
අපේ රටේ පළාත් පාලන ආයතන අතර නිරතුරුවම පුවත් මවන පළාත්පාලන ආයතනය වන්නේ කොළඹ මහ නගර සභාවයි. කොළඹ මහ නගර සභාව පසුගිය මාසයක පමණ කාලයක් මෙරට පුරා පුවත් මවන ලද්දේ රුපියල් මිලියන 573ක වියළි ආහාර මලු ලබා දීමක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරුන් විසින් නඟන ලද චෝදනාවක් මුල් කරගෙනය. එය සිළුමිණ මඟින් විමර්ශනය කළ අවස්ථාවේදී හෙළි වූයේ පළාත් පාලන ආයතන ව්‍යවස්ථා පමණක් නොව මූල්‍ය රෙගුලාසි පවා උල්ලංඝණය කරමින් අදාළ සහන මලු සම්පාදනයට කටයුතු කර තිබූ බවයි. එමෙන්ම අදාළ නාගරික මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාපටිපාටිය කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරව සිදු කර ඇති බවට තොරතුරු හෙළි විය.
මූල්‍ය රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් සිදු කරන ලද මේ ක්‍රියාව සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා හා නාගරික භාණ්ඩාගාරික විසින් අදාළ ගෙවීම් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට කළ දැනුම් දීමෙන් පසුව නාගරික මන්ත්‍රීවරුන් විසින් උද්ඝෝෂණයක්ද දියත් කළහ. අදාළ මන්ත්‍රීවරුන් විසින් පවසන ලද්දේ කොරෝනා රෝගය නිසා පීඩා විඳින කොළඹ ජනතාවට සහන මල්ලක් ලබා දීමට කොළඹ මහ නගර සභාව විසින් ගත් තීරණයට නාගරික කොමසාරිස්වරිය අකුල් හෙළන බවයි.
මෙසේ උද්ඝෝෂණය ක්‍රියාත්මක කිරීමට පෙර නාගරික භාණ්ඩාගාරිකවරියට එක් නාගරික මන්ත්‍රීවරයෙක් විසින් සිදු කළ තර්ජන හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ගද ගෙන ඇති අතර අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට
![]() |
විනාඩි 30ක් පැවති කමිටු රැස්වීමට රුපියල් 349,100/= බුරියානි ලබාගත් බිල් පත |
ගැනීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස් කර තිබේ. කාන්තාවක් පළමු පුටුවේ අසුන් ගෙන තිබියදී ඒ සභාවේ මන්ත්‍රීවරයකුගෙන් මෙසේ කාන්තාවන්ට හිංසාකාරී තත්ත්වයන් උදාවීම සැබැවින්ම කනගාටුදායකය. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් බස්නාහිර පළාතේ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් පසුගිය ජූලි - අගෝස්තු මාසවලදී පවත්වන ලද අතර එහිදී තහවුරු වී ඇත්තේ නගර සභාවේ ඇතැම් සභිකයන් විසින් නාගරික කොමසාරිස්වරියට මෙන්ම මූල්‍ය කටයුතු සම්බන්ධ නිලධාරිනියන්ටත් ගරුත්වයට හානි වන ලෙස කටයුතු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී.එස්. සදීකා විසින් ලිඛිතවම 2021.08.27 දිනැති අංක CMWP/ADM/24 දරන ලිපිය මඟින් නගරාධිපතිනියට අවධාරණය කර ඇත්තේ අදාළ නිලධාරිනියන්ට එවන් තත්ත්වයක් ඇති නොවන සේ සභිකයන්ගේ කටයුතු පිළිබඳව වගකීමකින් යුතුව කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.ඩී.එස්. කීර්තිරත්න විසින් අත්සන් කළ මේ ලිපිය රෝසි සේනානායක නගරාධිපතිනිය විසින් අනුමත කර 2021.08.28 දින නියෝජ්‍ය නගරාධිපති කාර්යාලයට පවා යවා තිබේ.
එහෙත් අපට කියන්නට සිදුව ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අමාරුව යන්න පමණි. අද වන විට නගරාධිපතිනිය විසින්ම මහ නගර සභාවේ මුදල් අවභාවිත කරන්නට පටන් ගෙන තිබීම නිසා කොළඹ මහ නගර සභාව දූෂණයෙන් පිරී ගිය ආයතනයක් බවට පත්ව ඇත.
පසුගිය සතියේ මාධ්‍ය කිහිපයක පළ වූයේ නගරාධිපතිනිය වන රෝසි සේනානායක විසින් රුපියල් 68,000ක චීස් කෑ බවකි. එහෙත් ඇය විසින් තම පෞද්ගලික ආහාර පාන පිණිස හා අනෙකුත් පෞද්ගලික අවශ්‍යතා පිණිස වැය කර ඇති නගර සභාවේ මුදල් සම්බන්ධව සොයා බැලූ කල අපට බොහෝ දේ හෙළි විය.
ඒ අතර රෝසි සේනානායක විසින් දිනපතාම තම නිවසේ කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) වෙනුවෙන් නගර සභාවේ මුදල් වැය කර ඇති බව හෙළි වීම එක් අතකින් ලැජ්ජා සහගතය. එමෙන්ම එය බරපතළ මූල්‍ය අවභාවිතයකි.
නගරාධිපතිනිය විසින් රහසිගතව මෙසේ තම නිවසට අවශ්‍ය ආහාර පාන සියල්ල මහ නගර සභාවේ මුදලින් ලබා ගෙන ඇති අතර එය හෙළි වන්නට පටන් ගත්තේ 2020 වසර ආරම්භයේ සිටය. 2020 වසරේ ජනවාරි මාසයේ එනම් කොරෝනා උවදුර මෙරටට පැමිණීමට මාස 3කට පෙර ඇය විසින් තම නිවසේ භාවිතය පිණිස කෙටි ආහාර සඳහා පමණක් රුපියල් 169,599ක කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) ලබා ගෙන තිබේ. එයින් වැඩිම මුදලක් වන රුපියල් 107,850 ත මුදලක් ස්පොන්ජ් ආයතනය වෙත ගෙවා ඇත්තේ 2020.01.09 දිනය. එමෙන්ම අදාළ වර්ෂයේ ඇය විසින් පිළිවෙළින් පෙබරවාරි මාසයට රුපියල් 84,210ක් මාර්තු මාසය සඳහා 43,005ක් මැයි මාසය සඳහා රුපියල් 28,335ක් ජූනි මාසය සඳහා 36,504ක් ජූලි මාසය සඳහා 95,823ක් අගෝස්තු මාසය සඳහා රුපියල් 10,150ක් සැප්තැම්බර් මාසය සඳහා රුපියල් 33,684ක් ඔක්තෝබර් මාසයට රුපියල් 40,724ක් නොවැම්බර් මාසයට රුපියල් 88,943ක් දෙසැම්බර් 51,141ක් වශයෙන් එම වසර සඳහා මාස 11කට පමණක් (අප්‍රේල් මාසයේ) හැර වැය කර ඇති මුදල රුපියල් 682,088කි.
එමෙන්ම මේ වසරේ (අප්‍රේල් මස හැර) ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලයට (මාස 7කට) ඇය විසින් තම සංග්‍රහ කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් 439,125 කි.
කෙසේ වෙතත් ඇය විසින් චීස් සඳහා පමණක් වසරකට අඩු කාලයක් තුළ රුපියල් 68, 185ක් වැය කර තිබේ. ඒ අනුව ඇය විසින් තම පෞද්ගලික පරිභෝජනය පිණිස නගර සභාවේ මුදල් අසාමාන්‍ය ලෙස වැය කර තිබේ.
ඇයගේ මේ අත්තනෝමතික මෙන්ම නීති විරෝධී ගනුදෙනු සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විරෝධය දක්වා ඇතත් ඇය ඒ කිසිදු කරුණක් සැලකිල්ලට නොගෙන මේ කටයුතු දිගින් දිගටම සිදු කරගෙන ගොස් තිබේ. එමෙන්ම කිසිදු තොරතුරක් කිසිදු අයකුට ලබා නොදෙන ලෙස ඇය විසින් අදාළ අංශවලට දැනුම් දී ඇත්තේ ආයතනික තොරතුරු අභ්‍යන්තර හෝ බාහිර පුද්ගලයන්ට ලබා දීම රැකියාවෙන් නෙරපීමට හැකි වරදක් බවට අනතුරු ඇඟවීමෙනි.
කෙසේ වුවත් පසුව නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නගර සභාවේ වැය පිළිබඳ තොරතුරු ඉල්ලා ඇත. එහිදී අදාළ තොරුතුරු නිලධාරියාට ඒවා ලබා දීමට සිදුව ඇති අතර එම තොරතුරුවලින් ලබා ගත් තොරතුරු ඔහු විසින් අනාවරණය කර ගත් නගර සභාවේ දූෂණ හා සැසඳීමෙන් පසුව ඒ වියදම් අවභාවිතයන් බවට තොරතුරු හෙළිව තිබේ.
ඒ අවභාවිතයන් අතර පහත කරුණු නාගරික මන්ත්‍රීවරයා විසින් උපුටා දක්වා තිබේ.
1. නගරාධිපතිනිය සිය නිල නිවසට කිසිදු අනුමැතියකින් තොරන ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පවා තොරව වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කර ගැනීම.
2. 2020 වසරේදී චීස් ගැනීම සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක් අයථා ලෙස භාවිත කිරීම
3. 2018 වසරේ සිට නගරාධිපතිනිය විසින් සිය දියණියගේ සහ පුතුගේ භාවිතයට මහ නගර සභාවේ රියැදුරන් යෙදවීම.
4. එම රියැදුරන්ට වැටුප් මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික සේවාව වෙනුවෙන් අතිකාලද මහ නගර සභාවෙන් ගෙවා තිබීම.
5. නිවසේ පිරිසිදු කිරීම් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 4ක් වැය කර තිබීම.
ඔහු විසින් අනාවරණය කරගෙන ඇත්තේ 2020 වසරේ තම නිල නිවසේ කෙටි කෑම සඳහා රුපියල් 318,645ක මුදලක් පමණක් අවභාවික කළ බවකි. එය සිළුමිණට සොයා ගන්නට හැකි වූ තොරතුරුවලට වඩා අඩු අගයක් වුවද එ සම්බන්ධයෙන් අදාළ නාගරික මන්ත්‍රීවරයා විසින් පැමිණිලි කර ඇත්තේ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.
ඔහු විසින් මෙසේ කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පළාත් පාලන කොමසාරිස්වරයාටය. ඒ 2021.10.23 දිනය.
ඊට අමතරව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ජනාධිපති ලේකම්වරයාගෙන්ද ඉල්ලීමක් කර ඇත.
ලිපියේ පිටපත් ඔහු විසින් යොමු කර ඇති අය අතර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, විගණකාධිපති මෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාද වේ.
එමෙන්ම තමන් මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට පැමිණෙන බවත් 2018 වසරේ සිට නගර සභාවේ දූෂණ තමන් විසින් හෙළි කරන්නට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.
නගරාධිපතිනියට පෞද්ගලික කාර්ය මණ්ඩලයක් නඩත්තුවට අනුමැතියක් නැත. එහෙත් රුපියල් එක් ලක්ෂ අට දහස් පන්සීයක (108500/-) දීමනාවක් වෙනුවෙන් නිලධාරීන් 5 දෙනකු ඇය විසින් යොදා ගෙන තිබේ. එමෙන්ම ඇයට නිල නිවෙසට හෝ සංග්‍රහ දීමනා යනුවෙන් කිසිදු විශේෂ මුදල් අනුමැතියක් නොමැත. යම් කමිටු රැස්වීමක් නිවසේ තිබුණහොත් ඒ වෙනුවෙන් සංග්‍රහ කිරීමට මුදල් වෙන් කර ගත හැකිය. එසේම සභාවේ රැස්වීම් වෙනුවෙන් සංග්‍රහ දීමනාවක් සාධාරණ ලෙසින් හිමි වන නමුත් ඒ වෙනුවෙන් රුපියල් දස දහස් ගණනක් අනුමැතියක් නොමැත. එසේ තිබියදී ඇතැම් මාසවල නගරාධිපතිනියගේ නිවසට කිරිපිටි පැකට් 40ක් පමණ මිලට ගෙන ඇති බවට වාර්තා වේ.
මහජන මුදලින් නඩත්තු කරන මෙවන් ආයතනයක මුදල් වැය කිරීම කළමනාකරණයෙන් යුතුව කළ යුතු වුවත් අත පය දිග හැර තම සුඛ විහරණයට නගරාධිපතිනිය වියදම් කරන්නා සේම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ගජරාමෙට ගසා ගති. පසුගිය ඔක්තෝබර් මස විනාඩි 30කටත් අඩු කාලයක් පැවැති කමිටු රැස්වීමක් වෙනුවෙන් රුපියල් 349,100/= බුරියානි ස්පොන්ජ් ආයතනයෙන් ඇණවුම් කර ඇත්තේ ලැජ්ජා නහරය කපා දමා ඇති නිසාදෝ යන්න අපට නම් සිතේ.
නගරාධිපතිනියගේ wp PG 1742 පරිවාර රථයට පසුගිය සැප්තැම්බර් මාසයේ පමණක් ඉන්ධන ලීටර් 400ක් ලබා ගෙන තිබේ. අගෝස්තු මාසයේ එම ප්‍රමාණය ඉන්ධන ලීටර් 468කි. එමෙන්ම නගරාධිපතිනියගේ කාර්යාල භාවිතයට ගෙන ඇති අංක 59- 3569 කැබ් රථයට පසුගිය මාසයේ පමණක් ඉන්ධන ලීටර් 128ක් යොදා ගෙන ඇත. නගරාධිපතිනියගේ නිල රථය වන අංක wp KU 0801 සුපිරි රථයට ලබා ගන්නා අසීමාන්තික ඉන්ධනවලට අමතරව මෙසේ ඉන්ධන වැය කර තිබේ.
නගරාධිපතිනිය මහ නගර සභා මුදලින් නිවසට විසිතුරු භාණ්ඩ ඇතුළු තවත් දේ මිල දී ගැනීමටද නගර සභා මුදල් භාවිත කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කළ යුතුය. කොළඹ 7 ජනතාව යනුවෙන් බොහෝ දෙනා අතර කතාවන සුපිරි පෙළැන්තියේ පිරිස් මෙන්ම කොළඹ වතු ආශ්‍රිතව දැඩි දරිද්‍රතාවයෙන් යුක්තව දිවි ගෙවන පිරිස්ද වෙති. ඔවුන්ගේ ජීවන ක්‍රමවේදය ඉතා දුක්ඛිතය. එසේ වුවත් ඔවුන්ද නගර සභාවට බදු ගෙවිය යුතුය. වරිපණම් ගෙවීමට බොහෝ දෙනාට සිදුව ඇත. ඒ ජනතා බදු මුදලෙන් චීස් කෑම හෝ තම දූ පුතුන්ට අවශ්‍ය සුපිරි සැප ලබා දෙන්නට යම් අයකු කටයුතු කරනවානම් එය ඇස් පනාපිටම පල දෙනු ඇත. පසුගිය දා පොට්ට නවුෆර් බන්ධනාගාරයේදීම කොවිඩ් -19 වැලඳී මිය යාම, තම අනියම් පෙම්වතියට උසුළු විහිළු කළ තරුණයන් දෙදෙනකු අඟුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ඝාතනය කළ අතර ඔහුගේ පාදයක් කපා දැමීමට සිදුවීම හා පසුව ඔහුටද වන්දි ගෙවන්නට සිදුවීමත් උදාහරණ දෙකක් පමණි.
ජනතා බදු මුදල් තම සුඛ විහරණයට යොදා ගත් අයට එයටත් වඩා දඬුවම් ස්වභාව ධර්මයෙන්ද ලැබෙනු ඇති අතර ඊට පෙර නීතියට අනුව දඬුවම් ලබා දිය යුතු බව සැමගේ විශ්වාසයයි.