
අය වැය පිළිබඳ ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් කිහිපයක් දැක්වූ කෙටි අදහස් ඇසුරෙන් මේ ලිපිය සැකසේ. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෙවර අය වැය පිළිබඳ දැක්වූ කෙටි අදහස මෙසේය.
" මෙවර අය වැය තුළ ප්‍රධාන ධාරාවේ බදු සහ ආයෝජන දිරි ගැන්වීම් නොවෙනස් ව පැවති නිසා ප්‍රතිපත්තිමය අඛණ්ඩතාවක් තිබෙන බව පැහැදිලි යි. කෙසේ වෙතත් නව බදු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම බදු පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට සහ ඒවා අධ්‍යයනය කිරීමට අවශ්‍යයයි. යෝජිත සමාජ ආරක්ෂණ දායකත්වය, පරිපූර්ණ නොවන දස අත විහිද යන බද්දක් විය හැකියි. අනෙකුත් ධනාත්මක කරුණු ලෙස අප දකින්නේ ආයෝජන කලාප, යටිතල පහසුකම් සංවර්ධනය, ආරම්භක සහ වසංගතයෙන් පීඩාවට පත් වූ අවදානම් කොටස් සඳහා ඉලක්කගත සහන කෙරෙහි අවධානය යොමු කිරීමයි. රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමට ගෙන ඇති ඇතැම් පියවර සහ කැපවීම ද ධනාත්මක කාරණා ලෙස මා දකිනවා."
ව්‍යාපාර ලෝකයේ ප්‍රබල අංශයක් වන බැංකු ක්ෂේත්‍රයට මෙවර අය වැය තුළින් එල්ල වන බලපෑම පිළිබඳ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු පැවසුවේ මෙවැනි අදහසකි.
" ලබන වසරේ අප ප්‍රවේශ වන්නට යන්නේ ගෝලීය වශයෙන් සහ රටක් වශයෙන් ඉතාමත් අභියෝගාත්මක යුගයකටයි. වසංගතයකින් හෙම්බත් ව එහෙත් සාර්ථක එන්නත්කරණයකට පසුව ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන ඉතාමත් අභියෝගාත්මක කාලසීමාවකයි මේ අය වැය ඉදිරිපත් වන්නේ.
රටක් ලෙස අප ගෙන තිබෙන විදේශ ණය ප්‍රමාණය ඉතාමත් ඉහළ අභියෝගයකට ලක් ව තිබෙන කාලයක් මේ. මොකද විදේශ ණය සහ දළ ජාතික ආදායම අතර තිබෙන අනුපාතය විශාල අගයකට පැමිණ තිබෙන තීරණාත්මක යුගයක තමයි මේ අයවැය ඉදිරිපත් වන්නේ. ඒ අනුව මේ අය වැය ඉදිරිපත් කළ කාල සීමාව මෙතෙක් අප අත් වෙන්නේ නැති ඉතාමත් බරපතළ අභියෝග රැසකට මුහුණ දෙන කාල සීමාවක්.
වසංගතයකින් හෙම්බත්ව, වසර දෙකක කාලසීමාවක කටයුතු සාමාන්‍ය තත්ත්වයකින් තොරව ක්‍රියාත්මක වීමකින් අනතුරුව විශේෂයෙන් රටේ නිෂ්පාදනය, වෙළෙදාම, අපනයනය සහ සංචාරක කර්මාන්තය වැනි අනෙකුත් සේවාවන් කඩා වැටී, අභියෝග රැසකට මුහුණ දෙමින් සහ ඒවාට විසඳුම් සොයමිනුයි මේ අය වැය සකස් කොට තිබෙන්නේ.
ඒ නිසයි පසුගිය දශක කිහිපයත් එක්ක බලන විට ඒ හැම අය වැයකට ම වඩා මේ අය වැය විශේෂිත එකක් වන්නේ. කොහොම වුණත් මේ අය වැය දෙස බලද්දී බැංකු ක්ෂේත්‍රයට හිතකාමී සහ අභියෝගාත්මක කියන දෙයාකාරයෙන් ම බලපෑම් තිබෙන බව පැහැදිලියි.
විශේෂයෙන් රජය පරිගණක තාක්ෂණය මත පදනම් වූ පරිපාලන ක්‍රමයකට අවතීර්ණ වීම හිතකර සහ පැසසුමට ලක් කළ යුතු කරුණක්.
ඒ වගේම රජය මේ අයවැයෙන් කේන්ද්‍ර පහක් පිළිබඳ කතා කරනවා. ඒ කේන්ද්‍ර පහ ක්‍රියාත්මක කිරීමෙන් රටක් ලෙස ඉතාමත් වැදගත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව නාවික, ගුවන්, බලශක්ති, වාණිජ සහ දැනුම යන මේ කේන්ද්‍ර පහ ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්.
මේවායේ නිසි ප්‍රයෝජනය ගෙන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීමටත්, විදේශ මුදල් රටට ගෙනැවිත් ආයෝජනය කිරීමට, ව්‍යාපාර ඇරැඹීමට ඇති බාධා ඉවත් කර ලෝකයේ ව්‍යාපාර ආරම්භ කිරීමට පහසුම රටක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා අයවැයෙන් කර ඇති යෝජනාව ප්‍රශංසාවට ලක් කළ යුතුයි.
මෙවර අය වැය තුළ, බදු වර්ග කිහිපයක් ම අලුතින් ඇතුළත් කර තිබුණා. බදු යනු රජයට ආදායම් උත්පාදනය කරන පුළුල් මාර්ගයක් බව ඇත්ත. නමුත් බදු අය කිරීම වගේම බදු පරිපාලනය ත් ඉතා වැදගත්. රජයට ආදායමක් ලැබෙනවා සේම බදුවලින් අපහසුතාවට පත්වන පිරිසකුත් ඉන්න බව අමතක නොකළ යුතුයි.
එම නිසා බදු වැඩි කිරීම හොඳ වගේම නරක විපත් රටට ඇති කරනවා. බදු වැඩි කිරීම තුළ ජනතාව අපහසුතාවට පත් වනවා. විශේෂයෙන් අය වැය හිඟය රට තුළින් ම සොයන්නට උත්සාහ කිරීම, බැංකු පොලී අනුපාත ඉහළ යෑමටත් හේතුවක් වන්නට පුළුවන්. අපේ රට කර තිබෙන ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දැන් විදේශ ණය ලබා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. ඒ අනුව මෙවර අය-වැය හිඟය රටෙන් ම පියවා ගැනීමට රජය දරන උත්සාහය යම් ප්‍රමාණයකට ඇගැයිය හැකි වුවත්, ඒ උත්සාහයෙන් පොලී අනුපාත වැඩි වීමෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම උද්ධමනය වගේම ජීවන වියදම ඉහළ යෑමත් අනිවාර්යයෙන් සිදු වනවා..."
නිපොලැක් සමාගමේ නිර්මාතෘ, කෑන්ටෙක් ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් සභාපති සහ CNCI හිටපු සභාපති, රාජා හේවාබෝවල අයවැය බලපෑම පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
" මෙවර අයවැයෙන් රජය, කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් අංශ වෙත සහනාධාර සැලසීමට ගෙන ඇති පියවර අගය කළ යුතුයි. රටේ ආදායමෙන් වැඩි කොටසක් එම අරමුණ වෙනුවෙන් වෙන් කරන විට, කර්මාන්ත සහ කෘෂිකර්මය වැනි අංශ ගණනාවකට පහසුකම් සපයන්නට රජයට නොහැකි වී තිබෙනවා. හොඳ දේවල් තිබුණත් සමහර අහිතකර අංශත් මේ අයවැයෙන් ඉස්මතු වනවා.
මේ රටේ මිලියන එකසිය විස්සකට වැඩි පිරිවැයක් තිබෙන ව්‍යාපාරවලට 1.5 ක වෙනම බද්දක් පිළිබඳ යෝජනාවට නම් මම එකඟ නැහැ. මොකද, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සෑහෙන ප්‍රමාණයක් මේකට හසුවනවා. ව්‍යවසායකයන් මේ ගෙවන අතිශය දුෂ්කර කාලය තුළ එය සුදුසු තීරණයක් නෙවෙයි වග අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨයන් ලෙස අපට දැනෙනවා.
අනික මේ රටේ ඩොලර් බිලියන 35 ක් පමණ ණයක් තිබෙනවා එයට පොලිය පමණක් රුපියල් බිලියන 1.5 ක් පමණ වනවා. මෙය රටකට දරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ණය ගනිද්දී රජය මීට වඩා සැලසුම් සහගත නොවුණොත් මේ රට නුදුරේ දී නැත්තට ම නැති වී යාවි.
ඩොලර් හිඟයත් බරපතළ කාරණයක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු විදේශීය සමාගම් පිළිනොගන්නා තැනට පත් වීමත් බරපතළ කාරණයක්.
මෙරට කර්මාන්ත කොළඹින් පිටතට රැගෙන යෑම නම් හොඳ යෝජනාවක්. අංශ කිහිපයක් හෝ තෝරාගෙන ඒවා සංවර්ධනයට දායකත්වය දීම, ව්‍යවසායකයන්ට සහ කර්මාන්තවලට මේ වෙලාවේ විශාල ශක්තියක් වේවි"
මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් සහ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සභාපති, ජෙරාඩ් ඔන්ඩච්චි මෙවර අය-වැය බලපෑම පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි.
" මේ වෙලාවේ රටට සහන දෙන්න නම්, ආදායම් මාර්ග හොඳින් තිබිය යුතුයි. ලෝක වසංගතයකින් පීඩා විඳින ආර්ථිකයේ සියලු අංශ කඩා වැටී තිබියදී එහෙම කරන්නේ කොහොමද? අපිට හැමදේම ආනයනය කරන්නේ වෙලා තියෙන්නේ ඩොලර්වලින්. අද ඩොලරය රුපියල් 205 සිට 220 දක්වා ඉහළ ගිහින්. ඊට සාපේක්ෂව රුපියල ඉතාම පහළ අගයකට වැටිලා. දැන් තියෙන තත්ත්වය අනුව පුළුවන් තරම් රටක් විදියට පිරිමහගෙන ජීවත් වීමයි වැදගත්. මේක මුළු ලෝකයටම බලපාන ප්‍රශ්නයක්. අය වැය ගැන රජයට ම දොස් කියලා වැඩක් නැහැ. ඩොලර් එන්නේ නැත්නම් මොකද කරන්නේ... සමාගමක් විදියට අපේ එක පිළිඅරගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් කැපවෙනවා. "
දේශීය රෙදිපිළි කර්මාන්තයේ සලකුණක් වන හමීඩියාස් සමාගමේ සභාපති, ෆවුසුල් හමීඩ් මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
" මම දේශීය ව්‍යවසායකයෙක්. පිටරටින් එන ආයෝජකයන්ට හුඟක් සහන ලැබුණත්, ලංකාවේ ඔළුව උස්සන්න හදන පොඩි මිනිස්සුන්ට මේ අයවැයෙන් කිසිම සහනයක් නැහැ. කියන්න කණගාටුයි, අවුරුදු දහයක් ආපස්සට හැරිලා බැලුවොත් මේ රටේ එක පොඩි ව්‍යවසායකයෙක්වත් දැවැන්ත සමාගමක් මට්ටමට ඇවිත් නැහැ. අපි රෙදිපිළි, මැෂින් සියල්ල ගෙන්වන්නේ පිටරටින්. අමතර කොටස් ගෙන්වන්නෙත් පිටරටින්. සෘජුව හා වක්‍රව මේ රටේ දෙදාහකට වඩා වැඩි පිරිසකට අපි රැකියා උත්පාදනය කර තිබෙනවා. නමුත් මේ වෙලාවේ අපේ කර්මාන්ත පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටිකවත් ගෙන්වා ගන්න ක්‍රමයක් නැහැ. මේ රටේ රෙදිපිළි හදන්නෙත් නැහැ. මැෂින් හදන්නෙත් නැහැ. දැන් ගෙන්වන්නත් බැහැ. අපේ සම්පත් ප්‍රයෝජනයට ගෙන, ආර්ථිකය හදන වැඩපිළිවෙලකට යන්න, මේ තමයි උදාවෙලා තියෙන අවසන් අවස්ථාව. අපි වගේ දේශීය කර්මාන්ත වැහිලා යන්න කලින් රජයේ අවධානය යොමු කොට ඉක්මන් විසඳුමක් ගන්නා ලෙසයි මා ඉල්ලා සිටින්නේ..."