එළවළු ජරමර අස්සේ සජබ මන්ත්‍රීවරුන්ට රනිල්ගේ සද්දේ! | සිළුමිණ

එළවළු ජරමර අස්සේ සජබ මන්ත්‍රීවරුන්ට රනිල්ගේ සද්දේ!

මේ දිනවල 2022 අය - වැය විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර ඇතැම් දිනවල ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් අදහස් දැන්වීමට අනුව මැතිසබය දැඩි ලෙස උණුසුම්කාරී වන්නේය. එළවළු වර්ග කිහිපයක නම් මැතිසබය තුළ කතා කෙරුණු අවස්ථා හේතුවෙන් මැතිසබය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවී විරුද්ධ පක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් කිහිප දෙනකුම සභාගර්භය මැදට පැමිණීම නිසා පසුගිය 23 සහ 24 දින දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

 

මෙම උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුටි බැට හුවමාරුවක් සිදු නොවුණේ ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම නිසාය.

මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 දින පාර්ලිමේන්තුව රැස්වූ අතර සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ මතු කරන ලද රීති ප්‍රශ්නයකින් අනතුරුව ඊට ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයන් අදහස් දැක්වීම් නිසා මැතිසබය තුළ මෙම උණුසුම්කාරී තත්වය ඇතිවිය.

මෙම දැඩි උණුසුම්කාරී තත්ත්වයන් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම නීති උපදෙස් (Law Point) ලබාදීම ද විශේෂත්වයකි. එළවළු වර්ග කිහිපයක නම් මැතිසබයේ කතා කිරීම නිසා මැතිසබය තුළ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයට අදාළ කරුණක් 24 දින පාර්ලිමේන්තුවේ දී රීති ප්‍රශ්නයක් ලෙස මතුකරන ලද්දේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ විසිනි.

ඒ අවස්ථාවේදී මූලාසනයේ සිටියේ නියෝජ්‍ය කථා නායක රංජිත් සියඹලාපිටියයි.

 

රෝහිනි වෙනුවෙන් තලතා

"රෝහිනි කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය ගැන සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන කථානායකතුමා ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමාට අවවාද කළා. නමුත් ඒක අපි පිළිගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මීට වඩා යමක් ගරු කථානායකගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලිඛිත ඉල්ලීමක් කළා, ගරු කථානායකතුමාගෙන් මාත් වාචිකව ඉල්ලීමක් කළා.

ඒ තීන්දුව ප්‍රකාශ කළාට පසුවත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමාත් විවාදාත්මක කතාවකට එළඹුණා. ඒ නිසා තවම මේ ප්‍රශ්නය විසඳිලා නැහැ. අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කථානායකතුමාගේ අවසාන තීරණය කුමක්ද? ඒ මන්ත්‍රීතුමා මේ සභාවේ කනගාටුව ප්‍රකාශ කරනවද? නැතිනම් කථානායකතුමා වෙනත් තීරණයක් ගන්නවාද?

එහෙම නැතිනම් මේ මන්ත්‍රීතුමාගේ මානසික සෞඛ්‍ය ගැන සොයා බැලීමට වෛද්‍යවරයෙකුට යොමු කරනවාද? යනුවෙන් තලතා අතුකෝරාළ මන්ත්‍රීවරිය විසින් විමසා සිටින ලදි. තමන් දන්නා විදිහට මේ සම්බන්ධයෙන් කථානායකතුමා තම තීරණය ලබා දී ඇති බවත් කෙසේ නමුත් මෙම යෝජනාව ගරු කථානායකතුමාගේ අවධානයට යොමුකිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය විසින් තලතා අතුකෝරාළ මන්ත්‍රීවරියට දැනුම් දෙන ලදී.

ඒ සඳහා ආණ්ඩු පක්ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර මේ සම්බන්ධයෙන් මැතිසබය දැඩි ලෙස උණුසුම්කාරී වූයේ පසුගිය 23 වැනිදාය.

එහිදී කෙතරම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූවාද කියනවා නම් මැතිසබය තුළ ගුටිබැට හුවමාරුවක් වැළකුණේ යාන්තමිණි.

 

කථානායකගෙන් තිස්සකුට්ටිට අවවාද

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා ජාතික තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට අවවාද කළේය. එවැනි අපහාසාත්මක ප්‍රකාශ මින් පසුව සිදුනොකරන ලෙසටද කථානායකවරයා විසින් ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට අවවාද කරන ලදී.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම අශෝභන ප්‍රකාශය ගැන තමා කනගාටු වන බවද කථානායකවරයා සඳහන් කළේය.

එහිදී නැඟී සිටි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ නොගැළපෙන වචන ඉවත් කළ යුත්තේ මූලාසනය විසින් බවයි.

ඊට කථානායකවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

"ප්‍රධාන සංවිධායකවරුන්ට වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම ගැන විතරක්ම නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය ගැනත් සංවිධායකවරුන්ගේ අවධානය යොමුවිය යුතුයි." යනුවෙන් ද කථානායකවරයා සඳහන් කළේය. මේ අවස්ථාවේදී නැඟි සිටි ජානක තිස්සකුට්ටිආරච්චි විමසා සිටියේ තමා ප්‍රකාශ කරපු අසභ්‍ය වචනය කුමක්ද කියාය.

"ගරු කථානායකතුමනි, මං මගේ කතාවේ කළේ එළවළු කිහිපයක් ගැන කතා කිරීමයි. මං අසභ්‍ය වචනයක් කිව්වේ නැහැ.

යනුවෙන් ජානක තිස්සකුට්ටිආරච්චි ප්‍රකාශ කරන විට පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පාර්ලිමේන්තු කාන්තා සංසදයෙහි සභාපති, රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ කාන්තාවන්ට අපහාස කිරීමේ සිද්ධිය හෙළා දකින බවයි.

මේ අවස්ථාවේදී නැඟී සිටි සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ගෙදර යායුතු බවයි.

 

V8 ගන්න ආපු නැති බව අජිත් රාජපක්ෂ කියයි

එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මූලාසනයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ විසින් ද පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

"ගරු කථානායකතුමනි, මූලාසනයේ සිටින විට 225 කට අවධානය යොමු කිරීමට මට තියෙන්නේ ඇස් දෙකයි, කන් දෙකයි. ඒ අවස්ථාවේදී මට ඇසුණු දේ හා මා දුටු දේ මං දන්නවා. මං මූලාසනයේ සිටින විට අපක්ෂපාති උපරිම ලෙස සාධාරණය ඉටුකළ බව මං දන්නවා. මං ජනතාවට බොරු පොරොන්දු දීලා නැහැ. V8 ගන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ අවස්ථාවේදී මැතිසබය තුළ ඇතිවුණු විවාද සම්පන්න සිද්ධිය මං ගරු කතා කථානායකතුමාට වාර්තා කළා." යනුවෙන් අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

 

රනිල්ගෙන් නීති තර්ක

මෙම සිදුවීමෙන් අනතුරුව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී ආලින්දයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තලතා අතුකෝරාළ මුණගැසෙන්නේය.

විනාඩි 15 ක කාලයක් රනිල් සහ තලතා අතර කතාබහක් සිදුවෙන අතර මැතිසබය තුළ සිදු වූ එළවළු කතාබහ සම්බන්ධයෙන් පැන නැඟුණු ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරය ගැන රනිල් වික්‍රමසිංහ විසින් තලතාට උපදෙස් ලබාදෙන ලදී. මීට අමතරව වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද මෙම හමුවේදී යම් ප්‍රමාණයකට කතාබහ වූ බව ද වාර්තා වේ.

මේ අතර සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට ද විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී ආලින්දයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මුණගැසෙන්නේය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ යම් උපදෙස් කිහිපයක් නලින් බණ්ඩාරට ලබා දෙන්නේ විරුද්ධ පක්ෂයේ වගකීම් සම්බන්ධයෙනි.

රනිල් වික්‍රමසිංහ මුණගැසීමෙන් අනතුරුව මැතිසබයට පැමිණෙන නලින් බණ්ඩාර එකපාරටම රීති ප්‍රශ්නයක් මතු කරන්නේය.

අය - වැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතුරලියේ රතන හිමියන්ට සහ අලි සබ්‍රි රහීම්ට විරුද්ධ පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ලබා දෙන්නේ කෙසේද? යනුවෙන් නලින් බණ්ඩාර විමසා සිටියේය.

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ කථානායකතුමා බව පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් නිලධාරීන් කීහිපදෙනෙකු කතාබස් කරමින් සිටින අතරතුර බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබුණේ ඉහළ ගොස් තිබෙන බඩු මිල පිළිබඳවයි.

බඩු මිල සම්බන්ධයෙන් ලැබී තිබෙන තොරතුරු අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක විසින් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරන ලදී.

එම කරුණු ගැන දැඩි අවධානයක් යොමු කළ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර දුරකථනයෙන් සම්බන්ධ කරගන්නේය. විශේෂයෙන්ම එළවළු මිල ඉහළ යාමට හේතුව සොයා බලා එළවළු මිල අඩුකර ජනතාවට සහනයක් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ට උපදෙස් ලබාදෙන ලදී.

 

අගමැති ප්‍රසන්නට පැයක් දෙයි

ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීම 25 දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ "වැඩ වැඩි වෙලාවක්. ඒත් ප්‍රසන්නට බැහැ කියන්නේ කොහොමද" කියමින් අග්‍රාමාත්‍යවරයා ආරාධනය පිළිගත්තේය.

"මට එක පැයක් දෙන්න අගමැතිතුමා. මම වැඩේ පැයෙන් ඉවර කරනවා."

"ප්‍රසන්න ගැන මම දන්නවනේ" අගමැතිවරයා කීය.

අග්‍රාමාත්‍යවරයා පැමිණ සමරු ඵලකය විවෘත කිරීමෙන් පසුව උත්සවය ඇරඹිණ.

හරියටම පැයෙන් උත්සවය අවසන් විය.

"අගමැතිතුමා හරියටම පැයයි වැඩේට ගියේ."

"ප්‍රසන්න ගැන මම දන්නවනේ" කී අග්‍රාමාත්‍යවරයා ප්‍රසන්න ඇමතිතුමාගේ පිටට තට්ටුවක් දමමින් සූදානම් කර තිබූ තේ මේසය වෙත ගියේය. ආරාධිතයන් තේ බොන අතරේ ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා විය. "කොරෝනා කියල වැඩ නතර කළා නම් අද මේවා විවෘත කරන්න පුළුවන් වෙනවාද? මොන ප්‍රශ්න ආවත් රටක සංවර්ධන කටයුතු නතර වෙන්න හොඳ නැහැ. මේවා අනාගතයට කරන ආයෝජන" අගමැතිවරයා කීවේය.

"අගමැතිතුමා කිව්ව විදියට මම ඒ වැඩ දිගටම කළා. ඒකට අපේ කම්කරුවාගේ ඉඳලා ඉහළට යනකල් හැම නිලධාරියෙක්ම කැප වුණා" අමාත්‍යවරයා කීවේය.

"හරි දිනේට මේ වැඩ ඉදිරියට අරන් ගියා නම් මෙහෙම වෙන්නෙ නැහැ. මේ වෙනකොට රටට හොඳ ආදායමක් ගලා එන තැනක් වෙන්න තිබුණා" "නෙළුම් මලේ හැඩයත් ප්‍රශ්නයක් කර ගත්තනේ" ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සිනාසෙමින් කී විට "නෙළුම් මලේ කොළේ කළා කියලා රටට මොනවද ලැබුණේ. ඒකට විතරක් මොන තරම් නාස්තියක් කළාද? මේවා රටේ සල්ලි" යි අගමැතිවරයා කීවේ පහුගිය රජයේ නිසි දැක්මක් නැති වැඩපිළිවෙළ නිසා රට ආපස්සට ගිය ආකාරය ද සිහිපත් කරමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් නොවැම්බර් 17 වැනිදා අනුරාධපුරය බලා පිටත්ව ගියේ සඳහිරු සෑය විවෘත කිරීම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුරයේ සංවිධානය කර තිබූ ආගමික උත්සව ආදී පුණ්‍ය කර්ම රැසකට සහභාගී වන්නටය. ඔහු එම දින කිහිපය අනුරාධපුර අවට විශේෂ ස්ථානවලට සහ යමින් එමින්, අනුරාධපුරයේ හිතවතුන් ආධාරකරුවන් හා විවිධ ආගමික නායකයන් හා ප්‍රභූන් හමුවෙමින් ඉතා සැහැල්ලුවෙන් හා විවේකයෙන් කාලය ගත කරනු ලැබුවේය.

ඒ අතරතුර හැකි සෑම විටම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට කතා කරමින් අය - වැය හමුවේ ඇති ගැටලු හා අභියෝග සාකච්ඡා කරන්නට ද අමතක නොකළේය.

 

ජනපතිගෙන් දි.මු. ට උපහාර

ජනාධිපතිවරයා 20 වැනි සෙනසුරාදා උදේ අනුරාධපුරයේ සිට ගම්පොළ බලා පැමිණියේය. ඒත් පැමිණීමට විශේෂ හේතුවක් තිබිණි. හේතුව වූයේ දිවංගත අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්නයන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ විශේෂ ගුණ සමරු පුණ්‍යෝත්සවයයි.

අම්බුලුවාව බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් දීමූ ජයරත්න පිළිරුවක් නිරාවරණය කර ඊට පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමුව තිබුණේ පාර්ලිමේන්තුවේ අය - වැය විවාදයේ වැඩකටයුතුවලටය. ඔහු නිතරම අය - වැය විවාදවලට සවන් දෙමින් පාර්ලිමේන්තුවේ ඇතිවන තර්ක විතර්කවලට අවධානය යොමු කරමින් සිටියා පමණක් නොව, එම වාද විවාදවලට සහභාගී වන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ අදහස් උදහස් ද විමසමින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටියේය.

ජනාධිපතිවරයාට මෙම සතිය තුළ සහභාගී වන්නට තවත් උත්සව ගණනාවක් ද තිබිණි. මෙම 24 වැනි බදාදා විවෘත කළ අධිවේගී මාර්ගයට සම්බන්ධ කැලණි ගඟ හරහා ඉදිකළ සුවිශේෂී පාලම "කල්‍යාණි පිවිසුමේ" වැඩ කටයුතු ගැන ද ජනාධිපතිවරයා නිරීක්ෂණයෙන් සිටියේය.

ඒත් සමඟ රට පුරා පවතින අයහපත් කාලගුණික තත්වය, එම කාලගුණික තත්ත්වය මත රටේ බඩු මිල උච්චාවචනය, ආදී කරුණු කාරණා ගැන ද ජනාධිපතිවරයා ලොකු අවධානයකින් සිටියේය.

අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට වැඩ අධික දවසක් විය. පාර්ලිමේන්තුවේ අය - වැය විවාදය අවසානයේ එදින ඡන්ද විමසීම ද පැවැත්වීමට නියමිත විය.

 

ප්‍රසන්න රණවීර වෙනුවෙන් විමල්, ඩලස්, නාමල්

මේ අතරවාරයේ අඟහරුවාදා හවස කර්මාන්ත රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ අමාත්‍යංශයට අදාළ ජාතික ශිල්ප සභාව විසින් පවත්වනු ලබන උත්සවයක් ද බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ප්‍රසන්න රණවීරට ලොකු ප්‍රශ්නයක් වූයේ එදින හවස අය - වැය සම්බන්ධ උණුසුම් විවාදය යෙදී තිබෙන අතරවාරයේ සිය කැබිනට් අමාත්‍යවරයා වන විමල් වීරවංශත් ජනමාධ්‍ය අමාත්‍යවරයා වන ඩලස් අලහප්පෙරුමත් යෞවන කටයුතු ක්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂත් උත්සවයට සහභාගී කරවා ගැනීම ය.

"මේක කල්තියා යොදාගෙන තිබුණු වැඩක් හින්දා කල් දාන්නත් බැරිවුණා." ප්‍රසන්න කීවේ නාමල් ඇමතිවරයාට ය. "ඒකට කමක් නෑ. අයියා පිළිවෙළට වැඩේ හරි වෙලාවට ලෑස්ති කරන්න. මං එන්නම් වැඩේට. විමල් ඇමතිතුමාත් ඒවි. ඩලස් ඇමතිතුමාත් මොහොතකට හරි ඇවිල්ලා යාවි. බය වෙන්න එපා." නාමල් එසේ කියමින් ප්‍රසන්න රණවීරගේ බය තුනී කර හැරියේය.

ජාතික ශිල්ප සභාව විසින් සූදානම් කර තිබූ උත්සවය නිසි වේලාවට ආරම්භ කර තිබුණෙන් ඇමති විමල්, ඇමති ඩලස් සහ ඇමති නාමල් යන තිදෙනාම හරි වෙලාවට සහභාගි වූහ. ජාතික ශිල්ප සභාවට සම්බන්ධ රට පුරාම විසිර පැතිර සිටින ශිල්පීන්ගේ තොරතුරු හා විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද ආරාධිත අමුත්තන්ගේ අතින් මෙහිදී මෙහි දී ආරම්භ විය. ඇමැති ඩලස් අනෙක් දෙදෙනාට කලින් පිටත්ව ගියේ අය - වැය විවාදයට සහභාගිවීමට තිබූ නිසාය. නාමල් සහ විමල් ද ප්‍රසන්න වෙනුවෙන් ඉටුකළ යුතුව තිබූ යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව පිටත්ව ගියේය. ඡන්දය විමසීමට මොහොතකට පෙර ප්‍රසන්න රණවීර ද පාර්ලිමේන්තු ගියේ එදින ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යය කරුණක්ව තිබූ නිසා ය.

 

හම්බන්තොටදී වජිර හමුවූ පිරිසක් එ.ජා.ප. යට

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන බැවින් පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලූවේය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සති අන්තයේ මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවල සංචාරය කළ අතර එහිදි ඔහුට හිමිවූවේ උණුසුම් පිළිගැනීමකි. සභාපති වජිර අබේවර්ධන කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සංචාරය කළ අතර උප සභාපති සාගල රත්නායක මාතලේ හා නුවර දිස්ත්‍රික්කයන්හි සංචාරය කළේය. නායක රනිල් දුරකතනයෙන් මේ සියලු දෙනා හා සම්බන්ධ වෙමින් ප්‍රතිසංවිධාන කටයුතු ගැන සොයා බැලුවේය. ඔවුන් සියලු දෙනාගෙන්ම නායකයාට දැනගන්නට ලැබුණේ පක්ෂයත් සමඟ එකතුවීමට අලුත් කණ්ඩායම් සම්බන්ධවෙමින් සිටිනා බවය.

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට පත්ව වෙනත් කණ්ඩායම්වලට සහාය දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 21 දෙනෙකු නැවත පක්ෂයට පැමිණියේ සභාපති වජිර අබේවර්ධනගේ හම්බන්තොට සංචාරය අතරතුරදීය.

Comments