
ගුරු, විදුහල්පතිවරුන්ගේ නොවිසඳුණු දුක් ගැනවිලි වසර 24 ක් පුරාවට ඇඳි ආ බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඔවුහු ඒ සඳහා මෙවර දීර්ඝ සටනක් කළේය. දින 120 ක් අඛණ්ඩව පැවැති මෙම දීර්ඝතම වැඩ වැරුම අවසන් වූයේ පසුගිය සතියේ බදාදාය. ඒ අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡාවකින් අනතුරුවය. මීට පෙර අවස්ථා කිහිපයකදීම රට කොවිඩ් වසංගතයෙන් ආර්ථිකය දරුණුවටම කඩා වැටි තිබුණු අවස්ථාවේ යම් සාධනීය විසඳුම් ඉදිරිපත් කළද ඒ අවස්ථා සියලු වෘත්තිය සමිති එකහෙලා ප්‍රතික්ෂේප කළහ. මේ වෘත්තිය අරගලවලදී බොහෝ දෙනෙක් ඉල්ලීම් කළේ කොතෙක් සාධාරණ ඉල්ලීමක් වුව ද මේ මොහොත ඊට නුසුදුසු බව හා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇති මොහොතක මානුෂීය කරුණක් ලෙස සලකමින් මෙය නවත්වන ලෙසය.
රුපියල් බිලියන 70 ක අති විශාල මුදලක් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් මේ අවස්ථාවේ වෙන් කිරීම කෙබඳු රජයකට වුවද දරා ගැනීමට නොහැකිය. නමුත් ඒ සියල්ල පසෙක ලා දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවනු වස් ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දෙමින් රජය විසින් වැටුප් විෂමතා ඉවත් කිරිම සඳහා සාධාරණ විසඳුමක් දුන්නේ වෘත්තීය සමිති 33 කට අධික සංඛ්‍යාවක් සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා පවත්වමිනි.
මුලින් ගුරු අරගලයේ ප්‍රධානතම ඉල්ලීම වූයේ ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ම පත් කළ හිටපු අතිරේක ලේකම්වරියකගේ ප්‍රධානත්වයෙන් වූ ‘සුබෝධනි කමිටු වාර්තාව‘ ක්‍රියාත්මක කරන ලෙසයි. මේ සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාවේ සමහර යෝජනා අවස්ථා ගණනාවකම ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කළ අතර අගමැතිවරයා සමඟ වූ අවසන් සාකච්ඡාවේද ඔවුන් බලාපොරොත්තු වැටුප් වැඩිවීම් එකවර ලබා දෙන ලෙස හඬ ගා පැවැසීය.
ගුරු වර්ජනය හා කොවිඩ් තෙවැනි රැල්ල හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුළු මනින්ම බිඳ වැටී තෙමසකට ආසන්න වූ අතර පාසල් ආරම්භ කිරීමට දින නියම වූයෙන් ගුරුවරු අකුරට වැඩ කිරීමේ පදනමින් පාසල් ඉගැන්වීම් සිදු කළ අතර සවස් වරුවේ සිය උද්ඝෝෂණ දියත් කළහ. ඒ අතර මෙම ප්‍රශ්නය විසඳීම සඳහා පසුගියදා අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදි තීරණය වූයේ සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කරන ලද වැටුප් යෝජනාව එක්වර ගෙවීමට රජය එකඟත්වය පළ කිරීමය. මෙම වැටුප් විෂමතා ඉවත් වීම ලංකාවේ පාසල් පද්ධතියේ වූ 250,000 කට ආසන්න ගුරුවරුන්ටද, 16,512 කට ආසන්න විදුහල්පතිවරුන්ටද, ගුරු අධ්‍යාපනඥ හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් 5000 කට සහනයක් හිමි වෙයි.
“මේ වැටුප් අරගලය බාධා මැදින් ආ ගමනක්. එක් අවස්ථාවකදි ජෝෂප් ස්ටාලිං ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ඇප මත නිදහස් වුවත් නිරෝධායන නීති කැඩීමේ වරදට කියා මුලතිව් ගෙන ගියා. විවිධ ඇමැතිවරු අපට අපහාස කළා. ගාලු මුවදොර රථ වාහන රැලියේදි ගුරුවරු 41 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවැරුවා. තවත් අවස්ථාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයකු ඇතුළු විවිධ අය අපට තර්ජනාත්මකව සැලකුවා. අපේ සංගම් අතර භේද භින්න කිරීමට විවිධ ක්‍රියා මර්ග ගත්තා. ඒත් ගුරු විදුහල්පති සංගම් වගේම දෙමවුපියේ විවිධ වෘත්තීය සමිති අපිත් සමඟ සිටියා. මේ නිසා නොසැලි දින 120ක දිගු අරගලය ගෙන ගියා. අපි අකුරට වැඩ කිරීම නවතා දැම්මා.“ එ් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමිය.
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි පවසන්නේ රටක් ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති අවධියක තමන් බලාපොරොත්තු වූ තරමට නොවුණත් යම් සාධනීය විසඳුමක් ලබාදීම ගැන ස්තූති වන්ත වන බවයි.
“ගුරු වැටුප් විෂමතාවයට ලබාදුන් හොඳම විසඳුම තමයි ‘ සුබෝධනි වාර්තාව‘.රජය අපිට ලබා දුන්නේ ඒ වාර්තාවෙන් තුනෙන් එකක් එනම් 40% ක වැටුප් වැඩි වීමක් පමණයි. එයත් එකවර ලබාදීමට කටයුතු කිරීම සතුටක්. නමුත් රටේ ආර්ථිකය යහපත් වූ පසු සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විෂමතා සමාලෝචනය කර විෂමතා දුරු විය යුතුයි. සමහර ගුරු සංගම් මේ ප්‍රශ්නය නඩත්තු කර ගෙන ආවා. ප්‍රශ්නය විසඳීමට වඩා දඩමීමා කරගත් දේශපාලනයක් ක්‍රියාත්මක කළා. සමහර අය මේ හරහා තම වුවමනා පිරිමසා ගන්න උත්සහ කළා. කෙසේ වෙතත් ආර්ථික අපහසුතා මධ්‍යයේ සාධනීය විසඳුමක් ලබා දීම ගැන අපි රජයට ස්තුති වන්ත වෙනවා.....“ ඒ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමිය.
ලංකා ඉතිහාසයේ සිදු කළ දිර්ඝතම ගුරු වෘත්තිය සමිති අරගලය මෙය වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං සිළුමිණට පැවැසීය.
“ගුරු විදුහල්පතිවරු ලංකා ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජනය සිදු කළා. ගුරුවරු රස්තියාදු වී, අඩම්තේට්ටම් විඳිමින් කළ අරගලයක්. නොසැලී ඉදිරියට ගිය දකුණු ආසියාවේ විශාලම අරගලය වුණා. අපේ
![]() |
වමේ සිට - සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි, *අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ සහ ලංකා ප්‍රගති ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මයුර සේනානායක |
බලාපොරොත්තුව වුණේ සුබෝධනි වාර්තාවේ ඉල්ලිම් දිනා ගැනීම. නමුත් රජය එය වෙනුවට අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාවක් ඉදිරිපත් කළා. මේ අනුව සුබෝධනි වාර්තාවේ තුනෙන් එකක් අපි ලබා ගන්න එකඟ වුණා. එයත් රජය අවස්ථා තුනකදි ලබා දෙන්න පොරාන්දු වුණා. අපි එයට විරුද්ධ වුණා. අපේ ඉල්ලීම වුණේ එය එකවර ලබා දෙන ලෙසයි. එය ඉටුවුණා. මෙය එක් ජයග්‍රහණයක් පමණයි. අපිට තවත් අරගල තියෙනවා. “ එසේ සිළුමිණට පැවැසූයේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිංය.
රජයේ එකම අපේක්ෂාව වූයේ දැයේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණවත් කිරීමය. ඒ සඳහා පියවරෙන් පියවර මේ ගැටලුව විසඳීමට රජය සූදානම්ය.
“අපේ වැටුප් විෂමතාව අවසන් වුණේ තුනෙන් එකක් පමණයි. සම්පූර්ණ වැටුප් විෂමතාව ඉවත් කිරිමට කළ යුතු දේ ඉදිරියේදි තීරණය කරනවා. අපි කැමතියි ඉදිරියේදි එකඟතාවයකින් යුතුව මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට. අධ්‍යාපනයට මෙවර 7.1% ක් වෙන් කර ඇති බව කිව්වා. එය වැඩි විය යුතුයි. දෙමවුපියන්ගෙන් පාසල් නඩත්තුවට මුදල් එකතු කිරීම නැවැත්විය යුතුයි. ගුරුවරයා , අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීමේ අරගලයක් අපිට තියෙනවා.“ ඵ් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහය. මෙවර අයවැයෙන් ගුරු වැටුප් සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 30 ක් හා ඉතිහාසයේ පළමුවරට අධ්‍යාපනයට 7.51% ක් වෙන් කෙරෙන බව මෙම සාක්ච්ඡාවේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් පවසා ඇත.
“මෙවර අයවැයෙන් වාර්ෂිකව ගුරු වැටුප් සඳහා රුපියල් බිලියන 30 ක් වෙන කර තියෙන බව මුදල් ඇමැතිවරයා පැවැසුවා. ඒ වගේම
![]() |
සාකච්ඡාවට පැමිණි අවස්ථාවකදී ජෝශප් ස්ටාලිං සහ අගමැති අතර සුහද කතාබහක් |
අධ්‍යාපනය සඳහා ඉතිහාසයේ පළමුවරට 7.51% ක් අයවැයෙන් වෙන් කරලා. පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සමුළුවේ යෝජනා ගෙන පසුගිය 10 වැනිදා මට අගමැතිතුමා මුණ ගැසීමට කිව්වා. ඒ අවස්ථාව ලබා දුන්නේ බැසිල් ඇමැතිතුමා. අපිත් සමඟ අනිත් ගුරු සංගම්වලටත් එන්න කිව්වා. මේ අවස්ථාවේ එකවර මේ ගෙවීම් කරන්න කියන යෝජනාව මා විසින් ඉදිරිපත් කළා. අනතුරුව අපේ යෝජනාව බාර ගෙන ඊට කැමැත්ත ලබා දුන්නා. මේ නිසා එකවර ගෙවීමේ යෝජනාව ඉදිරිපත් කළේ අපි. නමුත් චෝදනා කරනවා, රෙදි නැතුව ඇවිත් භාර දුන් බවට“ ඒ පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩය. කෙසේ වෙතත් ලබන ජනවාරියේ සිට අවම වශයෙන් රුපියල් 3250 ක් හා උපරිමය 8350ක පරාසයක් තුළ මුල් වටයේ ගුරු වැටුප් වැඩි වීමට නියමිතය.
“අපට අගමැතිවරයා ලබා දෙන බවට ප්‍රකාශ කළේ 2018 අතුරු වැටුප් යෝජනාවයි. අතුරු වැටුප කියන විටම සම්පූර්ණ වැටුප ඊළඟට ලැබිය යුතුයි. උදාහරණයක් වශයෙන් රුපියල් 31,225 ක් වූ පළමු පංතියේ වැටුප් විෂමතාවෙන් රුපියල් 11,520 ක් ලබා දී තියෙනවා. එය ජනවාරියේ සිට අයවැයෙන් ලබා දෙන බව ප්‍රකාශ කළා. මෙහිදි ගුරු සේවයේ පළමුවැනි පන්තියට පමණක් තව දුරටත් රුපියල් 19,705 ක වැටුප් විෂමතාවයක් පවතිනවා.“ ඒ ලංකා ප්‍රගති ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මයුර සේනානායකයි
වසංගත අභියෝගයත් සමඟම රජයේ ප්‍රමුඛතා ලැයිස්තුව වෙනස් වීම ස්වභාවිකය. එහෙත් ඒ සියලු බර කරට ගනිමින් ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන්ද හිස නැමීමට බලධාරීහූ නම්‍යශීලී විය. රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට කටයුතු කර ඇත.“අගමැතිවරයාගේ හා මුදල් ඇමැතිවරයාගේ සහභාගීත්වයෙන් පැවති විදුහල්පති ගුරු වෘත්තීය සමිති සාකච්ඡාවේ දී ගුරු විදුහල්පති ගැටලුව සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එකවර ලබා දීමට කටයුතු කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ස්තූතිය පුද කරනවා. හතළිස් තුන් ලක්ෂයකට අධික සිසු දරු දැරියන්ට තම අධ්‍යයන කටයුතු නිසියාකාරව කරගෙන යාමටත්, දෙලක්ෂ විසිපන්දහසකට අධික ගුරුවරුන්ගේ මෙම ගැටලුව විසඳීමටත් මේ තුළින් හැකියාව ලැබුණා.
වර්තමානයේ රටේ පවතින ආර්ථික අපහසුකම් මධ්‍යයේ වුවද, මෙය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සියලු දෙනාට ගෞරවය පුදකරනවා “ ඒ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන ය.