සෞභා­ග්‍ය­වත් අනා­ග­ත­ය­කට මුල­පු­රන සක­සු­රු­වම | සිළුමිණ

සෞභා­ග්‍ය­වත් අනා­ග­ත­ය­කට මුල­පු­රන සක­සු­රු­වම

සෑම වසරකම ඔක්තෝබර් මාසය ලොව පුරා අරපිරිමැස්ම, සකසුරුවම හා ඉතිරිකිරීම් පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරෙන කාලයයි.

රටක ආර්ථික හා සමාජ සංවර්ධනයට එම රටේ බැංකු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙයි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා ප්‍ර‍මුඛ මිශ්‍ර ආර්ථිකයක් සහිත රටක ශීඝ්‍ර‍ සංවර්ධනය උදෙසා බැංකු ක්‍රමය අතිශයින් වැදගත් මෙහෙවරක් ඉටුකළ යුතු අතර එම අපේක්ෂිත මෙහෙවර කෙතෙක් දුරට අප රටේ සමස්ත බැංකු පද්ධතියෙන් ඉටු වී තිබේද යන්න පිළිබඳ විමසීම වැදගත්ය.

රටක බැංකු ක්‍රමයකින් සිදුවිය යුත්තේ රට වැසියන්ගේ ඉතිරි කිරීම ප්‍ර‍වර්ධනය කරමින් අවශ්‍ය අංශ වෙත ණය පහසුකම් සලසමින් එරට සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීමයි. එසේ වුවද, වර්තමානයේ අප බැංකු පද්ධතියෙන් එම කාර්‍යයභාරය නිසිපරිදි ඉටුවේද යන්න පිළිබඳ ආපසු හැරී බැලීම වැදගත්ය. ජනතාව අවිධිමත් ණය සපයන්නන්ගේ ග්‍රහණයට හසු වීමත්, ගමේ ඉතිරිකිරීම් ගමට අයෝජනය නොවීමත්,සංවර්ධනයට අහිතකර ලෙස බලපාන අතර හතු පිපෙන්නාක් මෙන් පිපී පර වී යන මූල්‍ය සමාගම්වලින් ආර්ථිකයට හා සමාජයට සිදුවන හානිය පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුය.

මූල්‍ය ආයතනවල සාම්ප්‍ර‍දායික ව්‍යාපාරික කාර්යය වන්නේ මුදල් ඇති අයගෙන් තැන්පතු ලෙස මුදල් බාර ගැනීමත්, මුදල් අවශ්‍ය අයට ණය හා අත්තිකාරම් සැපයීමත් ය. එහෙත් රටක් ආර්ථික හා සාමාජයීය වශයෙන් සමෘද්ධිමත් කිරීමට නම් බැංකු පද්ධතිය මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කළ යුතු අතර අපරපිරිමැස්ම, සකසුරුවම හා නව්‍ය ඉතුරුම් ක්‍රම මෙන්ම මුදල් ආයෝජන පිළිබඳව රටේ සමස්ත ජනතාව දැනුවත් කළ යුතුය. විශේෂයෙන්ම, සකසුරුවම හා අරපිරිමැස්ම මගින් මුදල් ඉතිරි කරගන්නා විද්‍යාත්මක ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් කුඩා කල සිටම මුදල් ඉතිරි කිරීමට ජනතාව පුරුදු පුහුණු කිරීම බැංකු සතු ප්‍ර‍මුඛ කාර්යයකි.

රටක ජනතාව සකසුරුවමින් ඉමහත් දුෂ්කරතා මැද දුක් මහන්සියෙන් උපයා සපයා ගන්නා ආදායම් ඉතිරිකිරීම් වශයෙන් බැංකු ක්‍රමයට උකහා ගැනීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බැංකු පද්ධතිය කටයුතු කළ යුතුය.

ලෝක බැංකුවේ වාර්තාව මගින් මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3%ක් වනු ඇති බවට පුරෝකථනය කර ඇත. ඔවුන් දක්වන පරිදි කෝවිඩ් 19හි දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස අප හඳුන්වා දී ඇත.

අන්තර්ජාතික මුල්‍ය අරමුදල එහි ලෝක ආරථික දැක්මට අනුව 2025 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන101.44ක් දක්වා වර්ධනය වනු ඇතියි පුරෝකථනය කර ඇත. ඉන්දියාවේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 4,084.69 ක් දක්වාත්, දකුණු ආසියාවේ නැගී එන ආර්ථිකය ලෙස බංගලාදේශය ඇමරිකානු ඩොලර් බිලියන 516.24ක් ලෙස පිලිපීනය (ඇ.ඩො.බි.506.6), නෝර්වේ (ඇ.ඩො.බි.497.55), ඩෙන්මාර්කය (ඇ.ඩො.බි.484.38), එක්සත් අරාබි එමිරේට්ස් (ඇ.ඩො.බි.480.03), සිංගප්පූරුව(ඇ.ඩො.බි.461.51) හා හොන්කොන් (ඇ.ඩො.බි. 452.10) යන රටවල් පසු කරමින් වර්ධනය වනු ඇත.

ගෝලීය වසංගතයක් වූ කෝවිඩ් 19 රෝගය අපට දුන් වැදගත්ම පණිවිඩය නම් මෙම වයිරසය සමාජ තල, දුප්පත් පොහොසත් භේද, ජාති, ආගම් හෝ රටවල දේශ සිමා නොතකන බවයි. අප එකිනෙකාට උදව් කර ගනිමින් නිශ්චිතවූ සැලසුම්සහගත වැඩපිළිවෙලකට අනුගතවීම තුළින්ම පමණක් මේ කෝවිඩ් වසංගතය හා ඉන් පැනනැගී ආර්ථික හා අනෙකුත් සමාජීය අභියෝගයන් සාර්ථකව ජයගත හැකි බව ලොව දියුණු රාජ්‍යයන් පෙන්වාදී තිබෙනවා. අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. වර්තමානයේ ලොව පුරා මෙන්ම අප රටේද ඇතිවී තිබෙන ආර්ථික අවිනිශ්චිතභාවය නිසා මෙම ව්‍යවසායකයින් හා පවුල් ඒකක දැඩි පීඩනයකට ලක්වුණා. එම අවස්ථාවේදී රටේ ජනතාව මෙම ආර්ථික උවදුරින් ගලවා ගැනීම‍ට පළමුවෙන්ම ඉදිරියට ආවේ ශ්‍රී ලාංකා මහා බැංකුව ඇතුළු අප රටේ බැංකු පද්ධතියයි. 2020 වසරේ සිට අප අද මුහුණදෙමින් සිටින කොවිඩ් 19 සිව්වැනි රැල්ල දක්වා වූ කාලසීමාවන් තුළ ශ්‍රී ලාංකීය ජනතාව බැංකු හා මුල්‍ය පද්ධතීන් වෙතින් ලබා ගෙන ඇති ණය ගෙවීම සඳහා සහනදායි ක්‍රමවේදයන් ලබා දීමට දිගින් දිගටම කටයුතු කර තිබෙනවා (2021 මැයි 15 දින සිට සිවුවන ණය සහන කාලසීමාව ලබා දීම සිදු කෙරෙනවා). මෙකී ණය සහන ලබා දීම බැංකු පද්ධතියට යම් තරමින් හානිදායක වුවද එමගින් ගනුදෙනුකරුවන් වෙත මූල්‍යමය සහනයක් මෙන්ම රටේ ආර්ථිකය හා ජිවනොපයන් නැවත පණගැන්වීමටද දායකවූ බව අපගේ අදහසයි. එන්නත්කරණයේ සිඝ්‍රතාව තුළින් හා සෞඛ්‍ය අංශයන්හි කැපවීම තුළින් නැවතත් අප රටේ සියලු අංශ රටේ උන්නතිය වෙනුවෙන් 100%ක දායකත්වය ලබා දෙන දිනය 2022 වසරේ උදාවනු ඇති බව අපගේ විශ්වාසයයි.

මූල්‍ය කේෂ්ත්‍රයේ ප්‍ර‍මුඛතම ඉතිරිකිරීමේ පෙරගමන්කරුවා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව , සමස්ථ රටවැසියන් වෙනුවෙන්ම සිය යුතුකම් ඉටුකිරීමට කැපවී ක්‍රියා කරන බව යළි යළිත් සිහිකැඳවිය යුතුය. ජාතියටම ඉතිරිය කියාදීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ස්ථාපිත ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය අඩ සියවසේ ස්වර්ණ ජයන්තියට 2022 වසරේ දී එළැඹෙන අතර, අපට පමනක් නොව මේ යුගය සැමට සෞභාග්‍යවත් කාලයක් බවට පත්කිරීමට දිරියෙන් කටයුතු කරන්නට දැනටමත් අනාගත සැළසුම් සකසා ඇති බවත් සදහන් කර සිටිමු .

කේෂිලා ජයවර්ධන

සභාපති - ජාතික ඉතිරිකිරීමේ බැංකුව

Comments