සූට්කේ­ස­ය­කින් හමු වූ මළසිරුර මාලිගාවත්තේ ෆාතුමාගේ | Page 3 | සිළුමිණ

සූට්කේ­ස­ය­කින් හමු වූ මළසිරුර මාලිගාවත්තේ ෆාතුමාගේ

මළ­සි­රුර හමුවූ ස්ථානයේ ස්ථානීය පරී­ක්ෂා­වක් කරන  මහර වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් රමණි සිරි­ව­ර්ධන මෙහි වේ.  දකුණ පස දැක්වෙන්නේ මළසිරුර සූට්කේසයේ බහා තිබූ අන්දමයි
මළ­සි­රුර හමුවූ ස්ථානයේ ස්ථානීය පරී­ක්ෂා­වක් කරන මහර වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් රමණි සිරි­ව­ර්ධන මෙහි වේ. දකුණ පස දැක්වෙන්නේ මළසිරුර සූට්කේසයේ බහා තිබූ අන්දමයි

කුත් බ්‍රහස්පතින්දා දහවල් 11.30ට පමණ සපුගස්කන්ද පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයට දුරකථන ඇමැතුමක් ලැබී තිබුණේ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආසන්න මාබිම මාර්ගයේ යනඑන පුද්ගලයකුගෙනි.

එම දුරකථන ඇමැතුමෙන් කියැවී තිබුණේ සපුගස්කන්ද වී මෝල හන්දියට මීටර් කීපයක් දුරින් පිහිටි මාබිම මාර්ගයේ යාබද පිහිටි කැළිකසළ ගොඩකින් දින දෙක තුනක සිට අධික දුර්ගන්ධයක් හමනා බවටයි.

අනතුරුව ඒ පිළිබඳව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්. විජේතිලකගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂා කෙරිණි. එහිදී කැළිකසල ගොඩෙහි කොළ පැහැති සින්තටික් පැදුරකින් ඔතා නූලකින් බැඳ යමක් තිබෙන බවයි. එය පරීක්ෂා කර බලද්දී පැදුරකින් ඔතා ඇත්තේ කළු පැහැති විශාල ගමන් බෑගයක් බව පොලිස් නිලධාරින්ට දක්නට හැකි විය.

එම බෑගය විවරකොට පරීක්ෂා කළ පොලිස් නිලධාරින් දුටුවේ එතුළ මළසිරුරක් ඇති බවයි. එය කාන්තා මළසිරුරක් බවත් දෙඅත් ගැට ගසා ඇති ආකාරයක්ද දිස්විණි. එසේම කළු සහ රතු පැහැති වර්ණවලින් යුත් ගවුමක් එකී කාන්තාව ඇඳ සිටි ආකාරයක්ද පෙනෙන්නට විය.

මරණයට පත්  44 හැවිරිදි මොහොමඩ් සාෆි  ෆාතුමා මුම්ටාස්

ඒ පිළිබඳ ප්‍රදේශවාසියෙක් පැවැසූවේ, දින කීපයක සිටම එම ස්ථානයෙන් දුර්ගන්ධයක් හැමූ බවයි. එම කැළිකසළ ගොඩ පිහිටා තිබෙන්නෙ තරමක් පාළු ස්ථානයක වීම නිසාවෙන් මළසිරුර සහිත බෑගය ඝාතකයා හෝ ඝාතක කණ්ඩායම විසින් සූක්ෂ්ම ලෙස එම ස්ථානයට රැගෙනවිත් දමා යන්නට ඇතැයි පොලිසිය සැක කළහ. එසේම එය මීට දින තුන හතරකට පෙරදී ගෙනැවිත් දමන්නට ඇති බවයි. පසුගිය දිනවල අධික වර්ෂාවට හසුවීම නිසා තරමක් ඉදිමී තිබූ එම මළසිරුර බොහෝ සේ දුර්වර්ණව තිබූ හෙයින් හඳුනා ගැනීමට අපහසුව තිබිණ.

සපුගස්කන්ද පොලිසිය විසින් මහර අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමත් සමඟ බ්‍රහස්පතින්දා පස්වරුවේම මළසිරුර වූ ස්ථානීය පරීක්ෂාවක් මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණි සිරිවර්ධන පැමිණ සිදු කළේය. අනතුරුව මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම මළසිරුර පිළිබඳව විමර්ශන කණ්ඩායම් තුනක් යොදවා සපුගස්කන්ද පොලිසිය විමර්ශන සිදුකරද්දී අතුරුදන් කාන්තාවන් පිළිබඳව පොලිසිය දැඩි අවධානයක් යොමු කෙරිණි.

ඒ අනුව සිරුර හඳුනා ගැනීමට ඉකුත් සිකුරාදා පෙරවරුවේදී රාගම රෝහලට කිහිප දෙනෙක්ම පැමිණ තිබිණි. ඒ අතර මාලිගාවත්ත මහල් නිවාසයක වෙසෙන ව්‍යාපාරිකයෙක් වන ඒ.එම්. අමනුල්ලා නමැත්තා එම කාන්තා මළසිරුර තම බිරියගේ බව සිකුරාදා දහවල් හඳුනා ගැනුණේ දියණියන් දෙදෙනාද කැටුව පැමිණයි.

අමනුල්ලා සඳහන් කර තිබුණේ තම බිරිය 28 වැනිදා සිට අතුරුදන්ව සිටි බවත් ඇය එදින මලිගාවත්තේ නිවෙසේ සිට හිතවතියක් වන රොෂානා මුණ ගැසීමට බ්ලුමැන්ඩල් ප්‍රදේශයට ගිය බවයි. ඒ අවස්ථාවේ සිට ඇය ආගිය අතක් නොමැතිව සිටි බවත් ඒ අනුව 30 වැනිදා දින බිරියගේ අතුරුදන් වීම පිළිබඳව බ්ලුමැන්ඩල් පොලිසියට පැමිණිල්ලක්ද කළ බවයි. එම කාන්තාව 44 හැවිරිදි ‍මොහොමඩ් සාෆි ෆාතුමා මුම්ටාස් නමැති මුස්ලිම් ජාතික 25 සහ 28 හැවිරිදි විවාහක දියණියන් දෙදෙනකුගේ මවකි. එසේම ඇය කොළඹ නගරය තුළ සූදු ක්‍රීඩාවන් සිදුකිරීම්හි නිරතවූ තැනැත්තියක් බවටත් සැල වේ.

කෙසේ වුවත් එම කාන්තා මළසිරුර පිළිබඳව දිගින් දිගටම විමර්ශන සිදුකරමින් ඇයගේ සැමියා පැවසූ කරුණු ඔස්සේද විමර්ශන කරමින් ඝාතන අබිරහස හෙළිකර ගැනීමට කටයුතු කරමින් සිටින බව කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් පැවැසීය. මෙවැනිම ආකාරයේ විශාල ගමන් බෑගයක බහා තිබූ කාන්තා මළසිරුරක් වේල්ලවීදිය ස්ථානයක තිබී සොයා ගැනීමට වේල්ලවීදිය පොලිස් නිලධාරින්ට හැකියාව ලැබුණේ ඉකුත් මාර්තු මස 01 වැනිදා ය. එය ඉමහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි.

මේ පිළිබඳ විමර්ශන කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අර්ජුන මාහිංකන්දගේ අධීක්ෂණයෙන් සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්. විජේතිලකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර ඇතුළු නිලධාරිහු සිදු කරති.

 

ඡායාරූප - සුදත් පුබුදු කීර්ති,

දෙල්ගොඩ සමූහ


 

Comments