එළ­වළු මිල වැඩි­වීම ගැන ජන­තාව කියන කතා... | Page 2 | සිළුමිණ

එළ­වළු මිල වැඩි­වීම ගැන ජන­තාව කියන කතා...

අධික වර්ෂාව නිසා එළවළු මිල වැඩි වුණා

සමන් සූරියාරච්චි (48)

වෙළෙඳාම - අගලවත්ත

එළවළු මිල ඉහළ යන්න ප්‍රධානම හේතුව පෝර හිඟය හා අධික වර්ෂාව නිසයි. ලංකාවෙ බොහොමයක් වගා කරන්නෙ හයිබ්‍රිඩ් ඇට වර්ගයි. ඒවා රසායනික පෝරවලට හුරු වෙලා. කොම්පෝස්ට් පෝරවලට යන්න කලින් තක්කාලි, ගම් වට්ටක්කා වගේ බීජ හොයාගත යුතුයි. දිගට ම පැවති අධික වර්ෂාව නිසා තිබුණු එළවළු ඵලදාවත් අඩු වුණා. එළවළු මිල අඩුවෙන්නෙම නැත්තෙ ඒකයි. ගොවියත් අසරණ වෙලා. වෙළෙන්දට කරන්න දේකුත් නෑ. පාරිභෝගිකයා අන්ත අසරණ වෙලා. මෙහෙම ගියොත් නම් ලබන වසරේ ආහාර හිඟයක් ඇති වීම වළක්වන්න බැරිවෙයි.

 

අඩු එළවළු පමණයි මිලට ගන්නේ

ඒ.එච්. පත්මා (48)

ගෘහිණියක් - බොරැල්ල

එළවළු මිල ඉහටත් වඩා ඉහළ ගිහින්. එක දිගටම කරදර ඉවරයක් නෑ. කොරෝනාවලට රට වහලා තිබ්බා කාලයක්. ඊට පස්සේ එක දිගට වැස්සා. හැම දෙයකම මිල ඉහළ ගියා. වේලක් පිරිමහගන්නේ අමාරුවෙන්. රුපියල් 1000 ක් අරන් ගිහාම එළවළු කිලෝ 3 ට වඩා ගන්න බෑ. බෝංචි, කැරට්, ගෝවා, අල, ලීක්ස් වගේ ඒවට කිට්ටු කරන්න බෑ. කොහෙන් ගත්තත් ගණන් වැඩියි. අනික තෝරලා ගන්නත් එළවළු නෑ. හිඟයක් තියෙන්නේ.

 

එළවළු ගාන වැඩියි; එළවළුත් අඩුයි

ලෝරන්ස් ලේල්වල (70)

ව්‍යාපාරික - බෝගහවත්ත

හැම පැත්තකින් ම සාමාන්‍ය ජනතාව අන්ත අසරණ වෙලා. හාල්, පිටි, සීනි, පරිප්පු, ගෑස්, පෙට්‍රල් මදිවට දැන් එළවළුත් ගණන් ගිහින්. කොරේ පිටට මරේ වගේ කොරෝනාවලින් බැටකාපු මිනිස්සුන්ට දැන් කන්න බොන්නත් නෑ. ජනතාවට කිසිම සහනයක් නෑ. කොයි පැත්තකින්වත්. රසායනික පෝර නවත්තලා ගොවියා පාරට බැස්සුවා. දුප්පත් මිනිසුන්ට දැන් වතුරයි බතුයි තමයි කන්න වෙලා තියෙන්නේ. නගරයේ කිසිම දෙයක් වවාගන්න ඉඩකුත් නෑ. රජයෙන් ජනතාවට කිසිම සහනයකුත් නෑ.

 

ගෙවත්තේ එළවළු වවාගත්ත නිසා සහනයක්

කුසුමලතා වීරක්කොඩි (57)

ගෘහිණිය - ඌරුපිටිය

ගෙදරට උයන්න එළවළු ගන්න ගිහාම එලොව පොල් පේනවා. සුපිරි වෙළෙඳසල්වල නම් එළවළු ගිනි ගණන්. ගමේ කඩපළට ගියත් මහ ලොකු වෙනසක් නෑ. හැම වසරකම මේ කාලෙට එළවළු මිල අධික වුණත්, මේ පාර නම් සාමාන්‍ය ජනතාවට ඔළුව උස්සන්න බෑ. යමක් කමක් තියන කෙනා කොහොම හරි කනවා බොනවා. ඒත් හැමදාම බඩේ පාර වදින්නේ දුප්පත් හා සාමාන්‍ය ජනතාවට. පොළව ටිකක් ඉඩ තියන නිසා මිරිස් පැළයක්, ගොටුකොළ, පලා ටිකක්, එළවළු දෙක තුනක් වවාගත්ත එකේ වටිනාකම තේරෙනවා.

වෙනදා එළවළු ගත්ත ගානට දැන් ගන්න බෑ

ප්‍රියංකා නිශානි (49)

ගෘහිණියක් - නාරාහේන්පිට

අගනුවර ජීවත්වන අපිට එක දිගට වැඩිවෙන ජීවන බර තදින් ම දැනෙනවා. මස්, මාළු කෙසේවෙතත්, එළවළුයි, බතුයි කාලා ජීවත්වෙන්නත් බැරි තරමට මිල අධිකයි. පවුලේ කීපදෙනෙක් ඉද්දි කන්නෙ බොන්නෙ කොහොමද? වට්ටක්කා, අළු කෙහෙල්, අඹ වගේ අඩු ගණන්වලට තියන එළවළු අරන් කොහොම හරි වේල පිරිමහ ගන්නවා. මඤ්ඤොක්කා, අල, බතල, පලා කොළ වගේ ආදේශකවලට හුරු වෙනවා. බඩගින්නේ ඉන්න බෑනේ. මොනවහරි කාලා ජීවත් වෙන්න එපායැ.

 

එළවළු මිල වැඩි වුණේ තෙල්, පෝර මිල ඉහළ ගිය නිසයි

එච්.එස්. ගමගේ (62)

ගොවිතැන - අතුරුගිරිය

මේ සැරේ එළවළු මිල මෙච්චර ඉහළ යන්න ලොකු හේතුවක් වුණේ කොරෝනා නෙමෙයි. මේ කාලෙට කොහොමත් එළවළු මිල ඉහළ යනවා. මේ සැරේ එළවළු හුඟාක්ම මිල වැඩිවෙන්න හේතු වුණේ තෙල් පෝර මිල ඉහළ ගිය එක හා හිඟය නිසයි. එළවළු හොඳට හැදෙන්නෙ නෑ. අපේ තාත්තලා ගොවිතැන් කරන කාලේ පසට පෝර ඕනෙත් නෑ. සරුයි. දැන් පස හෝදගෙන ගිහින්. යූරියාවලට දවසින් දෙකින් එළවළු හැදෙනවා. පෝර හිඟය මදිවට ධාරා නිපාත වැස්සට වගාව හානි වුණා. අස්වැන්න හුඟාක් අඩු වූ නිසා මිල ඉහළ ගියා.


 

Comments