අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝ­කයේ මුල් පුටු­වට මුල්ව­රට පත් වූ සනූජා | සිළුමිණ

අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝ­කයේ මුල් පුටු­වට මුල්ව­රට පත් වූ සනූජා

වැඩභාර ගනිමින්
වැඩභාර ගනිමින්

 

ම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය දකුණු පළාතේ පිහිටි කීර්තිමත් පාසලකි. වසර 109ක ඉතිහාසයකට උරුමකම් කියන ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරයට පළමුවරට කාන්තාවක් පත්ව සිටින්නීය. ඕ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක් වන කිඹියගේ සනුජා හර්ෂණි ජයවික්‍රමයි. සනුජා ජයවික්‍රමගේ පවුල හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර ඇත්තේ වෙන් කළ නොහැකි තරමේ බැඳීමකි. සනුජා ජයවික්‍රම ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවියකි. එපමණක් නොව සැමියා වන ඩී. ඩබ්ලිව් ගාමල් ප්‍රියන්ත ද සැමියාගේ පියා ද ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුහු වෙති. ගාමල් ප්‍රියන්ත අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

 

ජයවික්‍රම විදුහල්පතිනිය දරුවන් තිදෙනෙකුගේ මවකි. වැඩිමහල් දියණිය ඩී. ඩබ්ලිව් මිනුරි හිරුණිකා නිති උපාධිය හදාරන සිසුවියකි. ඇය විද්‍යාවේදි උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලබා සිටින්නීය. ඇය ද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවියකි. පවුලේ මද්දුමයා වන ඩී.ඩබ්ලිව් සුනාල් දිමිත් ධර්මාශෝක විද්‍යාලයේ උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබන අතර; බාල පුතු තිසල් විරුජය 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සඳහා පළමුවරට විදුහල්පතිනියක් ලෙස පත්ව සිටින සනුජා හර්ෂණී ජයවික්‍රම පාසලේ 23 වැනි විදුහල්පතිනිය වන්නීය.

ඇය පළමු පන්තියේ සිට උසස්පෙළ දක්වා ධාර්මාශෝක විද්‍යාලයෙන් සිප්සතර හදාරන්නී ය. ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත්ව ඇති ඕ අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින්නේ විද්‍යා විෂය ධාරාවෙනි. රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයෙන් කෘෂිකර්ම ගෞරව විද්‍යා‍වේදි උපාධිය හිමි කර ගන්නා ඇය විද්‍යා ගුරුවරියක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසියාය.

ඇය 88 - 89 භිෂණ සමයේ දී මාතර දෙයියන්දර ජාතික පාසලේ විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. ඉන්පසු ඕ අම්බලන්ගොඩ ප්‍රජාපති විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබ පැමිණ ඒ පාසලේ විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරන්නීය. ගුරු වෘත්තියේ යෙදී සිටින අතරතුරේ ඇය 2006 වර්ෂයේ දි අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සඳහා පෙනී සිටින්නී ය. ඒ විභාගයෙන් ඇය ලංකාවෙන්ම 24 වැනියා ලෙස විභාගය සමත් වන්නීය. එපමණක් නොව සනුජා ජයවික්‍රම අධ්‍යාපන පරිපාලන සේවයේ තොරතුරු හා කෘෂිකර්ම විෂයයන්වලින් ලංකාවෙන්ම පළමු ස්ථානයට පත්වූවාය.

ප්‍රධාන ශිෂ්‍ය නායක හා නායිකාව සමඟ

ඉක්බිති ඇය වසර 13ක ගුරු සේවයට සමු දෙමින් 2007 වර්ෂයේ දි අධ්‍යාපන පරිපාලන සේවයට පිවිසියාය. 2007 වර්ෂයේ මාර්තු මස 12 වැනි දින ඇය ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන්නීය. එහි ටික කාලයක් සේවය කරනු ලබන සනුජා ජයවික්‍රම 2013 වර්ෂය දක්වා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ විෂය හා සැලසුම් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළාය. 2013 වර්ෂයේ දි ඇය අම්බලන්ගොඩ ප්‍රජාපති විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්වන්නීය. වසර හයක් කාලයක් ඒ පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන සනුජා ජයවික්‍රම ඒ කාලය තුළ පාසල් දරු දැරියන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා මෙන්ම පාසලේ භෞතික සංවර්ධනය සඳහා සුවිශේෂි වූ කාර්යභාරයක් සිදු කරන්නීය. මේ අතරතුර ඇය අධ්‍යාපනපති පශ්චාත් උපාධිය ද ලබා ගන්නීය. ඉක්බිති ඇය මුලටියන හා ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළාය. මේ කාලයේ දි ජාතික පාසල්වල පුරප්පාඩුව පැවති විදුහල්පති තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ සමතුන් සම්මුඛ පරික්ෂණවලට කැඳවා තිබුණි. ඇය ජාතික පාසලක විදුහල්පතිධුරය දැරීම සඳහා ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා තිබූ අතර ඕ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිධුරය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය මත රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් පත්කොට තිබුණි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පළමු කාන්තා විදුහල්පතිනිය ලෙස ඇය ඉකුත් දා වැඩ බාර ගත්තාය. සනුජා ජයවික්‍රමගේ මව වන සන්ධ්‍යා ජයවික්‍රම ද විශ්‍රාමික විදුහල්පතිනියකි. ඇය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. ඇය මාදම්පාගම කුමාර කනිෂ්ඨ විද්‍ය­ාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ගොස් ඇත. පියා වන රිචඩ් විලියම් විශ්‍රාමික ග්‍රාම නිලධාරියකි.

‘මගේ පියා ජිවතුන් අතර නැහැ; මව ජීවත්ව ඉන්නවා. ජාතික පාසල්වල පළමු ශ්‍රේණියේ විදුහල්පති තනතුරු සඳහා තමයි සම්මුඛ පරික්ෂණ තිබුණේ. මාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිධුරයට තමයි පත්කරලා තිබුණේ. ඇත්තටම ජාතික පාසලක විදුහල්පතිධුරය දැරීම අභියෝගාත්මක කාර්යයක්. නමුත් මම ගොඩක් සතුටු වෙනවා; මා ඉගෙනුම ලැබු ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්වීමට ලැබීම ගැන. පැයක පමණ සම්මුඛ පරික්ෂණයක් තිබුණා. පරික්ෂණ මණ්ඩලයේ හිටපු අය මගෙන් විවිධ අයුරින් ප්‍රශ්න කළා. මා එම ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය හා මගේ සුදුසුකම් අනුව තමයි මට මෙම තනතුරු ලැබෙන්න ඇත්තේ. ඒ විතරක් නෙවෙයි මා ගුරුවරියක් ලෙස, විදුහල්පතිනියක් ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ තුළින් ලබා ගෙන ඇති අත්දැකිම් සමඟ මට මේ අභියෝගය ජයගන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා.

21 වැනි සියවසට උචිත වන ආකාරයේ දරුවකු බිහි කිරීම සඳහා පාසල් තුළ සංවර්ධන කළයුතු අංශ පිළිබඳ සැලකිලිමත් වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය තමයි පළමුවැනි තැන. ක්‍රීඩා කටයුතු හා විෂය සමාගාමි කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරනවා. ගණිත සංකල්පය යන

පවුලේ අය

තේමාව යටතේ විශේෂ වැඩසටහනක් පාසලේ දියත් කරනවා. එමෙන්ම ඉංග්‍රීසි විෂයය භාවිතය පිළිබඳ මෙන්ම දරුවන් සඳහා උපදේශන වැඩසටහන් කිරිමට සැලසුම් කර තියෙනවා. පාසලේ සෑම දරුවෙක්ම එක් ක්‍රීඩාවක් කළ යුතුයි. ඒ සඳහා දරුවන් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වසංගතය නිසා පාසල් දිගු කාලයක් වසා තිබුණා. දරුවන් මානසික වශයෙන් සකස් කිරිම හා අධ්‍යාපන පද්ධතිය සඳහා දරුවන් ඇතුළත් කිරිමේ වැඩපිළිවෙළක් තමයි මේ දිනවල පාසල් තුළ ක්‍රියාත්මක වන්නේ දරුවන් ජාතික විභාග සඳහා සුදානම් කිරීමේ කටයුතු සිදු කරනවා. කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු දරුවන්ගේ පැමිණීම ඉතා හොඳයි. ගුරුවරුන් ඉතා උනන්දුවෙන් ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙනවා. මේ කටයුතු සඳහා සහකාර විදුහල්පති, ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍යනායක මණ්ඩලය විශාල සහයෝගයක් ලබා දේවි කියා මා බලාපොරොත්තු වෙනවා යැයි විදුහල්පතිනිය කීවාය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 1913 වර්ෂයේ දි ආරම්භ කොට ඇති අතර ආචාර්ය මණ්ඩලය 214කි. සිසු දරු දැරියන් 5080 දෙනෙකු මෙකී පාසලේ ඉගෙනුම ලබති. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය මගින් දීප්තිමත් ආදි සිසු සිසුවියන් රැසක් ජාතියට දායාද කොට ඇත. දකුණු පළාතේ ඇති කීර්තිමත් පාසලක් වන අම්බලන්ගොඩ ධර්මාශෝකය පරිපාලනය පාසල් ඉතිහාසයේ පළමු වතාවට කාන්තා විදුහල්පතිනියකට හිමිවී ඇත. මෙකී විදුහල්පතිනිය තිදරු මවකි. ප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ කියමනකට අනුව "ලෝකය නිර්මාණය වන්නේ මවගේ කිරිත් හිරුගේ කිරණත්" එකතුවෙනි. ඒ වදනෙන් සනාථ වන්නේත් සොබාදහමත් මවත් ලෝකයට ජීවය ලබා දෙන බවයි. නැපෝලියන් ප්‍රකාශ කළ පරිදි "තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි" ඒ කියමන යථාර්ථායක් බවට පත්කරන්නට සනුජා හර්ෂණි ජයවික්‍රම විදුහල්පතිනියට වාසනාව ලැබෙවා යන්න අපගේ පැතුමයි.

Comments