
වසර 24 කට අධික කාලයක් තිස්සේ පැවති ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව එකවර ඉවත් කිරීමේ තීරණය පසුගිය (10) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉතා වැදගත් තීන්දුවක් වශයෙන් ඉතිහාසගත වේ. මෙම තීරණය ගැනීමට අදාළ කාරණය පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ සිදුනොවූ අතර එම තීරණය ගැනීමට අදාළ සාකච්ඡාව සිදුවූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 1 දීය.
අයවැයට පෙර එළියට ආ අයවැය රහස්
එදින දහවල් 11.45 පමණ වන විට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ලේකම්වරුන් ඇතුළු 100 කට ආසන්න පිරිසක් රැස්ව සිටියේ සෞඛ්‍යාරක්ෂණ උපදෙස්වලට අනුවය.
දහවල් 12.00 ට මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයා මෙම රැස්වීමට පැමිණි අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ.
මුලින්ම අදහස් දැක්වුයේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය.
මීට පෙර මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල ගත් තීරණ සමඟින් මෙම ගැටලුවේ ඉතිහාසය සම්බන්ධයෙන් යම් සාරාංශයක් දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
ගුරු වැටුප් ගැටලුවට විසඳුම්
"මෙම වැටුප් විෂමතාව අදියර 2 ක් යටතේ විසඳුම් ලබාදීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති රැස්වීමේදී තීරණය කරලා තිබුණා. වසර ගණනාවක් තිස්සේ පැවතුණු මෙම වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා හැමවිටම අපි සාධනීය පියවරක් ගත්තා." යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පැහැදිලි කරන ලදී.
ඉන්පසු කතා කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාය.
"මේ වෘත්තීය සමිතිය යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්න ඕන කියලා තියෙනවා නේද? යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගම් නියෝජිතයන් දෙස අවධානය යොමු කරමිනි.
ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ විසින්ම එම යෝජනාවලිය මූලාසනයේ සිටි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට භාරදෙන ලදී.
ඉන්පසුව එම යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන්ට ද වසන්තා හඳපාන්ගොඩ විසින් ඉදිරිපත් කළාය.
ඉන් අනතුරුව එම යෝජනාවලියේ කරුණු වසන්තා හඳපාන්ගොඩ විසින් ඉදිරිපත් කරන අතර ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයෙහි ඉතිහාසය ගැන ආවර්ජනය කිරීමට ද ඇය අමතක නොකළාය.
වසන්තාගේ කතාව දිග්ගැස්සෙන බව ඉවෙන් මෙන් දැනගත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වසන්තාට උපදෙස් ලබා දුන්නේ මූලික කාරණාවලට පැමිණීම වඩාත් යහපත් බව ප්‍රකාශ කරමිනි.
වසන්තා හඳපාන්ගොඩ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හඬ අවදි කළේය.
"මං මුලින්ම කියන්න කැමතියි, ගුරු - විදුහල්පති සංගම් මඟින් මේ ගැන කතා කරන්න සාකච්ඡා කරන්න සාකච්ඡාවක් ඉල්ලූ වෙලාවේ ඒ ලබා නොදුන්නේ මුරණ්ඩුකම නිසා නොවෙයි. එකවර මෙම වැටුප් විෂමතාව ඉවත් කිරීමට මුදල් වෙන්කරන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. ඒ නිසා තමයි සාකච්ඡාවක් ලබා නොදුන්නේ.
මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ රටේ අනාගතය භාරකරන්න ඉන්න දරු පරපුර වෙනුවෙන් මෙම ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව විසඳන්න කියලා.
අගමැතිගෙන් හා දිනේෂ්ගෙනුත් අත්පොළසන්
12 වැනිදා අය - වැයෙන් මෙම වැටුප් විෂමතාව එකවර විසඳන්න අදාළ යෝජනාව කරන්න ඉන්නේ. ඒත් අය - වැය යෝජනාවේ එක් යෝජනාවක් මං මෙතැනදී කියනවා. ඒ අනුව මෙවර අය - වැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව එකවර විසඳනවා. අවුරුදු 24 ක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නය එකවර මෙවර විසඳනවා." යනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන විට සභාවෙන් නැඟුණේ ඉතා දිගු අත්පොළසන් නාදයකි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් ද එහිදී අත්පොළසන් ලබාදීම විශේෂත්වයකි.
ඉන්පසුව මෙවර අය - වැයෙහි තවත් රහසක් බැසිල් රාජපක්ෂ විසින් හෙළි කරන ලදී.
"සමස්ත අය - වැයෙන් 6% ක් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කරන්න යැයි කියලා ඉල්ලපු කට්ටිය ඒගොල්ලන් බලයට ආවට පස්සේ ඒවා ලබා දුන්නේ නැහැ. ඒ වෙලාවේ ඒ වෙනුවෙන් සටන් කළ අයත් නිශ්ශබ්ද වුණා.
මේ පාර අය - වැයෙන් සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් 7.5% ක මුදලක් වෙන්කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. අපේ රටේ ඉතිහාසයේ අය - වැයකින් 6% කට වඩා වැඩි මුදලක් වෙන් කරන්නේ මුල් වරටයි." යනුවෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා තවත් අය - වැය රහසක් හෙළි කරන විට සභාවෙන් නැඟුණේ තවත් දිගු අත්පොළසන් නාදයකි.
එම අත්පොළසන් නාදයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත් එක්වූහ.
මීට අමතරව තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සලකා බලන බවත් පැවසූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන ලද්දේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් එකට එක්වී ක්‍රියාකිරීම ඉතා වැදගත් වන බවයි.
වෘත්තිය සමිති කිහිපයකම නියෝජිතයන් විසින් ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව එකවර විසඳීම සඳහා ආණ්ඩුව ගත් තීරණය පැසසුමට ලක් කරන ලදී.
මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං අදහස් දක්වමින් කියා සිටියේ පොහොට්ටුවේ ගුරු වෘත්තිය සමිතිය කිසිවක් නොදන්නා බවයි.
එම යෝජනාව තමන් දැකලාවත් නොමැති බවද ජෝශප් ස්ටාලිං විසින් ප්‍රකාශ කරන ලදී. "කොහොම වුණත් අධ්‍යාපන සේවාව කියලා එකක් තියෙනවා. අන්න ඒ අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළත මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන්න" යනුවෙන් ජෝශප් ස්ටාලිං ප්‍රකාශ කළේය.
මහින්ද ජයසිංහ අදහස් දක්වමින් කියා සිටියේ මුලින්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෘත්තීය සමිතිවලට කතාවක් ලබා නොදීමේ කාරණය ගැන එකඟ විය නොහැකි බවයි.
එම සාකච්ඡාව අවසානයේදී ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ භෝජනාගාරය වෙත දිවා ආහාරය ලබා ගැනීම සඳහා ගියහ.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගිය පසු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වටකරගත් වෘත්තීය සමිති නියෝජිතයන් සුහදව තවදුරටත් සාකච්ඡා කරන ආකාරයක් දැකගත හැකි විය.
"රට භාරගන්න ඉන්න අනාගත දරු පරපුර වෙනුවෙන් අපි එකතුවෙලා වැඩ කරමු." යනුවෙන් දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමට සියලු දෙනාගේ එකඟතාව හිමිවූ අතර වසර 24 ක් තිස්සේ නොවිසඳී පැවති ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඒ ආකාරයෙන් අවසන් විය.
ජනපතිගෙන් හැඟීම්බර ප්‍රකාශයක්
පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. ජනාධිපති ගෝඨාභය නිතරම සිටියේ පාර්ලිමේන්තුවේ සිදුවන දේ ගැන හොඳ අවබෝධයකින් හා අවධානයකින් යුතුව ය. ළඟ ළඟම එන අයවැයක් ගැන වාද විවාද සංවාද ඇති කරගත යුතුව තිබුණත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයෙන් නිතර නිතරම මතු කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ, යුගදනවි බලාගාරය පවරාදීම, ගුරු අරගල, රටේ බඩු මිල ඉහළ යාම වැනි කරුණු ය.
ඒ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය බදාදා උදේ අරලියගහ මන්දිරයට ගියේ තවත් විශේෂ උත්සවයකට සහභාගි වන්නටය.
එතන ජාතික විද්‍යා දින සමරුව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා නවෝත්පාදන අමාත්‍යාංශය විසින් එම උත්සවය සංවිධානය කර තිබිණ. විද්‍යා දිනය වෙනුවෙන් ලංකාව පුරා පාසල්වල නව නිපැයුම් බිහි කිරීම සඳහා ළමුන් පුරුදු පුහුණු කරවීමට නවෝත්පාදන විද්‍යාගාර බිහි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබිණ. මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස එක් පළාතකින් එක් විද්‍යාලය බැගින් තෝරාගෙන එම විද්‍යාලයේ විදුහල්පතිවරයාත් ශිෂ්‍යයෙකුත් මෙම උත්සවයට සහභාගී කරගෙන තිබූ අතර ඔවුන් වෙනුවෙන් මෙම නව විද්‍යාගාර ඉදි කිරීම සඳහා මුදල් ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක්ද සූදානම්ව තිබිණි. සීතා අරඹේපොල හා විජිත බේරුගොඩ රාජ්‍ය ඇමතිවරුන් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර නාමල් රාජපක්ෂ ද එහි විශේෂ ආරාධිතයෙක් විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණෙන විට එම සියලුම දෙනා එතනට පැමිණ සිටියහ.
සුහද කතාබහින් පසුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය. උත්සවයේ අරමුණ හා වැඩපිළිවෙළ පැහැදිලි කරමින් සීතා අරඹෙපොල කතා කළ අතර අනාගත පරපුර විද්‍යාත්මක නිෂ්පාදන සඳහා යොමුවිය යුතු බව පෙන්වා දෙමින් විශේෂ කතාවක් කළාය. ඇය කීවේ නව පරපුර විද්‍යාත්මකව කල්පනා කරමින් විද්‍යාත්මකව සිතා බලා විද්‍යාත්මකව වැඩ නොකළහොත් සමාජය තුළ අවිද්‍යාව රජයන්නට පටන්ගෙන අවසානයේ මිත්‍යාවේ ගොදුරු බවට අනාගත පරපුර පත්වනු ඇති බව ය.
උත්සව සභාව ඇමතීමට මෙහිදී ජනාධිපතිවරයාට විශේෂ කතාවක් ද සූදානම් කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා එම කතාව පසෙක තබා තම සිතැඟි පරිදි කතා කරන්නට පටන් ගත්තේය.
විපක්ෂය හා දේශපාලනීකරණය වූ ඇතැම් ගුරු සංගම් අනාගත පරම්පරාව ප්‍රාණ ඇපයට තබාගෙන කරන ලද උද්ඝෝෂණ මාලාව තුළ පාසල් දරු පරපුරට මුහුණපාන්නට සිදු වූ ගැටලු ගැන ඔහු හොඳ විවරණයක් කළේය.
''විපක්ෂය හිතන් ඉන්නේ විපක්ෂයේ කාර්යභාරය කරනවා කියලා කියන්නේ හැමදේටම විරුද්ධ වෙන එකට කියලයි.
අපි කොවිඩ් පාලනය කරලා පාසල් පටන් ගත්තම ඒගොල්ලෝ කියනවා නව සාමාන්‍යකරණය යටතේ පාසල් පටන් ගන්නලු. ඒගොල්ලන්ට ඕන කල් අරින්න.
දැන් අවුරුදු දෙකක් දරුවන්ට පාසල් නැති වුණා. තවදුරටත් දරුවෝ ගෙදර තියලා විපක්ෂයට ඒගොල්ලොන්ගෙ මත ඉදිරියට ගෙනයන වෘත්තීය සමිතිවලට උද්ඝෝෂණ කරන්න දෙන්න බෑ. අපි විද්‍යාත්මකව හිතලා වැඩ කරන්න ඕන. එතකොට තමයි හරි දේට එකඟ වෙන්නත් වැරදි දේට විරුද්ධ වෙන්නත් අවශ්‍ය දර්ශනය අපට ලැබෙන්නේ.
හැමදේටම විරුද්ධ වෙන එක විපක්ෂයේ කාර්යභාරය නෙවෙයි. අපට කලින් අවුරුදු පහක් රට කරපු කට්ටිය, පහුගිය අවුරුදු දෙක ඇතුළත රට කරන හැටි අපට කියලා දෙන්න හදනවා. ඒගොල්ලො රට පාලනේ කරන එක හරියට කරපු නැති නිසයි ජනතාව රට අපට බාර දුන්නේ. විපක්ෂයට දැන් ඒක අමතකයි.
ජනතාව අපට රට භාර දුන්නෙ ඒගොල්ලන්ට කරන්න බැරි වුණ දේවල් කරන්න. ඒගොල්ලො නොකළ දේවල් කරන්න.
පහුගිය දිනවල අපට යම් යම් දේ කරන්න බැරි වුණා. පුළුවන් දේ කළා. අපට තව කල් තියනවා. ජනතාව බලාපොරොත්තු වුණ දේවල් අපි කරන්නෙ නැත්නම් ජනතාවට පුළුවන් අපිවත් ගෙදර යවන්න.
හැබැයි අපිව ගෙදර යවලා විපක්ෂයට බලය දීලා හරියන්නේ නෑ. ඒගොල්ලො ජනතාවට අවශ්‍ය දේ නොකළ නිසයි අපට දුන්නේ. අපිත් ඒ දේ නොකළොත් එදාට ඔබ කැමති වෙනත් පිරිසකට බලය දීලා බලන්න. ඒක කරන්නෙ කොහොමද කියල මම දන්නෙ නෑ. හැබැයි ඒකයි කළ යුත්තේ...."
ජනාධිපතිවරයා එසේ කරන ලද කතාව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්නට සමත් වූහ. බොහෝ තැන් වල කතාබහට ලක්විය. ඇතැමුන්ගේ විවේචනවලට ද පාත්‍ර විය. ඒත් එය එතුමන් විසින් විටෙක ආවේගශීලීව හා විටක හැඟුම්බරව කරන ලද අවංක අදහස් ප්‍රකාශනයක් ම විය.
වැඩිපුරම නිදිවරන ඇමති කවුද?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ දිනවල වැඩියෙන්ම නිදිවරන අමාත්‍යවරයාය. ශ්‍රී ලංකාවේ 76 වැනි අය-වැය මෙන්ම විසි දෙවැනි මුදල් අමාත්‍ය වන ඔහුගේ මංගල අයවැය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ තෙවන අයවැය පසුගිය දොළොස් වැනි සිකුරාදා සවස දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මේ දක්වා අභියෝගාත්මක අයවැය සකස් කිරීම සඳහා පසුගිය සති දෙකක පමණ කාලයක් ඔස්සේ දිගටම මධ්‍යම රාත්‍රිය පසුවී අලුයම 2 පමණ වනතුරු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට නිදි වර්ජිතව ගත කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකා - ඉන්දියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංවිධානයේ නව සභාපතිවරයා ලෙස වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ නිතරගයෙන් තේරි පත් කරගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ නමවන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් 11 දින පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේදි නව වන පාර්ලිමේන්තුව වෙනුවෙන් නව නිලධාරි මණ්ඩලයක් පත් කරගැනීම සඳහා පැවති විශේෂ සභා රැස්වීමකදී මෙම පත්කිරීම සිදු වී තිබේ.
චමල්ටත් මුල් පුටුවක්
මේ අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ ඇතුළු ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනතා බලවේගය, දෙමළ ජාතික සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂවලට අයත් මැති ඇමතිවරුද සහභාගී වී සිටියහ.
එම පක්ෂවල ඒකමතිකත්වයෙන් සභාපති ධූරයට පත් වූ චමල් රාජපක්ෂ 1989 සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන අතරම 2010-2015 කාලවල පැවති 7 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකා ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංවිධානයේ සභාපති ධූරයට පත් වීම පිළිබඳව අදහස් දැක් වූ අමාත්‍ය චමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික බැඳීම තුළින් දෙරටම සුවිශේෂී ජයග්‍රහණයන් උදා කරගත් බවත් මෙම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංවිධානය මඟින් ද්වීපාර්ශ්වීය වශයෙන් සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික සහ ආර්ථික ආදී ඵලදායී අවස්ථා නිර්මාණය කරගැනීම සඳහා සුභවාදී ප්‍රවේශයක් වනු ඇතැයි පැවසීය.
නාමල් තරුණ සේවා සභාවට භාරදුන් අලුත්ම වැඩේ
මේ ආණ්ඩුව බලයට පත් කරන්න තරුණ තරුණියෝ ලොකු වැඩ කොටසක් කළා. ජනාධිපතිතුමා රට බාර ගන්නකොටම කොල්ලො කෙල්ලො එකතුවෙලා තාප්පවල චිත්‍ර ඇන්දා. රට ලස්සන කළා. එහෙම කළේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ අයත් රට යන පෝලිමේ ඉන්නවද කියලා බලන්න ඕනෑ. යනුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තම සමීපතමයන් සමඟ පවසා තිබුණි.
ඒ අනුව එම ව්‍යාපෘතියේ ද වැඩි බරක් ඇමැති නාමල් රාජපක්ෂට පැවරිණි. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා පෞද්ගලික දානපතීන් ද අත්වැල් බැඳගනිමින් ඉදිකළ, අපේක්ෂාවේ යථාර්ථය, කෝවිඩි ප්‍රතිකාර නව වාට්ටුව ඉකුත්දා විවෘත කෙරුණේ ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙනි. එදින අපේක්ෂා රෝහල කඩිගුලක් සේ දිස් වූ අතර, දහසකුත් රාජකාරි මැද එතනට පැමිණි අග්‍රාමාත්‍යවරයා විසින් තමන්ට පවරන ලද වගකීම ද අමතක නොකළේය. උත්සවය නිමවා පිටතට පැමිණෙත්ම ඔහු ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහට කතා කළේ අන් යමක් නිසා නොව තවත් වගකීම් පැවරීමටය.
දමිත! ඔයාට පොඩි වැඩක් තියෙනවා. මෙතෙක් බාර දීපු හැම වැඩක්ම හිතුවටත් වඩා හොඳට කළා වගේම මේකත් කරන්න බලන්න. මේ ආණ්ඩුව බලයට එද්දි තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයෝ ගැන අගමැතිතුමා ඉන්නේ සෙවිල්ලෙන්. ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරලා දිස්ත්‍රික් වශයෙන් කණ්ඩායම් හඳුනාගන්න. වෙන් වෙන් වශයෙන් හැමෝම එක්ක කතා කරලා ඒ අය අපේ hope for Sri Lanka වැඩ සටහනට එකතු කරන්න බලන්න. ඒ අය ඇගයීමක් වශයෙන් තරුණ ව්‍යාපෘති සංවර්ධන යාන්ත්‍රණයකුත් සකස් කරන්න බලන්න. අද හෙටම මේ වැඩේට අත ගසන්න. යැයි ඇමැතිවරයා සභාපතිවරයාට උපදෙස් දුන්නේ ය.
ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ ඇතුළු බලධාරීන් දැනටමත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර, තව නොබෝ දිනෙකින්ම ඒ ඒ ප්‍රදේශ වෙත ගොස් තරුණ පිරිස මුණ ගැසීම ඔවුන්ගේ අරමුණයි. එහි ප්‍රගතිය පිළිබඳව ඇමැතිවරයා දැනුම්වත් කිරීමට ද කටයුතු යොදා ඇති අතර, තරුණ ආකර්ෂණය ඉහළින්ම මේ සඳහා ලැබෙනු ඇතැයිද කවුරුත් විශ්වාස කරති.
සජිත්ගේ අලුත්ම සටන් පාඨය
සමගි ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විශේෂ කාරණා කිහිපයක් මුල් කරගෙන ය. එකක් ආණ්ඩුව ගෙන ඒමට නියමිත අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම ය.අනෙක සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන "ශාපයට එරෙහි ජනතා විරෝධතාව" පිළිබඳව සාකච්ඡා කිරීමටය.
මුලින්ම අයවැය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර එහිදී එරාන් වික්‍රමරත්න කියා සිටියේ ආණ්ඩුව හිස් අයවැයක් ගෙන ඒමට සූදානමින් සිටින බවයි.
"අපේ මන්ත්‍රී කණ්ඩායම ඒ ඒ විෂයන් වලට කමිටු විදිහට වෙන් කරලා, ඒ ඒ ක්ෂේත්‍ර ගැන අවබෝධයක් තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා එක්ක සාකච්ඡා තියලා අයවැය විවාදයට මුහුණ දෙමු"සජිත් ඒ යෝජනාව ගෙනා අතර සියලු දෙනාම ඊට එකඟ විය.
"ගිය වතාවේ අයවැයේදී අපි ආණ්ඩුවට හොඳටම ඇටෑක් කරා.අපි කියපු හැමදේටම පදනමක් තිබ්බා.මේ වතාවෙත් ඒවගේ තර්කානුකූලව අයවැයට මුහුණ දෙමු" එහෙම කීවේ මනුෂ ය. ඉන් අනතුරුව සාකච්ඡාවට ගැනුණේ 16 වෙනිදා සිදුකරන්නට යන විරෝධතාව පිළිබඳවය. "අනිවාර්යෙන්ම ආණ්ඩුව මේ ගැන ගැස්සිලා ඉන්නේ.අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕන ආණ්ඩුව මොන වගේ දේවල් වලට යයිද කියලා."
සරත් ෆොන්සේකා එහෙම කීවේය.
"මෙය උසාවි නියෝගයක් ගන්නත් පුළුවන් " චම්පික කීවේය. කුමන බාධක පැමිණියද සමගි ජන බලවේගය මොන බාධක හමුවේ හෝ විරෝධතාව පවත්වන්නට තීරණය කොට තිබේ.
මහා වැස්සේ ෆයිල් උස්සාගෙන වජිර කළුතර
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන සම්බන්ධව පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවක් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින පුරාවට එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පානදුර, බණ්ඩාරගම, හොරණ, බුලත්සිංහල යන මැතිවරණ කොට්ඨාසවල ක්‍රියාත්මක විය.
එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා විවිධ සමාජ ස්තරවලට අයත් ක්‍රියාකාරීන් හඳුනාගනිමින් ඔවුන් පක්ෂයේ වැඩකටයුතුවලට දායක කරගන්නා ආකාරය පිළිබඳව දැනුම්වත් කරමින් පැවැති මෙම ක්‍රියාකාරී රැස්වීම් පැවැත්විණි.
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගාල්ල, හම්බන්තොට, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ක්‍රියාවට නැංවීම වජිරට බාරදී තිබෙන අතර ඒ සෑම වැඩසටහනකදීම සිංහල සහ දෙමළ භාෂාවලින් මුද්‍රිත ප්‍රතිසංවිධානයට අදාළ ලිපි ගොනු ක්‍රියාකාරීන්ට බෙදා දෙමින් ඒ පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම සිදුකරනු ලබයි.