
“ඈගල්ල ලෙන් විහාරයේ මෑත කාලීනව කලුගල්වලින් හදපු චෛත්‍යයක් තිබෙනවා. ඒක නැවත හදන්න අපි පසුගිය විසිඑක්වැනිදා මුල්ගල් තැබුවා. ඊට අමතරව ධර්ම ශාලාවක් ද ඉදිකරනවා. මේ ස්ථානය ජරාවාස වීමට නොදී නැවතත් බෞද්ධයන්ගේ මුඳුන්මල්කඩක් කරන්නයි මට ඕනෑ. කවුරු බාධා කළත් මේ වැඩ පිළිවෙළ නවත්වන්න බැහැ. මේක අපේ සාසන වගකීමක්.'' ඒ තිර හඬ ඈගල්ල ලෙන් විහාරයේ වැඩවසන ධම්මසුජාත හිමියන්ගේය.
![]() |
වමේ සිට- කහඳවැලිපොත ධම්ම සුජාත හිමි, කෑගල්ල දිසාපති මහින්ද එස්.වීරසූරිය, ගල් කොරියේ හිමිකරු ඩබ්ලිව්.විජේවීර, වර්තමානයේ ගල් කොරියේ පාලනය බාරව සිටින ඩබ්ලිව්.සුමින්ද කුමාර බෙලිගල හිටපු පුරාවිද්‍යා නිලධාරි උදයකාන්ත ජයසිංහ |
මෙම වෙහෙරගල කටාරම් කෙටූ ලෙන ආශ්‍රිත ලෙන් විහාරය ඈගල්ල ලෙන් විහාරයයි. මෙම ලෙන් විහාරය සහිත භූමිය 2002.11.22 දින අංක 1264 දරන රජයේ ගැසට් පත්‍රයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස සඳහන් කර ඇත. මෙම කටාරන් සහිත ලෙන හා නටබුන් සහිත භූමිය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞකො/විහාදේ/21/18/102 යටතේ ලියාපදිංචි වූවකි.
මෙම ලෙන් විහාරයේ දැනට වසර දෙකක පමණ සිට කහඳවැලිපොත ධම්මසුජාත හිමියෝ වැඩ වසති. උන්වහන්සේගේ එකම අරමුණ මෙම ලෙන් විහාරය ආශ්‍රිත පෙදෙස යළි ප්‍රතිසංස්කරණය වනු දැකීමය. ලෙන් විහාරය පිහිටි ගල් පර්වතය සමීපයේ පවත්වාගෙන යන ගල් කොරියෙන් සිදුවන හානි සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත යොමු කළ ලිපි ඇතුළත් ලිපිගොනුවක් ද ඉදිරිපත් කරමින් උන්වහන්සේ පවසන්නේ මෙවැන්නකි.
''මේ ගල්කොරිය පවත්වාගෙන යන්නේ මූකලාන නමැති ඉඩමේ. ඒ ඔප්පුවල තිබෙන්නේ නැඟෙනහිරට මූකලාන, බස්නාහිරට මම වැඩ සිටින වේරගල මහ ගල. මේ කඩන්නේ මූකලාන ගල. දවසකට බෝර විසි පහකට වඩා දමනවා. මේ ගල් කොරිය පවත්වාගෙන යන්නේ භූ විද්‍යා එකේ නිර්දේශ උල්ලංඝනය කරලා. මායිම් කරලා තියෙන සීමාවට මීටර් පහක් අත්හරින්න ඕනෑ. ඒත් ඒ මායිමටම ගල කඩා තිබෙනවා. මේ ගල් කොරිය සම්බන්ධයෙන් මම ලිඛිතව පැමිණිලි කළාම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිතුමා ඇතුළු නිලධාරින් මේ ස්ථානය නිරීක්ෂණයට ආවා. මේ බෝරවලට ලෙනේ කටාරම පුපුරලා තිබෙන්නේ. පරීක්ෂණයට ආවාම බෙහෙත් අඩුවෙන් දමලා පුපුරවනවා. අනිකුත් දවස්වල බෝර දමනකොට කම්පනය ලෙන ඇතුළටත් දැනෙනවා. හැබැයි මේ බෝර දැමීම් තහනම් කරන්නේ නැහැ මොකක් හරි බලපෑමක් ඇති.
මේ පුද්ගලයා වටේටම තිබෙන ඉඩම් අරගෙන මේ ලෙන් විහාරය තියෙන ගලත් කඩන්නයි හිටියේ. ඒකට මේ ලෙන් විහාරය සහිත ගලේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැහැ කියලා පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගෙන් ලිපියකුත් ලබාගෙන තිබෙනවා. මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන ස්ථානය ආරක්ෂා කරගන්න මම මූලික වූ නිසා ලෙන් විහාරයට එන්න අතීතයේ සිට තිබුණු පාරත් වහලා දැම්මා. මෙහි වැඩසිටි හාමුදුරුවරු අවුරුදු හැටකට වැඩිය මේ පාරේ පින්ඩපාතේ වැඩියා.
![]() |
චෛත්‍යය සඳහා රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මුල්ගල තැබූ අයුරු |
ඕනෑම පුරාවිද්‍යා ස්ථානයකට පිවිසුම් මාර්ගයක් තියෙන්න ඕනෑ. මේ ස්ථානය බලන්න මීට පෙර විදුර වික්‍රමනායක ඇමැතිතුමා ඇවිත් 1938 අවුරුද්දේ මැනුම අනුව ලෙන් විහාරයට අයත් අක්කර තිස් දෙකක භූමිය මැන වෙන්කර දෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමාට නියෝග කළා. ලෙන් විහාරයට එන්න තිබුණු පාර වසා දැමූ නිසා මට පින්ඩපාතේ වඩින්නත් විදියක් නැහැ. ළිඳට යන්න තියෙන්නෙත් ඒ පාරේ. මෙම ලෙන් විහාරයේ වැඩ සිටි අනිත් හාමුදුරුවෝ මේ කරදර නිසාම වෙනත් විහාරස්ථානයකට වැඩියා. මේ ලෙන් විහාර භූමියේ මෑත කාලයේ කලුගල්වලින් හදපු චෛත්‍යයක් තිබෙනවා. ඒක නැවත හදන්න තමයි විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමැතිතුමා ඇවිත් මුල්ගල් තිබ්බේ. ඊට අමතරව නව ධර්ම ශාලාවක් ද ඉදිකරනවා. ගල් කඩන එක ප්‍රශ්නයක් නැහැ. සංවර්ධන වැඩට කළුගල් ඕනෑ. මේ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන ස්ථාන විනාශවෙන එක වළක්වාගන්නයි අපට ඕනෑ.
මෙම ගල්කොරිය පවත්වාගෙන යන තැනැත්තා මීට ආසන්නයේම තිබෙන වෙනත් ගලක් මීට කලින් කැඩුවා. බෙලිගල විහාරස්ථානයේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ සහ දෙසීයකට අධික පිරිසක් මේ පරිසර විනාශය පෙන්වා දුන්නාම ඒ ගල්කොරිය 2016 දී තහනම් වුණා. ඒක පවත්වාගෙන යන්න තමයි ඔහු 2015 දී එල්ලාවල හාමුදුරුවන්ගෙන් ලිපියක් ලබාගෙන තිබුණේ. දැන් ගල්කොරිය පවත්වාගෙන යන තැනට පුරාවිද්‍යා ගලේ ඉඳලා මීටර් සීයක්වත් නැහැ.''
මෙම ගැටලුවට සම්බන්ධ ගල් කොරිය ඩබ්ලිව්. විජේවීර යන අයට අයත් වූවක් වුවද ඔහු තරමක් රෝගී බැවින් දැන් එහි පාලන කටයුතු සිදුකරන්නේ ඔහුගේ පුතා වන ඩබ්ලිව්. සුමින්ද කුමාර විසිනි. අප හා කතාබහට එක්වෙමින් ඔහු මෙසේ කීවේය.
''මේ ගල් වළ සම්බන්ධයෙන් අසත්‍ය දේ හාමුදුරුවෝ සමාජ මාධ්‍යවලට දමනවා. මේක අපිටත් ලොකු ප්‍රශ්නයක්. මේ ගැන සමහර පුවත්පත්වලත් වැරැදි දේ පළවී තිබුණා. ඒ එක්කෙනෙක්වත් අපෙන් මේ ගැන ඇහුවේ නැහැ. මේ ගැන මෙහෙම අහන්න ආවාට ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. අපි ගල් කැඩුවට නිධන් හාරන්න යන්නේ නැහැ. අපේ නිධානය මේ ගල තමයි.
![]() |
ගලින් කළ චෛත්‍යය |
මේ පෙත්සම් නිසා රජයේ වැඩ කරන දින පහක් වෙඩි පුපුරවන්න තිබුණු අවසරය නැති වුණා. දැන් සතියකට දවස් තුනයි වෙඩි පුපුරවන්න අවසර දීලා තියෙන්නේ. අපි ළඟ වැඩකරන සේවකයොත් දැන් යන්න හදනවා. පුරාවිද්‍යා ගල්ලෙන ආරාමයට පර්චස් විස්සක් මැනලා තියෙනවා. ඊට අමතරවයි මහාගල තිබෙන්නේ. පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන බෙලිගල තියෙන්නේ මීට ගොඩාක් දුරින්. ඒක මේකට සම්බන්ධ නැහැ. ගල්ලෙනේ තිබෙන ගලේ පඩිපෙළයි චෛත්‍යයයි වුණත් මෑතකාලීනව ඉදිකළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැති ඒවා කියලයි එල්ලාවල හාමුදුරුවෝ කියා තියෙන්නේ. අපි දන්න විදියට නම් මේක වේරගල මූකලාන. මෙතැන දැන් දොළොස් දෙනෙක් විතර වැඩ කරනවා. කලින් විස්සක් විතර වැඩ කළා. අපේ ගල්වළේ ඉතිහාසයත් අවුරුදු විස්සක් විතර වෙනවා. අවුරුදු දහ අටක් බලපත්‍ර තියෙනවා. ''
ගල් කොරියේ හිමිකරු වන ඩබ්ලිව්.විජේවීර පැවසුවේ මෙවැනි කතාවකි.
''මේ ලෙන් විහාරයට යන්න ළග පාරක් හදාගන්න කියලා මගේ ඉඩම මැද්දෙන් පාරක් කපලා තිබුණා. මම මේ ඉඩම් මිලට ගත්තේ වලව්වෙන්. ඒ වලව්වේ මරණ ගෙදරක ගිය අතරේ තමයි මටත් නොදන්වා මේ පාර ඩෝසර් දමා කපලා තිබුණේ. අපි ඉතින් පාර වැහුවා. හාමුදුරුවෝ පොලිසියට ගියත් වැඩක් වුණේ නැහැ. පොලිසියෙන් හාමුදුරුවන්ට අවවාද කළා. එදා ඉඳන් හාමුදුරුවෝ ගල් වළට විරුද්ධව පෙත්සම් ලිය ලියා යවනවා. මෙතන අපි ළඟ නැති විශාල යන්ත්‍රවලින් ගල් කඩනවා කියලා පින්තූර මාධ්‍යයට දමලා තිබුණා. ආයතන ගණනාවකින් ඇවිත් පරීක්ෂා කළා. අපි මායිමෙන් පිට ගල් කඩලා නැහැ. අක්කර විසිපහක් විතර අපිට තිබෙනවා. ඒවායේ ගල් කැඩුවාට අවට ජනතාවට හානියක් නැහැ. ගල්වළට එන පාර කැපුවෙත් අපි. අපේ වියදමෙන් මීටර් හාරසියයක් විතර තාර දැමුවා. හාමුදුරුවෝ මගෙන් ඉල්ලීමක් කළා නම් මම ආවාසයට යන පාර මගේ වියදමින් කපලා හදලා දෙනවා. අපිත් හොඳ බෞද්ධයෝ.''
මේ සම්බන්ධයෙන් කෑගල්ල දිසාපති මහින්ද එස්.වීරසූරිය ගෙන් ද අප අදහස් විමසුවෙමු.
''පාරිසරික, පුරාවිද්‍යාත්මක හෝ සංස්කෘතික වටිනාකමින් යුතු කිසිම දේකට හානියක් වන ලෙස කටයුතු කිරීමට දිසාපතිවරයා ලෙස මමත් අපේ ප්‍රාදේශීය ලේකම්වරුත් කිසිම විටක අවසර දෙන්නේ නැහැ. ලෙන් විහාරයේ වැඩවසන ස්වාමින් වහන්සේ පාරක් ඉල්ලා තිබුණත් එය නොදුන් නිසා දිගින් දිගටම පැමිණිලි කරන බව වරකාපොල පරිසර කමිටුවේදී අනාවරණය වුණා. මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වැනි ආයතනවල නිලධාරින් ද ඊට සහභාගි වුණා.
පරිසරයට, සංස්කෘතියට, පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොවන පරිදි ගල්වළ හිමියන් කටයුතු කරනවා නම් අපිට ගැටලුවක් නැහැ. මේ සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම් නිසි අධිකරණයකට පැමිණිලි කිරීමට ස්වාමින් වහන්සේට අවස්ථාව තිබෙනවා.''
මෙම ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම හා ඵෙතිහාසික සම්බන්ධතා පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකළ බෙලිගල හිටපු පුරාවිද්‍යා නිලධාරි උදයකාන්ත ජයසිංහ පවසන්නේ මෙවැන්නකි.
'' 2015 වසරේදී පමණ එවකට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි සෙනරත් දිසානායක සමඟ බෙලිගල හා අවට පුරාවිද්‍යා නටබුන් පිළිබඳ අප නිරීක්ෂණයක් සිදු කළා. මේ වෙහෙරගලත් පෞරාණික ගඩොල් හමුවූ ස්ථානයක්. මෙහි තිබෙන ගල්වලින් බැඳ ඇති චෛත්‍යය නම් මෑතකාලීනව ඉදිකළ එකක්. නමුත් අතීතයේ වෙහෙරක් තිබූ නිසා වෙහෙරගල වෙන්න ඇති. බෙලිගල හා වෙහෙරගල මෙම ගල් පර්වත දෙකෙහිම කටාරම් කෙටූ ලෙන් තිබෙනවා.ඒ කටාරම්වල ස්වභාවය අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බව සැලකිය හැකියි. මීට ආසන්නයෙන් අහස් දුරින් කිලෝමීටරයක් පමණ වන කෝදාපාලුව වසමේ අශෝක ආරණ්‍ය සේනාසනය තිබෙනවා. එහි ගල්ලෙන් ගණනාවක් සහ බ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි තිබෙනවා. ඒවා සමඟ බලන විට මේවා සමකාලීන නිර්මාණ විය හැකියි.
බෙලිගල ප්‍රමාණ වශයෙන් මූලික වී ඊට සමඟාමීව මෙතැන ඒ යුගයට සාපේක්ෂව යම් නිර්මාණකරණයක් සිදුව තිබෙනවා. බෙලිගල ගල මුඳුනේ කොටු හැඩයට ලී කණු බැස්සවිය හැකි කණු වළවල් හාරා තිබෙනවා ගලේ හැම තැනම. ඒ හා සමානවම විශාල පරිසරයක පැතිර නැතත් එවැනි ඉදිකිරීමක් වෙහෙරගලත් ඉදිකර තිබූ බවට සාක්ෂි තිබෙනවා. එම වළවල්වල ගැඹුර වට ප්‍රමාණය බෙලිගල වළවල්වලටම සමානයි. මෙම ඉදිකිරීම් බෙලිගල නිර්මාණය කළ කාලයේදීම ඉතා කෙටි කාලයක් සඳහා හෝ කෙටි කාලයක් තුළ ඉඳිකළ ඒවා බව පැහැදිලියි.
මෙහි දක්නට ඇති සඳකඩ පහණත් සඳකඩ පහණක් නිර්මාණය කිරීමට කළ උත්සාහයක් බවයි දක්නට තිබෙන්නේ. ගල් මත කෙටූ පොකුණු පිළිබඳ සාක්ෂි දක්නට නැහැ. මෙහි තිබෙන ජල කෙමිය ස්වභාවික එකක්. ඒකට පඩිපෙළ කපලා ඉදිකිරීමක් කර තිබෙනවා. ඒවා හැඩයෙන් ප්‍රාථමික වෙන්න පුළුවන්. අඩු තාක්ෂණයකින්,අඩු කාලයකින් කළ නිසා එසේ විය හැකියි. මේ එකක්වත් මෑත කාලීනව කළ ඒවා නම් නොවෙයි.''