බලය ලෙස පහරදීම් සිදු කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට වන්දි හා නඩු ගාස්තු ගෙවන ලෙස අධිකරණ තීන්දුවක් ලබා දුන්නේ පසුගිය සතියේය. එමෙන්ම පොලිස් නිලධාරීන්ට අදාළ චෝදනාද ඉක්මනින් විමර්ශනය විය යුතුය. ඒවා හමස් පෙට්ටියේ පල් නොවිය යුතුය. හයිලෙවල් පාරේ රෙස්ලින් රාලහාමිගේ නඩුවද එවැන්නකි. එසේ වුවත් පොලිස් නිලධාරීන් මෙලෙස කටයුතු කරන්නේ බොහෝ විට රියැදුරන්ගේ වරදින් හෝ අදාළ පුද්ගලයන්ගේ නොමනා ක්‍රියාවන් නිසා බවද අපට පෙනී යයි.
නිල ඇඳුම ඇද ගත්තද පොලිස් නිලධාරියාද ප්‍රායෝගිකව මිනිසකු බව අමතක නොකළ යුතුය. රෙස්ලින් රාලහාමි යැයි හැඳින් වූ පහර දුන් නිලධාරියා එසේ කටයුතු කෙළේ ඔහුගේ ස්ථානාධිපතිවරයාගේ අණ නොතකා පැමිණි රියැදුරකු ස්ථානාධිපතිවරයාද අනතුරට පත් කිරීමේන පසුවය. එම පහර දීමද අපි හෙළා දකින අතර ඔහුටද නීතිය ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමු.
ගැටලුව ඇත්තේ විනය නොරකින දෙපාර්ශ්වයටම නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක විය යුතු වුවත් ඇතැම් විට පොලිසියෙන් අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු නොවීමය. ඇතැම් විට පොලිසියට සාධාරණය ඉටු නොවීමය.