වෛද්‍යවරයකු වීමෙන් පමණක් ජන දුක නිවිය නොහැකියි | Page 2 | සිළුමිණ

වෛද්‍යවරයකු වීමෙන් පමණක් ජන දුක නිවිය නොහැකියි

 

පාසල් නිවාඩු කාලයේ සේනක, බිබිලේ බෝධිරුක්ඛාරාමයට ගොස් විහාරාධිපති ටැංගොඩ නායක හාමුදුරුවන්ට සවන් දුන්නේ ය. උන්වහන්සේ සේනකගේ පියාට ගරු කළේ ය. බෝධිරුක්ඛාරාමය ඉදිකිරීමට මුල් වූයේ ද පියා ය. සිය පාලන ප්‍රදේශයේ පාසල් කීපයක් පිහිටුවන්නැයි ඔහු රජයට කළ යෝජනාවලින් පලක් නොවීය.

“මේක පරසුද්දන්ගේ ආණ්ඩුවක්. උන් මොකටද අපේ මිනිසුන්ගේ නූගත්කම නැති කරන්නේ. උන්ට එහෙම වුවමනාවක් නැහැ. අපි ම ස්කෝලයක් පටන් ගනිමු.”

ඔහු 1928 දී පාසලක් පිහිටුවීය. එය විවෘත කොට මුල් ම ලොග් සටහන තැබු‍වේ ද ඔහු ය. ඒ පාසලේ දරුවන් දකින සේනකට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සිහි වෙයි. එහි වූයේ ධනවතුන්ගේ දරුවෝ ය. සාමාන්‍ය මිනිහකුගේ දරුවකුට එයට ඇතුළුවීමට ඉඩ ලැබුණේ කලාතුරකිනි. පියා බිහිකළ බිබිලේ පාසල අද මධ්‍ය මහා විද්‍යාලයකි.

ටැංගොඩ නා හිමියෝ වෙල්ලස්සේ ඉතිහාසය සේනකට කියා දුන්හ.

“1818 දී උඹලගෙ මුත්තා කෙනෙක් සුද්දන්ට විරුද්ධව සටන් කළා. 1818 – 1848 අරගලවලින් පස්සෙ මොකක්ද වුණේ? සුද්දට ඉඩදීල, ඌට ඕන තරම් මේ රට කොල්ල කන්න ඉඩ දීල අපේ උන්දැලා නිදි වදිනවා. 1915 සිංහල මුස්ලිම් කෝලහාලේ දවස්වල අපේ ලොකු උන්නැහේලා හිරබත් කෑවා. ඊට පස්සේ උන්දැලටත් නිදහස ඕනය කියල හිතුණා. ඒත් උන් කරන්නේ පෙත්සම් ලියලා සොච්චම් නිදහසක් ඉල්ලන එක. ඔය විදියට අපේ රටට නිදහස ගන්න බැහැ. සුද්දෝ අපේ රට ඇල්ලුවෙ තුවක්කුවලින්. සුද්දො එළවල රට නිදහස් කරගන්න ඕනත් තුවක්කුවලින්. ඔය කඩදාසිවලින්, කටු පෑන්වලින් නොවෙයි.”

ත්‍රිත්ව විද්‍යාලයේ පැවතුණේ සිංහල ජාතියත් බුද්ධාගමත් හෑල්ලුවට ලක් කරන පරිසරයකි. සේනකගේ පියා සිය පුතු ටැංගොඩ නාහිමියන්ට ළං කළේ ඒ නිසා ය.

* * * *

වැහි කළු නැති අහසේ හදිසියේ හටගත් අකුණු පහරක් මෙන් බිබිලේ පවුල මහ විපතකට මුහුණ පෑවේය.

චාල්ස් විලියම් බිබිලේ රටේ මහත්තයා මිය ගියේය. සේනක පාසල් ගමන නතර කිරීමට සිතුවේය.

“මා ලබා ඇති අධ්‍යාපනයේ තරමට මට කෘෂි උපදේශකයකු විය හැකියි. මා ලබන වැටුපෙන් නංගිට, මල්ලිලාට උගන්වනවා. අම්මාට අප කවුරුත් වෙනුවෙන් වියදම් කරන්න ආදායමක් නැහැ. ඉඩම් තිබුණත් ඒවායින් ආදායම් ලැබීමට අම්මාට බැහැ. අම්මාට දුක් දෙන්නට බැහැ.”

සේනකගේ මතයට මව විරුද්ධ වූවාය.

“පුතා... ඕවා ගැන හිතට ගන්න එපා. මට වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේම හොඳට ඉගෙන ගන්න. තාත්තාට කරන හොඳම සැලකිල්ල ඒකයි.”

ගෙයින් පිටත ජීවිතයක් නොදත් ඇය, සැමියා දැරූ බර කරට ගන්නට සැරසුණු ඇය, කටුක මඟකට සිය දෙපා තැබීමට ඉදිරිපත් වී සිටින ඇය සේනක ගේ සිත දැඩි කළාය.

ඔහු සිය මල්ලිලා ද නංගී ද කැටුව යළි මහනුවරට ගියේය. විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි ඔහුට පාඩම් කිරීමට කාලය අඩු වූයේ නංගී සහ මල්ලිලා ගේ අධ්‍යාපනය පිළිබඳව සෙවීමට නිතර සිදු වූ හෙයිනි.

බිබිලේ වලව්වත්තෙන් ලොකු ආදායමක් ලබා ගැනීමට අම්මාට අපහසුය. ගෙදර වියදම් අඩු කළ ඇය ආදායමෙන් වැඩි කොටස දරුවන්ට යැව්වා ය. ඇය විඳින දුක සේනකට පෙනිණ.

ඔහුගේ සිතට යළි කෘෂි උපදේශක තනතුර නැඟිණ. පාසලෙන් ඉවත්වීමට ඔහුට ආ අදහස ඔහු ගුරුවරයකුට කීවේය. දෙදිනකට පසු විදුහල්පති ඔහු කැඳවීය.

“සේනක පාසලෙන් අස්වෙන්න එපා. ඔබේ ප්‍රශ්නය අපි දන්නවා. දෙවියන් වහන්සේ ඔබ රැක ගනීවි. ඔබට යන වියදම් ලබාදේවි.”

මසක් දෙකක් ගෙවිණ. ඔහුගේ වියදම් ලැබෙන මඟක් හැඳී තිබිණ. ඒ අදිසි අත කුමක්ද? දෙවියන් වහන්සේ ද? කිතුනු පාසලක් වූ ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍ය, සේනකට මෙය මහත් පුදුමයක් විය. පසුව කරුණු හෙළි විය.

සේනක පාසලේදී දැක්වූ දක්ෂතා ගැන ද, ඔහුගේ ආදර්ශවත් ශිෂ්‍ය ජීවිතය ගැන ද ඇසූ ඇල්ලෙපොළ නමැති මහතෙක් ඔහු පිළිබඳ විමසිල්ලෙන් සිටියේය. සේනක පාසලෙන් ඉවත්වීමට යන බව ඔහුට අසන්නට ලැබිණ. විදුහල්පති හමුවූ ඒ මහතා සේනකට නොදැනෙන සේ ආධාර කිරීමට කැමැති විය.

“මාසෙකට රුපියල් විසි පහක් දෙනවා. ඒක ඒ ළමයාට දැනගන්න දෙන්න එපා.”

සේනකට මුදල් අග හිඟකම් නොදැනිණ.

“අම්මේ කවුදෝ මට වියදම් කරනවා. ප්‍රින්සිපල් කියන්නේ ඒ දෙවියන් වහන්සේය කියල.”

ඔහු මව සමඟ කීය.

“කොහේ හරි ඉඳගෙන තාත්තා පුතාලට උදවු කරනවා ඇති” මව කීවාය.

වතු හිමියන්ගේ සහ ලොකු නිලධාරීන්ගේ දරුවන් කරන අධික වියදම් සේනකට පෙනිණ. මල්ලිලාගේ සිත් එයින් දූෂණය වනු වැළැක්වීමට ඔහු කතා ‍කෙළේ ය.

“උන් බොහොම පහසුවෙන් හම්බ කරන සල්ලි. දුප්පත් කම්කරුවො වෙහෙසිලා උන්ට සල්ලි හම්බ කරලා දෙනවා. දුක් විඳිනවා. උන්ගේ ළමයි ඒ සල්ලි නාස්ති කරනවා. ඕවා ගැන හිතන්න එපා. අපට තියෙන්නෙ ඉතා සුළු සම්පත්. අප ඒවායින් උපරිම ප්‍රයෝජන අරගෙන හොඳට ඉගෙන ගෙන ගමට යමු.”

විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වී වෛද්‍ය විද්‍යාලයට තේරුණු සේනක ගමට ආවේ සතුටට වඩා ශෝකය පිරුණු සිතිනි.

“දැන් අම්මාට තවත් දුක් විඳින්න වේවි” ඔහු සිතුවේ ය.

මව ඔහු ළයෙහි හොවාගෙන හැඬුවාය.

“අනේ අද තාත්තා හිටියා නම්...”

ඇගේ ඒ සිතිවිලි දිවට නැඟුණේ නැත. ඇය අග හිඟකම් සැඟවූවාය.

“අම්මේ, අපේ ඉගෙනීම නතර කරන්න. අයියාට උගන්වන්න.” නංගී සහ මල්ලිලා කීහ. අම්මාගේ සිත දෙදරිණ.

“නැහැ. මගෙ දරුවො කවුරුත් ඉගෙන ගන්න ඕන...”

ඇය කඳුළු පිසිමින් කීවාය.

රටේ මහත්තයා සිටි කාලයේ නිතර ආ ගිය නෑදෑයන් දැන් නැත. දැන් එන්නේ දුප්පත් ගම් වැසියන් පමණි. සිය වත්තේ පිටියේ ඇති යමක් ගෙන එන ඔවුහු ‘ලොකු හාමිනේ’ ගේ දුක සැප බලා යති. අම්මා හැඳ පැලඳගෙන දෙතුන් දිනක් ම ගෙදරින් බැහැරට යනු සේනක දුටුවේය.

“මේ නෑයන්ගෙන් වැඩක් නැහැ. උන් කියන්නේ නැති වාදම. සේනකට ඔය ඉගැන්නුව ඇතිලු. ඔය මිනිස්සුන්ට උඹලගෙ තාත්තා කොයි තරම් වියදම් කළා ද?”

ඇය ගමනක් ගොස් පැමිණ කියයි. දිනක් ඇයට ලියුමක් ලැබිණ. එය එවා තිබුණේ පියාගේ හිතවතකුව සිටි එල්.එම්. අබේරත්න මහතා ය.

“අපි ඔය ළමයට උදවු කරනවා. එයා වෛද්‍ය විද්‍යාලයට යවන්න...”

බදුල්ලේ ශ්‍රීමත් හෙන්රි කොතලාවල මහතා මව හමුවී “සේනක ගැන මම අහලා තියෙනවා. ඉගෙනීමට දක්ෂ ළමයෙක්. මටත් මේ වෙලාවේ මුදල් අමාරුයි” කියමින් රුපියල් එකසිය පනහක් දුන්නේ ය.

ඒ මුදල ගෙන ඇය ගෙදරට ආවේ ලොව ම දිනූ එකක සේ ය. මූලික වියදම් සඳහා එය සෑහිණ.

වෛද්‍ය ශිෂ්‍යයකු වූ සේනක ගේ නවාතැන වූයේ බොරැල්ලේ හෝටලයක කුඩා කාමරයකි. මස් කෑලි නැති මස් හොඳි සමඟ පාන් පෙති කීපයක් ගිල දමා ඔහු පාඩම් කෙළේ ය. ආහාරවල සහ නවාතැනේ කටුක බව ගැන ඔහු සිතුවේ නැත. ඔහුගේ සිතේ පිරී සිටියේ ගමේ කටුක දුක් විඳින මවය.

බිබිල රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු වූ ලොයිඩ් අබේරත්න මහතාගේ නිවස පිහිටියේ කොළඹ ය. ඔහු සේනකට ප්‍රිය කළේ ය. ඉඳහිට දිනෙක ඒ නිවසට යන සේනක බඩපුරා කෑවේය. අනෙක් දිනවල ඔහුගේ කුස තුබුණේ අඩක් හිස්වය.

ඒ දෙවැනි ලෝක යුද සමයයි. ඉංග්‍රීසි යුද නිලධාරීන් සිංහල තරුණියන් ගෙන හෝටලයට එනු ඔහු දුටුවේය. තරුණියෝ පිහිට ඉල්ලා කෑ ගැසූහ. සිංහල කෙල්ලන්ට වන අතවර දෙස ඔහු බලා සිටියේ කෝපයෙනි.

“මුන්ගෙන් මේ රට නිදහස් වෙන්නේ කවදාද? ටැංගොඩ නායක හාමුදුරුවො කියන විදියට සිංහල නායකයො කියන තක්කඩි රැළ නිදහස ලබාගන්න යන්නේ උන්ගේ දෙපතුල් ලෙව කකා...”

වෛද්‍ය විද්‍යාලයෙන් ගෙන ආ පොත් අතර අලුත් පොත් රැසක් එක් විය. ඒ පොත් අතරින් මාක්ස් - එංගල්ස් ගේ කොමියුනිස්ට් ප්‍රකාශනය ඔහුගේ සිත සසල කෙළේ ය. ‘ප්‍රාග්ධනය’ ඔහු මවිත කළේය.

“ලෝකයේ කම්කරුවනි, එක්වෙයව්, දිනා ගැනීමට ලෝකයක් නුඹලාට තිබේ.”

මාක්ස් එංගල්ස් කළ ආයාචනය ඔහුට සිහි කළේ බිබිලේ හේන්වල දුක් විඳින ජනතාවය. ත්‍රිත්ව විද්‍යාලයේ මිතුරන්ගේ පවුල්වලට අයත් තේ වතුවල දුක් විඳින වතු කම්කරුවන් ය. ‘ප්‍රාග්ධනය’ ග්‍රන්ථයේ කොටස් සියල්ලම ඔහුට සොයාගත හැකි විය. කම්කරු පන්තියේ ශ්‍රමය කොල්ල කාගෙන ධන හිමියන් සැප විඳීම, සම්පත් අසාධාරණ ලෙස බෙදී යාම ඔහු මේ පොත්වලින් වඩාත් හොඳින් දුටුවේය.

මිනිස් වර්ගයා ගේ මුළු ඉතිහාසයම පන්ති සටනකි. වහල් යුගය, වැඩ වසම් යුගය, සහ ධනපති යුගය ඔස්සේ ගමන් කළ මිනිසා පීඩිත, පීඩක වශයෙන් කොටස් දෙකකට බෙදී අනවරත අරගලයක යෙදී සිටි අයුරු ඔහු ඒ පොත්වලින් වටහා ගති. ඔහු එය බිබිලේ හේන්, කඳුරට වතු සහ කොළඹ කම්හල්වලට ගළපමින් සිතුවේය.

වැඩ කරන්නෝ දුක් විඳිති.

වැඩ ගන්නෝ සැප විඳිති.

වැඩ කරන විට පෝලිමේ මුලින් සිටින අය ඵල නෙළන විට පෝලිමේ අගට වැටෙති.

මේ දුප්පත් බව, පීඩනය, පූර්ව කර්ම හෝ දේව කැමැත්ත ලෙස සිතන දුක් විඳින්නන් කවදා හෝ ඇත්ත වටහාගෙන ඒකරාශිව මේ සමාජ ක්‍රමය මුලිනුපුටා දමනු ඇත.

ඒ සඳහා ඒකායන මාර්ගය මාක්ස්වාදය බව ඔහු වටහා ගති. ඔහුගේ මිතුරන් අතර සිටි ජනතා ප්‍රේමීන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කෙළේ ය.

සේනක වෛද්‍ය විද්‍යාලයේ සිට නිවාඩුවට ගමට ආවේය. අම්මා ඔහු සමඟ ගෙතුළට ගියේ ඔහුගේ සිරුරේ වැඩීම බාලවී ඇතැයි සිතමිනි.

ගැමියෝ දඩ මස් ද කුරහන් පිට්ටු ද ගෙන රටේ මහත්තයාගේ පුතා බැලීමට ආහ.

මිනිසුන් අතරට වැටී ඔවුන්ගේ හොඳ මිතුරකු ලෙස සේනක පිළිසඳරේ යෙදෙන අයුරු දකින අම්මාට සිහි වූයේ රටේ මහත්තයා ය. ඔවුන් ඔහුගෙන් සමුගෙන ගිය පසු ඇය සිය පුතුට ළංවී ඔහුගේ කොළඹ ජීවිතය ගැන විමසුවාය.

“පුතාට කෑමක් හරියට නැහැනේ. ඇඟ පත දිහා බැලුවම පේනව”

“මම හොඳට කනවා අම්මේ. ඒත් මම නිදාගන්නෙ අඩුවෙන්. හොඳ නින්දක් නැති වුණාම ඇඟ වැඩෙන්නෙ නැහැ. අම්ම දන්නවනේ මම ට්‍රිනිටි කොලෙජ් එකෙන් ගියේ ප්‍රෙෂර් අනුස්මරණ ශිෂ්‍යත්වය දිනාගෙන. වෛද්‍ය විද්‍යාලයේදීත් මම ශිෂ්‍යත්ව දිනාගන්නව. මේ අවුරුද්දෙ හොඳට විභාග පාස් කළොත් ඊළඟ අවුරුද්දෙ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. එතකොට අම්මා සල්ලි එවන්න ඕන නැහැ. මට ආධාරයක් ලැබෙනවා. මට නිදි නැතිව පාඩම් කරන්නෙ ඒ නිසා.”

“ඕනවට වඩා දුක් විඳින්න එපා.”

“අම්මෙ හැමදාම මම තමයි වෛද්‍ය විද්‍යාලෙ හොඳම ශිෂ්‍යයා වෙන්නෙ. දැන් විඳින දුක තමයි පස්සෙ සතුටට හැරෙන්නෙ.”

වෛද්‍ය විද්‍යාලයේ සිට ගමට එන හැම වාරයකම ඔහු බේත් වර්ග කීපයක් ගෙනාවේ ය.

ඔහු ගමට ආ දාට පසුදා බිබිලේ වලව්වේ ගෙමිදුලේ මිනිස්සු පිරෙති. ගසක් යට බංකුවක් තබා ගන්නා සේනක ඔහු ඉදිරියට එන පිරිමි ද ගැහැනු ද ළමයින් ද පරීක්ෂා කරයි.

ඇස් අරවා, දිව අද්දවා, බඩට තට්ටු කොට රෝගීන් පරීක්ෂා කරන පුතා දෙස මව බලා සිටින්නේ ආඩම්බරයෙනි.

“දොස්තර මහත්තයට හොඳ අත් ගුණයක් තියෙනවා.”

ඔහුගෙන් බේත් ගෙන සුවපත් වූ ගැහැනියක මවට කියයි.

“ඒ ළමයා තාම දොස්තර විභාගෙ පාස් කළේ නැහැ. තාම ඉගෙන ගන්නවා”

මව ඇයට කියයි.

“ඇස් වහක් කට වහක් වදින්න එපා. විභාගෙ පාස් නොකළාට දොස්තර මහත්තය දෙන බේත්වලින් ලෙඩේ නිට්ටාවට සනීප වෙනවා.”

ඒ ගැහැනිය සේනකට දෙවියන්ගේ පිහිට පතයි.

රෝගී ගැමියන් ගිය පසු සේනක සිතන්නට පටන් ගනී.

“ගමේ ලෙඩ රෝගවලට මුල් හේතුව අන් කිසිවක් නොවේ. මන්දපෝෂණයයි. නූගත්කම තවත් හේතුවකි. මුළු ජීවිත කාලයම වැඩට යොදවන මේ ගැමි ජනතාවට වැඩෙහි ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ ලෙඩ රෝග සහ අසරණ මහලු වයසත් පමණි. අතපය වලංගු නැතිදාට අසරණයකු වන ගැමියා අවමානයට ලක්වනු ලැබීමෙන් හා කලකිරීමෙන් පිරුණු අවුරුදු කීපයකට පසු මරණයට ළංවෙයි.”

සේනකට චීනයේ මහා ලේඛක ලූශුන් ද සිහිවිය.

“ජපානයේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනීමට ගිය චීන ජාතික ලූශුන් එහිදී චිත්‍රපටියක් නැරැඹුවේය. චීන ජනතාව ජපනුන්ගේ වහලුන් වී විඳින දුක ඒ චිත්‍රපටියේ පිළිබිඹු විය. ලූශුන් ලජ්ජාවට පත් විය. මේ වෛද්‍ය විද්‍යාලයෙන් ලබන දැනුමෙන් මගේ රටේ ජනතාව සුවපත් කළ නොහැකි ය. ඔවුන් වහල් බවෙන් මුදා ගන්නා තුරු ඔවුන්ට සුවපත් බවක් නොලැබේ. ඔවුන්ගේ වහල් හැඟීම් නැති කිරීමට ඔවුන්ගේ මනසට මම බේත් දෙමි. ඒ සඳහා විප්ලවවාදී සාහිත්‍යය තෝරා ගනිමි සිතූ ලූශූන් ආපසු චීනයට ගියේ විප්ලවවාදී ලේඛකයකු වී ජනතාවට ඇත්ත වටහා දෙන කතා ලියන්නට විය. ඒ අවධියේ චීන මහජනතාව මෙහෙය වූ විප්ලවවාදී නායකයා වූ මාඹ්සේතුං හා එක්ව ඔහු සටන් කෙළේය. චීනයේ විප්ලවය මේ මොහොතේ ද සිදුවේ.

ඇඳෙහි වැතිර සිටි සේනක තුළ ලූශූන්ට ආ සිතිවිලි ම ඇති විය.

මේ ජනතාව විඳින දුකෙන් මුදවා ගැනීමට බේත්වලට පමණක් අපහසු ය. ලූශූන්ට මෙන් මාඕ කෙනකු සමඟ එක්වීමට අපට ද අවශ්‍යය.

ලබන සතියේ තවත් කොටසක්...

 

ඔබ සතුව මහාචාර්ය සේනක බිබිලේගේ ඡායාරූප ඇත්නම් [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය.

Comments