
මේ ගෙවී යන කාල සීමාව සමස්තයක් ලෙස මෙරට ජනතාවට එතරම් සුබ කාල සීමාවක් නොවන බව පෙනී යයි. කොවිඩ් වසංගතය මදිවාට එම වසංගතයේ බලපෑම දරුණු වූ නිසා ලෝක ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වීමට ද අපට සිදු වී ඇත. ඒ අතරම ගෙවී ගිය සති කීපය තුළ ඇති වූ අධික වැසි, ගංවතුර හා නාය යෑම් නිසා ද ජනතාව පීඩනයට පත්ව ඇත.
ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල්, සීනි, පරිප්පු, කිරි පිටි පමණක් නොව ගෑස් හා ඉන්ධන මිල ද පසුගිය කාල සීමාවේ සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. විවිධ හේතු සාධකවල බලපෑමෙන් මෙරට ජනතාවගේ පසුම්බිය ටිකෙන් ටික හිස් වෙත්දී එළවළු හා පලතුරු මිල ද සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ යෑමට පටන් ගෙන ඇත.
එළවළු හා පලතුරු රට පුරා බෙදා හැරීමේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය ලෙස පිළිගැනෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයයි. එළවළු හා පලතුරු මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යෑම පිළිබඳව අදහස් දක්වන බොහෝ පාර්ශ්ව පෙන්වා දෙනු ලබන්නේ මෑතක සිට එම ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කරනු ලබන එළවළු හා පලතුරු තොග මිල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානයන් මඟින් අලෙවි කරනු ලබන එළවළු හා පලතුරු තොග මිල ද මෙලෙස ඉහළ ගොස් ඇති බවයි. ඒ සමඟ එම එළවළු හා පලතුරු සිල්ලර මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර ගත වූ දින කීපය පුරා මුළු රටටම බල පෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ එළවළු හා පලතුරු හිඟයක් ඇති වී ඇතැයි ද පැවසේ. අධික වැසි හා ගංවතුර හේතුවෙන් අස්වනු විනාශ වී ගොස් ඇති අතර එහි බලපෑමක් ලෙස කොළඹ මැනිං වෙළෙඳ පොළ, මීගොඩ, නුවරඑළිය, වැලිමඩ ,මාතර, නාරාහෙන්පිට, රත්මලාන, බෝකුන්දර ආදී ප්‍රදේශ රැසක ප්‍රධාන තොග මධ්‍යස්ථානවල පවා එළවළු මිල මේ වන විට පවතින්නේ ඉහළ මට්ටමකයි.
එළවළු හා පලතුරු හිඟය, මිල ඉහළ යෑම හා ඒ හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින අපහසුතා පිළිබඳව සිළුමිණ විශේෂ සොයා බැලීමක් කළ අතර එහිදී අප ඒ සම්බන්ධයෙන් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්නගෙන් අදහස් විමසුවෙමු. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ සෑම වසරකම අවසාන මාස කිහිපය තුළ එළවළු හා පලතුරු නිෂ්පාදනයේ සැලකිය යුතු අඩු වීමක් ඇති බවයි. එම හේතුව හා අයහපත් කාලගුණයේ බලපෑමෙන් මෙවර එම තත්ත්වය දරුණු වී ඇති බව පැවසූ ඔහු ප්‍රවාහනයේදී මෙන්ම ඇසුරුම්කරණයේදී සිදු වන නාස්තිය යන කාරණා ද මේ වන විට ඇති වී ඇති අසාමාන්‍ය මිල වැඩි වීමට හේතුවක් වී ඇති බව සඳහන් කළේය.
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක පවසා සිටියේ මීට පෙර එක් දිනකට කිලෝ ලක්ෂ 20ත් 25ත් අතර අස්වනු ප්‍රමාණයක් තොග වෙළෙඳාම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගොවීන් රැගෙන ආවත් මේ වන විට එම ප්‍රමාණය කිලෝ ලක්ෂ 10ටත් අඩු බවයි. පුරා වසර තිහකට ආසන්න කාලයක් තමන් ද ව්‍යාපාරිකයකු ලෙස මෙම ක්ෂේත්‍රය තුළ කටයුතු කළත් මෙවැනි වාතාවරණයකට මීට පෙර මුහුණ දී නොමැති බව ඔහු සඳහන් කළ අතර ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නවලට බලධාරීන් හැකි ඉක්මනින් පිළිතුරු ලබාදීමට උනන්දු වුවහොත් ගොවි ජනතාව යළිත් සක්‍රීය ලෙස සිය වගාවන් සිදු කිරීමට උනන්දු වනු ඇති බව ද කීවේය. එය එසේ නොවුණහොත් ඉදිරියේදී මෙරට ජනතාවට ආහාර හිඟයකට පවා මුහුණ දීමට සිදු වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
වෙළෙඳපොළේ ඇති වී ඇති වත්මන් වාතාවරණය පිළිබඳව නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුගෙන් ද අප අදහස් විමසූ අතර ඔහු පැවසුවේ මේ වන විට ඇති වී ඇති පොහොර අර්බුදය ද දැනට ඇති වී ඇති මිල වැඩි වීම් සඳහා හේතු වී ඇති බවයි. දැනට මෙරට තුළ වගා කෙරෙන බොහෝ එළවළු වර්ග විදේශ රටවලින් ගෙන්වන ලද බීජ යොදා නිෂ්පාදනය කර ඇති බවත්, ඉන් උසස් ඵලදාවක් ලැබීමට නම් ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර වර්ග භාවිත කළ යුතු බවත්ය. ඔහු පසුගිය කාලය තුළ සිදු කළ වගාවන්හීදී රසායනික පොහොර භාවිතා කිරීමට නොහැකි වූ නිසා අස්වනු අඩු වී ඇති බවද අනාවරණය කළේය. එපමණක් නොව නුවරඑළිය ප්‍රදේශයේ ඉතා සරුවට වගා කෙරුණු කැරට් වගාවේ ප්‍රමිතිය ද මේ නිසා අඩු වී ඇති බවත් පොහොර ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු අර්තාපල් ගොවීන් පවා සිය වගාවන් සිදු නොකර බලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය. නුවරඑළියේ වගා කෙරෙන එළවළු දඹුල්ල, කොළඹ, නාරාහේන්පිට, මීගොඩ ගම්පහ ,මීගමුව, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව, කල්මුණේ වැනි රටපුරා විවිධ ප්‍රදේශවල අලෙවි කිරීමට ලබා දුන් බවත් මීට පෙර එක් දිනකට විවිධ වර්ගයේ එළවළු කිලෝ ලක්ෂ දෙකක් පමණ තම ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබුණත් මේ වන විට එම ප්‍රමාණය කිලෝ ලක්ෂයක් පමණ තෙක් අඩු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වසර ගණනාවක් පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළෙඳාමේ නිරත වී සිටින රාජිත බණ්ඩාර ද අදහස් දැක්වීමට එක් වූ අතර පවතින අයහපත් කාලගුණය නිසා මේ වන විට රට පුරාම තොග හා සිල්ලර එළවළු මිල ඉහළ ගොස් ඇති බව කීවේය. මේ නිසා ලාභ නැතුව එළවළු ව්‍යාපාරයේ නිරත වීමට සිදු වී ඇති බවත් ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයෙන් රජය හා බලධාරීන් ගොවිතැන පිළිබඳ තීරණ, තීන්දු ගත යුතු බවත් හෙතෙම පැහැදිලි කළේය.
පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ව්‍යාපාරික අජිත් සිරිලාල්ගේ අදහස වන්නේ වෙළෙඳපොළ දැනට පවතින මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව අයහපත් කාලගුණය නිසා ඇති වූ බලපෑම් බවයි. මේ වන විට ගොවි ජනතාව හුරු වී සිටින්නේ විදේශයන්ගෙන් ගෙන්වූ බීජ යොදා ගෙන වගාවන් සිදු කිරීමට බවත් එම බීජ අධික වර්ෂාවට ඔරොත්තු නොදීම නිසා සරු අස්වැන්නක් ලැබීමට නොහැකි වී ඇති බවත් පැවසූ ඔහු මීට පෙර මෙවැනි අවස්ථාවල රසායනික පොහොර වර්ග හා බෙහෙත් වර්ග සිය වගාවන් සඳහා යොදා ගත්තත් මෙවර එසේ කිරීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇති බව ද කීවේය.
වෙළෙඳපොළ දැනට පවතින එළවළු හා පලතුරු මිල ගණන් පැහැදිලි කිරීම සඳහා මෙරට ප්‍රධානතම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු හා පලතුරු අලෙවි වන තොග මිල ගණන් පහත දැක්වේ. ප්‍රවාහනයේදී ඇති වන වියදම් ද සමඟ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානයන්හී තොග මිල ගණන් මීට සාපේක්ෂව යම් වැඩි අගයක් ගනී. මේ සමඟ වියදම් ආවරණය කර ගනිමින් හා ලාභ තබා ගනිමින් එළවළු හා පලතුරු අලෙවි කිරීමට සිල්ලර වෙළෙඳාමේ නිරත සාමාන්‍ය සිල්ලර වෙළෙඳුන්ට සිදු වී ඇති නිසා සිල්ලර වශයෙන් සිය පරිභෝජනයට අවශ්‍ය එළවළු හා පලතුරු මිලදී ගන්නා ජනතාවට වැඩි මිල ගණන් ගෙවමින් ඒවා මිලදී ගැනීමට සිදු වී ඇත.