උණ­ව­ටු­නෙන් වැටෙන සංචා­රක අරු­ණැල්ල | සිළුමිණ

උණ­ව­ටු­නෙන් වැටෙන සංචා­රක අරු­ණැල්ල

 

පාස්කු ප්‍රහාරයෙන් බැට කෑ උණවටුන සංචාරක කලාපයේ හෝටල් හිමියන් හා ව්‍යසායකයන් කොවිඩි වසංගතය නිසා දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. උණවටුන සංචාරක කලාපයට වැඩි වශයෙන් විදේශිය සංචාරකයන් පැමිණෙන්නේ දෙසැම්බර් හා ජනවාරි යන මාසවලදීය.

 

කොවිඩි වසංගතය පැවතියද මේ වනවිට උණවටුන සංචාරක කලාපය වෙත විදේශිකයන් ඉතා කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණිමට පටන්ගෙන තිබේ.

ඒ විතරක් නොව ඇතැම් හෝටල් සඳහා විදේශිය සංචාරකයන්ගෙන් ඇණවුම් පවා ලැබී තිබේ. ඔවුහු අන්තර්ජාලය හරහා හෝටල්වල කාමර වෙන්කර ගැනීමට කටයුතු කරමින් සිටිති.

යළිත් වතාවක් උණවටුන සංචාරක කලාපයට හොඳ කලදසාවක් උදාවන ලකුණු පෙනේනට තිබේ. උණවටුන සංචාරක කලාපයේ හෝටල් හිමියන් හා ව්‍යවසායකයන් බලාපොරොත්තු සහගතව යළි සංචාරක කර්මාන්තයේ නිරත වීමට සුදානමින් පසු වෙති. උණවටුන වූ කලී දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. ආචාර්ය ආතර් සි. ක්ලාක් පවසන ආකාරයට මෙකී වෙරළ තිරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන් ඒකකි. කවාකාර හැඩයකින් යුතුව වෙරළ තීරය පිහිටා ඇත්තේය. උණවටුන වෙරළ තිරයේ අසිරිය විඳ දරා ගැනීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සැම සංචාරක සමයක ම පාහේ යළි උණවටුනට පැමිණීමට අමතක නොකරති. ඒතරමට ඔවුහු උණවටුන වෙරළ තිරයට වහ වැටී ඇත්තේය.

පසුගිය දිනක අපි උණවටුන සංචාරක කලාපයේ සංචාරය කළෙමු. විදේශිකයන් කිහිප දෙනෙකු උණවටුන වැල්ලේ විනෝද වන අයුරු අපිට දැකගත හැකි විය. රුසියානුවන් කොරෝනාවලට බය නැහැ. ඔවුන් වෙනදා වගේ නෙමෙයි අතපය දිග හැරලා වියදම් කරනවා. අපිත් සමඟ ගිය සංචාරක මඟ පෙන්වන්නකු කිවේය. කෙසේවුවද උණවුටන වෙරළ තිරය වෙනදා මෙන් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගොස් නොතිබුණි. එහෙත් විදේශීය සංචාරකයන් එක්කෙනා දෙන්නා වෙරළ තිරයේ ඇවිද යමින් එහි අසිරිය විඳ ගනිමින් සිටියහ.

උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් රිදිවිලා හෝටලයේ හිමිකරු සුමිත් උබේසිරි අපිට හමුවිය. ඔහු එළඹෙන සංචාරක සමය ගැන බලාපොරොත්තු සහගතව අපි සමඟ කතාවට වැටුණේය. සංචාරක සමය සඳහා අපි සුදානම් වෙලා ඉන්නේ. අපේ බලාපොරොත්තුවක් තියෙනවා දෙසැම්බර් මාසය වනවිට විදේශීය සංචාරකයන් පැමිණේවි කියලා. රුසියානු ජාතික විදේශිකයන්ගෙන් අපිට ඇණවුම් ලැබිලා තියෙනවා. මෙම මස 20 වැනිදා සිට රුසියානු සංචාරකයින් අපේ හෝටලයේ කාමර වෙන්කරවා ගෙන තියෙනවා. වෙනදා ඔවුන් හෝටල් කාමර වෙන්කරවා ගන්නේ දින දෙකකට තුනකට. නමුත් මෙවර ඔවුන් සති දෙකක කාලයක් සඳහා කාමර වෙන්කරවා ගෙන තියෙනවා. එක හොඳ දෙයක්. යුරෝපිය රටවල සංචාරකයින් මෙන් රුසියානු ජාතික විදේශිකයන් හොඳට මුදල් වියදම් කරනවා.

කෙහොම වුණත් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් රස්තියාදු කිරීම හොඳ දෙයක් නෙවෙයි. කොවිඩි එන්නත් දෙකම කර ඇත්නම් විදේශිකයන් කඩනමින් අදාළ හෝටලය වෙත යොමු කළ යුතුයි. දැනට මෙරට සිට මොස්කව් දක්වා එක් ගුවන් ගමනක් පමණයි ක්‍රියාත්මක වන්නේ. සතියකට ගුවන් ගමන් දෙකක්වත් ක්‍රියාත්මක කළ යුතුයි. රුසියානු ජාතිකයන්ට ඉංග්‍රිසි භාෂාව බැහැ. මේ නිසා ගුවන්තොටුපොළේ දි මොවුන් අතරමැදි තැරැව්කරුවන්ට හසු වෙනවා. එය වැළැක්වීමට කටයුතු කළ යුතු වෙනවා.

උණවටුණ තම්බපණ්ණි හෝටලයේ කළමණාකරු ප්‍රියන්ත කාරියවසම් පවසන්නේ මෙවැන්නකි. නොවැම්බර් දෙසැම්බර් මාසය වන විට සංචාරක කර්මාන්තය සියයට 30ක් 40ක් විතර හරියාවි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. රුසියානු ජාතික සංචාරකයන් නම් දැනටත් එනවා. අපේ හෝටලයේ දේශිය සංචාරකයන් ද පිරිසක් ඉන්නවා. මේ වනවිට ජර්මනිය, ඇතුළු යුරෝපිය රටවල විදේශිය සංචාරකයන්ගෙන් බුකින් ලැබෙමින් තියෙනවා. අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කොවිඩි වසංගතයෙන් පසු යළි සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වේවි කියලා. කොවිඩි වසංගතය හමුවේ වුවද කිසිදු සේවකයකු ඉවත් නොකර අපි හෝටලයේ කටයුතු කරගෙන යනවා යැයිද කාරියවසම් කීවේය.

වමේ සිට චමිර ද සිල්වා, කුසුම්සිරි විජේනායක, සුමිත් උබේසිරි, නිතීඥ රුපසේන කොස්වත්ත, එච්.කේ නිල් සහ සමිර සේනක ද සිල්වා

උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් හා ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නිතිඥ රුපසේන කොස්වත්ත මෙසේ පැවසීය. මේ වනවිට උණවටුණ සංචාරක කර්මාන්තය බිංඳුවට වැටිලා තියෙන අවස්ථාවක් තමයි මේක. නමුත් අපි උණවටුණේ සංචාරක කර්මාන්තය ගැන ධනාත්මකව තමයි හිතන්නේ. දෙසැම්බර් මාසය වනවිට උණවටුණේ සංචාරක කර්මාන්තයේ යම්කිසි ප්‍රවර්ධනයක් ඇතිවේවි කියා අපේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා.

මේ වනවිට රුසියානු යුක්රෙන් හා ඒ අවට රටවල සංචාරකයන් හා එංගලන්ත සංචාරකයන් උණවටුණ පැමිණීමට යම්කිසි උනන්දුවක් දක්වන බව අපිට පෙනී යනවා.

රජයටත් අවශ්‍යතාවක් තියෙනවා විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීමට. උණවටුන සංචාරක ව්‍යාපාපාරය ගත්විට සියයට අනුවක් ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්. උණවටුන ගම්මානයේ ගම්මුන්ගෙන් සියයට 99ක් විතර සංචාරක කර්මාන්තයේ නිරත වෙලා ඉන්නේ. පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු සංචාරක කර්මාන්තය 2019 වර්ෂයේ දෙසැම්බර් මස යම්කිසි ප්‍රගමනයක් ලැබුවා. නමුත් කොවිඩ් සමඟ කඩා වැටුණා. යළි සංචාරක කර්මාන්තය ආරම්භ කිරිමේ දි සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු ගැන සොයා බැලිය යුතුයි. එහෙම සොයා බැලීමේ වැඩපිළිවෙළක් නැහැ. සංචාරක ව්‍යාපාරිකයන් සඳහා යම්කිසි ණය සහනයක් හඳුන්වා දුන්නා. නමුත් එතුළින් වෙලා තියෙන්නේ ඔවුන් කබලෙන් ලිපට වැටීම. මේ සංචාරක ව්‍යවසායකයන්ගේ ණය බර දිගින් දිගටම වැඩිවෙලා තියෙනවා. දැනට වසර දෙකක කාලයක සිට සංචාරක හෝටල් හිමියන් හෝටල් වසා දමලා තියෙන්නේ. උණවටුණ සංචාරක කලාපයේ සුළු පරිමාණ හෝටල් හිමියකු වන එච්.කේ නිල් (43) කියන්නේ මෙවැනි කතාවකි.

ඇත්තටම උණවටුණේ සංචාරක කර්මාන්තය ගැන අපිට දුකයි. පාස්කු ප්‍රහාරයත් සමඟ උණවටුණ සංචාරක කර්මාන්තයේ නිරතවුවන් ගැටලු රැසකට ලක්වුණා. නමුත් මේ දක්වා අපේ ගැටලුවලට විසඳුම් ලබාදීලා නැහැ. බැංකු ණය අරගෙන තියෙනවා. නමුත් ඒ සඳහා කිසිදු සහනයක් නැහැ. බැංකුවලින් කියන්නේ වාරික ගෙවන්න අලුතෙන් ණයක් දෙනවා කියලා.

මේ නිසා අපි තවත් ණය උගුලක හිර වෙනවා. සංචාරක මණ්ඩලය මගින් දැනට දමා තියෙන නිතිරිති ලිහිල් කළ යුතුයි. විදේශීය සංචාරකයන්ට තමන්ට කැමති හෝටල්වලට යාමට අවස්ථාව ලබා දිය යුතුයි. සංචාරක මණ්ඩලය මගින් විදේශිය සංචාරකයන් සිටිය යුතු හෝටල් නම් කිරිම සුදුසු නැහැ. තරුපහේ හෝටලයක සිටින සංචාරකයන් කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල්වලට එන්නේ නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල්වල ඉන්න සංචාරකයා තරුපහේ හෝටල්වලට යන්නේ නැහැ. මෙරටට පැමිණෙන විදේශිය සංචාරකයන් වියදම් කරන මුදලක් තියෙනවා. ඒ අනුව තමයි ඒ අය වැඩ කරන්නේ. අපි රජයෙන් යැපෙන අය නෙවෙයි. අපි රජයට බදු ගෙවලා රජයටත් උදව්වක් තමයි කරන්නේ.

හොටල් හිමිකරුවකු වන සමිර සේනක ද සිල්වා මෙසේ පැවසීය.

කොරෝනා වසංගතයත් සමඟ උණවටුන සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් හිමියන් දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. ණය ගෙවාගන්න බැරිව ලිසිං ගෙවාගන්න බැරිව ව්‍යාපාරිකයන් අසරණ වෙලා. ආණ්ඩුව සහන දෙනවා කීවාට අපිට කිසිදු සහනයක් ලබාදීලා නැහැ. අසහනයක් තමයි වෙලා තියෙන්නේ. අපි බැංකුවලින් ලිසිං ආයතනවලින් ගත්තු ණයවල වාරිකවලට පොලියක් අය කරනවා. සංචාරක කර්මාන්තය බිංදුවට වැටිලා තියෙන්නේ. ඉදිරියේ දි උණවටුනට විදේශීය සංචාරකයන් පැමිණෙවි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. දැනට අබලන්ව ජරාවාසවී ඇති හෝටල් යළි අලුත්වැඩියා කිරිම සඳහා සහනදායි ක්‍රමයට අපිට ණය මුදලක් ලබා දිය යුතුයි.

කුසුම්සිරි විජේනායක (50) උණවටුන සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයෙකි.

උණවටුන සංචාරක කලාපයේ සම්බාහන මධ්‍යස්ථාන 30ක් විතර තියෙනවා. අපි නිත්‍යානුකුලව තමයි මෙම කටයුතු කරගෙන යන්නේ. බලපත්‍රයක් අරගෙන ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරලා තමයි සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ.

මෙකී සම්බාහන මධ්‍යස්ථානවල සියයක් විතර සේවය කරනවා. නමුත් මේ වනවිට විශාල පිරිසකට රැකියා නැතිවෙලා තියෙනවා. උණවටුන සංචාරක කලාපයේ කිමිදුම් උපදේශකවරයකු ලෙස කටයුතු කරන මලිත් පල්ලියගුරු (42) බලාපොරොත්තු සහගතව සංචාරක කර්මාන්තය ගැන කතා කළේය.

ඉන්දියානු හා රුසියානු ජාතික විදේශිය සංචාරකයන් නම් දැන් ටික ටික උණවටුනට පැමිණෙනවා. අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා උණවටුනේ සංචාරක කර්මාන්තයට නැවත වතාවක් හොඳ කලදසාවක් උදාවේවි කියලා. පසුගිය කාලයේ නම් රුපියල් දහසක්වත් හොයාගන්න බැරිවුණා. විදේශිය සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා පාපැදි හා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන චමිර ද සිල්වා කතා කළේ දැඩි කලකිරිමෙනි. සංචාරක ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ආණ්ඩුවෙන් කියන කතාන්දර නම් කෙරෙන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරයෙන් තමයි සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම ආරම්භ වුණේ. බැංකුවලින් ගත් ණය සඳහා වසර තුනක කාලයක් තුළ මට රුපියල් ලක්ෂ 10ක පොලී ගෙවන්න කියලා ලියුම් ඇවිල්ලා තියෙනවා. පොලි මුදලටත් සියයට 7ක පොලියක් එකතු කරනවා.

 

Comments