පරි­සර ප්‍රශ්නවලට එසැ­ණින් උත්තර | සිළුමිණ

පරි­සර ප්‍රශ්නවලට එසැ­ණින් උත්තර

 

ධ්‍යම පරිසර අධිකාරිය මඟින් පරිසර හානි අවමකර ගැනීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මාසයේ සිට 1981ක්ෂණික ඇමතුම් අංකය මහජනයාට විවෘත කිරීමත් සමඟ ඊට ලැබෙන මහජන ප්‍රතිචාර ඉතා ඉහළය. මෙම පැමිණිලිවලට මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව අපි විමසීමක් කළෙමු..

 

පරිසර පැමිණිලි කළමනාකරණ කළ යුත්තේ පැමිණිල්ල සංරක්ෂණ මෙවලමක් ලෙස සලකමිනි. එය කළමනාකරණය සංරක්ෂණ මෙවලමක් වනවා සේම ආයතනයේ සංවර්ධනයට දායක වන මෙවලමක්ද වෙයි. පැමිණිලිකරු, සංරක්ෂණ ක්‍රියාවලියේදී හා ආයතනය ශක්තිමත් කිරිමේ කටයුුතුවලට ස්වෙච්ඡාවෙන් තොරතුරු සම්පාදනය කරන සම්පත්දායකයකු ද වේ. මේවනවිට සැලකිය යුතු මට්ටමින් මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂණික ඇමතුම් මැදිරියට පැමිණිලි ලැබෙන බවත් 2021.01.01 සිට 2021.10.31 දක්වා පැමිණිලි 1545 ක් පමණ ලැබී අති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංශ‌ය වෙනත් ආයතනවල ක්ෂණික ඇමතුම් සේවාවල නොමැති මහජනතාවට පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි සරල ක්‍රමවේදයකින් සමන්විතය. මෙම ක්ෂණික ඇමතුම් සේවාව (Hot Line) ට 1981 අංකය ඔස්සේ කතා කරන කිසිවකුට යන්ත්‍රයකට කතා කිරීමට සිදු සිදුවන්නේ නැත. සෑම ඇමතුමක්ම පිළිගැනීමට සජීවීව සම්බන්ධවන නිලධාරියකු (හදිසි ඇමතුම් පටිගත කොට පසුව ඒ පිළිබදව කටයුතු කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි) සිටී. වසරේ දින තුන්සිය හැටපහේම පැය විසිහතර පුරාම මේ සඳහා තොරතුරු ලබාදීමට හැකි වීමද පැමිණිකරුවන් දුරකථනයේ රඳවා තබා ගැනීමට කටයුතු නොකිරීම ද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

මෙලෙස මහජනතාව විසින් ඉදිරිපත් කරන පැමිණිලි අවශ්‍යතා හතරක් මත පිහිටා පැමිණිලි කළමනාකරණ මූලධර්ම අටක් යටතේ සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට ඇති අයිතිය පිළිගැනීම, සෑම පැමිණිල්ලකටම සාධාරණ විසඳුමක් ලැබීමේ අයිතිය පිළිගැනීම, පැමිණිලිකරුවන් ආරක්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට වගකිමක් ඇති බව පිළිගැනීම, මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාකාරම් පිළිබඳව මහජන ප්‍රතිපෝෂණය ලබා ගැනීම සහතික කිරිම යන අවශ්‍යතා හතර කෙරෙහි අවධානය යොමු කරන අතර මෙලෙස ලබාගත් පැමිණිලි මූලධර්ම අට යටතේ කළමනාකරණය කරයි. ඒවා සරලව ක්‍රියාත්මක වෙන්නේ මෙසේය.

ප්‍රවේශතාවය හා සරල බව යන්නෙන් අදහස් කරන්නේ සෑම අයකුටම කිසිදු බාධාවකින් තොරව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මඟ සැලසීමයි. එහිදී වි‌ශේෂ අවශ්‍යතා ඇති අයට සහාය වීම සහ ෆෝරම පුරවා දීම, එක් නිලධාරියකු ගෙන් තවත් නිලධාරියකු ළඟට යැවීම වැනි ක්‍රියා මාර්ග නොගැනීම, අයදුම්පත් ගාස්තු වැනි මුදල් අයකිරිම් නොකිරීම, හැඳුනුම්පත් ඉදිරිපත් කිරිම වැනි පැමිණිලිකරුවන් අධෛර්යවත් කරන කිසිදු ක්‍රියාවක් සඳහා අනුබල නොදීම යනාදිය සිදු වේ.

විනිවිධභාවය යන්නෙන් අදහස් කරන්නේ; තීරණ සහ ඒවා බලාත්මක කිරීම සඳහා සකසන ලද නීති රීති අනුගමනය කිරිමයි. එමඟින් පැමිණිලිකරුවන් සහ පැමිණිලි කළමනාකරණ නිලධාරින් අතර විශ්වාසය තහවුරු කිරීම හා අපක්ෂපාතී සහ සාධාරණ පැමිණිලි කළමනාකරණයක් සඳහා ඇති හැකියාව පුළුල් කිරීම, එසේම පැමිණිලි ක්‍රමානුකූලව ලියාපදිංචි කිරීම,පැමිණිල්ලේ ලියාපදිංචි අංකය පැමිණිලිකරුට ලබාදීම, පැමිණිලි හැසිරවීම විගණන කිරීම ආදිය වේ.

පැමිණිලිකරුගේ රහස්‍යභාවය පැමිණිලි කළමනාකරණයේ සෑම ක්‍රියාකාරකමකදිම සහතික කෙරෙයි.

නිර්නාමිකව පැමිණිලි පිළිගැනීමේ සිට පැමිණිලිකරුගේ අනන්‍යතාවය ඒ අයගේ ඉල්ලීම මත රහසිගතව තබා ගැනීම සහතික කිරීම, රහසිගත තොරතුරු හෙළි කරන්නන්නෙක් ලෙස සලකා නෛතික ආරක්ෂාව ලබාදිම දක්වා පැමිණිලිකරුගේ රහස්‍යභාවය සුරැකිම සහතික කෙරෙයි.

ස්වාධීනත්වය සහ වගවීම තවත් අංගයකි. පැමිණිලි කළමනාකරණයේදි තුන්වන පාර්ශ්වය හෙවත් මැදිහත් පාර්ශ්වය ලෙස අප අධිකාරි‌යේම පැමිණිලි කළමනාකරණ අංශයට අනුයුක්ත නිලධාරින් කටයුතු කිරීම කරන හෙයින් මූලධර්මයක් ලෙස පැමිණිලි අංශය හා පැමිණිලි මෙහෙයවන කාර්ය මණ්ඩලය පැමිණිලිකරු ඉදිරියේදි ආයතනය ආරක්ෂා කිරිමට ඉදිරිපත් නොවීම අනිවාර්ය කොන්දේසියක් ලෙස සලකා කටයුතු කරයි. පැමිණිලි කළමනාකරණ පද්ධතිය මෙහෙය වන්නේ මහජනයාට වගවීම සහතික කරමිනි.

පැමිණිලි කරුවන්ට ප්‍රතිචාර දැක්වීම පැමිණිලිකරුගේ පැමිණිල්ල ඒ ආකාරයෙන්ම බාර ගැනීම, අවදානමට ලක්විය හැකි පැමිණිලිකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව අවධානයෙන් කටයුතු කිරිම හා අවශය සහාය ලබාදිම, අවම වශයෙන් අවස්ථ 3 කදී කළමනාකරණ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම, නිශ්චිත නිලධාරියකු සමඟ ඍජු සන්නිවේදන අවස්ථාවක් ඉල්ලා සිටින විට එම අවස්ථාව සලසා ලබාදීම

කාර්යක්ෂමතාව යනුවෙන් අදහස් කරන්නේ උපදෙස් ලබාදීම පමණක් සෑහේ නම් වහාම විසඳුම් ලබාදිමයි. සියලු පැමිණිලි සදහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කිරිමයි.

අභ්‍යන්තර ඒකාබද්ධතාවේදී පැමිණිලි හැසිරවීම අධිකාරියේ අනෙකුත් ක්‍රියාකාරකම් සමඟද ඒකාබද්ධ වන හෙයින් සියලුම කාර්ය මණ්ඩලයට පැමිණිලි කළමනාකරණ කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවෙයි.

එබැවින් පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම ආයතනයේ ප්‍රධාන කටයුත්තක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සියලුම කාර්ය මණ්ඩලය පිළිගෙන ඒ අනුව කටයුතු කරයි. පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට වට්ස්අප් ජාලයක් සහ පරිගණක දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කෙරෙයි.

බාහිර ආයතන සමඟ ඒකාබද්ධ වීමේදී අධිකාරියේ සභාපතිගේ අත්සනින් යුත් ලිපියක් මඟින් වෙනත් බාහිර ආයතන වලට අදාළ පැමිණිලි ඒ ආයතන ප්‍රධානියාට යොමු කිරීම වහාම සිදු කෙරෙයි.

ඊට අමතරව බාහිර ආයතන සමඟ පරිගණක ජාලයක් ගොඩනැඟීම ඉදිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාකාරකමක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ, 1981 ක්ෂණික ඇමතුම් සේවයේ ස්ථාන භාර නිලධාරි ජයලත් බාලසූරිය පවසයි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ ආකාරයට ලැබෙන පැමිණිලි සලකා බලා ඇතැම් කර්මාන්ත මඟින් සිදුවන පරිසර දූෂණ ක්‍රියාවන් පාලනය බලපත්‍ර ක්‍රමවේදයක් මඟින් නියාමනය කරයි.

ලැබී ඇති බොහෝ පැමිණිලි ප්‍රමාණයක් කර්මාන්ත මඟින් සිදුවන ඒවාය. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා බලා අදාළ දිස්ත්‍රික් කාර්යාලවලට ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස උපදෙස් ලබාදේ.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කාර්යාලය මඟින් ඊට පිළියම් ලබාදීමට කටයුතු කරයි. එමෙන්ම පළාත් මට්ටමින් මෙම දිස්ත්‍රික් කාර්යාල කටයුතු සොයාබැලීමට පළාත් අධ්‍යක්ෂක වරයකුද පත් කර ඇත. එනිසා මෙම පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් ක්‍රියාකාරී සැලැස්මක් මධ්‍යම පරිසර අධිකාරිය සතු වේ. මේ ක්‍රියාදාමයට පරිසර පොලිස් ඒකකයද සම්බන්ධ වන අතර ඒ අනුව ක්ෂණික ක්‍රියාත්මක වීමකදී මේ හරහා කටයුතු කිරීමට හැකියාව ලැබේ.

බොහෝවිට අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු විට ඒ පිළිබඳව සොයා බලා එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී පරිසර පොලිසියේ විශාල සහයක් ලබාදේ. එසේම මේ පැමිණිලි අතර ඇතැම් පැමිණිලි වෙනත් ආයතනවල විෂය පථයට ඍජුවම අයත්වන පැමිණිලි ය. පතල් හෑරීම වැනි දෑ අයත් වන්නේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයටය. එසේම රක්ෂිත කැලෑ එළිකිරීම වැනි දෑ අයත් වන්නේ වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවලටය. කුඹුරු ගොඩකිරීම් අයත්වන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටය. මෙවැනි විෂය පථයන්ට අයත් පැමිණිලි ලැබුණු විට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පරිසර පොලීසිය යොමු කරන අතරම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මඟින් එකී විෂයට අදාළ ආයතනය දැනුම්වත් කරයි.

එවිට එම ආයතනයට අයත් නීති රෙගුලාසි යටතේ ඒ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ අනුකූලතා හා පසු විපරම් පැමිණිලි සම්බන්ධීකරණ අධ්‍යක්ෂිකා දේවිකා විතානගේ පැවසීය.

එසේම මධ්‍යම පරිසර අධිකාරියේ නීතිරෙගුලාසි රාමුවට අයත් නොවන පැමිණිලි ද අප වෙත යොමු කළ විට ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමටද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන බව ඕ පැවසීය.

 

 

Comments