වැටුපට සීමා නොවූ රාජ්‍ය සේවකයා | සිළුමිණ

වැටුපට සීමා නොවූ රාජ්‍ය සේවකයා

 

වර්තමාන සමාජ රටාව තුළ රජයේ හෝ පෞද්ගලික යන දෙඅංශයෙන් කුමක් දෙස බැලුවත් දක්නට ලැබෙන බහුතරය වන්නේ වැටුපක් අපේක්ෂාවෙන් පමණක් සිය සේවය සලසන්නන් බවයි.

එවන් වකවානුවක සිය රාජකාරියට අමතරව තමන් විසින් ම පවරාගත් වගකීම් සමුදායකට යටත්ව සිය විවේකී වේලාවන් මෙන්ම නිවාඩු දින සියල්ල පවා කැපකරමින් අමතර රාජකාරි ගොන්නක් තමා පිට පවරාගත් අපූරු චරිතයක් පිළිබඳ දැනගන්නට ලැබුණේ ඉංගිරිය ප්‍රදේශයෙනි. කොස්හේන පාර, බොරළුගොඩ, පෝරුවදණ්ඩ පදිංචි 36 හැවිරිදි මෙම තරුණයා නමින් තෝෂණ පතිරණ ය.

හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ සංවර්ධන නිලධාරි (සමාජ සේවා) තනතුර හොබවන ඔහු සමාජ සේවා දෙපාර්තමේන්තුවට එක්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර රාජකාරියට සම්බන්ධව ගෙවී ඇත්තේ වසර තුනක් වුවත් එම කාලය තුළ ඔහු කළ පෙරළිය සුළුපටු නොවේ.

ප්‍රථම මාස නමයක කාලය ක්ෂේත්‍ර රාජකාරිවල නියැළෙමින් සාමාන්‍ය ලෙස ගෙවා දැමුවද එම කාලය ඇතුළත දෑසින් දැකගත් බාහිර ලොවින් සැඟවුණු 'අසරණයන්ගේ ලෝකය' සම්බන්ධයෙන් තෝෂණ නිරන්තරයෙන්ම පසුවූයේ දැඩි කනස්සල්ලකිනි. ගම්මානයන්හි සැරිසරද්දී දැකගත් ආබාධිත, දුප්පත් අහිංසක මිනිසුන් පිළිබඳ සිත කම්පා කරගත් මෙම තරුණයා සෑමවිටම සිතුවේ රජයට මෙන්ම තම රාජකාරියට ද බරක් නොවී පිහිටක් ඇවැසි පුද්ගලයන්ට සරණක් වන්නේ කෙසේද යන්න ගැන ය.

2019 වසරේ මාර්තු 27 වැනිදා ‘සවිය’ ව්‍යාපෘතිය බිහි වූයේ එලෙසිනි. ඉන් සිදුකෙරෙන සමාජ සේවා කටයුතුවලට සීමා මායිම් නොමැත. සියල්ල සිදු කෙරෙන්නේ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයට යටත්ව තෝෂණ පතිරණ ගේ පූර්ණ සම්බන්ධීකරණය මතය. සාමාන්‍ය රාජ්‍ය සේවකයකු වන තෝෂණ මෙම කටයුතුවලට අවශ්‍ය බරපැන සොයාගන්නේ මුහුණුපොත සහ වට්ස්ඇප් ජාලය හරහා සම්බන්ධ මිතුරන්ගේ මාර්ගයෙනි. එහිදී මුදල් සම්බන්ධ කිසිදු කටයුත්තකට ඔහු සම්බන්ධ නොවන අතර, පරිත්‍යාගශීලීන්ට පැමිණ පිහිට ඇවැසි මිනිසුන් තම දෑස්වලින්ම දැකගැනීමට සලස්වයි. ලබාදිය යුතු උපකාරය තීරණය කිරීමට ඉඩ ලබාදෙන්නේ ද පරිත්‍යාගශීලීන්ටම ය. අදාළ උපකාරයන් සියල්ල සිදුකෙරෙන්නේ ද පරිත්‍යාගශීලීන් ලවා ඔවුන්ගේ ම අතිනි. ‘සවිය’ අනෙකුත් වැඩසටහන්වලින් සුවිශේෂී වන්නේ එබැවිනි.

"මේ වැඩසටහන පටන්ගත්ත කාලෙ හොරණ ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි එච්.ඒ. කමල් පුෂ්පකුමාර මහත්මයා එදා මාව දිරිමත් නොකළා නම් අද ‘සවිය’ කියලා එකක් නැතිවෙන්න තිබුණා" තෝෂණ කතාවට මුලපිරුවේ එලෙසිනි. මම මුලින්ම කළේ හොරණ, 616 උතුරු උඩුව වසමේ ටකරං මඩුවක සිටි අංශභාග මවකට රෝද පුටුවක් දුන්න එක. මුහුණුපොතින් මුණගැසුණු ලහිරු ප්‍රනාන්දු මහත්තයා තමා ඒක ලබාදුන්නේ. ඒ 2019 මාර්තු මාසෙ. එදා එහෙම පටන්ගත්ත ‘සවිය’ පළමු පරිත්‍යාගයට අනුග්‍රහය දැක්වූ ලහිරු මහත්තයා ඉන්පස්සේ සියවෙනි පරිත්‍යාගයටත් එයාගෙ දායකත්වය ලබාදුන්නා" තෝෂණ පැවසීය.

 

එදා එලෙසින් පටන්ගත් ‘සවිය’ අද වනවිට සිදුකර ඇති පරිත්‍යාග සංඛ්‍යාව 180කි. ඒ පිළිබඳ අදහස් දක්වමින් වත්මන් හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්.සජීවනා පැවසුවේ මෙවැන්නකි.

තෝෂණ කරලා තියෙන වැඩසටහන් 180ම ඔහු කරලා ‍තියෙන්නේ මනා විනිවිද භාවයකින් යුක්තවයි. පිහිටක් අවශ්‍ය කෙනෙක් ගැන‍ වසම් වල රාජකාරි කරන නිලධාරීන් හරහා තොරතුරක් ලැබුණාම අදාළ වසමේ ග්‍රාම නිලධාරිවරයා සහ සංවර්ධන නිලධාරිවරයා සමඟ ඔහු යනවා. එතැන් සිට අවම වශයෙන් පස් හය වතාවක්වත් වරින්වර ගොස් නිරීක්ෂණය කරනවා ඒ තැනැත්තා පරිත්‍යාගයක් ලැබීමට සුදුස්සෙක්ම ද කියලා. ඉන්පසුව තමා ඔහුගේ මිතුරු පරිත්‍යාගශීලීන්ට දැනුම් දෙන්නෙ. පරිත්‍යාගය සිදුකිරීමෙන් පසුවත් සෑම පරිත්‍යාගයක් සම්බන්ධයෙන්ම ව්‍යාපෘති වාර්තාවක් හදලා අනුමැතිය සඳහා මට යොමුකරනවා. මගේ අනුමැතියෙන් පසුව ඔහු විසින් තවත් ස්තූති ලිපි සකසා පරිත්‍යාගය ලබාදුන් තැනැත්තාටත් සහයෝගය ලබාදුන් වසමේ රාජ්‍ය නිලධාරීන්ටත් යොමුකරනවා. සෑම මසකට වරක්ම සිදුකළ ව්‍යාපෘති සාරාංශගත කරලා සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි මහතා වෙත යොමු කරනවා. එතුමාගෙනුත් මේ වැඩසටහනට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. මේ විශ්වාසවන්ත බව සහ විනිවිද භාවය නිසාම මෙම වැඩසටහනේ ආරම්භයේ එක්වූ පුද්ගලයන් අද වෙනතෙක්ම ඒ සමඟ රැඳී සිටිනවා. මේ වනවිට ‘සවිය’ හරහා රෝද පුටු 20ක්, අත්වාරු 4ක්, වෝකර් උපකරණ 2ක් ඇතුළු පරිත්‍යාග රාශියක් සිදුකර තිබෙනවා"

තමා විසින් සම්බන්ධීකරණය කරමින් සිදු කළ පරිත්‍යාග පිළිබඳ තෝෂණ පතිරණ වැඩිදුර කරුණු විස්තර කළේ මෙලෙසිනි.

"ඉහත පරිත්‍යාගවලට අමතරව හොරණ මූලික රෝහලේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනී සමන්තිකා ගුණතිලක මහත්මිය සමඟ සම්බන්ධවෙලා රෝහලට පැමිණීමට අපහසු රෝගීන්ගේ තුවාලවලට නිවෙස්වලටම ගොස් බෙහෙත් දානවා. ඒ වගේම එවැනි පුද්ගලයන්ගේ නිවෙස්වලට ගොස් රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල්, රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කරනවා. බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට අකමැති රෝගීන්ගේ නිවෙස්වලට වගේම වැඩිහිටි නිවාසවලට හොරණ ප්‍රජා ආයුර්වේද සෞඛ්‍ය නිලධාරී ගීත් බමුණුආරච්චි මහතා සමඟ ගොස් ආයුර්වේද තෙල් බෙහෙත් සත්කාර සිදුකරනවා. වැඩිහිටි නිවාස වැනි ස්ථානවල ඒකාකාරී ජීවන රටාවක් ගතකරන, මානසික අතින් ගොඩක් පසුගාමී වැඩිහිටියන් හමුවට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අන්යුක්ත උපදේශන නිලධාරී ශ්‍යාමල් ජයතිලක මහතා සමඟින් ගොස් ඔවුන්ට උපදේශන වැඩසටහන් පවත්වනවා. ඒ වගේම හොරණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී වැඩිහිටි සහ ආබාධිත ප්‍රජාවගේ මානසික සුවය වෙනුවෙන් සංගීත රසාස්වාදන වැඩසටහන් පවත්වනවා. මේ කටයුත්ත සිදු කරන්නේ මුහුණුපොත හරහාම හඳුනාගත් කොළඹ වෝඩ් පෙදෙස පිහිටි විශ්ව පාරමී පදනම සමඟයි. මුදලින් ගත්තොත් රුපියල් 40,000ක් පමණ වටිනාකමැති මෙවන් වැඩසටහන් 18ක් මේ වෙ‍නකොට සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වා තිබෙනවා. ගැබිනි මවුරුන් අට දෙනෙකුට භාණ්ඩ කට්ටල ලබාදීලා තිබෙනවා. ඒ වගේම ආබාධිත සාමාජිකයන්ගේ පවුල්වල දරුවන් හතර දෙනෙකුට වසරක කාලයක් සඳහා මාසික පදනම මත ශිෂ්‍යත්ව ලබාදීලා තියෙනවා. හත් හැවිරිදි ආබාධිත දරුවකුට ජල මෙට්ටයකුත් ලබාදුන්නා. මොරටුව, රාවතාවත්ත සර්වෝදය සුභසාධක සමිතිය සමඟ එක්වෙලා ආබාධිත අයට කථන චික්ත්සක වැඩසටහන් දෙකක් පවත්වා තිබෙනවා"

"මේ වැඩසටහන් සියල්ලම කරන්න මට වසම් හැටඑකේම ග්‍රාම නිලධාරීන් ප්‍රමුඛ ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. ප්‍රාදේශීය ලේකම්තුමිය වගේම සහකාර ප්‍රාදේශීය ලේකම් ක්‍රිෂාණි චතුරංගි මහත්මියත් දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරිනී ශ්‍යාමලී කරවිට මහත්මියත් සමාජ සේවා නිලධාරිනියන් වන පුෂ්පා හේරත් සහ තරංගා චන්ද්‍රසේකර මහත්මීන් දෙපළත් උපරිම සහයෝගය මට දෙනවා.“

තෝෂණ කීවේ කෘතවේදීව ය. මෙම අපූරු වික්‍රමය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්. සජීවනා ද මෙසේ අදහස් දැක්වූවාය.

"තෝෂණගෙ මේ වැඩසටහනින් පරිත්‍යාග කරන උපකරණ වසමේ නිලධාරීන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක්කරනවා. වසමේ ග්‍රාම නිලධාරිවරයා මෙම වැඩසටහනට අදාළව ලිපිගොනුවක් පවත්වාගෙන යනවා. අදාළ උපකරණය ලබාගත් පුද්ගලයාගේ මරණයෙන් පසු හෝ එම උපකරණ ඔහුට අවශ්‍ය නොවුණ කාලයක නැවත ඒවා ග්‍රාම නිලධාරිවරයා භාරයට ගන්නා ආකාරයටයි එය ක්‍රියාත්මක වෙන්නේ. මේ ආකාරයට ග්‍රාම නිලධාරී වසම් 61 තුළම උපකරණ සංචිත සෑදීමයි අපේ අරමුණ වෙන්නේ. එවිට නැවත වෙනත් පුද්ගලයකුට පිහිටක් අවශ්‍ය වූ විට එලෙස සංචිතගත උපකරණ ඔහුට පහසුවෙන් ලබාදෙන්න පුළුවන්.

මේ ආකාරයෙන් වසම් මට්ටමින් උපකරණ සංචිතගත කිරීමක් ලංකාවේ ප්‍රථම වතාවට සිදුකරන්නේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විය යුතුයි. එසේම අපේ කාර්යාලයේ නිලධාරීන්ගේ උපන් දින වගේ විශේෂ සැමරුම් දින වඩාත් අර්ථාන්විතව ගතකරන්න තෝෂණ තවත් වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. උපන්දින කේක් කපා ඒවා සමරනවාට වැඩිය එම මුදලින් අසරණ පුද්ගලයකුට යම් පරිත්‍යාගයක් කර එම දිනය ගතකිරීමයි එහි අරමුණ වෙන්නේ"

 ප්‍රියදර්ශනී කහවල, ඉංගිරිය මධ්‍යම සමූහ

Comments