බදු අඩු කිරී­මෙන් සහල් මිල අඩු­වේද | සිළුමිණ

බදු අඩු කිරී­මෙන් සහල් මිල අඩු­වේද

හල් ආනයනය කිරීම සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ ගැසට් නිවේදනයක් මේ වනවිට නිකුත් වී තිබේ. පෞද්ගලික සහල් ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රු. 65.00 ක බද්දක් පනවා තිබුණු අතර පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ අත්සනින් නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට අය කෙරෙන බද්ද ශත 25 දක්වා අඩුකර ඇත. ඊට අමතරව සීනි, පරිප්පු, කුකුළු මස්, ටින් මාළු, බඩඉරිඟු, ලොකු ලූනු, තිරිඟු පිටි, අර්තාපල් සහ කිරිපිටි යන භාණ්ඩවල පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව මින් ඉදිරියට එකී භාණ්ඩවල මිල, වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වනු ඇත. එමෙන් ම සහල් ආනයනය කිරීමේ දී සහල් කිලෝවකින් රජයට හිමිවන ආදායමෙන් රු. 64.75 ක් අහිමි වනු ඇත.

 

“මේ වේලාවේ රජයට අහිමි වන ආදායමට වඩා පාරිභෝගිකයන් ගැන හිතලා තමයි රජය මේ තීරණය අරගත්තේ. රජය සහල් ආනයනය කිරීමේදී කිලෝ එකකට රු. 65 ක බද්දක් අය කළේ දේශීය ගොවියා රැක ගැනීමටයි. ගොවියන්ට හොඳ මිලක් දීලා පාරිභෝගිකයන්ට ලාබෙට සහල්දීම තමයි රජයේ අරමුණ වුණේ. ඒත් බලාපොරොත්තු වුණු විදිහට පාරිභෝගිකයන්ට සහනයක් ලැබුණේ නැහැ. දේශීය සහල් වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති වුණා. ඊට පසුව සහල්වලට පනවා තිබූ පාලන මිල ඉවත් කළා, සහල්වල මිල වී මෝල් හිමියන්ට තීරණය කිරීමට ඉඩ ප්‍රස්ථා හිමි වුණා. ඒත් වී මෝල් හිමියන් විසින් ම තීරණය කළ සහල් මිල ඔවුන් තවතවත් වැඩි කරනවා. මෙම අසීමාන්තික වැඩි කිරීම නිසා පීඩාවට පත්වන්නේ පාරිභෝගිකයන්. ලාබ ලබන්නේ වී මෝල් හිමියන්. ඒ නිසයි සහල් ආනයනය කරලා වෙළෙඳපොළේ සහල් සැපයුම වැඩි කරන්න තීරණය කළේ. එතකොට වෙළෙඳපොළේ සහල් මිල පහත වැටෙනවා.” යනුවෙන් පැවසුවේ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර ය.

එහෙත් වෙළෙඳපොළේ සහල් ප්‍රමාණය වැඩි කළ පමණින් සහල් මිල පහතට වැටේ දැයි ජනතාවට නම් විශ්වාසයක් නැත. ජනතාවගේ අදහස වී තිබෙන්නේ ආනයනය කරන සහල් දැන් වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට ම අලෙවි කරමින් ආනයනකරුවන් හා වෙළෙඳුන් ඔවුන්ගේ ලාභය තර කරගනු විනා වාසිය පාරිභෝගිකයන්ට ලබා නොදෙන බවයි. ජනතාව එසේ සිතන්නේ පසුගිය කාලයේ සීනි ආනයනය කිරීමේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කර, සීනි ආනයනකරුවන්ට විශේෂ සහන ලබා දුන් නමුදු සීනි මිල අඩු නොවීමේ අත්දැකීම තවමත් ඔවුන්ට අමතක නොවී ඇති නිසා ය. සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් සිදු වූයේ සීනි ටොන් ගණනින් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සහ ආනයනකරුවන් අධික ලාභයක් උපයා ගැනීම ය. ඒ සමඟ රජයට ද රුපියල් මිලියන ගණනක ආදායමක් අහිමි විය.

“සීනි මිල අඩු නොවීමට හේතු වුණේ ඒ වනවිට කලින් බද්දට අනුව සීනි ආනයනය කරලා තොග ගබඩා කර තිබීම. වැඩි බද්දක් ගෙවලා ගෙනාපු සීනි වැඩි මිලට විකිණුවා. ඒත් සීනිවලට කිලෝ 1 රු. 85 ගණනේ විකුණන්න කියලා පාලන මිලක් නියම කළා. පාලන මිලක් නියම වුණාම වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයන්ට.” යනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර පැවසීය.

එය සත්‍යයකි. එහෙත් එකී පාලන මිල දක්නට ලැබුණේ සතොස, සමූපකාර, සුපිරි වෙළෙඳසල් වැනි අලෙවිසල්වල මිස ගමේ කඩේ නම් නොවේ. දුර බැහැර ප්‍රදේශවල සීනි වැඩි මිලට විකුණන කළුකඩ වැටලූ බවක් ද අප අසා නැත. අවසානයේ සීනි පාලන මිල අහෝසි කිරීමට රජයට සිදු විය.

අද වනවිට සීනිවලට අමතරව පරිප්පු, කුකුළුමස්, ටින් මාළු, ලොකු ලූනු, අර්තාපල්, තිරිඟු පිටි, බඩඉරිඟු සහ කිරිපිටි යන භාණ්ඩවල පාලන මිල ඉවත් කර තිබේ. සහල් මිල පාලනය ද ඉවත් කර තිබේ. වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වේ. ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වීමේ ගැටලුවක් නැත. එහෙත් මෙහිදී ආනයනකරුවන් හා සැපයුම්කරුවන් තොග එක්රැස් කර තබා ගනිමින් භාණ්ඩ හිඟයක් මවාපෑමේ හැකියාවක් ද පවතින බව අප තේරුම් ගත යුතු ය. පාලන මිල ඉවත් කළ නමුදු මෙම භාණ්ඩ ආනයනකරුවන් හා සැපයුම්කරුවන් ගෙන්වන ප්‍රමාණ පිළිබඳ වෙළෙඳපොළ යාන්ත්‍රණයක් සකස්කර ගැනීමේ අවශ්‍යතාව මතු වන්නේ මෙවැනි අවස්ථාවලදී ය. නැතහොත් භාණ්ඩ හිඟය හේතු කරගෙන මිල ඉහළ දැමීම දක්වා ඔවුන් කටයුතු කරනු ඇත.

ඇතැම්විට පාරිභෝගිකයන්ට සහන ලබාදීමේ අරමුණින් ගනු ලබන තීන්දු තීරණ කනපිට හැරෙන අවස්ථා ද නැතිවා නොවේ. ඊට හොඳම උදාහරණය වන්නේ ගොවීන්ගේ වී මිලදී ගැනීමේදී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ වී අවම මිල වෙනුවට උපරිම මිලක් ක්‍රියාත්මක වීමයි. මෙවර වී වලට උපරිම මිලක් ක්‍රියාත්මක වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. වී කිලෝවකින් රු. 70 ක් පමණ ලැබූ ගොවීන්ට වී කිලෝවක් රු. 50 කට පමණ අලෙවි කර ගැනීමට සිදුවූයේ එම නිසාය. වී වලට උපරිම මිලක් නියම කිරීමෙන් රජය බලාපොරොත්තු වූයේ සහල් මිල අඩු කර ජනතාවට සහනයක් සැලසීමය. එහෙත් වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරී බලය හමුවේ සහල් හිඟයක් ඇති විය. ඉන්පසුව අනවසර වී ගබඩා සහ සහල් තොග ගබඩා කඩා තොග අත්අඩංගුවට ගැනිණි. නමුදු සහල් හිඟය දිගින් දිගටම පැවතුණි. අවසානයේදී සහල් විකිණීමේ උපරිම මිල රජය විසින් අහෝසි කෙරිණි. වී මෝල් හිමියන් විසින් වෙළෙඳපොළේ සහල් අලෙවි කරන මිල තීරණය කරනු ලැබුවේ ඉතා කෙටි කාල සීමාවක් ඇතුළත ය.

ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක ජනතාවට බත් පත සැපයීම සඳහා වැව් අමුණු පිළිසකර කරමින් ජනපද ව්‍යාපාර ඇති කළ අතර එය ඔහුගේ ජයග්‍රාහී ගමන් මඟට මහඟු පිටිවහලක් විය. ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස්වීමට සිදුවූයේ 1953 හර්තාලයට මුල් වූ හාල් මිල වැඩි කිරීම යන කාරණය නිසා ය. ඩඩ්ලි සේනානායක නොමිලේ හාල් සේරුවක් දුන් විට 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක බලයට පැමිණියේ සහල් සේරු 2 ක් දෙන බවට පොරොන්දු වෙමිනි. හ‍‍‍ඳෙන් හෝ හාල් ගෙනත් දෙන බව පැවසූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලයේ දී සහල් පොලු වැටෙන විට, අඟහරුවාදා සිකුරාදා හෝටල්වල බත් විකිණීම තහනම් කරන විට රජය අපකීර්තියට පත්විය. අවසානයේදී එය 1977 දී දැවැන්ත පරාජයක් ලැබීමට හේතු විය. ජේ.ආර්. ජයවර්ධන යුගයේදී මහවැලි ව්‍යාපාරය ඉදිකරමින් ගොවීන්ට ජලය ලබාදී දේශීය ගොවිතැන සශ්‍රීක කිරීමට පියවර ගැනුණේ ද සහල් අපේ රටේ තීරණාත්මක සාධකයක් වන නිසා ය.

එබැවින් වී මිල, සහල් මිල තීරණය කිරීමේදී රටේ ජනතාවට වඩාත් සුබදායි ආකාරයට තීරණ ගැනීම රජයේ වගකීමක් වනු ඇත.

Comments