මොකද්ද මේ සපු­ග­ස්කන්ද පිරි­ප­හ­දුවේ අර්බුදේ | සිළුමිණ

මොකද්ද මේ සපු­ග­ස්කන්ද පිරි­ප­හ­දුවේ අර්බුදේ

 

සුගිය සැප්තැම්බර් 29 දින අනතුරු ඇඟවූ පරිදි නොවැම්බර් 15 වැනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීම කටයුතු කළ බවත් එසේ වුවත් එය රටේ තෙල් සැපයුමට බල නොපාන බවත්, රට සතු සීමිත විදේශ විනිමය අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට පමණක් යොදා ගැනීමට අවශ්‍ය නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල 15 වැනිදා පැවසීමත් සමඟ විපක්ෂය ඇතුළු විවිධ සංවිධාන තෙල් හිඟයක් ඇති විය හැකි බව පෙන්වාදෙමින් අනවශ්‍ය භීතියක් ජනතාව ජනිත කළේය. මෙකී හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල දැඩි පෝලිම් දක්නට ලැබුණි. එහෙත් මේ වනතෙක් කිසිදු ඉන්ධන හිඟයක් වාර්තා නොවුණ ද ඉන්ධන සම්බන්ධයෙන් ඇති කළ භීතිකාව මුළුමනින්ම පහව ගොස් නැත.

 

පසුගිය 15 වැනිදා සිට සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කළ අතර, එය රටේ වර්තමාන ආර්ථික තත්ත්වයන් සලකා ගන්නා ලද උපක්‍රමික තීරණයකි. ඒ හරහා රටේ බලශක්ති සැපයුමට කිසිදු බලපෑමක් ඇති නොවේ. මෙම තීරණය හරහා රටේ විදේශ විනිමය ඉතිරි වීමක් සිදුවන අතර, විදේශ විනිමය වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමේ අවස්ථාව මෙයින් රජයට ලැබේ.

මේ වනවිටත් රටේ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රටවල් ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. වත්මන් මිල ගණන් අනුව ඒ සඳහා මසකට ඩොලර් මිලියන 350ක් පමණ වැය වේ. එය විශාල මුදලකි. අග්‍රාමාත්‍යවරයා බංගලි දේශයට ගොස් ලබාගත් ණය මුදල ඩොලර් මිලියණ 300යකි. චීනයෙන් ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 350කි. එලෙස ලබාගත් ණය මුදල එක මසක තෙල් ආනයනයට ප්‍රමාවත් නොවේ. දිගින් දිගටම පාඩු ලබමින් මෙය පවත්වාගෙන ඒම නිසා තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කර වී තිබේ. එසේම කාලාන්තරයක් තිස්සේ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතාම පහෙළ මට්ටමක තිබෙන නිසා ණය ගැනීම තවත් දුෂ්කර වී ඇත. විදේශ විනිමය හිඟය යම් මට්ටමකට සමනය කර ගත් වහාම බොරතෙල් ආනයනය යළි සාමාන්‍ය අතට හැරෙනු ඇති. එතෙක් ්උපරිම වශයෙන් දින 50ක් පමණ පිරිපහදුව වසා දමන්න සිදු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

තවදුරටත් මේ පිළිබඳ අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, පුරුද්දක් ලෙස මාධ්‍ය ඉදිරියේ බොරු කියන විශ්‍රාමික සේවකයෙක් තෙල් හිඟයක් ඇති වන බවත් ඒ හේතුවෙන් පැය 12ක් ඇතුළත විදුලිය කපා හැරීමට සිදුවන බවත් මාධ්‍ය හමුවක පවසා තිබූ බවයි. මේ පුද්ගලයා වරින් වර මාධ්‍ය ඉදිරියට ඇවිත් විවිධ බොරු ප්‍රචාර සිදු කරන බවත් පසුගිය ජූලි මාසයේ සිට තුන් වතාවක් රටේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ ගෙන යන බොරු ප්‍රචාර හා ඒවාට ලැබෙන මාධ්‍ය ඉඩ නිසා අවසානයේ සිදුවන්නේ ජනතාව මහ වැසි මැද මහා වසංගත මැද තෙල් පිරවුම් හල් වල පෝලිමේ සිටිමින් අසීරුතාවයට පත්වීම පමණමයි. දැන් කියනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට සපුගස්කන්ද තෙල් දැල්ල නිවුණා කියලා. වසර දෙකකට හෝ තුනකට වරක් නඩත්තු කටයුතු සඳහා තෙල් දැල්ල නිමනවා. මාසෙකට ආසන්න කාලයක් වසා තබනවා. ඒ වගේම මෑත ඉතිහාසයේ දෙවරක් බොරතෙල් නිසි වෙලාවට ගෙන ඒමට කළමනාකරණය අසමත් වීම නිසා පිරිපහදුව වසා දමා තිබෙනවා. ඔය දැල්ල කිහිප විටක්ම නිවී ගිහින් තිබෙනවා යැයි ද හෙතෙම පැවසීය.

ඉරානයෙන් ගෙන්වන ලද සැහැල්ලු බොරතෙල් (BPSD 38000) පිරිපහදු කිරීම සඳහා 1969 අගෝස්තු මාසයේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කරන ලදී. මේ වන විට වසර 52 ක් පැරණි මෙම පිරිපහදුව හරහා නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදුවක කාර්යක්ෂමතාව ලබාගත නොහැකි තත්ත්වයක පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස සපුගස්කන්ද පිරිපහදුවෙන් සීයට තිස්හතක් පමණ නිපදවන්නේ දැවිතෙල් සහ නැප්තා යන සංයෝගයයි. ඉන් සීයට දහනවයක් ගුවන් යානා සඳහා යොදා ගන්නා තෙල් නිපදවන අතර, පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනය කරන්නේ සීයට හතළිස් තුනක් පමණි.

ඛනිජතෙල් ඇමතිවරයාගේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව බොර තෙල් නැතිව වැහෙන ඉතිහාසයේ පළමුවැනි වතාව මෙය බවත්, නිසි කලට වේලාවට තීන්දු තීරණ නොගැනීම නිසා මෙම අර්බුදය අති වූ බවත් සමඟි ඒකාබද්ධ වෘත්තිය සමති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිතගේ අදහසය. ඔහු පවසන්නේ අමාත්‍යවරයා සපුගස්කන්ද පිරිපහදුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා කැබිනට්ටුව නිවැරදිව දැනුවත් කර නැතිබවයි.

මෙම අර්බුදය පැමිණියේ දීර්ඝකාලීනව ඩීසල් පෙට්‍රල් සහ දැවි බොරතෙල් ලබාදුන් සමාගමෙන් බැහැරව පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වීමට සිංගප්පූරු සමාගම් දෙකකටත්, ලංකාවේ ලියාපදිංචි නැති ලංකාවට බොරතෙල් නොදුන්න විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔන්ෂියෝ නැමැති චීන සමාගමකටත් පවරාදීමෙන් පසුව බවයි. මැයි මාසයේ මේ ගිවිසුම අත්සන් කළ නමුත් නියමිත කාලය තුළ මේ තෙල් ලබාදීමට අදාළ සමාගම් අපොහොසත් වී ඇත. එතෙක් අප තෙල් මිලදී ගත් සමාගම මේ කොන්ත්‍රාත්තුව නිසා මෙරටට තෙල් සැපයීමෙන් ඉවත් වූ බවත් මේ හේතුව නිසා හදිසි මිලදී ගැනීම්වලට යාමට සිදු වූ බවත්, ඒ නිසා මෙම අර්බුදය ඇති වූ බවත් ඔහු පෙන්වා දෙයි.

තම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ මේ කොන්ත්‍රාත්තුව චීන සමාගමට පැවරීම පිළිබඳව විෂය බාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් විවෘත පරීක්ෂණයක් සිදු කරන ලෙසය. මින් සපුගස්කන්දේ පිරිපහදුව වැසීයාම පමණක් නොව සීයට තිහක් අවම වශයෙන් බොරතෙල් ගෙනාවට වඩා වැඩිපුර පිරිපහදු ඉන්ධන ගෙන්වමින් ඉන්ධන හිඟය මඟ හරවන්න සිදුව ඇති බවයි.

සාමාන්‍යයෙන් වසර දෙකකට වතාවක් ඉන්ධන පිරිපහදුව වසාදමන්නේ ප්‍රතිසංස්කණ කාර්යයක් වශයෙන් බවත්, එය සිදු කරන්නේ බොරතෙල් සංචිත ගබඩා කර තියෙද්දී බවත්, එම ප්‍රතිසංස්කරණවලින් පසුව නිෂ්පාදන ධාරිතාව ඉහළ යන බවත් පවසන හෙතෙම මේ අවස්ථාවේ පිරිපහදුව වසා දමන්නේ එවැනි තත්ත්වයක් නිසා නොව බොරතෙල් සියල්ල අවසන්වී ඇති තත්ත්වයකදී බව පෙන්වා දෙයි.

මේ වන විට ලෝක වෙ‍ෙළඳපොළේ පිරිපහදු කෙළ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් අනූපහක් පමණ වන අතර ඩීසල් බැරලයක මිල ඩොලර් අනූතුනක් පමණ වේ. එවිට ඩීසල් හා පෙට්‍රල් බැරලයක සමාන්‍ය මිල ඩොලර් අනූහතරක් පමණ වේ. ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් අසූහතක් පමණ වේ. මෙම පිරිපහදුවේ, බොරතෙල් බැරලයකින් පෙට්‍රල් හා ඩීසල් නිපදවන්නේ සීයට හතළිස්තුනක් පමණි. එවිට ඩීසල් පෙට්‍රල් බැරල් එකක් නිපදවීමට බොරතෙල් බැරල් 2.32 ප්‍රමාණයක් අවශ්‍ය වේ. එනම් පෙට්‍රල් හා ඩීසල් බැරලයක් වෙනුවෙන් ඩොලර් දෙසිය දෙකකට ආසන්න මුදලක් වැය කළ යුතුය. ගුවන් යානා තෙල් සඳහා රටේ ඉල්ලුම යම් ප්‍රමාණයකට පහළ ගොස් ඇත. එසේම ලංකාවේ විදුලි අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් මේ දිනවල නිපදවන්නේ ජල විදුලියෙනි. එම නිසා දැවි තෙල් මඟින් ක්‍රියා කරන බලාගාර ක්‍රියා කරවීමේ අවශ්‍යතාවක්ද නැත. එම නිසා විදුලි බල මණ්ඩලය දන්වා ඇත්තේ දැවිතෙල් අවශ්‍ය නොවන බවයි.

මේ වනවිට සපුගස්කන්ද පිරිපහදුවේ නිපදවන දැවිතෙල් අපනයනයෙන් ඛණිජ තෙල් සංස්ථාවට පාඩු සිදු වේ. රට ඩොලර් පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක, ඩොලර් දෙසියදෙකක මුදලක් වැය කර පෙට්‍රල් හා ඩීසල් ඉන්ධන බැරලයක් නිපදවනවාට වඩා, ඩොලර් අනූපහකට ආසන්න මුදලකට ලෝක වෙළඳපොළෙන් පිරිපහදු කළ පෙට්‍රල් බැරලයක් මිලදි ගැනීම සාපේෂව වාසිදායකය.

මේ නිසා කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ලබා දි ඇති දත්ත අනුව පෙනී යයි. මේවනවිටත් ප්‍රමාණවත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා තිබීම ඊට හේතුවය.

මේ වන විට ශ්‍රි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා සතුව ඔටෝ (Auto) ඩීසල් - මෙට්‍රික් ටොන් 28,185.284ක්, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 54,884.765ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9,597.893, 95ක්, පෙට්රල් මෙට්‍රික් ටොන් 15,267.395ක්, ගුවන් යානා ඉන්ධන හා භූමි තෙල් මෙට්‍රික් ටොන් 18,946.732ක් පවතී. ඉදිරි සතිය තුළ පමණක් ඩීසල් මෙට්රික් ටොන් 35,000ක්, පෙට්රල් මෙට්රික් ටොන් 35,000ක්, ගුවන් යානා ඉන්ධන හා භූමිතෙල් මෙට්රික් ටොන් 35,000ක් ඉන්ධන තොග ලැබීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ බවසයි.

කිසිදු ඉන්ධන හිඟයක් මේ වනතෙක් වාර්තා නොවන අතර සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම සිදු කරයි.

Comments