ඉදි­රි­යේදී රටේ ආර්ථි­කය සකස් විය යුත්තේ කෙසේද යන්න ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

ඉදි­රි­යේදී රටේ ආර්ථි­කය සකස් විය යුත්තේ කෙසේද යන්න ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1මේ කොවිඩ් තත්ත්වය නිසා ලෝකයේ සමස්ත ආර්ථිකයම විශාල අර්බුදයකට ලක් වුණා. මේ හේතුවත් කොවිඩ්වලට පෙර පැවැති අර්බුද ගණනාවක් නිසාත් ආර්ථික අර්බුද තවත් ත්‍රිව්‍ර වුණා. ඒ අනුව ලෝකයේ සමස්ත සැපැයුම් දාමයම බලපෑමකට ලක් වුණා. කොවිඩි ඇතිවීම නිසා ගොවියාට ගොවිබිමට යා නොහැකියි. කාර්මිකයන්ට කර්මාන්ත ශාලාවට යෑමට නොහැකියි. සේවා සපයන්නාට අදාළ සේවාවන් සැපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. එහිදී සේවා සැපැයුම් නිෂ්පාදනය, බෙදා හැරීම කළ නොහැකි වුණා.

මේ පැවැති ක්‍රමවේදයන් වෙනස් විම අපේ සැපැයුම් දාමයට බලපෑම් කළා. එමෙන්ම නිෂ්පාදනය වෙළෙඳාම සිදු නොවීම නිසා විශාල සංඛ්‍යාවකට රැකියාව අහිමි වුණා. ආදායම අඩු වුණා. නිෂ්පාදකයන්ට නිෂ්පාදන ආයතන පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිවූ අතර රජයට එහිදී රාජ්‍ය ආදායම අහිමි වෙනවා. රාජ්‍ය මුල්‍ය සඳහා එය බලපානු ලබනවා. රජයට ආදායම් නැති වුවත් වියදම් අඛණ්ඩව සිදු කිරීමට වෙනවා. එහිදී බොහොමයක් කොවිඩ් අර්බුදයට ලක්වූ රටවල් රාජ්‍ය මුල්‍ය අර්බුදයට ලක්වෙනවා. ණය ගෙවා ගැනීමේ සිට සියලුම වියදම් සඳහා ගැටලු මතුවෙනවා. අපේ රටේ ඩොලර් බිලියන 2.2 ප්‍රමාණයක ණය, දුෂ්කරතා මාධ්‍යයේ වුවද ගෙවීමට හැකි වුණා. එසේ ගෙවීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තරව ණය පැහැර හරින්නෙකු බවට පත්වෙනවා. එසේ ණය ගෙවාදැමීමට හැකිවීම විශාල වාසියක් අපි වැනි රටකට. එසේනොවුණා නම් අපේ රටත් ණය පැහැර හරින්නකු බවට පත්වෙනවා.

මෙවැනි අර්බුද නිසා අපිට විදෙස් සංචිතවල හිඟයක් ඇති වූ විට ආනයන සීමා පැනවිය යුතු වෙයි. ආනයන සීමාවන් පනවන විට ආනයන මත යැපෙන රටවල්වලට එය බලපානවා. ගෙන්වන භාණ්ඩ සඳහා විදෙස් සංචිත අවශ්‍ය වනවා. ආනයනයන් අඩු වූ විට රට ඇතුළේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ඉන් පසුව බඩු මිල ඉහළ යන අතර එයින් ජීවන වියදමට, ජීවන තත්ත්වයට බලපෑමක් සිදු වෙනවා. කොවිඩ් සමඟ මේ හරහා සමාජ අර්බුදයකුත් ඇති වෙනවා. මේ තත්ත්වය ආර්ථික අර්බුදයක් බවට පත් වෙමින් පවතිනවා. කොවඩ් වසංගතය නිසාවෙන් විශාල ක්ෂේත්‍ර ගණනාවක ආදායම අපිට අහිමි වී තිබෙනවා.

එන්නත්කරණය ඇතුළු සමස්ත පද්ධතියට ම විශාල පිරිවැයක් වැය වෙනවා. මෙහි බලපැම කෙතරම් ද කිව්වොත් දේශීය ජාතික නිෂ්පාදනයටත් බලපෑම් කරනවා. සංචාරකයන් අඩු වීම, විදෙස් ව්‍යවසායකයන් විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් අඩු වුණා. විදෙස් විනිමය ප්‍රශ්නයන් ඇති වුණා. මිනිසුන් විවිධ අර්බුදවලට ලක්වුණා. රටේ සමස්තයටම එයින් සිදුවූ බලපෑම ඇස්තමේන්තු කිරීම පවා තවම කළ නොහැකියි.

2 ආණ්ඩුවට බදු සහ බදු නොවන ආදායම් ලැබෙනවා. ඒ, 20 % ඍජු බදු 80% වක්‍ර බදු ලෙසටයි. ඍජු බදු ගෙවන අයට බදු ගෙවා ගන්න පෙර පරිදි හැකියාවක් නැහැ.

ඒ අයගේ ආදායම අඩුවෙලා තියනවා. පාරිභෝජන සහ පාරිභෝජන නොවන බදු සහ භාණ්ඩ සහ සේවා මත වක්‍රව අය කරගන්නා බදු වෙළෙඳ පොළ වහලා තිබෙන වෙලාවේදී රජයට අය කරගත නොහැකියි. සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා විශාල ලෙස වැයවෙනවා. ආදායම අඩු වෙනවා. සංචාරක, ආශ්‍රිත විදෙස් ශ්‍රමිකයගෙන් ලැබෙන මුදල් ආදායම අහිමි වෙලා. කර්මාන්ත සහ වෙළෙඳ පොළ වහලා තිබෙන විට නිෂ්පාදන අලෙවි වෙන්නේ නැහැ.

රට වසා දැමීමෙන් වෙන්නේ එයයි. වක්‍රබදු ආදායම් උපයා ගැනීමටත් හැකියාවක් නැහැ. මෙයත් තරමක බැරූරුම් තත්ත්වයක්. එය කොහොමද සමහන් කරගන්නේ ? රජයට ආයෝජන කරන්න ඉතිරි කිරිම්වලට යන්න පෞද්ගලික ආයෝජකයන්ට මේ සියලු දේවල්වලට යම් බාධා ඇතිවෙලා තියනවා.

මේ බාධා ඇතිවුණාම ආර්ථිකය හැකිළෙනවා. මේ හැකිළීම අපිට පාලනය කරන්න බැහැ. මෙය එක රැයකින් සමනය කළ හැකි දෙයක් නොවෙයි. අපි තවම දන්නේ නැහැ කොවිඩ් නිසා පවතින මේ අර්බුදය කවදා නිමා වෙයිද කියලා. මේ රෝගය අඛණ්ඩව පැවතිය හොත් අප එයට මුහුණ දිය යුතුයි.

 

3 අපි තවමත් ඉන්නේ සුබසාධන රාජ්‍ය සංකල්පයක. රජය, අධ්‍යපනය, සෞඛ්‍ය වැනි දේවල් සඳහා පිරිවැයක් දරනවා. රටේ සමස්ත වියදම් පාර්ශ්වයන් වැඩිවෙලා තිබෙනවා. රාජ්‍ය ආදායමින්වත් මේ කොටස පියවා ගන්න බැහැ. මෙය නතර කළහොත් දේශපාලනික වශයෙන් අතිශයින් සංවේදී කාරණාවක් බවට අද මේ සුබසාධන ක්‍රියාවලිය පත් වෙලා තිබෙනවා.

දේශපාලනිකව එසේ සුබසාධන සේවා වෙනස් වුවහොත් අපි නොහිතන දිශාවකට ගමන් කළ හැකියි. මුලින්ම හාල් පොත, ජනසවිය, සමෘද්ධි ව්‍යාපාරය වැනි ආකාරයට රජය එක්තරා අඩු ආදායම් කොටසකට යම් සහනාධාර ලබාදෙනවා. ඇතැම් අය හිතනවා, ආණ්ඩුව මෙය දිය යුතුමයි කියලා. රුපියල් මිලියන 60ක් පමණ මෙවැනි වැඩපිළිවෙළ සඳහා විශාල වියදමක් රජයට වැය වෙනවා. අපේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය අද වන විට විශාල ලෙස සිදු වෙනවා. ගුවන් තොටුපළ, වරාය ගැන රජයේ වියදම්. මේවා ප්‍රාග්ධන වියදම් ලෙස සැලකුවත් ආදායම් උපයා ගැනීම වැඩිවෙලා නැහැ. අපිට පේනවා, ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති වින්දත් තමන්ගේ ආදායමින් කොටසක් ලබාදෙන්න ඇතැම් පාර්ශ්ව කැමැති නැහැ. ආදායම් වැඩි කරගන්න, වියදම් අඩු කරගැනීම හිතන තරම් පහසු වෙන්නේ නැහැ . ආදායම වැඩි කර ගන්නාවද? වියදම අඩු කර ගන්නවාද? යන කරුණට කාටවත් උත්තර දෙන්න බැහැ.

 

4අපේ මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයක් නැතිවුවත් අපි යම් ශක්තිමත් කර්මාන්ත පද්ධතියක් තියනවා. භාණ්ඩ සහ සේවා සපයන කර්මාන්ත අපිට තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ගත් විට එය ඇමරිකානු ඩොලර් මිලියන 5ක පමණ ආදායමක් වෙනවා. රට වසා දැමීමත් සමඟ ඒ කර්මාන්ත ක්ෂේත්‍රය අඩපණ වුණා. වසර දෙකකට පමණ ආසන්න කාලයක් රැකියා සහ ආදායම අහිමි වීමෙන් ගැටලුවක් මතු වුණා. මෙය සමස්ත ආර්ථිකයටම බලපාන කරුණක්.

ආර්ථිකයක් කියන්නේ පොඩි රෝද රැසකින් කැරකෙන මහ රෝදයක් වගේ දෙයක්. රටක අය-වැයේ මූලික පරමාර්ථය විය යුත්තේ මේ මහ පරිමාණ රෝදය කරකවන්න අවශ්‍ය ගාමක බලය පුංචි රෝද හරහා ලබා දීමයි. පොඩිරෝද කැරකෙන්නේ නැතිවෙන කොට මහ රෝදය කැරකෙන්න නැහැ. ඒ නිසා මම විස්වාස කරනවා; මේ වැඩේ නිවැරදිව කරගන්න මෙවැනි අය-වැයේදී හැකිවෙයි කියලා. අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය ආණ්ඩුවට බරක් කරන්නේ නැති මිලියන 2ක් පමණ ඉන්නවා. දැනට බිඳවැටුණ කර්මාන්ත පිළිබඳ කතා කිරීමේදි මහා පරිමාණ පමණක් නොවෙයි සුළුපරිමාණයේ රැකියාවල නිරතවී සිටි සහ ස්වයං රැකියාවන් කරන පිරිසකුත් ඉන්නවා. .

 

5.අපේ රජයේ සේවාවන් ගත්විට මිලියන 1.4%ක් විවිධ මට්ටම්වල සහ විවිධ ක්ෂේත්‍රවල ඉන්නවා. ඒ අය අතර මහ පරිමාණයේ පත්වීම් දෙන විට එකවර 40,000ක් පමණ බඳවා ගත් අවස්ථාත් තිබුණා.

මේ හැම කෙනෙක්ම සුරක්ෂිතයි ඒ වගේම වැටුපක් ලැබෙනවා. කිනම් සේවාවක නිරත වුවත් වඩා වැදගත් වෙන්නේ රැකියාව තමන්ට සුදුසුද යන කරුණයි.

රැකියාවට සුදුසුභාවයක් නැතිනම් රැකියාවට ඒ අය ගැළපෙන්නේ නැහැ.

අපේ රටේ ප්‍රධාන ම ගැටලුව නම් මේ සුදුසුකම නැති වීමයි. එසේ නැතිවූ විට වෘත්තීය තෘප්තිමත්භාවය නැති වෙනවා. එසේ වූ විට හොඳ අවාසාන නිෂ්පාදනයක් ලැබෙන්නේ නැහැ. එසේ බඳවා ගත්තා කියලා ඒ අදාළ ආයතනයන්ට වෙනසක් වෙන්නේ නැහැ.

ඒ නිසා රජයේ සියලු සේවාවන්වල මේ කියන ආකල්පමය වෙනස සිදුවිය යුතුයි. රජයේ සේවය කියන්නේ උරුමයක් සහ හිමිකමක් නොවෙයි. රාජ්‍ය ව්‍යවසායකත්ව ගත්විට විශාල සංඛ්‍යාවක් තියෙනවා. බිලියන ගණනක් ආයෝජනය කරලා තිබුණත් ඒවායෙන් රජයට පෙරළා ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. මේවා වෙනස් විය යුතුයි.

ආණ්ඩුවට සම්බන්ධ ආයතනවල ආණ්ඩුව යම් වියදමක් කළත් ආදායමක් ලැබෙන්නේ නැති ක්‍රමවේද ආදිය වෙනස් විය යුතුයි. කුමක් හෝ ව්‍යාපාර දැක්මක් සමඟ ක්‍රියාත්මක විය යුතුයි.

එනම් මූල්‍ය විනයක් තිබිය යුතුයි. රාජ්‍ය ආයතනයවල මූලික පරමාර්ථය ජනතා සේවයයි. රාජ්‍ය සේවාවේ ජවයක් තිබිය යුතුයි. තමන් පැවැරිලා තියන සේවාව ලබා දෙන්න ඒ අය බැඳිලා ඉන්නවා. ක්‍රියාදාමීය වෙනසක් සහ විවෘත භාවයක් රාජ්‍ය සේවයේ තිබිය යුතුයි.

 

 

 

1. නාස්තිය, දූෂණය, ‍හොරකම නවත්තන්‍නේ නැතුව රාජ්‍ය අදායම වැඩි කරන්න බැහැ. ‍‍මේ නාස්තිය සිද්ධ වෙන්නේ ජනතාව‍ගේ අතින් නොවෙයි. ගෑස්, සීනි ‍පොහොර, පිටි වංචාවල බර ජනතාව පිටයි පැටවෙන්නේ. මුලින්ම රජය දූෂණ නැවැත්විය යුතුයි. කොවිඩ් නිසා රජයට ඉතුරු වුණ මුදලකුත් තිබෙනවා. රාජ්‍ය ආයතනවල ‍බොහෝ වියදම් අඩු‍වෙලා තිබෙනවා. ප්‍රවාහන, නඩත්තු වියදම්, පරිපාලන වියදම් අඩු වුණා. ඒවට මොකද වුණේ කියලා අපි අහනවා. ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල්වලට ‍මොකද වුණේ? ඒ අනුව මෙවර නිවැරදි අයවැයක් ඉදිරිපත් කළ යුතුයි. නාස්තියයි දූෂණයයි නතර නොකරන තාක් ර‍‍ටේ ආදායම වැඩි කරන ක්‍රමයක් ගැන හිතලා වැඩක් නැහැ.

 

2 මේ ර‍ටේ බදු ක්‍රමය ගැන කවුද දන්නේ? හදන මිනිහා දන්නෙත් නැහැ. බදු ගෙවන මිනිහා දන්නෙත් නැහැ. අපි අ‍පේ පාලනයකදී උත්සාහ කරන්‍නේ එක් බදු ප්‍රතිපත්තියක් ඇතිකිරීමටයි. රටකට තිබිය යුත්තේ එක බදු ප්‍රතිපත්තියක්. බද්ද මොකක්ද? ලාබය ‍මොකක්ද? කියලා අද පාරිභෝගිකයා දන්නේ නැහැ. භාණ්ඩ‍යේ නිෂ්පාදන වියදම බදු පිළිබඳව පාරි‍භෝගිකයා දැනුම්වත් විය යුතුයි. ව්‍යාපාරිකයා, පාරි‍භෝගිකයා බදු ‍ගෙවන්න අකමැති නැහැ. නමුත් බදු ගෙවීම නිසා ලැ‍බෙන ප්‍රතිලාභය කුමක්ද කියලා පාරි‍භෝගිකයා දැනුම්වත් විය යුතුයි. මේ ආණ්ඩුව පත්වූ විගස කැමැත්තෙන්ම බදු කපාහැරීමක් කළා. මුදල් අච්චු ගහනවා කියන්නෙ, ර‍ටේ තව අර්බුදයක් අච්චු ගහගන්නවා වගේ වැඩක්. මේ අච්චු ගහන සල්ලිවලට ‍ඩොලර් ‍හොයන්න අවශ්‍යයි. අද වන විට විකල්ප නැහැ. බදු ‍ගෙවන ජනතාව තුළ විශ්වාසයක් තිබීම අවශ්‍යයි. බදු පැහැර හරිනවා කියලා කෑගහලා වැඩක් නැහැ. අ‍පේ ර‍ටේ ‍හොරුන්ට තියන ප්‍රතිලාභ බදු ‍ගෙවන්නන්ට නැහැ. බදු සමා පනතින් හොරුන්ට සමාව දීලා; ජනතාවට බදු ගහලා හරියන්නෙ නැහැ.

 

3නිෂ්පාදනය වැඩි කළ යුතුයි. වියදමට යන පිරිවැය අඩු කළ යුතුයි. මේ නිෂ්පාදනය අඩු කරලා වියදමට යන ප්‍රමාණය අඩු කරන්න අවශ්‍යයි. ආදායම වැඩි කිරීමේ ක්‍රමවේදයන් සෙවිය යුතුයි. ආදායම වියදම අතර ගැටලුවක් තිබෙන බව අපි දන්නවා. කෘෂි කර්මාන්තය මතම යැපෙන රටක් නොවන නිසා කෘෂි කර්මාන්තය අපේ රටට අවශ්‍ය ප්‍රතිලාභ ලැබෙන ආකාරයට සැකසිය යුතුයි. ආනයනය කරන භාණ්ඩවලට පැහැදිලිවම ආදේශකයක් කරන්න පුළුවන් ආහාර නිෂ්පාදනය කිරිමෙන්. අපේ රටේ නිෂ්පාදනය නොකරන ජනතාවට අවශ්‍ය දේ අපට ගේන්න වෙනවා. පසුගිය වසරේ ආහාර ද්‍රව්‍ය සඳහා පමණක් ඩොලර් මිලියන එක්දහස් පන්සිය පනස් දෙකක් වැය කර තිබෙනවා. මෙවැනි දේවල්වලින් අපේ රටේ ඉතිරි කරන්න පුළුවන් වියදම් තිබෙනවා. නිෂ්පාදනය වැඩි කර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. නිෂ්පාදනය වැඩි කරන්න වියදම අඩු කරන්න අවශ්‍යයි. තෙල් සංස්ථාව, වරාය, ගුවන් තොටුපළ වැනි රාජ්‍ය ආයතනවල වියදම අඩු කරන්න අවශ්‍යයි.

 

4 පැහැදිලිවම තිබෙනවා. එකතු කළ අගය මත එක බද්දක් පැනවිය යුතුයි. නිෂ්පාදන, කර්මාන්ත, නිමි භාණ්ඩ ලෙස අවසාන නිෂ්පාදන දක්වා නඟාසිටුවිය යුතුයි. නිෂ්පාදනයේදී ඇසුරුම් කර්මාන්තයත් කර්මාන්තයක් බවට අද ලෝකයේ පත්වී තිබෙනවා. නිමි භාණ්ඩ සඳහා නිෂ්පාදන වෙළෙඳ පොළක් අපි සකසා ගත යුතුයි. තාක්ෂණය උපරිමෙන් යොදා ගත යුතුයි. ආණ්ඩුව මත යැපෙන්නේ නැති කර්මාන්ත වැඩි දියුණු කළ යුතුයි. අද ශක්තිමත් පෞද්ගලික අංශයක් සකස් කර නිදහසේ ඒ අයට ව්‍යාපාර කිරීමට ඉඩ දිය යුතුයි. සංචාරක කර්මාන්තය රටපුරා කර්මාන්තයක් බවට පත් කළ යුතුයි. මුහුද අවට පමණයි අද සංචාරකයන් ගැවසෙන්නේ.

ලෝකයේ අද තියෙන්නේ සොබාදහමත් සමඟ යන පරිසරයට ආදරය කරන කර්මාන්තයක්. ඒ කර්මාන්තය නඟා සිටුවිය යුතුයි. ඒ සඳහා ආණ්ඩුව නිසි නියාමනයක් කළ යුතුයි. අද සියල්ල ආණ්ඩුව කරන්න පටන් අරගෙන. සිමෙන්ති, සීනි, පිටි, පෝර බෙදනවා. ඒවා කළ යුතු වන්නේ නිෂ්පාදන අංශය විසිනුයි.

 

5 පළමුවෙන්ම කළ යුත්තේ යාවත්කාලීන වීමයි. දේශපාලනික බලපෑම්වලින් ඉවත් විය යුතුයි. රාජ්‍ය සේවකයාගේ අද කොන්ද කඩලා තියෙන්නේ. අද ගුරුවරුන්ට කරන බලපෑම් අපිට පේනවා. දේශපාලඥයා තමයි ඔක්කොම දන්නේ. දේශපාලඥයන්ට අවශ්‍ය විදිහට ඔක්කෝම ජිවත් වෙන්න ඕන කියලයි ඒ අය හිතන්නේ. දේශපාලඥයන් ඇඟිලි ගහන රාජ්‍ය සේවයක් වැඩක් නැහැ.

අදාළ රාජ්‍ය සේවකයන්ගෙන්, ඒ පිළිබඳව විශේෂඥයන්ගෙන්, උගතුන්ගෙන්, පර්යේෂකයන්ගෙන් සහ විද්‍යාඥයන්ගෙන් දැනුම උපයෝගි කර ගත්තා නම් පොහොර ප්‍රශ්නය වගේම අනෙක් කිසිම ගැටලුවක් මේ තරම් අවුලක් වෙන්නේ නැහැ. ලංකාවේ ශාක නිරෝධායන සේවාවක් තියනවා කියලා පොහොර ගෙන්වන්න තීරණය කරපු අය දන්නෙත් නැහැ. මේ දේවල් ගැන කතා කරන්නේ අවුලේ පැටළුණාට පසුවයි.

 

 

1 ආණ්ඩුව සම්පූර්ණෙයෙන්ම ජනතාව මුළා කිරීමක් කර තිබෙන්නේ. මේ වසරේ බලාපොරොත්තු වූ ආදායම වගේ බිලියන එක්දහස් හයසියයක් අඩු වෙලා තිබෙනවා කියලා ඒ අය කියනවා. එය බොරුවක්. ජනවාරි සිට ජුලි මාසයට වඩා ඇස්තමේන්තු කරන ලද ප්‍රමාණයට වඩා බිලියන තුන්සියයක් පමණක් අඩු වෙලා තියනවා. අපේක්ෂා කළ මුදලින් පස් ගුණයක් පමණ අඩු වුණා කියලා එනම් රුපියල් බිලියන එක්දහස් හයසියක් අඩු වුණා කියලා ජනතාව මුළා කරනවා. ඒ ඇත්ත කතාව නොවෙයි. කොවිඩ් නිසා ආණ්ඩුව කොහොමත් බලාපොරොත්තු වුණේ අඩු ආදායමක්. 2021 අයවැය සකස් කරන විටත් කොවිඩ් පිළිබඳව දැනුම්වත් වෙලා හිටියා. නමුත් මේ රජයේ ආදායම අඩු වුණා නම් එයට මූලික හේතුව කොවිඩ් නොවෙයි. එයට හේතුව 2019 දී අත්තනෝමතිකව සිදු කළ බදු සංශෝධනයයි. ඒ නිසා රජයට බිලියන හයසියක් පමණ අඩුවෙලා තිබෙනවා. එයින් කෝටි පනස් දහක්, හැටදහක් පමණ රජයට අහිමි වෙනවා. බදු අඩු කරලා බඩු මිල අඩු වෙනවා. එවිට ස්ථාවර මිලකට බඩු මිල පවත්වාගෙන යන්න පුළුවන් කියලා රජය කිව්වා. මේ වෙනස්කම ඉතාමත් අසාර්ථකයි. එය කොවිඩ් පිට දාලා හරියන්නේ නැහැ.

 

2 ආනයන සීමා කළ විට ආනයන මත රජයට ලැබෙන බදු අඩු වෙනවා. වාහන ආනයනයෙන් ආනයනය කරන බදු සම්පූර්ණයෙන්ම රජයට නැති වුණා. ආනයන අඩු කළා කියලා කිව්වට ඇත්ත වශයෙන්ම ආහාර ආනයනයට පවා 2020 දී 2021 ට වඩා වැඩි වෙලා තිබෙනවා. 2021 දීත් මං හිතන්නේ 2020ට වඩා වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේ ආනයන සීමා කිරීම නිසා අපනයන ක්ෂේත්‍රයට ලොකු පහරක් වැදුණා. අපනයන සඳහා අවශ්‍ය වුණ අන්තර් භාණ්ඩවල මිල විශාල වශයෙන් වැඩි වුණා. අන්තර් භාණ්ඩවල මිල වැඩි වූ නිසා අපනයන භාණ්ඩ සැකසීම කරගන්න බැරිව ගියා. ආනයනික භාණ්ඩ නිසා ටෙලිෆෝන් එකේ පවා බදු වැඩි කළා.

කිසිම විද්‍යාත්මක භාවයක් නැතුව තීන්දු ගත්තා. ඊට හොඳම උදාහරණය පොහොර. ආර්ථිකය ගැන මීට වඩා විද්‍යාත්මකව කල්පනා කරලා ලෝකේ දිහා බලලා අත්දැකීම් තිබෙන පුද්ගලයන් සමඟ සාකච්ඡා කරලා තීරණ ගැනීම අවශ්‍යයි. දැන් මිනිස්සුන්ට තේරෙනවා. ආර්ථිකයේ ගන්න තියෙන තීරණ සංකීර්ණයි. පොහොර නැතුව ඵලදාව අඩු වෙනවා කියන එක ඕනෑම මනුස්සයෙක්ට තේරෙනවානේ. ඒ වගේම අපනයන තහනම් කිරීම හරහා අපනයනයට පහරක් වදිනවා කියලා රජය දන්නේ නැහැ. ඔවුන්ට මේ දේවල් තේරුම් ගන්න බැහැ.

 

3. 2020 නොවැම්බර් මාසේ 2021 අයවැය ඉදිරිපත් කරන විට ආණ්ඩුව කිව්වා අයවැය පරතරය 7.9% කියලා. විගණකාධිපතිතුමා සමඟ අවසානයේදී විගණනය කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ගිණුම්. මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වල අයවැය පිළිබඳ සම්පූර්ණ විගණන හා සත්‍ය ගිණුම් වාර්තා වෙන්නේ. එහි තිබෙනවා අයවැය පරතරය 2020 ට 14.1% ක් බව. 7.9% සිට 14.1% ට යන්නේ කොහොමද? ආණ්ඩුව ආදායම දැන දැනත් 2020 නොවැම්බර් මාසේ අයවැය ඉදිරිපත් කරන කොට ඉතුරු මාස එකහමාරට කොපමණ බලාපොරොත්තු වෙනවාද කියන දේ දන්නවා. හැබැයි බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 200ක් වැඩිපුර හම්බ වෙනවා කියලා කිව්වා. පාර්ලිමේන්තුවේ මිනිස්සුන්ව මුළා කරලා විගණනය කරනකොට අහුවෙනවා. දත්ත විජ්ජා කරලා වැඩක් නැහැ. මේ වියදම් පියවගන්න සල්ලි අච්චු ගහලා ණය ගෙවනවා. එතකොට අනිත් පැත්තට උද්ධමනය වැඩි වෙලා රට සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ගමන් කරනවා. සල්ලි අච්චු ගහලා බදු එකතු කර ගන්නත් බැහැ. වියදම අඩු කරන්නත් බැහැ. විශාල පරතරයක් තිබෙනවා.

 

4 අනිවාර්යෙන්ම තිබෙනවා. බිඳ වැටුණ කර්මාන්ත ක්ෂේත්‍ර නඟා සිටුවීමේදී අපි මෙය වැඩි දියුණු කළ කරන්න අවශ්‍යයි. වෙළෙඳපොළ පුළුල් කරන්න අවශ්‍යයි. මේ වත්මන් රජයේ න්‍යාය ආනයනය ආදේශ කර්මාන්තකරණයයි. පිටරටින් ගෙන එන භාණ්ඩ නවත්වලා ඒ වෙනුවට ලංකාවේ නිෂ්පාදන ආදේශනයන් යොදා ගැනීමටයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. මේ අයගේ මතවාදමය දුර්වලකමක් ලෙස මම මෙය දකින්නේ. අපි හිතමු මිලියන විස්සක් ඉන්න රටේ ජනතාවට වියදම් කිරීමේ ක්‍රය ශක්තියක් තියනවා. එහිදී සියලු දෙනාම ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ පරිභෝජනය කළත් වැය මිලියන විස්සක වෙළෙඳ පොළක් එහි ඇතුළත් වෙන්නේ. මේ වෙළෙද පොළේ ක්‍රය ශක්තිය ඉතාමත් අඩුයි. දේශීය ආර්ථිකය ගොඩනඟන්න නම් පිටරටින් ගේන භාණ්ඩ නැවැත්විය යුතුයි කියලා කියන්න පුළුවන්. අප යා යුතු වන්නේ අපනයනය ආර්ථික ක්‍රමවේදයකටයි. මුළු රටේම වාර්ෂික ආදායම ඩොලර් බිලියන අසුවයි. අපේ වෙළෙඳ පොළ පුළුල් කරගත යුතුයි. අපේ ආණ්ඩුව කාලයේ මේවා කරන්න අපි උත්සාහ කළා. ඒත් මේ අය විපක්ෂයේ ඉඳලා මේවාට විරුද්ධ වුණා. අපි හැමදාම කියන්නේ රට වටේටම බදු තාප්ප ගහලා රට දියුණු කරන්න බැහැ. එසේ කළ හැකි එකම ක්‍රමය ලෝකයට පාලම් හදලා අපේ රටේ නිෂ්පාදනයන් පිටරටවලට අපනයනය කළ යුතුයි. එහිදී අපි අපේ ප්‍රතිපත්ති ලිහිල් කරගත යුතුයි. දේශීය කර්මාන්ත දියුණු කළ හැකි වන්නේ එසේ වුවහොත් පමණයි. ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තයන් ගත් විට ඒ ආයතනයන් මඟින් මේ රටේ ජනතාවට රැකියාවන් දෙන අතර ඩොලර් මේ රටට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වැනි කර්මාන්ත අපි වැඩි දියුණ කළ යුතුයි.

 

5. ඔව් එසේ විය යුතුයි. රජයේ සේවාව ගැන මගේ ගරුත්වයක් තියනවා. සේවයේ කර්යාක්ෂමතාවය, කැපවීම, එයට දෙන දායකත්වය හරහා හොඳ රාජ්‍ය සේවාවක් සකස් කළ හැකියි. රජයේ සේවකයාට තමන්ගේ කාර්යයභාරය නිසි ලෙස ඉටුකිරීමට තාක්ෂණය දියුණු කළ යුතුයි. රජයේ සේවාව කර්යාක්ෂම කරන්න අපි අද ලෝකයත් සමඟ ඉදිරියට යා යුතුයි. යල් පැන ගිය ක්‍රමවේද ඉවත් කළ යුතුයි. රාජ්‍ය සේවකයාට නව දැනුම ලබා දිය යුතුයි. රාජ්‍ය සේවය මෙන්ම පෞද්ගලික අංශය ද වැඩි දියුණු කළ යුතුයි. දේශපාලනයකින් තොරව රාජ්‍ය සේවාවේ ප්‍රතිසංස්කරණ විශාල ලෙස කළ යුතුයි.

 

Comments