ජන මඩල | සිළුමිණ

ජන මඩල

 

පදිංචි සහතිකය නිසා විශ්‍රාමිකයන්ට කරදර එපා

 වසර 40ක පමණ දීර්ඝ වූ රාජ්‍ය සේවයකින් පසු විශ්‍රාම ලබා සිටින අප වැනි පිරිස රට පුරාම විසිරී සිටිති. එලෙස සිය දිවියම රාජ්‍ය සේවයට කැප කළ මෙරට විශ්‍රාමිකයන්ගෙන් සියයට 40ක පමණ පිරිසක් වයස අවුරුදු 75 පමණ ඉක්මවූ වයෝවෘද්ධ වූවන්ය. ඔවුන් ඇතුළු සමස්ත විශ්‍රාමිකයන් ම සිය දිවි පෙවත ගෙවනු ලබන්නේ ඉතාම අබල දුබල ලෙසිනි.

මෙකී රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සෑම වසරකම ජනවාරි මාසයේ සිය පදිංචිය සනාථ කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත ලිපියක් බාර දිය යුතුව තිබේ. එකී ලිපිය නියමිත දිනට පෙර ග්‍රාම නිලධාරිවරයා වෙත බාර දීමට නොහැකි වුවහොත් ඉදිරි මාසයේ සිට විශ්‍රාම වැටුප ගෙවීම අත්හිටුවනු ලැබේ. එම ලිපිය විශ්‍රාමික වැඩිහිටියා විසින්ම ග්‍රාම නිලධාරි කාර්යාලය වෙත ගෙන ගොස් බාරදීමට සිදුව තිබීම නිසා වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අප මුහුණ දී සිටින්නේ දැඩි අසීරුතාවකටය. එම නිසා එකී ලිපිය විශ්‍රාමිකයාගේ වගකිවයුතු භාරකරුවකු මඟින් හෝ ග්‍රාම නිලධාරි කාර්යාලය වෙත ගෙන ගොස් බාරදීමට හැකි වන සේ 2022 වසරේ සිට ක්‍රියාත්මක කරන්නේ නම් මහත් සහනයකි. මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂතුමා ඇතුළු වගකිවයුත්තන්ගේ කාරුණික අවධානය යොමු වන්නේ නම් කෘතඥ වෙමි.

 

ජයරත්න සේනානායක

අනුරාධපුරය

 

ග්‍රාම නිලධාරියකු නැති ගමක්  ගම්පහ දිස්ත්‍රික් ලේකම්ගේ අවධානය පිණිසයි

 

 

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොහොන්නරුව ගමෙහි අංක 17 ග්‍රාම සේවා වසමට වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරියකු නොමැතිකමින් ගම්වාසීහු මහත් දුෂ්කරතාවලට මුහුණපා සිටිති. මීට වසර පහළොවකට පමණ පෙර මෙකී ග්‍රාම සේවා වසමේ රාජකාරී කළ ග්‍රාම නිලධාරිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ වන තුරුත් පොහොන්නරුව ග්‍රාම සේවා වසමට ස්ථිර ග්‍රාම නිලධාරියකු පත්ව නොසිටීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

එදා සිටම පොහොන්නරුව ග්‍රාම සේවා වසමෙහි ග්‍රාම නිලධාරි රාජකාරි කටයුතු ඉටු කළේ අසල්වැසි ග්‍රාම සේවා කොට්ඨාසයක ග්‍රාම නිලධාරියෙකු හෝ වෙනත් නිලධාරියෙකි. ගමෙහි වෙසෙන අයවලුන්ගේ අවශ්‍යතා ගැන මෙන්ම ගමට අවැසි සංවර්ධන කටයුතු ගැන මනාව දන්නේ ගමට ස්ථිර ලෙස ග්‍රාම නිලධාරිවරයකු සිටියහොත් පමණි. එම නිසා පොහොන්නරුව ගමට කලෙක සිට පවතින ස්ථිරසාර ග්‍රාම නිලධාරිවරයකු නොමැති අඩුව හැකි ඉක්මනින් සපුරාලන ලෙස වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි.

නන්දපාල වෙලගෙදර

මීරිගම

 

රසායනික වියරුවට නැවතුම කොතැනද?

 පෙර රජ දවස ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වන ලදී. එකල රජවරු ද , රටවැසියා ද ස්වභාවධර්මය තේරුම්ගෙන තිබිණි. ස්වභාව ධර්මයට හානියක් නොවන සේ පරිසරය මිනිසා වෙනුවෙන් යොදාගත් ආකාර පිළිඹිබුවන මිනිස් කොට්ඨාසයක වසර දෙදහසක ඉතිහාසයක් අපට ඇත. මේ යථාර්ථය තේරුම්ගත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් ශ්‍රී ලංකාවේ ගොවිතැන නඟා සිටුවීම සඳහා අතිමහත් පරිශ්‍රමයක් දැරීය. එදා ගල්ඔය ව්‍යාපාරය අරඹද්දී ඔහු කීවේ අපගේ ශක්තිය ගොවිතැන බවයි. එහෙත් හිතමිතුරු ලෙස අපගේ දේශපාලකයන් ද මුළාවට ලක්කොට මෙරට බුද්ධිමතුන් හට ශිෂ්‍යත්ව පිරිනමා ඒ ඔස්සේ අපගේම පිරිසක් මඟින් මෙරට කෘෂිකර්මාන්තයේ වත්මන් ඛේදනීය තත්ත්වයට පාර කපා ඇත. දැනට දශක කිහිපයක් ඔස්සේ අපරදිගයන්ගේ වසවිස සහිත පොහොර, කෘමිනාශක, වල්නාශක මෙරට උගතුන් යැයි කියන පිරිස් හරහාම අප පොළොවේ ඉතා ගැඹුරටම ගිල්වා අවසන්ය.

වර්තමානයේ ගොවියා රසායනික පොහොර ඉල්ලන්නේ පස මැරි ඇති නිසාය. මැරි ඇති පස සමඟ ඔවුන්ට දුෂ්කර ගනුදෙනුවක් ඇත. රසායනික පොහොර කෙසේ හෝ ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලන්නේ මියගිය පසට පණ දෙන්නට වෙනත් ක්‍රමයක් නොපෙනෙන සහ නොදැනෙන නිසා වන්නට ඇත. මේ නිසා රජයට ගත හැකි ස්ථාවරයක් ඇත. කෘෂි රසායනික වසවිස වර්ග ඉල්ලන ගොවින්ට ඒවා දෙන අතරේ විශේෂ බද්දක් එම රසායනික පොහොරවලට නියම කිරීමයි. එසේම එම විශේෂ බද්දට අර්ථයක් දීම සඳහා කෘෂි රසායනික නිසා හානි වන ජීවිතවලට රජය මඟින් සපයන සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශේෂ බද්දෙන් ලැබෙන මුදල් යොදවන ලෙස ඉල්ලා සිටිමි.

කේ. පී. ඩී. ගුණරත්න

ගාල්ල

 දෙවැනි ශ්‍රේණි විදුහල්පතිවරුන්ට පළමු ශ්‍රේණිය අකැප ද?

 

 විදුහල්පති දෙවැනි ශ්‍රේණිය යටතේ 1993 වසරේදී පත්වීම් ලිපි ලැබූ විදුහල්පතිවරු 1998 වර්ෂයෙන් පසු පළමු ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූවෝ වෙති. 1977 ජුනි 01 වැනි දින සිට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා සංග්‍රහයේ 20/04 ඡේදයට අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවැනි ශ්‍රේණියේ නිලධාරින් කුසලතාව සහ ජ්‍යෙෂ්ඨත්වය මත උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට 2013 අප්‍රේල් 04 වැනිදා පෙනී සිටියහ. එම දිනය ද ඇතුළුව මේ වන විට එම පිරිස වාර කීපයක්ම සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිට ඇත.

එහෙත් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි ඇතැම් දෙනකුට පළමු ශ්‍රේණිය ලැබී තිබුණත් තවත් පිරිසකට එම තනතුර තවමත් ලැබී නැත. එලෙස අසාධාරණයට පත් නිලධාරින් විදුහල්පති පළමු ශ්‍රේණිය පිළිවෙළින් වර්ෂ 1997 මැයි 01 වැනි දිනත් 1998 මැයි 01 වැනි දිනත් 1999 මැයි 01 දින සහ 2001 මැයි 01 දිනවලදීත් උසස්වීම් ලැබීමට ව්‍යවස්ථාපිතව සුදුසුකම් ලද්දෝ වෙති.

රාජ්‍ය සේවයෙහි කුමන ශ්‍රේණියක හෝ නිලධාරියකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ පළමු ඡේදයේ 6:2 වගන්තිවලට අනුව එම නිලධාරියා මියගියද සේවයෙන් විශ්‍රාම ගියද ඔහුට හිමි උසස්වීම නියමිත දිනට ලබාදිය යුතු බවට නියෝග ලබා දී ඇත.

මෙකී කරුණු පිළිබඳ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අසාධාරණයට ලක් දෙවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරු වන අප බලාපොරොත්තු සහගතව පසුවන්නෙමු.

එච්. එච්. සිරිසේන

හියාරේ

 අනවසර ඉඩම්ලාභීන්ටත් අයිතිය ඕනෑ

මෙරට දිස්ත්‍රික්ක බොහොමයක පෞද්ගලික ධනවතුන් හා එංගලන්තයේ ධනේශ්වර රම් පවුම් වතු සමාගම් යටතේ පැවැති තේ, පොල්, රබර් වතු අක්කර ලක්ෂ ගණනාවක් 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අදියර දෙකකදී රජයට පවරා ගැනිණි. අනතුරුව එම ඉඩම්වල පාලනය ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය (එල්ආර්සී) සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (ජනවසම) බාර කෙරිණි.

එම ඉඩම්වල අක්කර තුනට අඩු ප්‍රමාණයෙන් යුතු බිම් කැබලි එවකට සිටි වතුවල කම්කරු පවුල් අනවසරයෙන් අත්පත් කරගෙන සංවර්ධනය කොට නිවාස ඉදිකරගෙන පදිංචිව සිටිති. මේ වන විට එම බිම් කැබලිවල පරම්පරා තුන හතරක පිරිස දිවි ගෙවා ඇත.

එලෙස පදිංචිව සිටින මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝපිටිය වතුයායේ මැදිහේන, කිරිවනාතැටිය, මාඋස්සාව, ‍බෝපිටිය යන බිම් කොටස්හි අනවසර ඉඩම්ලාභීන් 123 දෙනකු සඳහා ඉඩම් ඔප්පු ලබාදීම පිණිස 2018 ජනවාරි 05 වැනිදා මහනුවර ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය වෙත බාර දී ඇත.

ඒ සම්බන්ධව ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මේ පිළිබඳව රජයේ මැති ඇමැතිවරුන්ගේ සිට බලධාරින් ද දැනුවත් කර ඇත. එම බලධාරින් විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය ද දැනුවත් කර ඇත. එහෙත් මෙකී රාජ්‍ය ආයතන දෙකම මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම නිසා අසාධාරණයට මුහුණ දී සිටින එම ජනතාව බලවත් කලකිරීමකට ලක්ව සිටී.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කරවමින් ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු ජාතික සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත ලිපියක් ද යොමු කෙරිණි. එමඟින් විශේෂ ගැසට් නිවේදනයකින් මෙකී ඉඩම්ලාභීන්ට 1871 අංක 22 දරන ආඥා පනතේ ප්‍රතිපාදන මත වසර 70 සිට 20 දක්වා ආදි වශයෙන් අනවසරයෙන් ඉඩම් කැබලි භුක්ති විඳින ඉඩම්ලාභීන්ගේ භුක්තිය ප්‍රකාරව පූර්ණ අයිතිය සඳහා ඔප්පුවක් ලියාපදිංචි කරගැනීමට විශේෂ පොදු ගැසට් නිවේදනයකින් බලය පවරා දෙන ලෙස ඉල්ලා සිටිති.

මෙවැනි විශේෂ ගැසට් නිවේදනයකින් බලය පැවරුමෙන් සෙසු දිස්ත්‍රික්කවල ද රජයට පවරාගෙන ඇති වතුවල අනවසරයෙන් ඉඩම් කැබලි භුක්ති විඳින ඉඩම්ලාභීන්ට ද තම භුක්තිය විඳින ඉඩම සඳහා ඔප්පුවක් ලබා ගැනීමට හැකි වේ. එම නිසා වගකිවයුත්තන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

ආනන්ද ගුණසිංහ

මහනුවර

 ජල රක්ෂිතය විනාශ කරන්නට මඟ කියන වෙළෙඳ සැල් සංකීර්ණයක්

 

නාවලපිටියේ කුරුඳුවත්ත නව නගරයේ පිහිටි ජල රක්ෂිතයක් විනාශ කරමින් වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට සැලැසුම්කර ඇත. ඉන් ප්‍රදේශයේ විශාල ජන පිරිසකට දැඩි පීඩාවන්ට මුහුණ දීමටත් මහත් පරිසර හානියකට මුහුණ දීමටත් ඉදිරියේදී සිදු වේ.

එම ජල රක්ෂිතය කුරුඳුවත්ත නගරයේ කුරුඳුවත්ත ගම්පොළ ප්‍රධාන මාර්ගයට ආසන්නව මල්වත්ත ග්‍රාමයට අයත් ජල රක්ෂිත ප්‍රදේශයයි. විශාල පවුල් සංඛ්‍යාවකට ජල අවශ්‍යතාව සපුරාලන ස්වාභාවික ජල උල්පත් රාශියකින් සමන්විත වන එම ජල රක්ෂිතයෙන් පෝෂණය වන පොදු ළිඳක් ද වේ. ජෛව හා ශාක විවිධත්වයෙන් යුත් අගනා පරිසර පද්ධතියක් වන එය පරිසර සමතුලිතතාව රැකෙන සේ අවට ජනතාව විසින් මෙතෙක් සුරක්ෂිතව රැකබලා ගත් මිල කළ නොහැකි බිම්කඩකි. එහෙත් හිටිහැටියේම කිසියම් බලධාරි පිරිසකගේ අවශ්‍යතාව මත එම ජල රක්ෂිතය විනාශ කරමින් වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට පසුගිය දිනවල මැනුම් කටයුතු සිදු කෙරිණි. මේ වන විට එහි ගස්වැල් ආදිය ද කපා විනාශ කර ඇත.

කෙසේ හෝ බලධාරින් විසින් නොමනා තීන්දු ගෙන එම භූමියෙහි වෙළෙඳ සංකීර්ණයක් ඉදිකළහොත් ස්වාභාවික ජල උල්පත් විනාශ වී අවට ජනයාගේ ජන ජීවිතයට ඉමහත් ගැටලු ගෙන දෙනවා නිසැකය.

එම නිසා මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ කඩිනම් අවධානය යොමුකර නිසි පිළියමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

කුරුඳුවත්ත ප්‍රදේශවාසී ජනතාව

 

 

ගුරුවරයාට නිසි තැන දෙන්න

ගුරුවරයා සමාජයේ දේවත්වයෙන් සලකන බුද්ධිමතෙකි. ඔහුට තුන් කල්හිම පෙනෙන, බුද්ධියක් තිබෙන බවත් දරුවා මවුපියන්ගේ පියසෙන් ගුරුවරයා අතරට ප්‍රවිෂ්ටව අකුරු කියවා, හොඳ නරක ඉගෙනුම් කරමින්, සමාජයට පුහුණුව ලබති. මවුපියන් තම දරුවාගේ දියුණුව බලාපොරොත්තු වන්නේ ගුරුවරයාගෙනි. ඔවුන් ගුරුවරයා දේවත්වයෙන් සැලකුවෝය. මවුපියන්ට දරුවන්ගේ වටිනාකම කිව නොහැකි තරම්ය. දරුවන්ගේ අනාගතය බාරව සිය වගකීම් ඉටුකරන්නේ, ආදරය, කරුණාව, සුබසිද්ධිය ද ආශිර්වාදය පෙරදැරි කරගෙනය. එබැවින් ගුරුවරයා දේවත්වයෙන් සැලකීම වරදක් නොවේ.

උගත් මහත්වරුනි, පිළිගන්න සත්‍යය, අපගේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියකි. පෙර රජවරු පවා ගුරුවරයාට දුන්නේ ජාතියේ මුර දේවතාවුන් ලෙසට විශිෂ්ටතම ගණයේ ස්ථානයකි. අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය රැකගැනීමට අපගේ ගුරුවරයා සමතෙකි; බුද්ධිමතෙකි. එම නිසා ඔවුනට අපහාස උපහාස නොකරනු. පිරිහෙමින් තිබෙන ජාතිය ගොඩගැනීමට නම්, ගුරුවරයාට නිසි තැන දෙන්න. ඔහු වයසට ගියද ගෞරව කිරීමට පුරුදු වන්න.

සුජාතා හෙට්ටිගම

නුගේගොඩ

 

 

මුදල් ඇමැතිතුමනි, බැංකු විභාග තවත් ප්‍රමාද ඇයි?

රාජ්‍ය බැංකු හතරක් සඳහා සේවකයන් බඳවා ගැනීම වෙනුවෙන් අයැදුම්පත් කැඳවා දැනට වසරකටත් ආසන්න කාලයක් ගත වී ඇත. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු හතර සඳහා පුරප්පාඩු කිහිපයක් සඳහා එසේ අයදුම්පත් කැඳවා තිබිණි. ලිපිකරුවන්, නිලධාරින්, ගනුදෙනුකාර සේවා නිලධාරින් හා ලේකම් තනතුරු වෙනුවෙන් අයැදුම්පත් කැඳවා තිබූ අතර බොහෝ පිරිසක් මෙකී තනතුරු සඳහා අයදුම්පත් ඉදිරිපත්කර ඇත. මේ සඳහා විභාග පවත්වන බවක් ද දැනගන්නට ලැබිණි.

අයැදුම්කරුවන් විශාල මුදලක් වියදම් කර විභාග සඳහා සූදානම් වීමට උපකාරක පන්තිවලට ද යොමු වී ඇත. විභාග කල් යෑමෙන් පන්ති සඳහා තව තවත් මුදල් වියදම් කිරීමට අයදුම්කරුවන්ට සිදුව ඇත. රජය පුරප්පාඩු සඳහා බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇතත් බැංකුවලට සේවකයන් බඳවා ගැනීමේදී බැංකුවලින්ම වැටුප් ගෙවීම සිදුවන හෙයින් රජයට ගැටලුවක් ඇති නොවන බව විශ්වාසයයි. බැංකුවල වාර්ෂිකව ලැබෙන ලාභය සතුටුදායක වන හෙයින් නවක සේවකයන් බඳවාගත් පසු වැටුප් ගෙවීම පිළිබඳව සැලකීමේදී බැංකුවලට එතරම් බලපෑමක් ඇති නොවන බව අපට හැඟී යන කරුණකි. එබැවින් බැංකු සඳහා වන විභාග පැවැත්වීමට මුදල් ඇමැතිතුමාගේ කඩිනම් අවධානය යොමු වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

තරංග පෙරේරා

ගම්පහ

 

 

 

කුරුණෑගල තිලංග තැලසීමියා සැත්කමට ආධාර පතයි

 වයස අවුරුදු 15යි මාස 4ක් පමණ වයසැති එම්. පී. ජේ. තිලංග මන්ත්‍රිපති දරුවා උපතේ සිට මහ තැලසීමියා රෝගයෙන් පෙළෙති.

මාස් පතා රුධිරය ලබා දෙමින් දරුවාගේ ජීවිතය රැකගත්තද හැකි ඉක්මනින් ඔහුට ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සිදුකළ යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී තිබේ.

ඒ සඳහා සිදුකළ යුතු සැත්කමට, පරික්ෂණ, ඖෂධ සහ ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 100ක පමණ මුදලක් වැය වන බව වෛද්‍ය නිර්දේශයයි.

එතරම් විශාල මුදලක් උපයා ගැනීමේ ආර්ථික සවියක් නොමැති දරුවාගේ මවුපියෝ ඒ සඳහා පරිත්‍යාගශීලී ඔබගේ පිහිට උපකාරය අපේක්ෂා කරති.

සම්පත් බැංකුව, කුරුණෑගල ශාඛාවේ 1006 5022 7020 දරන ගිණුම් අංකයට හෝ 071 2155300, 076 7444600 දුරකථන අංක අමතා ඔබටත් තිලංග මන්ත්‍රිපති දරුවාට පිහිට විය හැකිය.

 

Comments