ඖෂධ සමාගම්වලින් ජනතාව බේරා ගැනීමේ සටන ඇරැඹෙයි | සිළුමිණ

ඖෂධ සමාගම්වලින් ජනතාව බේරා ගැනීමේ සටන ඇරැඹෙයි

 

වසර 1953 හර්තාලය සිදුවන විට සේනක ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකි. ඔහු සිය ශිෂ්‍යයන් කීප දෙනකු ද සමඟ එක්ව හර්තාලයේ යෙදුණු කම්කරුවන්ට උදව් කෙළේ ය. පොලිස් පහරදීම්වලට ලක්වූ පිරිසට ඔහු ප්‍රතිකාර කෙළේ ය. අසරණ වූ කම්කරු පවුල් සඳහා ආහාරපාන ලබා දුන්නේ ය.

වෙඩි තැබීමෙන්, පහරදීමෙන්, අත්අඩංගුවට ගැනීමෙන් හර්තාලය අඩපණ කිරීමට රජයට හැකි වුව ද එය කම්කරු පන්තියේ ශක්තිය රටට විදහා පෙන්වූ කදිම අවස්ථාවක් විය.

සමසමාජ පක්ෂයේ තරුණයන්ට ඔහු මෙසේ කීවේය.

“හැඟීම්වලින් මත්ව අසංවිධානාත්මකව කම්කරු පන්තිය නැඟී සිටි හැමවිටම පාලකයන් දිනනවා. අද සිදුවූයේ ද එයයි. 1905 රුසියාවේ කම්කරු පන්තිය නැඟී සිටියා. සාර්ගේ හමුදාව දහස් ගණන් කම්කරුවන් ඝාතනය කොට ඒ අරගලය පරාජය කළා. හොඳ නායකත්වයක්, පුළුල් දර්ශනයක්, පදනම් කොටගත් කම්කරු පන්ති නැඟී සිටීමක දී ජය නියතයි. 1917 දී රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය ජය ලැබුවේ එහෙමයි.”

කම්කරුවන් හා එක්ව පාප්ප බාල්දි ගෙන තාප්පවල පෝස්ටර් ඇලවීමට සහ පක්ෂයේ අරමුදල වෙනුවෙන් කැට ගෙන හන්දිවල ආධාර මුදල් එකතු කිරීමට ද හවුල් වූ සේනකට බොහෝ හිතවතුන් කීවේ එබඳු කටයුතු සඳහා නොවෙහෙසී ශ්‍රී ලංකාවට උචිත ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ය.

“අධිරාජ්‍ය විරෝධී අරගලයකින් තොරව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කරන්නට බැහැ. අද ලංකාවේ ඖෂධ පිළිබඳ සියලු කටයුතු බලවත් රටවල බහු ජාතික සමාගම සතුවයි පවතින්නේ. ඒ නිසා අපේ රට තුළ අධිරාජ්‍ය විරෝධී අරගලයන් සිදුවිය යුතුය. නැතිව ඔය බේත් සමාගම් ජය ගන්න බැහැ.” සේනක ඔවුන්ට කීවේය.

එහෙත් සේනක ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ගැන වෛද්‍ය පීඨයේදී ද, ජන හමුවලදී ද සිය මතය පළ කෙළේ ය.

******************

1956 දී විමලා විජයවර්ධන සෞඛ්‍ය ඇමතිවරිය වූවාය.

ඖෂධ මිල වේගයෙන් ඉහළ ගියේ ය. රෝහල්වලින් පිටවන මළ සිරුරු ගණන වැඩි විය. ජනතාව සෞඛ්‍ය ඇමැතිවරිය දෙස බැලූහ.

සේනක බිබිලේ ගැන ඇය අසා තිබිණ. ඖෂධ ප්‍රතිපත්තියක් ගැන ඔහු කතා කරන - ලියන දේ ගැන ද ඇය දැන සිටියාය. ලෝකයේ ඖෂධවලින් සියයට හැත්තෑපහකට නිෂ්පාදනයත් බෙදා හැරීමත් අයත් වූයේ ඇමෙරිකාව, බටහිර ජර්මනිය, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ජපානය සහ ඉතාලියේ ඇති ප්‍රබල සමාගම් කීපයකටය.

නිෂ්පාදනය සඳහා යොදවන මුදලට වඩා වැඩි මුදලක් ඔවුන්ගේ ඖෂධ පිළිබඳව නොදියුණු රටවල් තුළ වියදම් කැරිණ. මේ සමාගම් එකම ඖෂධය විවිධ නම්වලින් නිපදවා වෙළෙඳපොළට එවීය. සත 02 ට අලෙවි කළ හැකි බේත් පෙත්තට ඔවුහු රුපියලක් අය කළහ. ඩයසිපෑම් ඖෂධ නාමය සහිත බේත් පෙත්ත සත 02 කි. එයම ‘වැලියට්’ යන වෙළෙඳ නාමයෙන් නිපදවා රුපියලට විකුණූහ. වෙළෙඳ නම් ගත් සියලු ඖෂධ වර්ග මෙබඳු වූ නිසා සමාගම් අතිවිශාල ලාභයක් ලැබූහ.

ඒ සමාගම්වලට රාජ්‍ය නායකයන් හැසිරවිය හැකි විය. බලවත් රටවල් ජනතාවට අහිතකර යයි තහනම් කළ ඖෂධ මේ ඖෂධ සමාගම් වෙනත් නම් යොදා නොදියුණු රටවලට අලෙවි කෙළේ ය. නොදියුණු රටවල පාලකයන් ඒ සමාගම්වලින් මිලට ගෙන තිබුණු හෙයින් තහනම් ඖෂධ ද භාවිත කිරීමට ජනතාවට සිදු විය. ඖෂධ මිල ඉහළ දැමීම වැළැක්වීමට නොදියුණු රටවල පාලකයන්ට අපහසු විය.

මෙබඳු පරිසරයක් තුළ ඖෂධ මිල ඉහළ යාම වළක්වා ජනතාවට මිල අඩු යහපත් ඖෂධ ලබාදිය හැකි දැයි සෞඛ්‍ය ඇමැතිවරිය සේනකගෙන් ඇසුවාය.

“පුළුවනි. විශාල ප්‍රමාණයකින් මිල අඩු කිරීමට පුළුවනි”

සේනක ගේ ඍජු ප්‍රකාශයෙන් සතුටු වූ ඇමැතිවරිය “අපි වහාම එය කළ යුතුයි” කීවාය.

ඇයට ඉක්මන් වැඩපිළිවෙළක් අවශ්‍ය විය. එය අධිරාජ්‍ය විරෝධී අරගලයක් විය. බහුජාතික සමාගම් සමඟ ඍජුව කැරෙන සටනක් විය. මුහුණට මුහුණලා ඇතිවන මහා ගැටුමක් විය. “ඖෂධ ගෙන්වීම ද බෙදා හැරීම ද රජය සතු විය යුතුයි. ටෙන්ඩර් කැඳවීම මඟින් සමාගම්වලින් අඩු මිලට ඖෂධ ලබා ගත යුතුයි. රජය මඟින් ඖෂධ වර්ග ලංකාවේ නිපදවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය යුතුයි.”

ඔහුගේ අදහස් විමලා විජයවර්ධන තුළ ඇති කළේ භීතියකි. ආයුධ කර්මාන්තය හැරුණු විට ලෝකයේ වැඩිම ලාභයක් උපයන කර්මාන්තය ඖෂධ නිෂ්පාදනයයි. එහි අයිතිය දරන බහුජාතික සමාගම් සමඟ ගැටීම මහා අනතුරකට ළං වීමකි. එපමණටම ඔවුහු බලවත් ය.

එහෙත් සේනක ගේ යෝජනාවලින් එකක් දෙකක් හෝ ක්‍රියාත්මක කිරීමට ඇමැතිවරිය සිතුවා ය. ලංකාවට ගෙන්වන අනවශ්‍ය ඖෂධ වර්ග කීපයක් නොගෙන්විය යුතුයයි ඇය තීරණය කළා ය.

ඖෂධ සමාගම්වලට එයින් පහරක් වැදුණේ නැත. ඔවුහු සිත් සේ ලක් වැසියන් සූරා ගත්හ. වෛද්‍යවරුන්ට අල්ලස් දී, පෑන්, පැන්සල්, තීන්ත පොවන කඩදාසි, දින පොත්, දින දර්ශන, පිටරට සවාරි, මෝටර් රථ ලබාදී සිය නිෂ්පාදන ඖෂධ වර්ග රෝගීන්ට නියම කරවීමට සමාගම් තවදුරටත් සමත් විය. තහනම්, අහිතකර ඖෂධ වර්ග ද වෛද්‍යවරු ලවා ජනතාවට ලබාදුන්හ. පසුකලෙක සෞඛ්‍ය ඇමැති වූ බදි උද්දීන් මහමුද් ද සේනකගේ උපදෙස් ගෙන ඖෂධ මිල පහළ හෙළා ජනතාවට සහනයක් දීමට සිතූහ. එහෙත් ඔහුට ද සේනකගේ යෝජනාවලින් ක්‍රියාත්මක කළ හැකි වූයේ දහසකින් එකක් පමණි. “මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් අධිරාජ්‍යවාදය සමඟ ඍජුව ගැටිය හැකි අභීත පාලකයන් අවශ්‍යයි. නිකම් මේවා කතා කිරීමෙන් පලක් නැහැ. ජනතා ප්‍රේමී අධිරාජ්‍ය විරෝධී පාලනයක් උදෙසා සටහන් කරමු. ඒ සටනෙන් ලබන ජයෙන් තොරව බහුජාතික ඖෂධ සමාගම්වලින් අපේ ජනතාවට මිදෙන්නට බැහැ.”

1968 දී ඔහු ලංකා සමසමාජ පක්ෂයේ තරුණ සම්මේලනය අමතමින් කීය. සේනක බිබිලේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මුල්ම වෛද්‍ය පීඨාධිපති වශයෙන් පත්විය. මහනුවර සිට සති අන්තයේ කොළඹට පැමිණ සමසමාජ පක්ෂ දේශපාලන කටයුතුවල යෙදුණි. මහ මැතිවරණයත් ළඟ ළඟම එන බව පෙනිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය එක් වී ගොඩනැඟුණු සමඟි පෙරමුණ මැතිවරණයෙන් ජය ලැබුවහොත් බහුජාතික සමාගම්වලින් ජන ජීවිතය රැක ගැනීමට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥාවක් දුනි.

සමඟි පෙරමුණ 1970 මැතිවරණයෙන් ජය ලැබීය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය වූවාය. ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැති විය.

1970 නොවැම්බර් මාසයේ දිනක ලංකා සමසමාජ පක්ෂයේ බර්නාඩ් සොයිසාගෙන් සේනකට දුරකථන පණිවිඩයක් ලැබිණ.

“හෙටම එන්න... අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් තියෙනවා.”

සේනක නියමිත වේලාවට අරලියගහ මන්දිරයට පැමිණියේ ය.

“ඖෂධ වර්ග ගෙන්වීම හා බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ අපි අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි” නායකයෝ කීහ.

“මේ පිළිබඳ වාර්තාව සැපයීමට මා කොමියුනිස්ට් පක්ෂ නායක අකුරැස්ස මන්ත්‍රී දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහට සහ මහාචාර්ය සේනක බිබිලේට පවරනවා.” අගමැතිනිය කීවාය.

පසළොස් වසරක සිට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින්, සාකච්ඡා කරමින් සිටි සේනක බිබිලේට වාර්තාව සැකසීමට වැඩි කලක් ගියේ නැත.

“බහු ජාතික සමාගම් නමැති බූවල්ලාගේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකා ජනතාව මුදාගෙන ඒ බූවල්ලාගේ අඬු සියල්ල කඩා දැමීමට මේ වාර්තාවෙන් අපට පුළුවනි.” සේනක වාර්තාව ඉදිරිපත් කරමින් කීය. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ද මේ වාර්තාව සම්පාදනයට හවුල් වෙමින් ජනතා පීඩකයන්ගෙන් එක් කොටසක් සුනු විසුනු කිරීමට මෙයින් අවස්ථාව ලැබෙන බව කීය.

1971 මාර්තු 23 වැනිදා මේ වාර්තාව අගමැතිනියට පිළිගැන්විණ.

මේ එහි ප්‍රධාන යෝජනා ය.

1. ලංකාවට අනවශ්‍ය බේත් වර්ග ගෙන්වීම නැවැත්වීම.

2. රාජ්‍ය ආයතනවලත්, පෞද්ගලික අංශයේත් ඖෂධවලට ඖෂධීය හෙවත් නිල නාමය පමණක් යෙදීම.

3. මෙරටට ඖෂධ ගෙන්වීම සහ මේ රටේ ඖෂධ බෙදා හැරීම සම්පූර්ණයෙන් ම රජයේ ආයතනයකට පැවැරීම.

4. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය, තත්ත්ව පාලක අංශය සහ පර්යේෂණ අංශ දියුණු කිරීම.

5. ඖෂධ ගැන විද්‍යාත්මක කරුණු විශ්වාස කටයුතු ලෙස වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවන්හි යෙදී සිටින අයටත්, මහජනයාටත් ලබාදී ඔවුන් සතු දැනුම පුළුල් කිරීම.

මේ වාර්තාව අගමැතිනියට ඉදිරිපත් කොට දින දොළහකට පසුව 1971 අප්‍රේල් කැරැල්ල ඇරැඹිණ.

“අපි වැඩ කරන්න පටන් ගත්තා පමණයි. ඇයි මේ රජය පෙරළන්න කැරැල්ලක් පටන් ගත්තේ.” මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඇසීය. පිළිතුරු ලැබුණේ රට පුරාම නැඟුණු වෙඩි උණ්ඩවලිනි. කැරැල්ල ඇරැඹුණේ සේනක බිබිලේගේ ගම් ප්‍රදේශයෙනි; වෙල්ලස්සෙනි. සේනක සිය හිතවතුන් සමඟ කතා කළේ කම්පාවෙනි.

“විප්ලවය යනු කෝටි සංඛ්‍යාත ජනකායකගේ හදපත්ලෙන් නැඟෙන වුවමනාවක්. වැඩ කරන ජනතාවගේ රාශි භූත වීමෙන්, ඔවුන්ට දරා ගත නොහැකි, සමාජ ක්‍රමය පොඩි පට්ටම් කර, නව සමාජයක් ගොඩ නඟා ගැනීමට ගන්නා වෑයමකි. මේ දැන් ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්ති වුවමනාවක් නොවෙයි. කෙසේ වුව ද එය අධ්‍යයනය කළ යුත්තකි. අපේ තරුණ පරපුර විනාශ වන හැටි නම් දරාගන්න බැහැ. එය මහා ඛේදවාචකයකි.”

ඇඳිරිනීතිය පැනවූ පසු සිය නිවසේ සිර වූ සේනකට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙනීමට ආශාවක් ඇති විය. ඔහුට මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න සිහිවිය.

“සහෝදරයා මට හරිම කම්මැළිකමක් දැනෙනවා. ඇඳිරිනීතිය අපේ වැඩ අවුල් කරලා. ඔබට කරදරයක් නැත්නම් මට ඉලෙක්ට්‍රොනික විද්‍යාව උගන්වන්න.”

මහාචාර්ය ඔස්මන්ඩ් ඔහුගේ ඉල්ලීම සතුටින් පිළිගත්තේ ය. ඔහු සිය බිරිය ද සමඟ සේනක හමුවීමට ගියේය. මුළු රැයම සේනකගේ නිවසේ ගත කෙළේ ය. සති කීපයකින් සේනක විදුලි ශිල්පය මැනවින් හඳුනාගත්තේ ය.

එක් දිනෙක ඔහු එක් කපාටයක් ඇති රිසිවරයක් නිපදවා එයින් ගුවන් විදුලි සංස්ථාවට කතා කළේ ය.

එදා සේනකට ද, මහාචාර්ය ඔස්මන්ඩ්ට ද ඇතිවූයේ බොහෝ කලෙකින් නොලද සතුටකි.

“මට ඔබ ගැන හරි ආඩම්බරයි.” මහාචාර්ය ඔස්මන්ඩ් ශිෂ්‍යයා පැසසීය.

“මට මගේ ගුරුතුමා ගැන ආඩම්බරයි. ඔබතුමා මට ඉක්මනින් ඒ සියල්ල ඉගැන්නුවා.”

රසවත් කෑම වේලක් ඉක්මනින් පිස ගැනීමට, සිය කමිසය මසා ගැනීමට, පුටුවක්, මේසයක්, තනා ගැනීමට, සිමෙන්ති බදාම ගෙන ගඩොල් බිත්තියක් බැඳීමට ඔහුට හැකියාව තිබිණි. කුස්සි අම්මාගෙන්, සන්නාලියාගෙන්, වඩුවාගෙන්, පෙදරේරුවාගෙන් ඔහු ඒවා ඉගෙන ගත්තේ ය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ වික්‍රමසිංහ - බිබිලේ වාර්තාව පළවීමෙන් පසු ඖෂධ සමාගම් වියරු වැටී එය අහෝසි කරන මං සෙවීය. අගමැතිනිය ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවැරුවා ය. සෞඛ්‍ය ඇමැතිනි ශිවා ඔබේසේකර ඒ වාර්තාව පිළිබඳව පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කළා ය. “මෙය යෝජනා ක්‍රියාත්මක කිරීම පමා කිරීම සඳහා ඇටවූ යටි උගුලකි.” බොහෝ දෙනා කීහ. තත්ත්වය වටහාගත් අගමැතිනිය ඒ වාර්තාව ක්‍රියාත්මක කිරීම කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයට පැවැරුවා ය.

බහුජාතික සමාගම්වලින් තුන්වැනි ලෝකයේ රටවලට සිදුවන අනර්ථය වටහාගෙන සිටි ඇමැතිවරයකු වූ ටී.බී‍. සුබසිංහට ඒ අමාත්‍යාංශය බාරවී තුබුණු හෙයින් ඒ වාර්තාව අනුව වහා කටයුතු ඇරැඹිණ.

1921 සැප්තැම්බර් 22 වැනිදා රජයේ ගැසට් නිවේදනයක් අනුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවනු ලැබිණ. සභාපති ලෙස මහාචාර්ය සේනක බිබිලේ ද කළමනාකාර අධ්‍යක්ෂක ලෙස ඇස්.ඇම්. එදිරිමානසිංහ ද පත්වූහ. වෛද්‍ය සී.ඊ.එස්. වීරතුංග, අයි.ඕ.කේ.පී. ප්‍රනාන්දු, ඒ.ඩබ්ලිව්.ආර්. පෙරේරා සහ එච්.එම්. පිල්ලේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූහ.

සංස්ථාව පිහිටුවූ දා සේනක බිබිලේ මුලින් ම කෙළේ කර්මාන්ත අමාත්‍යාංශයේ සංස්ථා පිළිබඳ අධ්‍යක්ෂක චාලිස් අබේසේකර හමුවීම ය. ඒ සමඟ ම ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ උපසේන ජයරත්න ද හමුවිය.

“අපට ලොකු වැඩක් කරන්න තිබෙන්නේ. ජයරත්න සහෝදරයා මා සමඟ ම සිටින්නට ඕනෑ.” සේනක, උපසේන ජයරත්නගේ අතින් අල්ලා ගනිමින් කී ය. ප්‍රබල සමසමාජ පාක්ෂිකයකු වූ ජයරත්න සේනකගේ හොඳම සේවකයා ද හොඳම මිතුරා ද විය.

 

තවත් කොටසක් ලබන සතියේ

ඔබ සතුව මහාචාර්ය සේනක බිබිලේගේ ඡායාරූප ඇත්නම් [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය.

Comments