හම්බ­න්තොට සාම­ගුලි රක්ෂි­තයේ හැදෙයි හෝටලයක් හොර රහසේ | Page 2 | සිළුමිණ

හම්බ­න්තොට සාම­ගුලි රක්ෂි­තයේ හැදෙයි හෝටලයක් හොර රහසේ

 

 

න සතුන් සඳහා වෙන්ව තිබූ නිජ භූමි බොහොමයක් මේ වන විට මිනිසුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. අද වන විට හම්බන්තොට ඉතිරිව ඇති කුඩා වන බිම් ප්‍රමාණය ද විවිධ ඉඩම් ජාවාරම්කරුවන් විසින් විවිධ දේශපාලන හිතවතුන්ගේ හා ඇතැම් රජයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව මහ දවාලේ අමු අමුවේ මංකොල්ල කමින් තිබේ.

ඉඩම් ජාවාරම්කරුවන් කොතෙකුත් නිතියේ රැහැනට හසු කර ගැනීමට පොලිස් නිලධාරීන් කොතෙකුත් කටයුතු කළද එය නිෂ්පල ක්‍රියාවක් බවට පත්ව ඇත්තේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියම වන දඩ මුදල ගෙවා යළි කිසිදු බාධාවකින් තොරව එම වරදම යළි යළිත් සිදුකිරිමය. ජනතාව පවසන්නේ ඉඩම් ජාවාරම්කරුවන් දිගින් දිගටම මෙම ඉඩම් ජාවාරම සිදු කරන්නේ ඇතැම් වන සංරක්ෂණ නිලධාරීන්ගේ ද සහාය මෙම ජාවාරම්කරුවන්ට නොඅඩුවම ලැබෙන නිසා බවය.

මෙම කතාවට පාදක වන ප්‍රදේශය බාරව ද වන සංරක්ෂණ නිලධාරීන්, වන ජීවි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු නිතිය කරවන නිලධාරින් රැසක් සිටින ප්‍රදේශයක් බවත්, ඒ සියලු දෙනා ඇස් කන් පියා සිටීම මෙම වන සංහාරයට ප්‍රධාන හේතුව බවටත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

තිස්සමහාරාමයේ හෝටල් ව්‍යාපාරිකයකු කිරින්ද පොලිස් වසමට අයත් සියඹලාගස්වැව ප්‍රදේශයේ අක්කර 40ක පමණ භූමියක් ඩෝසර් කර හෝටලයක් හා වැවක් හදමින් සිටීමේ පුවත් අප වාර්තා කර මසක් යන්නත් මත්තෙන් තිස්සමහාරාම ජූල්පල්ලම, සාමගුලිය වන රක්ෂිතයෙහිත් තවත් එවැනිම වන සංහාරයක් පිළිබඳව වාර්තා කිරීමට සිදුව ඇත්තේ වන සංරක්ෂණ නිලධාරීන්ගේ නිහඬ පිළිවෙත නිසා බව නම් දැන් දැන් පැහැදිලිය.

තිස්සමහාරාම ජූල්පල්ලම සාමගුලිය වන රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් එහි අක්කර 06ක පමණ භූමියක් හෙළි පෙහෙළි කර වැවක් හා හෝටලයක් ඉදිකරන බවට තංගල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයාට දුරකතන ඇමතුමක් ලැබුණේ පසුගිය 29 වන දින පස්වරුවේය.

දිගින් දිගටම හම්බන්තොට සිදුවෙන මෙම ඉඩම් මංකොල්ලය පිළිබඳ ව තොරතුරු රැසක් පසුගිය කාලය පුරාම අනාවරණය විමත් හා තමන්ට ලද මෙම තොරතුරත් සමඟින් වහා ක්‍රියාත්මක වූ තංගල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයා මේ පිළිබඳව තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් දැනුවත් කිරීමට පියවර ගැනුණි. ඒ අනුව මෙම ඉඩම් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම බාර වූයේ තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්.ජී. නිමල් ඇතුළු නිළධාරීන් කණ්ඩායමකටය. මේ සඳහා තිස්සමහාරාම, කතරගම හා වීරවිල යන පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් කැඳවා තිබුණි. නිළධාරීන් 15 දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම තිස්සමහාරාම සාමගුලිය වන රක්ෂිතයට යන විටත් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් 09 දෙනකු එහි පොල්වලවල් හාරමින් සිටියේ කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක්ද යොදා ගනිමිනි.

වන සංරක්ෂණයට අයත් භූමියකට අ‍නවසරයෙන් ඇතුළු වී එහි වූ ගස් කොළන් කපා දමා වන විනාශයක් සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එහි ප්‍රධාන සැකකරු ඇතුළු 09 දෙනෙකු හා කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයද පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් 09 දෙනා 30 වන දින පොලිසිය විසින් ඉදිරිපත් කෙරුණේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයටය.එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර නියෝග කෙරුණේ එක් අයකුට රුපියල් විසි දහස බැගින් මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් බැගින් සැකකරුවන් 09 දෙනා නිදහස් කරන ලෙසයි.

මෙලෙස ඇප මත මුදා හැරුණේ මෙම වන සංහාරය සිදුකල බව කියන ප්‍රධාන සැකකරු වන තිස්සමහාරාම ජූල්පල්ලම, 03 වන පටුමගේ,අංක 544/7 සී ලිපිනයේ පදිංචි බුද්ධික ප්‍රදීප් විජේසිංහ නැමති අය හා ඉඩමෙහි සේවය කළ තවත් පුද්ගලයන් අට දෙනෙකුය.

එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ ඉඩමෙහි සේවය කරමින් සිටි පුද්ගලයන් 08 දෙනා අතරින් දෙදෙනෙකු වවුනියාව ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතිකයන් බවත් හා අනෙකු සැකකරුවන් තිස්සමහාරාම, ජූල්පල්ලම හා බුත්තල ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි. අදාළ දෙමළ ජාතිකයන් දෙදෙනා මීට මාස හයකට පමණ පෙර මෙම ඉඩමෙහි සේවයට පැමිණ තිබූ බවද පොලිස් ප්‍රශ්න කිරීමෙදී අනාවරණය වී තිබේ. එමෙන්ම අත්අඩංගුවටපත් ප්‍රධාන සැකකරු මීට වසර දෙකකට පෙර සිට මේ ආසන්න ප්‍රදේශයේ හේන් ගොවිතැන හා කෙසෙල් වගාවක් සිදු කරගෙන ගොස් ඇති අතර පසුව අක්කර කාලක් සඳහා ද බලපත්‍රයක්ද ලබාගෙන තිබේ. පසුව සැකකරු විසින් අක්කර කාලේ බලපත්‍රය උපයෝගී කරගනිමින් ඒ අවට ඇති වන සංරක්ෂණයට අයත් අක්කර 06ක පමණ භූමි භාගයක් ටිකෙන් ටික හෙළි පෙහෙළි කර අල්ලාගෙන පසුව එහි හෝටලයක් හා වැවක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. විමර්ශන නිලධාරීන්ගේ මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ සැකකරු විසින් මෙලෙස අල්ලාගෙන ඇති කැලෑ කොටසෙහි තිබූ දැවමය වටිනාකමක් ඇති බුරුත, කොහොඹ ඇතුළු විශාල ප්‍රමාණයේ ගස් ද කපා දමා වැව හෑරීම හා අදාළ ගොඩනැගිලි සෑදිමද කර ඇති බව බවයි.

එමෙන්ම අප වැඩිදුරටක් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ අත්අඩංගුවට පත් මේ ප්‍රධාන සැකකරුට මෙම ඉදිකිරීම් ආරම්භ කළ මුල් අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, පසුව වන සංරක්ෂණ නිලධාරීන් මෙම සැකකරුට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකර නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බවත්ය. ප්‍රදේශයේ ජනතාව පැවසුවේ සැකකරුට එරෙහිව නිතිය ක්‍රියාත්මක මුල් අවස්ථාවේදීම වන සංරක්ෂණ නිළධාරීන් නියමිත පරිදි මේ සඳහා මැදිහත් වීම සිදු කළේ නම් සැකකරු මෙතරම් වන විනාශයක් සිදු නොකරන බවයි. මෙහි ගොඩනැගිල්ලක් ඉදි කළ මුල් අවස්ථාවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණත් ඉන් එහාට සැකකරු මේ ස්ථානයෙන් ඉවත් වුයේ ද, නැත්නම් තව දුරටත් කැලය කපමින් සිටින්නේ ද යන්න පිළිබඳ ව නිසි පරිදි සොයා බැලීමට වන සංරක්ෂණ නිලධාරීන්ට අවස්ථාව පැවතිය ද ඔවුන් සිය රාජකාරිය නිසි පරිදි ඉටු කර නැති බව ද ජනතාව චෝදනා කරති.

අධිකරණයෙන් ඇප මත මුදාහැරි සැකකරුවන් 09 දෙනාට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය අනවසරයෙන් අල්ලා ගන්නා ලද ඉඩමෙහි කැලෑ හෙළි කිරිම තව දුරටත් සිදු නොකරන ලෙසට හා එහි ඉදිකරන වැවෙහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය ප්‍රධාන සැකකරුට නියෝග කළාය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක මෙලෙස දැවැන්ත වන විනාශයක් සිදුවෙද්දී ඊට ක්‍රියාත්මක විය යුතුව තිබූ වන සංරක්ෂණ නිලධාරීන් නිහඬ ව සිටි පසුබිමක පොලිස් නිළධාරීන් ක්‍රියාත්මක වී මෙම ඉඩම් ජාවාරම නැවැත්වීමට පියවර ගැනීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව පොලිස් නිලධාරීන්ට දැඩි ප්‍රසාදය පළ කරන අතර වන සංරක්ෂණ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙළා දකින බවත් ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ වෙතත් දිගින් දිගටම චෝදනා එල්ල වන තිස්සමහාරාම අඩවි වන නිලධාරී කාර්යාලයෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසිමක් සිදු කළ අතර එහි ප්‍රකාශකයකු මෙලෙස පැවසීය.

‘මෙම සැකකරු සාමගුළිය වන රක්ෂිතයට ඇතුළු වී වනයට හානි කිරීමට අදාළ ව වන සංරක්ෂණ නිලධාරීන් ලෙස අප නිතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව 2021.10.15වන දින සැකකරු වන රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වීම, ඉදිකිරීමක් සිදුකිරීම, වළක් හෑරීම ඇතුළුව චෝදනා 04ක් යටතේ අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමට කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් වන නඩුවකුත් තවම විභාග වෙමින් තියෙද්දි තමයි යළි සැකකරු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ. කුමන පාර්ශ්වයෙන් හෝ අඩුවක් සිදුව තියෙනවා වගේම වන අපරාධයකුත් සිදු වෙලා තියෙනවා. වන සංරක්ෂණ නිලධාරීන් ලෙස අප තවදුරටත් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරනවා‘

නිලධාරීන් විසින් හම්බන්තොට සිදුවන විවිධ වන සංහාර පිළිබඳව නීතිය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කළ ද තවමත් දිස්ත්‍රික්කය පුරා තැනින් තැන සිදුවන වන සංහාරවල නම් කිසිදු අඩුවක් නොමැති බව ඉතා පැහැදිලිය. බහුතරයක් ඉඩම් ජාවාරම්කරුවන් ඇති හැකි යමක් කර ගත හැකි අය වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

Comments