
බස්වල සීට් ගානට කට්ටිය ගෙනියනවා
ඒ.කේ. ඔෂාන් සත්සර (23)
මාතර -රෝහල් සේවක
මම කොළඹ ලංකා හොස්පිට්ල් එකේ වැඩ කරන්නේ. කොළඹ නතර වෙලා ඉන්නේ. මාතර ඉඳලා කොළඹට එන්න බස්, කෝච්චි තියෙනවා අවශ්‍ය පමණට. කෝච්චිවල නම් සෙනඟ වැඩියි. බස් නම් අවුලක් නෑ. සංචරණ සීමා කාලෙ නම් ගමනාගමන දුෂ්කරතා තිබුණා තමයි. සංචරණ සීමා ඉවත් කළාට පසු ප්‍රවාහන පහසුකම් තියෙනවා. බස්වල නම් සීට් ගානට කට්ටිය ගෙනියනවා. කෝච්චිවල තමයි තදබදේ. දුම්රිය - බස් ගාස්තු පෙර පරිදිමයි. ඒත් මිනිස්සුන්ගේ අරපරිස්සම නම් අඩුයි. මීටරේ දුර - මුව ආවරණ වගේ දේවල් ගැන සැලකිල්ල අඩුයි.
පොදු ප්‍රවාහනයේදී සෞඛ්‍ය ගැන සිතිය යුතුයි
කාංචනා සිල්වා (46)
කැලණිය - ගෘහණිය
සංචරණ සීමා කාලෙ වැඩියෙන් එළියට ආවේ නෑ. සාමාන්‍යයෙන් බස් හා දුම්රිය දිව්වා. කාලෙකට පස්සේ පුතා ඉස්කෝලෙ එක්ක ආවා. කෝච්චියේ සාමාන්‍යයෙන් සෙනඟ හිටියේ. වාඩිවෙලා එන්න පුළුවන්. ගාස්තු නම් වැඩි කරලා නෑ. කොටුවෙ නම් හරියට සෙනඟ. රට විවෘත කළාට තාම කොරෝනා ඉවර නෑ. මේ විදිහට ජනතාව නොසැලකිලිමත් වුණොත් නම් නැවත රැල්ලක් මතුවීම වළක්වන්න බැහැ. හැමෝටම ප්‍රශ්න - රාජකාරි ඇති තමයි. ඒත් අපි සෞඛ්‍යය, ජීවිතය ගැන මීට වඩා සිතිය යුතුයි.
බස් එකේ කෝච්චියේ යද්දි කොවිඩ් අවදානම වැඩියි
සියාම් සුබ්‍රාහිම් (40)
පොළොන්නරුව - ඉලෙක්ට්‍රොනික් කාර්මික
මම ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්නේ. යාපනයේ සිට කොළඹට එන කෝච්චියේ මම ආවෙ. ගාස්තු නම් අසාධාරණ නෑ. කෝච්චියේ හුඟාක් සෙනඟ. සමහරු මුවවැස්ම දාගෙන සෞඛ්‍ය නීති පිළිපදිනවා. තවත් පිරිසක් ඒ ගැන සැලකීමක් නැහැ. ඒ දේවල් නිසා අනිත් මගියොත් අපහසුතාවයකට පත්වෙනවා. මීටරේ දුර නම් කොහොමත්ම නෑ. හැම කෙනෙක්ම කොවිඩ් අවදානම ගැන දැන් එතරම් දුරට හිතන්නේ නෑ වගේ. සංචරණ සීමා ඉවත් කළේ අත්‍යවශ්‍යම කරුණකට පමණක් එළියට බහින්නයි. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
මීටරේ දුර ගැන සැලකිල්ල අඩුයි
ලක්මාලි පෙරේරා (52)
කොටුගොඩ - ස්වයංරැකියා
අපි බස් එකේ ආවෙ. හැම විනාඩි 20 න් 20 ටම බස් තියනවා වුණත් සෙනඟ වැඩියි. සීටීබී බස් නම් අඩුයි. ගිය සතියෙත් අපි කොළඹ ආවා. දැන් එන්න එන්නම සෙනඟ වැඩි වෙනවා. නගරයට ඇදෙන හැම කෙනෙකුම මොනවා හරි මුවවැස්මක් පැලඳගෙන නම් ඉන්නවා තමයි. ඒත් මීටරේ දුර ප්‍රමාණය ගැන නම් කාගෙවත් එතරම් සැලකිල්ලක් නෑ වගෙයි. කාලෙකට පස්සේ රට විවෘත කළේ. හැමදාම වහගෙන ඉන්න බැරි නිසයි. ඒ නිසා සාමාන්‍ය ජනතාව කොයි කවුරුත් මීට වඩා අවදියෙන් සිටිය යුතුයි.
කෝච්චිවල තෙරපීම වැඩියි
ප්‍රියන්ත ජයතිලක (45)
මීරිගම - රියදුරු
කොළඹ දුම්රිය අඩුවක් නැතුව තිබුණා වුණත්, මගීන් වැඩි නිසා තෙරපීම වැඩියි. කොළඹ රැකියාව කරන විශාල පිරිසක් කෝච්චියේ එනවා. මීටරේ දුර නම් කොහොමත්ම නෑ. මෙහෙම ගියොත් නැවත මාස දෙක තුනකින් ආයෙත් කොරෝනා වැඩිවෙයි. හරිම අවදානම් තත්ත්වයක් තියෙන්නේ. කාට කියන්නද මන්දා? පෙට්ටි ඇතුළෙත් සෙනඟ වැඩිනේ. ඒ නිසා බෝවීමත් වැඩියි. ගාස්තුවල නම් තාම ගැටලුවක් නෑ. ජනතාව ඒකරාශි වීම නිසා තමයි නැවත කොවිඩ් වැඩි වීමට හේතු සාධක වෙන්නේ.
පොදු ප්‍රවාහන පාවිච්චියේදී පරිස්සම හරි වැදගත්
ශාන්ති අල්විස් (52)
වත්තල - ගෘහණිය
කොළඹට එන්න බස් තිබුණා. සාමාන්‍ය සෙනඟක් හිටියා. කවුරුත් එළියට බහින්නේ තම තමන්ගේ විවිධ අවශ්‍යතා නිසයි. හැමෝටම පෞද්ගලික වාහන නෑනේ. එහෙම තිබුණා නම් කොවිඩ්වලිනුත් ආරක්ෂා වෙලා නිදහසේ වැඩ ටික කරගෙන පහසුවෙන් යන්න තිබුණා. කාටවත් දොස් කියන්නත් බෑ. ඒත් කොවිඩ් අවදානමෙන් අපි තාම මිදිලත් නෑනේ. සේරටම වඩා අරපරිස්සම තමයි වටින්නේ. එදිනෙදා හැමෝටම තමන්ට ආවේණික වැඩ රාජකාරි තියනවනේ. පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරද්දි බොහෝ ආරක්ෂාවීම වැදගත්. ළඟදීම පාසල් ළමයිනුත් පොදු ප්‍රවාහනයට එනවනේ.