සංචා­ර­ක­යන් පිළිගන්න හෝටල් සූදානම් | සිළුමිණ

සංචා­ර­ක­යන් පිළිගන්න හෝටල් සූදානම්

සංචරණය යනු මානසික අවශ්‍යතාවයේ කොටසක් බව ලෝක පිළිගැනීමයි. මෙතෙක් කලක් ලෝක වසංගතය නිසා සිරවී කොටුවී සිටි මිනිසුන් සංචරණය ආරම්භ කොට තිබේ.

අපේ රටේ ජාතික ආදායමට විශාල බලපෑමක් එල්ල කරන සංචාරක කර්මාන්තය යළි පිබිදෙන්නට පටන්ගෙන තිබීම රටක් ලෙස සතුටු විය හැකි තත්ත්වයකි. එවැනි පසුබිමක් තුළ, සංචාරක ව්‍යාපාරයේ වර්තමානය සහ ඉදිරිය පිළිබඳ, ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් කිහිප දෙනකුගෙන් අප විමසුවෙමු.

ඒ පිළිබඳ, ජෙට්ව්න් හෝටල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ, ශිරෝමාල් කුරේ පැවැසුවේ මෙවැනි අදහසකි.

"ගෙවුණු අවුරුදු දෙකේ අපේ රටේ හුඟක් තරු හෝටල් 100%ක් නොවසා, අමාරුවෙන් නඩත්තු කරගෙන හිටියා. දැන් ලංකාවේ සේරම වගේ හෝටල් ලෑස්තියි සංචාරකයන් පිළිගන්න.

සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව සෞඛ්‍ය නීතිරීති පිළිබඳ දැන් හැමෝම වගේ දැනුවත්. ටිකෙන් ටික විදේශීය සංචාරකයනුන් එන්න පටන් අරන්. නොවැම්බර් වෙනකොට, 50%ක් වත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද, මේ වෙනකොට, අපේ රට වැක්සිනයෙන් බොහෝ දුරට සුරක්ෂිතයි කියන පණිවුඩය ලෝකෙට ගිහින් තියෙනවා.

ක්ෂේත්‍රයේ නියැළෙන බොහෝ අයට තිබෙන ප්‍රශ්නය තමයි බැංකු ණය නිසා හුඟක් හෝටල් හිමියන් අමාරුවේ වැටී සිටීම. සහන කාලයක් කියා දෙයක් දුන්නට පොලියට පොලිය එකතු වෙලා හෝටල් හිමියන් දැන් විශාල ලෙස අමාරුවේ වැටිලා. දිගුකාලීන ප්‍රතිව්‍යුහගත කර හෝ යම් ප්‍රතිශතයක් කපා හැර හෝ රජයෙන් මේ සඳහා සහන දිය යුතුයි.

දැනටමත් රුසියාව, ඉන්දියාව, ස්පාඤ්ඤය සහ ඇමෙරිකාව වගේ රටවලින් සංචාරකයන් එන්න පටන් අරන්. ලබන මාසය වන විට එංගලන්තයෙනුත් සංචාරකයින් ඒවි"

සංචාරකයන් ගෙන්වන්නන් ගේ සංගමය හෙවත් SLITO සභාපති, තිලක් වීරසිංහ පැවසුවේ මෙවැනි අදහසකි.

"සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති යටතේ සංචාරකයන් පිළිගැනීමට සහ බලාගැනීමට අදාළ ඒජන්තවරු සහ හෝටල් පද්ධතිය මේ මොහොතේ සූදානම්. ඒ වගේම ඔවුන් මේ සඳහා වගකීමෙන් බැඳී සිටිනවා. යුද්දෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය අවුරුදු අටක් ඇතුළත ලක්ෂ පහේ සිට මිලියන 2.2 දක්වා ඉතා වේගයෙන් ඉහළ නැග්ගා.

අපේ රටේ සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යාල, සීගිරිය වගේ තැන්වල තදබදය ඇති නොවීමට මේ මොහොතේ පටන් සාර්ථක ක්‍රමවේද සකස් කළ යුතුයි.

සමහර වෙලාවට අපේ රටේ සංස්කෘතික අරමුදලට ගෙවලා ටිකට් අරන් ඇතුළු වුණත් මේ ප්‍රදේශ ඇතුළේ තිබෙන පන්සල්වලට යන්න වෙනම ගෙවන්නත් සිද්ධ වෙනවා. ඒක අහපුවාම ඔවුන් කියන්නේ අපිට ඒවායේ සම්බන්ධයක් නැහැ, අපි ටිකට් කඩන්නේ පන්සලේ අභිවෘද්ධියට කියලයි. මේ සෑම ආයතනයක් ම අධිකාරියක් ම එකට එකතු වෙලා සාකච්ඡා කර, හරි තැනකට එන්න මේ තමයි හොඳම වෙලාව.

ජාත්‍යන්තර ඒජන්තවරු ලෙස ශ්‍රී ලංකාවේ වැඩ කරන පිටරට සමාගම් වල මුදල්, නැවත සියල්ල ඇදී යන්නේ, ඒ රටවලට ම පමණක් ද, කියන එක පිළිබඳවත් රජය අවධානය යොමු කළ යුතුයි.

සෑම වසරකම මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් 65%ක ප්‍රමාණයක් ගෙන්වන්නේ අපි. මේ සියලු පසුබැසීම්වලට පෙර, 2018 වසරේ අප ගෙන්වූ සංචාරක වටිනාකම, ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක්. මෙවැනි වටිනාකමක් රටට ගෙන ආවා කියලා ඒ මුළු මුදල සංචාරක නියෝජිත ආයතනවලට පමණක් ලැබෙන්නේ නැහැ. මේ මුදල් මේ රට පුරා සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින සෑම ක්ෂේත්‍රයක් අතරම බෙදී යනවා."

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ධම්මිකා විජේසිංහ පැවැසුවේ මෙවැනි අදහසකි.

"ගෙවුණු සති කිහිපයේ සංචාරකයන්ගේ පැමිණීම 50,000 දක්වා වර්ධනය වී තිබෙනවා; නමුත් මේ අය සතුටු විය හැකි තත්ත්වයක් නෙවෙයි.

මොකද, සංචාරක කර්මාන්තයෙන් සෘජු ආදායම් ලබන ලක්ෂ තුනක් පමණ සහ මිලියන තුනකට අධික ප්‍රමාණයක් අනියම් හෝ වක්‍රාකාරව යැපෙනවා. සැප්තැම්බර් 28 වැනිදා දක්වා තිබුණේ ජෛව බුබුළ යටතේ ක්‍රියාත්මක වීමක්. එයට අයත් වූයේ, සුදුසුකම්ලත් හෝටල්, නියෝජිත ආයතන, මඟ පෙන්වන්නන් සහ සංචාරක රියැදුරන් වැනි සීමිත පිරිසක් විතරයි.

මේ අයගෙන් පිට ආදායම බෙදී යාම සිද්ධ වුණේ ඉතාම අඩුවෙන්. ඉතින් අර සෘජු හා වක්‍ර ව යැපෙන පිරිසට සාධාරණයක් වුණා කියා හිතන්න අමාරුයි.

සතුටු වෙන්න පුළුවන් දේ තමයි ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් සුරක්ෂිතයි කියන පණිවිඩය ලෝකයට ගිහින් තියෙන එක. අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තැන එතැන. ඉදිරියට එන්නේ ශීත සෘතුව. පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් වූ විදේශීය සංචාරකයන්ට දැන් සම්පූර්ණයෙන් ම රට විවෘතයි. ඒ අය ජෛව බුබුළ තුළ සිටීම අවශ්‍ය නැහැ. ඔවුන්ට නිදහසේ එළියට යන්න පුළුවන්.

ඩිජිටල් මාධ්‍ය හරහා අපි මේ වන විට අපේ රටේ සංස්කෘතිකාංග සහ wildlife වැඩසටහන් හරහාත්, විදේශ දූත මණ්ඩල හරහාත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝකයට විවෘතයි, කියන පණිවුඩය රැගෙන ගියා.

ඒ වගේම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා සම්බන්ධ වෙලා රුසියාව, යුක්රේනය, ප්‍රංශය, සහ බ්‍රිතාන්‍ය වැනි බොහෝ රටවලට අපේ රට පිළිබඳ සුරක්ෂිතතාවේ පණිවුඩය සහ ප්‍රවර්ධනාත්මක තොරතුරුත් ජාත්‍යන්තරයට රැගෙන ගියා.

ලෝක සංචාරක සංවිධානය (WTO) මේ වන විට අපේ රටේ එන්නත්කරණය සහ සංචාරකයන් සඳහා ක්‍රියාත්මක ක්‍රමවේද පිළිබඳ පැහැදී, ශ්‍රී ලංකාවට safe travel මුද්‍රාව ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව එසේ safe travel මුද්‍රාව ලබා ගත් ආසියාවේ පළමු රටවල් කිහිපයෙන් එකක්.

වැදගත්ම දේ තමයි සංචාරක ක්ෂ්ත්‍රයේ නියැළී සිටින බොහෝ අය දැන් ණයකරුවන් වී සිටීම. අපේ බැංකු පද්ධතියෙනුත්, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයෙනුත් දිගින් දිගටම අපි ඉල්ලීම් කරනවා, මේ අයගේ ණය සඳහා පොලියට පොලිය එකතු කරන එක නතර කරන්න කියා. ණය සහනයක් දුන්නට වැඩක් නැහැ පොලියට පොලිය ගොඩගැහෙනවා නම්. පැහැදිලිව කියන්න ඕනේ මේ අයගේ ණය මේ විදියට ගොඩගැහෙන්නේ ඔවුන්ගේ වරදකින් නෙවෙයි. මේ ව්‍යසනය නොවන්නට, ඔවුන් ඉතාම හොඳින් ණය වාරික ගෙවා ගෙන ආ අය. දිගින් දිගටම මේ විදියට ගියොත් සංචාරකයන් ලංකාවට එන්න පටන් ගන්නකොට ණය බර දරාගත නොහැකිව ලංකාවේ හෝටල් ටික වැහිලා ගිහින් තියේවි.

අනෙක තමයි ජනතාවටත් යම් වගකීමක් තිබෙනවා මේ තරම් අමාරුවෙන් අපි සංචාරකයන් ගෙන්වා ගනිද්දී, ඔවුන් දෙස වපර ඇසින් නොබලන්නට. සමහර අය හිරිහැර කරදර නොකර, රටේ නම කැත වෙන ආකාරයේ වැඩ නොකර සිටින ලෙසත් අප ඉල්ලා සිටිනවා. ඔවුන්ට සිනහවකින් හෝ සංග්‍රහ කිරීමට හැකි නම් එය මේ රටේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඔබත් කරන උදව්වක්.

මේ විෂය පථය පිළිබඳ, ශ්‍රී ලංකාවේ සිටින එකම මහාචාර්යවරයා වන, කොළඹ විශ්වවිද්‍යාලයේ, සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුරංග සිල්වා දැක්වූයේ මෙවැනි අදහසකි.

"සෑම වසරකම ලෝකයේ බිලියන 1.7 ක ජනතාවක් සංචරණයේ යෙදෙනවා. මුළු ලෝක සේවා නියුක්තිකයන් ගෙන් 10% කුත්, මුළු ලෝකයේ ජාතික ආදායමෙන් 11% කුත් නිර්මාණය කිරීමට දායක වී තිබෙන්නේ ගෝලීය සංචාරක කර්මාන්තය.

අපේ රටේ ජාතික ආදායමට සංචාරක කර්මාන්තය 5% කින් දායක වුවත් එය වක්‍රාකාරව 10%ක් වන්නටත් පුළුවන්.

මෙවැනි පසුබිමක් තුළ, 2008 වසරේ මිලියන 2.3 ක විදේශ සංචාරකයන් ප්‍රමාණයක් මේ රටට ආවා. ඒ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක විදේශ විනිමය අදායමක් අපි රටක් හැටියට ඉපැයූවා. 2019 වසරේ lonely planet විසින් හොඳම සංචාරක ගමනාන්තයකට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළා. ඒ රටේ ආදායම 17%ක වර්ධන වේගයක් තිබූ වෙලාවක්. එය අඛණ්ඩව සිදු වුණා නම් අද සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය ඉපැයීම ඇමෙරිකානු ඩොලර් බිලියන 7- 8% දක්වා නැඟීමක් සිදු වන්නට ඉඩ තිබුණා.

අපි මොන තරම් කතා කළත් ලෝක සංචාරක කර්මාන්තයෙන් දකුණු ආසියානු රටවලට ඇදී එන්නේ 2% ක ප්‍රමාණයක් විතරයි.

මෙවැනි පසුබිමක් තුළ අපි කළ යුතු ප්‍රධානම දේ තමයි තව දුරටත් මුළු රටම වැක්සීනයෙන් සුරක්ෂිත කිරීම.

අනෙක් වැදගත් ම දේ තමයි, සංචාරකයන් ගෙන්වා ගන්නට අප සතුව ඇති ස්වාභාවික සම්පත. දේශීය ආයුර්වේදය, බුදුදහම, කෘෂිකර්මය, කාබනික වගාව, දේශීය කර්මාන්ත, සොඳුරු දසුන්. මෙවැනි සෑම අංශයක් ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කළ හැකි ක්‍රමවේදය මීට වඩා පුළුල් විය යුතුයි. මොකද සංචාරක ව්‍යාපාරය තමයි රටට විදේශ විනිමය ඉතා අඩු කලකින් ඉපැයිය හැකි ප්‍රධානම ක්‍රමවේදය.

ඊට සමගාමීව ප්‍රජා කේන්ද්‍රීය සංචාරක ව්‍යාපාරයත් දීප ව්‍යාප්තව පුළුල් කළ යුතුයි. ඒ සඳහා විශාල ඉල්ලුම් තෙරපුමක් ලෝකයේ ගොඩනැගෙමින් පවතිනවා. ලෝකයේ වැඩිහිටියන් වෙනුවෙන් ම ක්‍රියාත්මක senior tourism අපේ රටට ඉතා හොඳින් ගැළපෙන ක්‍රමවේදයක්. එය, හෙළ වෙදකම සහ බුදු දහම ඉතා හොඳින් මිශ්‍ර කළ හැකි අංශයක්. ඒ වගේම Green forest, clean air සහ blue water රටක් හැටියට ලෝක සංචාරක කර්මාන්තය තුළ අපිට හොඳින් ම ප්‍රවර්ධනය කළ හැකි තේමාවක්.

රජයේ අවංක අරමුණ රටක සමස්ත ජනතාව ගේ ආර්ථිකය නැංවීම නම් සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීමේ දී ලැබෙන ප්‍රතිලාභ සමානව නොව සාධාරණ ලෙස බෙදී යෑමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි..."


 

Comments