අසා­ර්ථක මූල්‍ය සමා­ගම් පුන­ර්ජී­ව­න­යට උප­දේ­ශන කමි­ටු­වක් | Page 2 | සිළුමිණ

අසා­ර්ථක මූල්‍ය සමා­ගම් පුන­ර්ජී­ව­න­යට උප­දේ­ශන කමි­ටු­වක්

ර්ථික නිර්වචනයට අනුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් යනු, මුල්‍ය අතරමැදි ආයතන වේ. මහජන තැන්පතු බාර ගැනීම, කල්බදු හෙවත් ලීසිං ක්‍රමය යටතේ ණය ලෙස මුදල් ලබා දීම, රන් භාණ්ඩ උකස් ගැනීම ආදී කටයුතු ප්‍රධාන වශයෙන් ඔවුන් සිය මූල්‍ය ව්‍යාපාරය තුළ සිදු කරයි.

එහෙත් පසුගිය දශක දෙකක පමණ කාලයේ ශ්‍රී ලංකාවේ ඇතැම් මූල්‍ය සමාගම් රට තුළ ඉතාමත් අයහපත් වාතාවරණයක් ඇති කළ අතර, එමගින් තැන්පතු හිමියන්ට විශාල ආර්ථික අර්බුදයන්ට මුහුණ පෑමට සිදු විය. මෙවැනි මූල්‍ය සමාගම් විශ්වාස කොට, සිය සේසතම අහිමි කර ගත් වැඩිහිටි තැන්පත්කරුවන් ගණනාවක් ම, තමන්ට මුහුණ පාන්නට සිදු වූ කරදර සහ හිත් වේදනා දරා ගත නොහැකි ව ජීවිතයෙන් ද වන්දි ගෙවීය.

මෙලෙස ජන ජීවිතය හා බැඳී හිඳින මූල්‍ය සමාගම් අසාර්ථකත්වයට පත් වීමට බලපාන ලද හේතු කිහිපයක්, ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් විසින් හඳුනාගෙන තිබේ.

වමේ සිට, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධි­පති සහ කොම­ර්ෂල් බැංකුවේ හිටපු සභා­පති ධර්ම ධීර­සිංහ,  ප්‍රයි­ස්වෝ­ටර් හවුස් කූපර් කළ­ම­නා­කාර හවු­ල්කරු සුජීව මුද­ලිගේ,  මුවර් ස්ටීවන්ස්  කන්ස­ල්ටින් (පුද්ග­ලික) සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ, ටිරාන් සුබ­සිංහ,  වර­ලත් ගණ­කා­ධි­කාරී  අම­ර­සේ­කර  සහ සමා­ගමේ ජ්‍යෙෂ්ඨ හවු­ල්කරු( විග­ණ­නය හා සහ­තික කිරීම) ත්‍යාග­රාජා ධර්ම රාජා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩ­ලයේ පත් කළ සාමා­ජික,
ආචාර්ය රාණි ජය­මහ

මනා ගිණුම්කරණ පද්ධතියක් නොතිබීම, රෙගුලාසිමය නීතිවලින් බැහැරව කටයුතු කිරීම, අන්තර් පාර්ශ්වයන් සමඟ මහා පරිමාණ ගනුදෙනු සිදුකිරීම, මනා අධික්ෂණය සහ කළමනාකරණ දුර්වලතාව, වංචනික ක්‍රියාකාරකම් සහ අධිකාරිය නොළත් තැන්පතු බාරගැනීම, උප සමාගම්වල සහ ආශ්‍රිත සමාගම්වල ආයෝජනය සහ අරමුදල් අවභාවිතය, ආදායම් හඳුනා ගැනීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්තීන්වල අයහපත්භාවය, නිරන්තර ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනය,

ඇතැම් බාහිර විගණකවරුන්ට තම විගණනයේදී මූල්‍ය සමාගම්වල පැවති දුර්වලතා සහ විෂමාචාර නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත්වීම සහ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලනයක් නොපැවතීම ඒ අතර ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය.

මේ ඕනෑම හේතුවක් හෝ හේතු කිහිපයක් මූල්‍ය සමාගම්වල අස්ථාවර භාවයට ප්‍රබල ලෙස බලපා ඇති අතර එමගින් රටේ මූල්‍ය ස්ථායිතාවයට තර්ජනයක් සහ මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මහජනතාව ගේ විශ්වාසය බිඳ දැමීමට හේතු සාධක වී ඇත.

අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා උපදේශන කමිටුවක් පිහිටුවීමට පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේ මෙවැනි පසුබිමකය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප සොයා බැලීමට උපදේශන කමිටුවක් පත් කළ අතර, ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් වන සීමාසහිත සී.බී.සී. ෆිනෑන්ස් ලිමිටඩ් සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති ධර්ම ධීරසිංහ එහි සභාපතිත්වයට පත් කර ඇති අතර, ප්‍රයිස්වෝටර් හවුස් කූපර් කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ, මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ටිරාන් සුබසිංහ සහ වරලත් ගණකාධිකාරීවරු වන අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු( විගණනය හා සහතික කිරීම) ත්‍යාගරාජා ධර්ම රාජා යන අය මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබයි. එසේම, ශ්‍රී ලංකා මහ

බැංකුවේ මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජික ආචාර්ය රාණි ජයමහ කමිටුවේ උපදේශක ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ජේ.පී. ආර්. කරුණාරත්න කමිටුවේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරනු ලබයි.

ඒ අනුව,

* සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩි ෆිනෑන්ස් ලිමිටඩ්, ඊ.ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී., ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්

යන අසාර්ථක මූල්‍ය සමාගම්වල බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර ඇති අතර, ඒවා පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මුදල් මණ්ඩලය විසින් මෙම කමිටුවට පවරා ඇත.

අසාර්ථක වූ මෙම සමාගම් පහේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ස්වාධීන තක්සේරුවක් සිදු කිරීම, මූල්‍ය, නෛතික, බදු සහ අනෙකුත් වැදගත් මෙහෙයුම් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි යෝග්‍යතා පිරික්සීම, නිසි යෝග්‍යතා පිරික්සීමවලට අනුව අවශ්‍ය ගැළපීම ඇතුළත් කිරීමෙන් පසු ආයතනවල මූල්‍ය තත්ත්වයන් තක්සේරු කර, අවසානයේ වාසි සහ අවාසි පෙන්නුම් කරමින් එක් එක් ආයතනය පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප නිර්දේශ කිරීම, මෙම කමිටුව මගින් අපේක්ෂා කරන අතර, යම් ආයතනයක් පුනර්ජීවනය කිරීම ප්‍රායෝගික නොවන බව පෙනී යන්නේ නම්, එම ආයතනය ගණන් බේරා වසා දැමීමට ද කමිටුව විසින් නිර්දේශ කළ හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

මෙම කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳ එහි සභාපති, ධර්ම ධීරසිංහගෙන් මේ පිළිබඳ විමසුවෙමු.

" මෙය උපදේශන කමිටුවක්. මේ කමිටුව පත් කිරිමේ අරමුණ වන්නේ, මෙම මූල්‍ය සමාගම් පහ නැවත ව්‍යාපාර කටයුතු කරන තත්ත්වයට පත් කිරීම කළ හැකි දැයි කියන ප්‍රශ්නය මූලික කරගෙන, එය අධ්‍යයනය කර ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් දෙකෙන් එකක් තමයි, මූල්‍ය ආයතන නියාමනය කිරීම. ඒ සඳහා අදාළව මුලින්ම පිහිටවූ දෙපාර්තමේන්තුව තමයි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. 2010 වසර වන විට මූල්‍ය හා කල්බදු සමාගම් 87ක් මෙරට තිබුණා. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලසුමක් හඳුන්වා දුන්නේ ඔය කාලෙදි. එහි අරමුණ වූයේ මුල්‍ය ආයතනවල අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීමයි.

කුඩා කුඩා මූල්‍ය ආයතන රාශියක් ලෙස තිබිය දී ඒවායේ කළමනාකාරිත්වය ඉතාම දුර්වල මට්ටමක තිබෙන නිසා, මේවා බැංකු පද්ධතියට හෝ විශාල මූල්‍ය සමාගම්වලට අනුයුක්ත කර, මූල්‍ය සමාගම් සංඛ්‍යාව අඩු කර, එම සමාගම්වල විශාලත්වය වැඩි කිරීමෙන් අධික්ෂණය කිරීම පහසුයි කියන පදනමේ සිට තමයි මුල් අවදියේ මේ සැලසුම ක්‍රියාත්මක කළේ. 87ක් ව පැවති කල්බදු හා මූල්‍ය සමාගම් 41 දක්වා අඩු වුණේ මෙලෙස ක්‍රියාත්මක කළ ඒකාබද්ධ සැලසුමෙන්.

නමුත් පසුගිය රජයෙන් වාර්තාවක් ඉදිරිපත් වුණා මූල්‍ය සමාගම් මෙසේ ඒකාබද්ධ කිරීම අවශ්‍ය නැහැ, කුඩා සමාගම් ලෙස තිබුණාට කමක් නැහැ කියන තීන්දුවෙන්.

එවිට අර එකාබද්ධ සැලසුම නතර වුණා. ඉන් පස්සේ තමයි තනි තනිවම ක්‍රියාත්මක වූ ඔය කියන මූල්‍ය සමාගම් පහ බංකොලොත් භාවයට පත් වුණේ. එම කඩා වැටීමත් සමඟයි මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ මේවායේ බලපත්‍ර අහෝසි කළ යුතු බව.

කෙසේවෙතත්, තැන්පත්කරුවන් ගේ මුදල්වලට එම ආයතනවලින් යම් කිසි අගතියක් සිදු වුවහොත් මහ බැංකුව විසින් රක්ෂණ අරමුදලක් ක්‍රියාත්මක කරනවා. එය උපරිමය ලක්ෂ 11ක් පමණ දක්වා මහ බැංකුවේ මුදල්වලින් වන්දි ගෙවීම් කරන ආරක්ෂණ අරමුදලක්. මෙය කිසිසේත් එම සමාගම්වල මුදල්වලින් කරන ගෙවීමක් නෙවෙයි.

කෙසේ වෙතත් අපේ කමිටුව මාස හයක් පමණ කාලයක් තුළ මේ මූල්‍ය සමාගම් පහ පිළිබඳ පූර්ණ අධ්‍යයනයක යෙදෙනවා. ඉන්පසුවයි අපගේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. මේ කමිටුව විගණන සමාගම්වල නියෝජිතයන් වරලත් ගණකාධිකාරීවරුන්ගෙන් සහ ව්‍යාපාරික අත්දැකීම්වලින් සුසැදි පිරිසක්. ඒ නිසා අදාළ අධ්‍යයන කටයුතු හමාර කළ පසු වඩා නිවැරැදි ම නිර්දේශ දිය හැකි බව කියන්නට පුළුවන්..."

Comments