මෙදා අය­වැය ගැන මැති සබ­යෙන් ඇසුණු කතා | Page 2 | සිළුමිණ

මෙදා අය­වැය ගැන මැති සබ­යෙන් ඇසුණු කතා

 

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය කතාව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 13 වැනි සෙනසුරාදා සිට නොවැම්බර් 22 වැනි සඳුදා දක්වා දින 7 ක කාලයක් දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙයි.

ගෙවුණු සතියේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනා මෙවර අයවැය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

 

අභියෝගාත්මක කාලයක ඉදිරිපත් කළ අයවැයක්

- අගමැති මහින්ද රාජපක්ෂ

බහුවිධ අංශයන්ගෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටයි මෙම අයවැය ඉදිරිපත් කළේ. මේ මඟින් කොවිඩ් 19 හේතුවෙන් ඇති වූ බලපැම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම ඉලක්ක කර තිබෙනවා. අප ගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වෙනවා. ආර්ථිකයේ අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලි යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වනු ඇති බව විශ්වාසයි.

අයවැය සමබර නැහැ

- එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ

මෙවර අයවැය ඉදිරිපත් කළේ කොවිඩ් 19 සෙවණැල්ල කියලා. 2020 කොවිඩ් නැවැත්වූවා නම් මේ ප්‍රශ්න නැහැ. 2021 වසරේ සෞඛ්‍යට රුපියල් බිලියන 301 ක් වෙන් කළා. නමුත් ලබන වසරේ සෞඛ්‍යයට වෙන් වුණේ රුපියල් බිලියන 234 යි. මෙහෙම කොහොමද ලබන වසරේ හෝ කොවිඩ් අවසන් කරන්නේ. අයවැය සමබර නැහැ. අමාත්‍යාංශ 19 කට පමණක් 89% ක් වෙන් කරලා. එයින් 74% ක් අමාත්‍යාංශ තුනට පමණයි.

සෞඛ්‍යයට වැඩි මුදලක් ඕනෑ

- හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන

දුගීභාවය තුරන් කරන්න පසුගිය වසර 50-60 තුළ සෑම රජයත්ම විවිධ ක්‍රියාමාර්ග ගත්තා. දුගී බව හේතුවෙන් අද ජනගහනයෙන් සියයට 50 ක් විවිධ රෝගවලට ගොදුරු වෙලා. නමුත් අපේ ප්‍රාථමික සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල අඩුයි. ඒ නිසා සෞඛ්‍යයට මුදල් වෙන් කිරීමේදී දැනට තිබෙන ප්‍රමාණයට වඩා වැඩි කළ යුතුයි. ආර්ථිකයේ ප්‍රධාන බලවේගය රාජ්‍ය සේවයයි. එම නිසා රාජ්‍ය සේවය නිෂ්පාදන බලකායක් කළ යුතුයි.

මෙදා අයවැය වික්‍රමයක්

-ජල සම්පාදන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර

මෙය දැඩි අපහසුතා ගොන්නක් මධ්‍යයේ ගෙනා අයවැයක්. අපට ඩොලර්යේ අපහසුතාවය තියෙනවා. අපේ මිල ගණන් ඉහළ යන්නේ රොකට් වගේ. නමුත් යම් යම් සහන ලබා දුන්නා. දුගී අයගේ ජීවන ආදායම් ප්‍රශ්නයට මුල් තැන දුන්නා. ඉහළ ආදායම් ඇති අයගෙන් සීමිත බද්දක් ගත්තා. ඒ නිසා මේ අයවැය එක්තරා විදියකට වික්‍රමයක් ලෙසිනුයි අපි දකින්නේ.

උට්ඨාන අයවැයක්

-අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන

උට්ඨාන වීර්යයේ මෙවර අයවැය ඉදිරිපත් කර තියෙනවා . ඉතිහාසයේ කිසිම අවස්ථාවක නුදුන් ආකාරයේ ගුරු වැටප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 30,000 ක් අයවැයෙන් වෙන් කළා. පළාත් අධ්‍යාපනයටත් මුදල් ලබා දෙමින් ඉතිහාසයේ කිසිම දිනක ලබා නොදුන් ආයෝජනයක් රටේ දරුවන් වෙනුවෙන් සිදු කර තියෙනවා.

අධිකරණයේ ගැටලු වලට විසඳුම් - අධිකරණ ඇමැති අලි සබ්‍රි

මෙදා අයවැයෙන් අධිකරණ පද්ධතියේ තිබූ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබුණා. ලොව රාජ්‍ය සේවය දියුණු වුණේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිසා. මෙදා තාක්ෂණය ඩිජිටල්කරණයට අයවැයෙන් අවස්ථාව හිමි වුණා. මේ හරහා රාජ්‍ය පද්ධතිය ඔන්ලයින් ක්‍රමවේදය තුළින් රස්තියාදු නොවී කටයුතු ඉටු කර ගන්නට අවස්ථාව හිමි වෙනවා.

ජිවන අරගලයට විසඳුම් නැහැ

- සජබ මන්ත්‍රි ඉමිතියාස් බාකිර් මාකර්

ජපානයේ වැඩියෙන්ම විකිණෙන ‘නිකී ඒෂියා ‘ පුවත්පත ප්‍රකාශ කර තියෙනවා, ලංකාවේ ආර්ථිකය පිපිරීමට ආසන්න බෝම්බයක් වගේ කියලා. අද ජීවත් වීමේ අරගල තියෙනවා. මේ අයවැයෙන් ජනතාව මුහුණ දෙන ජිවන අරගලයට විසදුම් නැහැ. අයවැයෙන් ආදායම් වියදම් පරතරය වැඩි වෙලා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ නෙමේ, ගොනා අනින්න ගහෙන් වැටනකම් බලා ඉන්නවා වගේ දෙයක් වුණේ, මෙවර අයවැයෙන්.

සෑම ප්‍රාදේශීය කලාපයටම කර්මාන්ත

- කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

අද අපි ඉන්නේ අවපාත අවදියක කෙළවර. අවපාත අවදියේ පරණ සෙල්ලම් කරන්න බැහැ. ඩොලර් ආදායම උපදවා ගන්නා ක්‍රමවේදයකට අප යායුතුයි. දැවැන්ත නිෂ්පාදන පුනරුදයකට අප යා යුතුයි. මේ අයවැයෙන් සෑම ප්‍රාදේශීය කලාපයටම කර්මාන්ත ඇති කිරීමට මුදල් ඇමැතිතුමා කටයුතු කර තියෙනවා.

දහඩිය දමන අයවැයක්

- ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

මෙදා අයවැයෙන් පෙරළියක් වේ යැයි ජනතාව සිතුවා. නමුත් ඉදිරිපත් කළේ ජනතාවට දහඩිය දමන කලන්තේ හැදෙන අයවැයක්. ආර්ථිකයෙන් තෙරපිලා ඉන්න වෙලවේ යම් සහනයක් බලාපොරොත්තු වුණත් කිසිවක් නැහැ. මෙහි සංවර්ධන අයවැයක් හෝ සුබසාධන අයවැයක් නැහැ.

අත්‍යාවශ්‍ය දේයට ප්‍රමුඛතාව ලබා දී තියෙනවා - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි

ලෝකයේ බොහෝ රටවල් අයවැය ලේඛන සැකසෙන්නේ කොරෝනා වසංගතයට මුහුණ දීමට මිස ආකර්ෂණීය සහන පැකේජ ලබා දීමට නොවන බව එම රටවල් අධ්‍යනයේදි පැහැදිලිව පෙනෙනවා. නමුත් අපේ රට ඉන් එහාට ගොස් යටිතල පහසුකම් සංවර්ධනය, වැටුප් විෂමතා ඉවත් කිරිම ආදියටද ප්‍රමුඛතාව ලබා දී තියෙනව.

දරුවන්ට කාන්තාවන්ට ප්‍රමුඛතාව දී නැහැ - ජාතික ජන බලවේයේ මන්ත්‍රිනී

ආචාර්ය හරිනි අමරසූරිය

සියල්ල කොවිඩ්වලට ලඝු කිරීම උචිත නැහැ. පසුගිය කාලයේ අපේ ප්‍රශ්න විසඳී නොමැති බව පේනවා. මෙවර අයවැයෙන් ළමුන් කාන්තාවන් වෙනුවෙන් 25% ක කප්පාදුවක් කර තියෙනවා. දරුවන්ට කාන්තාවන්ට ප්‍රමුඛතාව නොදෙන අයවැයක් මොකටද?

බදු ප්‍රතිපත්ති ගැන උනන්දු විය යුතුයි - දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යන් රාසමාණික්කම්

මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීම අවශ්‍ය නැහැ. රටට මුදල් එන ක්‍රමවේදයකට යා යුතුයි. අපේ බදු ප්‍රතිපත්තිය ගැන මීට වඩා උනන්දු විය යුතුයි. එසේම පළාත් පාසල් සඳහා තියෙන පහසුකම් තවත් වැඩි කළ යුතුයි.

Comments