
ශ්‍රී ලංකාවේ කාලගුණ රටාව අනුව මේ දිනවල පැවැතෙන්නේ අන්තර් මෝසම් සුළං මඟින් සවසට වැඩිපුර වැස්ස ලැබෙන කාලගුණ රටාවයි. එය මේ මස අවසානය තෙක් බලපායි. නමුත් පසුගිය 6 වැනිදා පමණ වන විට ඒ කාලගුණ රටාවේ වෙනසක් ඇති කරමින් සවසට නොව දවස පුරාම වහින තත්ත්වයක් ඇති විය. කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසුවේ නොවැම්බර් 6 වැනිදා ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල පහළ වායුගෝලයේ ඇති වූ කැලඹිලි ස්වභාවය නිසා මේ වෙනස ඇති වූ බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 27ක් වාර්තා වී තිබේ. දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126ක් ආපදාවට ලක්ව ඇති බව සහ පවුල් 65,580ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
ඒ පිළිබඳ අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරනුයේ අන්දමන් දූපත් අසල පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් බවට පත්ව ඇති බවයි. එය දිවයිනේ නැඟෙනහිර වෙළරට ඈතින් ස්ථානගතව තිබීම හේතුවෙන් එහි වක්‍ර බලපෑමෙන් දිගින් දිගටම වර්ෂාපතනයේ වැඩිවීමක් දක්නට ලැබුණු බව කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
![]() |
ගිරිඋල්ල නගරය යට වී තිබූ අයුරු |
‘දිවයින පුරාම මි.මී 150 සහ 200 ඉක්මවන වැසි ලැබුණා. ඊට පසු මේ පද්ධතිය පීඩන අවපාතයක් වෙමින් දිවයින ආසන්නයෙන් ගමන් කළා. ඒ කාලය තුළ දිවයින තුළ තිබූ වර්ෂාපතනය, උදේ කාලයේ සිට අඳුරු ස්වභාවයක් සහ වලාකුළු වලින් බරව තිබී
අතරින් පතර සූර්යයා ලෝකය ලැබෙමින් වර්ෂාපතනයත් ලැබුණා‘ යැයි සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිගින් දිගටම වර්ෂාපතනය ලැබීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ තෙතමනය ඉහළ යෑමෙන් පසෙහි බර වැඩි වීම නිසා නාය යෑමේ තත්ත්වයක් ඇති වූ බවයි. මේ තත්ත්වය මත වයඹ සහ උතුරු පළාත්වල ගංවතුර තත්ත්වයක් දක්නට ලැබුණු බවත් සඳහන් වුණි.
නොවැම්බර් 11 වැනි දින වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල නිවේදනවලට අනුව බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී එය පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 250ක් පමණ උතුරු දෙසට වන්නට පවතින අතර පසුව, වයඹ දෙසට ගමන් කර සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වේ යැයි අපේක්ෂා කරන බවත් සඳහන් වුණි. එනමුත් ඉදිරි දින කිහිපයේදී දිවයින තුළ පැවැති තද වැසි තත්ත්වයෙහි සාපේක්ෂ අඩුවීමක් බලාපොරොත්තු වන බව ද සඳහන් විය. මේ තත්ත්වය නිසා දිවයින තුළ හා දිවයිනෙන් පිට මුහුදු සීමාවල තද සුළං ප්‍රවාහ ඇති විය හැකි නිසා ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වා ධීවර කටයුතුවල නියැළීමෙන් වැළකෙන ලෙසත් නිවේදනය කෙරුණි. එසේ ම 13 වැනිදා වන විට නැවත වරක් උතුරු අන්දමන් දූපත් අසල කැලඹිලි ස්වභාවයක් නිරීක්ෂණය වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
![]() |
දරුවන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යමින් |
ඒ අයුරින් නිවේදන නිකුත් කොට තිබියදී මේ වන විට පුද්ගලයන් 25දෙනකු මියගොස් තිබේ. රඹුක්කන ප්‍රදේශයේ නාය යෑම්වලින් සිවු දෙනකු මිය යාමත්, නිදා සිටි තරුණියක් පස් කන්දකට යටවීමත්, ඔරු පදින්නට ගොස් 12දෙනකු මිය ගොස් තිබේ. එසේම කොටදෙනියාව හා පල්ලේගම යා කරමින් ඉදිකර තිබූ මා ඔයේ මිත්‍රත්ව පාලමේ කොටසක් ජලපහරට හසු වී ගැලවී ගොස් තිබේ. නාය යෑමේ අවදානමක් නිසා මහනුවර කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමන්නට ද සිදු විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා එම ස්ථානය නිරීක්ෂණය කොට තිබේ. මාර්ගයෙන් පහළ කොටසේ මඩ සහිත ජලය ගලා යෑමක් සහ ස්ථාන දෙකක් නාය යෑමට ලක්ව ඇති බවත් තවත් ස්ථානයක් නාය යෑමේ අවදානමක් ඇති බවත් නිරීක්ෂණය වූ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පවසයි. ‘අවදානම් තත්ත්වය නිසා මාර්ගය වසා දමන්නැයි මා ඉල්ලීමක් කළා. ඊට පස්සේ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට මේ ගැන පරීක්ෂා කරන්න යැයි ඉල්ලීමක් ද කළා‘ යැයි සඳහන් කළ මහාචාර්යවරයාට අනුව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවෙන් පසු ක්‍රමයෙන් මාර්ගය එක් මංතීරුවක් විවෘත කර බර වාහන ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් විය.
‘මේ වගේ තත්ත්වයක් වෙලාවක ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. අවට පරිසරයේ ගස් වැල්, ලයිට් කණු, නිවෙස්වල බිත්ති, මෙන්ම කඳු බෑවුම්වල පැල්ලම් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි‘යනුවෙන් මෙවැනි තත්ත්ව ගැන පූර්ව අවධානයෙන් සිටින්නැයි මහාචාර්යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නට ද විය.
![]() |
ජලපහරට හසු වූ සුනඛයකු බේරා ගනිමින් |
නාය යෑම් සහ ජල ගැලීම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගැනීම ජීවත හානි මෙන්ම දේපළ හානි වැඩි වන්නට හේතුවක් වන්නට විය. ගිරිඋල්ල නගරය ජලයෙන් යටවීම මීට පෙර දක්නට නොලැබුණු අතර ඒ පිළිබඳ විමර්ශනය කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කරයි. බොහෝ මියයෑම් සිදුව ඇත්තේ නොසැලකිල්ල නිසා බව ද පෙන්වා දෙන අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව අවදානමට ලක් වූ පවුල් 384ක පුද්ගලයන් 1498ක පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කරන්නට කටයුතු කර තිබුණි. එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙනුවට ඥාති නිවෙස් වෙත යෑමට හැකි පවුල් 1020ක පුද්ගලයින් 3,537ක් ඥාති නිවෙස්වල රඳවන්නට ද පියවර ගැනුණි.
ආපදාවට ලක් වූ ජනතාව වෙත ඉක්මණින් සහන ලබාදීමට මෙන්ම මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු කර තිබේ. ආපදා තත්ත්වය පිළිබඳ ගුවනින් නිරීක්ෂණය කිරීමට අංක 3 සමුද්‍රීය බලගණයට අයත් බීච් ක්‍රාෆ්ට් 200 වර්ගයේ ගුවන් යානාවක් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ සූදානම් කර තිබුණි. හදිසි තත්ත්වයක් ඇති වුවහොත් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානාවක්ද, එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවක් ද ස්ථානගත කොට තිබුණි. ඒ අයුරින් හිඟුරක්ගොඩ, පලාලි, අනුරාධපුර සහ වීරවිල කඳවුරු තුළත් යානා ස්ථානගත කරන්නට ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුව ලද ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකා භට පිරිස් සහ සහන සැලසීමේ කටයුතු සඳහා ගුවන් හමුදා සාමාජිකයින් සූදානම් කෙරිණි.
![]() |
ගලිගමුව පුස්සැල්ල ග්‍රාමයේ නිවෙසක් මතට පස් කඳු කඩා වැටුණ තැන හමුදා මෙහෙයුම් |
ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වාරි ජලාශවල ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ. වර්ෂාව අඩු වුවත් වාරි ජලාශවලට ගලා එන ජල ප්‍රමාණයේ අඩුවක් නොමැති බව වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන සඳහන් කළේ ය. අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, වවුනියාව යන දිස්ත්‍රික්කවල වාන් දොරටු විවෘත කළ ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව තැබෙන බවත් ඔහු සඳහන් කරයි. එම නිසා ජලාශවල පහළ කොටසේ වෙසෙන ජනතාව සහ ගංගා භාවිත කරන ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඔහු පෙන්වා දුණි.
ප්‍රධාන ජලාශ 15ක් වාන් දැමීම ආරම්භ වූ අතර ජලාශ 25ක් උපරිම පිටාර මට්ටමට පැමිණ තිබේ. මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 80ක් පමණ පිටාර මට්ටමට පැමිණ තිබේ. එළැඹෙන මහ කන්නයට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා ගනිමින් වැඩි ජලය මුදාහරින බවත් වාරි අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් අධික වර්ෂාවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති වග පසුගිය දින කිහිපයේදී ම මාධ්‍ය වාර්තා පළ විය. ඒ අතර දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වීමත්, ධීවර හා නාවික කටයුතුවලට බාධා එල්ල වීමත්, මහා මාර්ග ගමනාගමනයට බාධා එල්ලවීමත් ප්‍රධාන තැනක් ගෙන තිබුණි. කෙසේ වෙතත් ඇති වූ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස අගමැතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය. කාලගුණික විපර්යාසයකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන නිවේදන පිළිබඳ සියලු මාධ්‍ය මෙන්ම මහජනතාවත්, වගකිව යුතු ආයතනත් කඩිනමින් අවධානය යොමු කළ යුතු බව මේ සියල්ල නිරීක්ෂණයේදී පෙන්නුම් කරන්නේය. එසේ වන්නේ නම් ව්‍යසනයකදී සිදුවන හානිය අවම කර ගැනීම අපහසු නැත.
ඡායාරූප - ගාමිණී රම්‍යපාල, ප්‍රසාද් පූර්ණමාල්, මිහිරි විජේසේකර