පනා­මුරේ ජර­මරේ | සිළුමිණ

පනා­මුරේ ජර­මරේ

පොලිස් සිර කූඩුවේදී මරණයට පත්  ඉන්දික ජයරත්න
පොලිස් සිර කූඩුවේදී මරණයට පත් ඉන්දික ජයරත්න

නාමුරේ කී සැණින් සිහිපත් වන්නේ පනාමුරේ 1950 වසරේ වෙඩි කා මරණයට පත් පනාමුරේ ඇත් රාජා නැතිනම් බ්‍රිතාන්‍ය පාලන සමයේ පැවැති පනාමුරේ ඇත් ගාල පිළිබඳවයි. එහෙත් ගෙවී ගිය සතියේ නැවතත් පනාමුරේ පිළිබඳව කරළියට ආවේ පනාමුරේ පොලිස් ස්ථානය තුළදී තරුණයකුගේ මරණයක් වාර්තා වීමත් සමඟිනි.

 

මරණයට පත් ඔහු 38 හැවිරිදි කරලහින්නගේ ඉන්දික ජයරත්න නමැත්තෙකි. තිදරු පියකු වන ඉන්දික අත්අඩංගුවට ගෙන තිබුණේ 16 වැනිදා රාත්‍රී 9.15ට පමණය. අත්අඩංගුවට පත් ඉන්දික පාන්දර එනම් 17 වැනිදා අලුයම 3ත් 3.30ත් අතර කාලය තුළදී ඔහු හැඳ සිටි කමිසයෙන් පනාමුර පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළදී ගෙළ වැළලාගෙන මිය යෑමට තැත්කර තිබිණි.

එහෙත් ඒ මොහොතේ පොලිසිය තුළ රාජකාරි කළ පොලිස් නිලධාරින් විසින් ඔහුව ක්ෂණිකව ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කෙරිණි. කෙසේ හෝ ඉන්දික අවාසනාවන්ත ලෙස රෝහල තුළදී මියගොස් සිටියේය.

අනතුරුව එම සැකකාර ඉන්දිකගේ මරණය පිළිබඳව සබරගමුව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නගේ සහ රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ලගේ අධීක්ෂණයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස්ගේ උපදෙස් මත ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ඇරැඹිණි. එම විමර්ශන අනුව ඒ අවස්ථාව වන විට පනාමුර පොලිසියේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුගේ සහ රාත්‍රී රාජකාරි බාරව නිලධාරියා ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව කීවේ නිලධාරීන් දෙදෙනාගේ සේවය 17 වැනිදා සිට අත්හිටුවූ බවත් ඔවුන් දෙදෙනාගෙන් යම් ආකාරයකින් රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇද්ද යන්න විමර්ශනයක් සිදු කරන බවයි. තවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබුණේ සැකකාර ඉන්දික අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවූ අයකු බවයි. එසේ අධික ලෙස මත්පැන් පානය කළ අවස්ථාවලදී ඉන්දික විසින් බිරියට සහ දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන පුද්ගලයකු බවත් හෙළි වේ.

විරෝධතාකරුවන් ඇඹිලිපිටිය කොලොන්න මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු අයුරු

හරිහමන් රැකියාවක් නොකළ ඉන්දිකට වයස අවුරුදු 14, 8 සහ 3 හැවිරිදි දැරියන් තිදෙනෙක්ද සිටී. ඔහු සිය දරුවන්ට සහ බිරියට සිදු කළ පහර දීම් නිසා 2017 වසරේ සිට පොලිසියට පැමිණිලි 7ක්ම ලැබී තිබේ. ඒ අනුව 2017 සහ 2018 වසරවල පැමිණිලි 4ක් ලැබී තිබිණි. ඊට අමතරව 2020 වසරේදීත් ඉන්දිකගේ පහරදීම් පිළිබඳව බිරිය විසින් පැමිණිලි දෙකක්ම කර තිබුණාය. කෙසේ හෝ ඉදිරිපත් වූ පැමිණිලි අතරින් තුනක් ඉන්දිකගේ බිරිය විසින් ඉල්ලා අස්කරගෙන තිබුණා ය. තවද පසුගිය කාලයේ එකී කාන්තාව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සඳහා අධිකරණයේ නඩු පැවැරීමටත් පොලිසිය ක්‍රියා කෙරිණි. එම නඩුවලදී ඉන්දිකට දැඩි සේ අවවාද කොට මුදා හැරීමටද අධිකරණය කටයුතු කළේය.

ඒ අතර ඉන්දික අවස්ථා දෙකකදී පමණ නිවෙසේදීත් ගෙළ වැලළාගෙන මිය යෑමට තැත් කළ බවත් ඔහුගේ බිරිය විසින් පොලිසියට සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඉන්දිකට විරුද්ධව ආසන්නතම පැමිණිල්ල පනාමුර පොලිසියට කර තිබුණේ ඉන්දිකගේ 14 හැවිරිදි දියණිය විසිනි. ඒ පසුගිය 12 වැනිදායි.

“සර්... මගේ තාත්තා කොස්සකිනුයි අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි මට හොඳටම ගැහුවා... අනේ සර්... මට ඉස්පිරිතාලේ නවතින්න ඕනේ...“

අනතුරුව සිය පියාගෙන් අමානුෂික ලෙස පහර කා සිටි දැරිවිය ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාරගෙන තිබුණාය. ඇය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඉකුත් 15 වැනිදා නිවෙසට ගියාය. එම කාලය අතරතුර පනාමුර පොලිස් නිලධාරින් විසින් ඉන්දික අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කළත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය.

එහෙත් ඉන්දික 16 වැනිදා එම ප්‍රදේශයේම ඥාතියකුගේ නිවෙසට පැමිණ සිටින බවට ඉන්දිකගේ බිරිය විසින්ම පොලිස් ස්ථානයට ගොස් පවසා තිබුණාය. ඒත් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් ජංගම රථයක නැඟුණු පොලිස් නිලධාරි කණ්ඩායමක් 16 වැනිදා රාත්‍රී 9.15ට පමණ ඉන්දික රැඳි සිටි නිවෙසට ගොස් ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඒ මොහොතේ ඉන්දික පොලිස් නිලධාරින්ට දැඩි විරෝධයක් පා ඇති බවත් සැල වේ. අනතුරුව ඉන්දික පොලිසිය සඳහන් කරන ආකාරයට සිර මැදිරිය තුළදී ගෙළ වැළලාගෙන සිටියේය. එය දුටු පොලිස් නිලධාරින් විසින් ඔහුව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණත් ඉන්දික මිය ගියේය. ඉන්දිකගේ මරණය සැලවීමත් සමඟ පනාමුර ප්‍රදේශයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගත්තේය.

විරෝධතාකරුවන් පොලිසියට නිලධාරීන්ට විරෝධය දක්වමින්

අනතුරුව ඉන්දිකගේ ගම් ප්‍රදේශයේ දහසකට ආසන්න ජනකායක් 17 වැනිදා පෙරවරු අට පමණ වෙද්දී පනාමුර නගරයට පැමිණ ඇඹිලිපිටිය කොලොන්න සහ ඕමල්පේ ප්‍රදේශයන්ට දිවෙන මාර්ග කොට යොදා අවහිර කරමින්, ටයර් පුළුස්සමින්, රතිඤ්ඤා පත්තු කරමින් දැඩි විරෝධයක් එල්ල කළහ. පිරිසක් පනාමුර පොලිසියටද ඇතුළුවීමට තැත් කළහ. පැය ගණනාවක් පැවැති තත්ත්වය සමනය කිරීමට පනාමුර පොලිස් නිලධාරිගේ සහායට අවට පොලිස් ස්ථාන වන ඇඹිලිපිටිය සහ කොලොන්න පොලිස් ස්ථානවල නිලධාරින්ද කැඳවීමට ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ට සිදු විණි. එම උද්ඝෝෂණවලට එක්වූ ජනතාව චෝදනා කළේ ඉන්දිකගේ මරණය ඝාතනයක් බවත් එය පොලිස් නිලධාරින් සිදු කළ පහර දීම නිසා සිදු වූවක් බවයි. විරෝධතාවට එක්වූ කාන්තාවක කීවේ,

“අත්අඩංගුවට ගත්තේ බිරියත් සමඟ වූ ආර­ාවුලකට... ගෙවල්වල රණ්ඩු ඕනෙ තරම් තියෙනවා... ඒ වුණාට බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරන්න බෑනේ... අත්අඩංගුවට ගත්තෙ රෑ 9.30ට විතර. පොලිසියේ තුන්දෙනෙක් හිටියා... කෑගහන සද්දෙ ඇහෙනකොට අපි පාරට දිව්වා... මරන්න එපෝ කියලා කෑ ගහනවා අපට ඇහුණා. එල්ලිලා මැරුණ නම් ඇයි ලිහුවේ කියන එකයි අපි අහන්නෙ...“

එම විරෝධතාව අතර ඉන්දිකගේ මරණය සිදුවූ පනාමුර පොලිස් ස්ථානය වෙත ස්ථානීය පරික්ෂාවක් සිදු කිරීමට පැමිණි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරිය වන නිල්මිණි රන්කොත්ගේට ද විරෝධතාකරුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් විරෝධය දැක්වූහ.

මෙකී මරණය පිළිබඳව පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදීද උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. ඒ පසුගිය 16 වැනිදා සමගි ජන බලවේගය කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයට ඇඹිලිපිටියේ සිට පැමිණ එක්වූ තරුණයකු පනාමුර පොලිසියට රැගෙන ගොස් පහර දී මියගොස් ඇති බවට සමගිජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ රජයට චෝදනා කිරීමත් සමඟිනි.

ඊට පිළිතුරු දුන් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවැසූවේ,

“විරුද්ධ පක්ෂය විසින් ඉතාම බරපතළ චෝදනාවක් කළේ. උද්ඝෝෂණයට සහභාගි වුණු කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලිසිය පහර දීලා මරා දාලා කියලා. ඒක අමූලික බොරුවක්. එම සැකකරුවා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්. ඔහු නිතරම බිරියට සහ දරුවන්ට පහර දීලා... ඒ ගැන බිරියගෙන් සහ දරුවන්ගෙන් පොලිසියට පැමිණිලි රැසක්ම ලැබිලා. පසුගිය 12 වැනිදා එම සැකකරුගේ දියණිය ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගත්තේ එම පැමිණිල්ල අනුවයි. මේක පෙළපාළියටවත්, උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නැති සිදුවීමක්. පොලිසියට විරුද්ධව කරන චෝදනා අමූලික බොරු...“

ඉන්දිකගේ මරණයට විරෝධය දැක්වූවන් මාධ්‍යයට ද දැඩි විරෝධයක් දැක්වූවේය. සරත් වීරසේකර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කී මරණයට පත් ඉන්දික මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු යන්න ප්‍රකාශයට පදනම වී ඇත්තේ මාධ්‍යය සිදුකළ අනාවරණයක් නිසාවෙන් බව වීම ඊට හේතුවයි.

මාධ්‍යවේදීන්ට පහරදීම මැඬ පවත්වා ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට පොලිසිය කටයුතු කෙරිණි.

ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දිකගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ ගමගේ විසින් පවත්වන ලදී. ඒ අනුව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් මරණයට හේතුව නිශ්චිත ලෙසම තහවුරු කිරීම සඳහා ඉන්දිකගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය ඉන්දිකගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින් මරණයට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව ලබා දෙන බවයි. මේ අතර ඉන්දිකගේ දේහය බාර ගැනීම ඔහුගේ බිරිය විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහුගෙන් ඇයට මෙන්ම දරුවන්ටද පසුගිය කාලයේ වූ දසවධ නිසාවෙන් වන්නට ඇත. අනතුරුව එම දේහය බාරගෙන තිබුණේ ඉන්දිකගේ සහෝදරියක විසිනි. කෙසේ හෝ ඉන්දිකගේ මරණය සිදුවී තිබුණේ පොලිස් ස්ථානය තුළදියි. අත්අඩංගුවට පත්වන සැකකරුවන්ගේ ජීවිතවල වගකීම පොලිස් නිලධාරින් සතුය. එම නිසා මෙකී මරණය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුය.

 

Comments