අවසානයේ... සිනමාව, කර්මාන්තයක් විය | සිළුමිණ

අවසානයේ... සිනමාව, කර්මාන්තයක් විය

සිනමාව යටත් විජිත සමයේ අපට ලැබුණු දායාදයකි. එසේ වුව මෙරට සිනමාව කර්මාන්තමය ස්වරූපයකින් පැවතීමට බලපෑ තීරණාත්මක සාධකය වූයේ නිදහසින් පසු ඒ සඳහා සක්‍රීය ලෙස දායක වූ දමිළ ජාතික ව්‍යාපාරිකයන්ය. ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය ලෙස 1948 ජනවාරි 21 වැනිදා ‘කඩවුණු පොරොන්දුව’ප්‍රදර්ශනය කෙරුණු අතර, එය චිත්‍රකලා මුවිටෝන් වෙනුවෙන් එම්.එස්. නායගම්ගේ නිෂ්පාදනයක් විය. එහි අධ්‍යක්ෂවරයා වූයේ ජෝතිශ් සිං නම් ඉන්දියානුවෙකි. එදා සිට ප්‍රදර්ශනය කෙරුණු මුල්කාලීන චිත්‍රපට ඉන්දියානු ආකෘතියෙන් තැනුණු ඒවා විය. මේ කාලයේදී සිනමා සමාගම් තුනක් ස්ථාපිතව පැවති අතර, කමක්‍රමයෙන් සිනමාව ඔවුන්ට නතු විය. ඒ ගුණරත්නම් පවුලට අයත් සිනමාස් සමාගම, ගාඩ්නර් පවුලට අයත් සිලොන් තියටර්ස් සමාගම සහ කාදර් පවුලට අයත් සිනමා එනටර්ටේයින්මන්ට් සමාගම ය.

නවසිය හැත්තෑ දෙක වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භ වනතෙක්, ඒ අතර කාලය තුළ සිනමා කර්මාන්තයේ ස්ථාවර වූ මෙම සමාගම් කිහිපය ඉන්දියානු චිත්‍රපට ගෙන්වීමෙන් විශාල මුදලක් උපයාගත් අතර, මෙරට තුළ ජනප්‍රිය සිනමා සංස්කෘතියක් බිහි කිරීමට ඔවුන් දායක විය. සිනමාවේ මෙම අවදිය වූ කලී ජාතික රාජ්‍ය කර්මාන්ත නියාමනය සඳහා මැදිහත් වීමට පෙර බිහි වූ ප්‍රාථමික විවෘත වෙ‍ෙළඳපළ මාදිලියක් විය. පසුව මෙම වෙ‍ෙළඳ සමාගම් තුනේ ඒකාධිකාරයට බලපෑම් සහගත ලෙස මුහුණ දීමට හැටේ දශකය වන විට විවිධ පාර්ශ්වයන් සක්‍රීය ලෙස මැදිහත් විය. සිනමාවට කිසියම් දේශීය මුහුණුවරක් ලැබුණේ නම් ඒ 1950 දශකයෙන් පසුව බව කිව හැකිය. ඊට දේශීය ආයෝජකයන්ගේ සිනමා ආගමනය කිසියම් දුරකට බලපා තිබුණි.

නවසිය හැත්තෑව දශකය ආරම්භයේ දී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් සිනමා කර්මාන්තය රාජ්‍ය සුභසාධන ආකෘතිය තුළ ස්ථාපිත කළේය. ඒ අනුව 1971 අංක 45 දරන පනතින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලදඅතර එහි ප්‍රථම සභාපතිවරයා ලෙස පත් වූ යේ ඩී.බී නිහාල්සිංහය. 1972 සිට 1977 දක්වා කාලය ලංකාවේ සිනමා කර්මාන්තයට අදාළ ඉතා තීරණාත්මක රෙගුලාසි බොහොමයක් හඳුන්වා දුන් කාලයකි. මෙමඟින් චිත්‍රපටකරණයට අදාළ කොන්දේසි ගණනාවක ස්ථාපිත වූ අතර, චිත්‍රපට කර්මාන්තය යහපත්ව පවත්වාගෙන යාමේ අපේක්ෂාව පෙරදැරිව චිත්‍රපට බෙදාහැරීම සහ ආනයනය මුල්කරගෙන රෙගුලාසි බොහොමයක් සැකසුණු අතර, දේශීය චිත්‍රපට සඳහා සීයට හැටපහක තිර කාලයක් වෙන් කෙරිණි. විදෙස් චිත්‍රපට ආනයනයට සීමා පැනවිණ. මෙම කාල පරිච්ඡේදය ඇතැමුන් හඳුන්වන්නේ සිනමාවේ ස්වර්ණමය යුගය ලෙසය. (මේ පිළිබඳ මතභේද ඇත).

මීට හේතුව ‘කඩවුණු පොරොන්දුව’ සිට පසුගියදා එක්දාස්තුන්සිය තිස්අට වැනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය කෙරුණු ‘නිහඬ සෙවණැලි’ දක්වා මෙරට සිනමාව නීතිමය වශයෙන් රාජ්‍ය පිළිගත් කර්මාන්තයක් වශයෙන් නොපැවතීමය. මෙනිසා සිනමා අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයන්, කැමරා ශිල්පීන්, වේෂනිරූපණ ශිල්පීන්, කලා අධ්‍යක්ෂකවරුන්, නළුනිළියන් සහ සිනමා ශාලා හිමියන් මහත් අසීරුතාවට හා අසරණභාවයට පවත්ව සිටියහ. සිනමාව මේතාක් පැවතියේ මේ සියලු දෙනා සිනමාවට දැක් වූ අසීමිත ආදරය හා ළෙන්ගතුකම නිසා ම ය. මෙම නීතිමය පිළිගැනීම ලබා ගැනීම සඳහා දසක ගණනාවක් තිස්සේ විවිධ පිරිස් විටින්විට විවිධාකාරයෙන් උත්සාහ කළේය. ඒ එකක් හෝ සඵල කර ගැනීමට නොහැකි වූයේ මේ සඳහා සාමූහික ප්‍රයත්නයක් නොවූ බැවිනි. ඇතැමුන් මේ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් තමන්ගේ අභිවෘද්ධිය ළඟා කරගෙන එම අරමුණ අතහැර දැමීය.

එවන් අවස්ථාවක සිනමාවේ නියැළෙන සියලු පාර්ශ්වයන් එක්ව මේ වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයකට මුල පිරුවේය. ඒ අනුව මේ සියලු දෙනා එක්ව කළ ඉල්ලීම පරිදි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්නා මෙන් සංස්කෘතික අමත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් හා කර්මාන්ත අමත්‍යවරයා ලෙස වීමල් වීරවංශත් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගිය 19 වැනිදා අනුමැතිය හිමි විය.

මෙම තීරණය පිළිබඳ දැනුම්වත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේ “1947 කඩවුණු පොරොන්දුව ප්‍රදර්ශනය කරමින් ආරම්භ වූ ශ්‍රී ලංකේය සිනමාව මෙම තීරණයත් සමඟ හැරවුම් ලක්ෂ­්‍යයක් සනිටුහන් කළ බවයි. මේ හරහා කර්මාන්තමය මුහුණුවරක් සිනමාවට ලැබෙන බව පැවසූ හෙතෙම; අසල්වැසි ඉන්දියාව දෙස බැලුවත්, කොරියාව ගත්තත්, ජපානය ගත්තත්, චීනය ගත්තත්, ඇමරිකා එක්සත් ජනපදය ගත්තත් සිනමා කර්මාන්තයක් ලෙස පිළිගැනීමට පාත්‍රව ඇති බවයි. මේ නිසා ආර්ථිකයේ ප්‍රමුඛත්වයක් සිනමාවට ලැබී ඇති බව පැවසූ හෙතෙම මෙය ඉතාමත් වැදගත් තීන්දුවක් වන බවයි. සිනමා කර්මාන්තයේ නියැළි සියලුම දෙනා පසුගිය කාලය පුරා අපේක්ෂා භංගව සිටියේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිනමාහල් වසා දමලා; රූගත කිරීම් කරගන්න විදියක් නැහැ; චිත්‍රපටියක් නිර්මාණය කරගන්න විදියක් නැහැ කියමින්. දැඩි දුෂ්කරතා මධ්‍යයේ තමයි මේ කලාකරුවන්, නිර්මාණකරුවන්, කාර්මික ශිල්පීන් සියලු දෙනා සිටියේ. එනිසා බලාපොරොත්තුවේ ලකුණක් ලෙස මෙය පිළිගන්නා ලෙස අප ඔවුන්ට යෝජනා කර සිටිනාවා” යැයි පැවසීය.

මෙලෙස සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ කැබිනට් තීරණය සම්බන්ධ ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුව නියෝජනය කරන චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක කියා සිටියේ “සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමට ආරම්භක අවදියෙ පටන් මේ දක්වා ගත් උත්සාහයන් කෘතවේදීව සිහිපත් කර බවත්, හිටපු කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්තුමන්ගේ අනුදැනුම මත මෙතෙක් වෙන් වෙන්ව ක්‍රියාත්මක වූ සිනමාවට සම්බන්ධ වෘත්තීය සංගම් ඒකාබද්ධව මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්ය.

ඒ අනුව සංස්කෘතික අමත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වීමල් වීරවංශත් ඊට මැදිහත් වීමෙන් සිනමාව කර්මාන්තයක් ලෙස නෛතිකව පිළිගැනීමට ලක් වූ බවත් හෙතෙම සඳහක් කළේය. ඊට කෘතවේදීත්වය පළ කළ බෙනට් රත්නායකයන්; මෙලෙස සිනමාව කර්මාන්තයක් බවට පත් වීමත් සමඟ එහි ව්‍යූහය සකස් විය යුතු ආකාරය පිළිබඳව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡාකර අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චිගේ ප්‍රමුඛත්වයෙන් යුතුව ඉදිරි පියවර ගැනීමට සැලසුම් කරන බව පැවසීය.”

“චිත්‍රපටිය අවසන් කර ප්‍රදර්ශනය කිරීම සඳහා සෑහෙන කාලයක් පෝලීමේ සිටීමට සිදුවන බවත්, මිලියනයක් එකහමාරක් වියදම් කර නිපද වූ චිත්‍රපටියත්; මිලියන හැත්තෑපහක් වියදම් කර නිපදවූ චිත්‍රපටිත් එකම පොලිමේ බලා සිටීමට සිදුවන බවත්; ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර චිත්‍රපට නිදහස් කරන ක්‍රමවේදයකට යායුතු බවත් කලා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය නියෝජනය කරමින් බිමල් දුෂ්මන්ත පැහැදිලි කළේය. දැනට සීයට හැටක් සිනමා ශාලා හිමියන්ට හා බෙදාහැරීම් අංශයට ලබාදෙන බවත් ඉතිරි සීයට හතළිහ නිෂ්පාදකවරයාට හිමිවන බවත් පවසන හෙතෙම මෙය සීයට පනහ පනහ බෙදී යන තත්ත්වයට වෙනස් විය යුතු බව” යෝජනා කරයි.

“තම ක්ෂේත්‍රයට අවශ්‍ය ආනයනික විලේපන ද්‍රව්‍ය, කලා අධ්‍යක්ෂකවරුන්ගේ කටයුතුවලට අවශ්‍ය රෙදිපිළි ආනයනයේදී ගෙවීමට සිදුවන විශාල වියදම අවම කර ගැනීම සඳහා බදු සහන සලසාදී ඊටම සුවිශේෂී කේතයක් ලබා දීමට කටයුතු කළයුතු බව” අංග රචනා ශිල්පීන්ගේ සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිනමා, රුපවාහිනි සහ වේදිකා ප්‍රවීණ අංග රචනා ශිල්පී වසන්ත විට්ටච්චිය.

“අමාත්‍යාංශය සිනමා කර්මාන්තයේ නියැළෙන්නන් සමඟ සමීප සබඳතාවක් දිගුකාලීනව පවත්වා ගැනීම අත්‍යවශ්‍යය බවත්, කැමරා උපකරණ සඳහා වන ආනයනික බදු මෙන්ම සියලු තාක්ෂණික උපකරණයන්හි පවතින මිල ගණන්වලට කිසියම් සහනදායි මිලක් අපේක්ෂා කරන බවත්” සිනමා ජායාරූප ශිල්පීන්ගේ සංසදය වෙනුවෙන් අදහස් දැක් වූ චන්න දේශප්‍රිය ගේ අදහස විය. “කර්මාන්තයක ප්‍රධාන සුදුසුකම වන්නේ සිනමාව නියෝජනය කරන සියලු ක්ෂේත්‍රයන් හි වෘත්තිය මට්ටම උසස් මට්ටමක පැවතීම බවත්, එලෙස වෘත්තිය මට්ටමක් ඇති කර ගැනීම කර්මාන්තයේ අභිවෘද්ධිය හේතු වන බවත්, අවාසනාවකට මෙරට සිනමා ක්ෂේත්‍රයේ තියෙන ගැටලුව වන්නේ මේ ශිල්ප තාක්ෂණය ගැන විධිමත් හැදෑරීමක් නොතිබීම බවත්; ඒ නිසා ඔවුන්ට තත්ත්ව සහතිකයක් හෝ ප්‍රමිතියක් හිමි වියයුතු බව ” ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජිනාදරී පැවසීය.

චිත්‍රපට බෙදාහරින්නන්ගේ සහ ප්‍රදර්ශකයන්ගේ සංසදය වෙනුවෙන් ජනිත් විතානගේ කියා සිටියේ “සිනමා ශාලාවල ප්‍රදර්ශන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ, සහ ශාලා උපාංග ගෙන්වීමේදී දැනට පවතින තීරු බදු සඳහා සහනයක් අපේක්ෂා කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාස අටකට වැඩි කාලයක් වසා දැමීමට සිදු වූ සිනමා ශාලාවල විදුලි බිල් ගෙවීමට සහනයක් බලාපොරොත්තු වන බවයි”.

“මෙතක් කලක් සිනමාව කර්මාන්තයක් නොවීම නිසා මතු වූ අර්බුදයට යම් විසඳුමක් මින් යෝජනා වී ඇති බව පැවසූ සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය වෙනුවෙන් අදහස් දැක්වූ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර කියා සිටියේය.

ලබන වසරේ සිට අයවැයෙන් යම් මුදලක් මේ කර්මාන්තය වෙනුවෙන් වෙන් වීම අපේක්ෂාව කරන බව පැවසූ හෙතෙම ඉන් නවක සිනමාකරුවන් සහ නව නිෂ්පාදකයන් මෙම සංස්කෘතික කර්මාන්තයට යොමුවීමට සහ දිරිගැන්වීමට හැකිවන බවද ” පෙන්වා දුන්නේය.

“සිනමාව කර්මාන්තයක් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස සිනමා ශිල්පීන්ට වෘත්තීය වටිනාකමක් හිමි වීම, රාජ්‍ය මැදිහත්වීමෙන් විදෙශ් ශිෂ්‍යත්ව ලබා ගැනීමට හැකි වීම, ජාත්‍යන්තර වෙළෙඳපළට යාමට අවස්ථාව ලබා ගැනීමට හැකි වීම, සිනමාවට අදාළ උපකරණ ගෙන්වීමේදී බදු සහන ලබා ගැනීමට හැකි වීම, අන්තර්ජාතික පුහුණු වීමට අවස්ථා හිමිවීම, සිනමා කර්මාන්තයට අදාළ ශිල්පීන්ට ජිවිත ආරක්ෂණයන්, සෞඛ්‍ය ආරක්ෂණ හිමි වීම, විදේශ චිත්‍රපට මෙරට තුළ රූගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට හිමි වීම ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකි බව” සහාය අධ්‍යක්ෂකවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංසදය වෙනුවෙන් අදහස් පළ කරමින් චලිත් මනුරංග කියා සිටියේය.


 

Comments