
රට දියුණු කිරීමට කළ යුතු දේ
නිදහස ලබා හැත්තෑ තුන් වසරක් ස්වදේශිකයන් විසින් රට පාලනය කිරීම කළ නමුත් තවමත් අපට නොදියුණු රටක තත්ත්වයෙන් මිදීමට බැරිවී තිබීම බලවත් සංවේගයට කරුණකි. නිදහසින් පසු බලයට පත් විවිධ ආණ්ඩු අඩු වැඩි වශයෙන් රටේ දියුණුවට කටයුතු කළද එම කාලය තුළ සිදුවූ විවිධ අඩුපාඩු හා විවිධ බලවේග විසින් කරන ලද අඩාළ කිරීම හමුවේ අප නොව මතු පරම්පරා ගණනාවකටම මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවන බවට ලකුණු පහළ වී ඇත.
කොරෝනා වසංගතය ලොවට පොදු දෙයක් වුවද අප රටට පමණක් විශේෂිත දෙයක් සේ සලකන අය සිටියද මෙම අර්බුදය ද වාසනාවක් කරගෙන රට ගොඩ නැඟීමට කළ යුතු මූලික දේවල් කිහිපයක් ඇත. ඒවා නම් මෙරට වගා කළ හැකි එහෙත් විදේශ විනිමය වැය කරමින් රටට ගෙන එන සියලු ආහාර භෝග මෙහි වගා කර ඒ සඳහා ඇදී යන සියලුම විදේශ විනිමය නතර කර ගැනීම අත්‍යවශ්‍යම සාධකයකි. අත්‍යවශ්‍ය ආහාර වශයෙන් මෙරට වගා කළ නොහැක්කේ තිරිඟු හා මයිසූර් පරිප්පු පමණි. උක් ශාකය හොඳින් වැවෙන අප රටේ, සීනි අවශ්‍යතාව සපුරා ගැනීමට තවමත් මිලියන ගණනින් විදේශ විනිමය වැය කිරීම ජාතික අපරාධයකි. කිරිපිටි ආනයනය කිරීම ද ඒ හා සමානය. මේ අතර දැවිතෙල් යොදා ගනිමින් විදුලි බලය උත්පාදනය කිරීම සහමුලින් නතර කිරීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් නිපදවා ගැනීම වැඩි කිරීමත් කාලීන අවශ්‍යතාවකි. රටේ සියලුම නිවාස, කර්මාන්ත ශාලා හා රජයේ ගොඩනැඟිලිවල සූර්ය පැනල පිහිටුවා විදුලි බලය ඒ තුළින් නිපදවා ගැනීමටත් හැකි සෑම වෑයමක්ම යොදා ගැනීම ද විදේශ විනිමය ඉතිරි කරගැනීමට මහඟු දායකත්වයක් සපයනු ඇත. රට වටා මහා සාගරයක් තිබියදීත් සැමන්, කරවල විදේශයෙන් ගෙන්වීම තරම් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති අප රට දියුණු කරගැනීමට සැබෑ වුවමනාවක් තිබේ නම් වගකිවයුත්තන් මෙකී කරුණු ගැනත් අවධානය යොමු කරනු මැනව.
• ඩබ්ලිව්. එම්. ඩී. එල්. කේ. වනසිංහ
මාරස්සන
------------------------------
ළමා ලෝකය යළි ගොඩ නඟමු
කොරෝනා උවදුර නිසා වසර දෙකකට ආසන්න කාලයක් අන්තර්ජාලය ඇතුළු තාක්ෂණයට හුරුපුරුදු වූ අපගේ ළමා පරපුර ඉන් ගලවාගෙන සුපුරුදු අධ්‍යාපන රටාවට ගෙන ඒම සියලුම බලධාරින්ගේ මෙන්ම ගුරු දෙගුරු සැමගේ ප්‍රධානතම වගකීමකි. නොබෝ දිනකින් ජාතියේ වගකීම බාරගන්නා දරුවා පිරිසුදු මනසකින් යුක්තව යහපත් පුරවැසියකු ලෙස සමාජයට දායාද කිරීම සියලුම අධ්‍යාපනඥයන්ගේ යුතුකමකි; වගකීමකි.
යම් ආකාරයකින් ළමයා නොමඟ යන්නේ නම්, කිසිවකුට ඇඟිල්ල දිගු නොකොට පළමුව කළ යුත්තේ දරුවා සුමඟට ගන්නා මං සොයා සුදුසු පිළියම් යෙදීමයි. ඒ සඳහා ළමයා සංගීතය, චිත්‍ර කලාව, ක්‍රීඩාව, සාහිත්‍යය, නැටුම්, වේදිකා නාට්‍යය වැනි විවිධ විෂයයන් යටතේ ක්‍රියාකාරි වන විට අන්තර්ජාල තාක්ෂණයට වහල් වීම ක්‍රමානුකූලව ගිලිහෙනු ඇත. එදා පාසලේ ප්‍රධාන ශාලාවේදී සෑම සිකුරාදා දිනකම පැවැත්වූ ළමා නාට්‍ය, ළමා විවිධ ප්‍රසංග ළමයාගේ මානසිකත්වය ඉහළ නැංවීමට අතිශයින්ම ඵලදායි විය. ඊට එක්වූ ළමයි තම විවිධ හැකියාවන් මනා සේ එළි දැක්වූහ.
රටේ වාතාවරණය යහපත් වූ සැණින් ළමයින් සමඟ අධ්‍යාපන චාරිකා යාමද යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව කිව යුතුය.
ළමා මනස පිරිසුදුව තබා ගැනීමට අවශ්‍ය පරිසරය හා ළමයාට අවශ්‍ය පහසුකම් ලබා දීම බලධාරින්ගේ යුතුකම හා වගකීම බව නැවත නැවතත් සිහිපත් කරමු.
• මුනිදාස සෝමතිලක
රාජගිරිය
--------------------
කුරුඳුවත්ත රෝහලේ අකටයුතුකම්
ගම්පොළ, කුරුඳුවත්ත ග්‍රාමීය රෝහලේ පවත්නා ජරාජීර්ණ තත්ත්වය සහ සිදු වන අකටයුතුකම් පිළිබඳව කිහිප විටෙකදීම වගකිවයුතු බලධාරින් දැනුවත් කළද එය බිහිරි අලින්ට වීණා වාදනය කිරීමක් හා වැනිය.
කුරුඳුවත්ත රෝහල විශාල ජනතාවකට නිදහස් සෞඛ්‍ය සේවාව සපයන රෝහලකි. රෝහලේ ජරාජීර්ණ තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එහි පාලනාධිකාරියේ නොසැලකිලිමත්කම හා සදාචාර විරෝධී ක්‍රියා කලාපයන්ය. විශේෂයෙන්ම රෝහල් බලධාරින් මූලිකත්වය දී ඇත්තේ ඔවුනගේ පෞද්ගලික බෙහෙත් ශාලාවලට මිස රජයේ රෝහලට නොවේ. එකී බලධාරීන් රාජකාරි වේලාව තුළ ද සිය පෞද්ගලික බෙහෙත් ශාලාව විවෘත කිරීම ගැන කොතෙක් සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දුන්නත් මේ වන තෙක් කිසිදු පියවරක් නොගැනීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.
එසේම රෝහලේ බාහිර රෝගී අංශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයවලුන් ද පීඩනයට ලක්කරමින් රෝහල් බලධාරියා විසින් නොයෙකුත් අකටයුතුකම් සිදු කරයි. එමෙන්ම මෙකී රෝහලේ සතියකට දින දෙකක් පවත්වන සායනයට සහභාගී වන රෝගීන් සංඛ්‍යාව දහසකට අධිකය. එම පිරිස් ද පීඩනයට පත්කරමින් සිදු වන අකටයුතුකම් බොහොමයකි. එසේම රෝහලේ සාම්පල පරීක්ෂණ රසායනාගාරය තුළ මෙන්ම රෝහල් නේවාසිකාගාරය තුළත් ඇතැම් දෙනා සිදු කරනුයේ වංචා සහගත ක්‍රියාවන්ය. රෝහලට ලැබෙන මූල්‍යාධාර හා පරිත්‍යාග ද බලධාරින්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නා බව ප්‍රදේශය පුරා ජනප්‍රිය කාරණයකි. ප්‍රදේශයේ අහිංසක ජනයා වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීමට තිබෙන එකම ස්ථානයේ සිදුවන මෙකී නොකී බොහෝ හොර වංචා, අකටයුතුකම් ගැන වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවායි පතමු.
• කුරුඳුවත්ත ප්‍ර දේශවාසීන් පිරිසක්
----------------------
හෙළ වෙදකමට නිසි තැන දෙමු ද?
උපතේ සිට මරණය දක්වා ප්‍රතිශක්තිකරණය ලබා දෙන ආහාරපාන, ඖෂධ වර්ග, කොළ පලා වර්ග ලංකා භූමි තලයේ ස්වාභාවික සම්පත් වේ. එදා සෑම නිවෙසකම පාහේ මවුවරු දේශීය ඖෂධ අඩංගු 'බෙහෙත් පෙට්ටිය' ආරක්ෂිතව තබා ගත්හ. ගසක කොළ, පොතු, මුල් ඇසුරින් සියලු රෝග නිවාරණය කරන බෙහෙත් වර්ග සාදා ගැනීමට එදා වැඩිහිටියෝ දැන සිටියහ. ගම රාල මෙන්ම වෙද රාල ද ගරු කටයුතු පුද්ගලයන් වූහ. ඔවුහු දොස්-තර නොව 'ජීවක' යන නම දැරූහ.
ආයු-බෝ වන් යන ආශිර්වාදයෙන් උදේ දිවා රෑ සුබ පතන අපේ දේශීය සුබ පැතුම අදටත් හිමිකරගෙන ඇත්තේ ගම්දනව්වල සැඟවී ස්වභාවික නිරෝගී ජීවිත ගතකරන ගැමියන් කිහිප දෙනෙක් පමණි. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අනාගත පරපුර බේත් ගැනීමෙන් බේරා ගැනීම සඳහා වැඩිහිටි, මාපිය, ගුරුවර සැමට වගකීමක් ඇත. උපතේ සිට දරුවන් නිරෝගීව, ශක්තිමත්ව පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිද අත්‍යවශ්‍ය වේ.
කෘමිනාශක භාවිතයෙන් තොර කෘෂිකාර්මික නිෂ්පාදන ව්‍යාප්ත කිරීම හා ප්‍රචලිත කිරීම, දේශීය ඔසු උයන් පණ ගැන්වීම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ස්ථාපිත කිරීම, පාරම්පරික දේශීය වෛද්‍යවරුන් හඳුනා ගනිමින් ඔවුන්ගේ සේවයට ගෞරවාන්විත සැලකිලි ලබාදීම, දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ඉගැනුමට දරුවන් යොමු කිරීම, නව ඖෂධ නිෂ්පාදනය සඳහා පර්යේෂණ දිරිගැන්වීම, එම නව නිෂ්පාදන ව්‍යාප්තිය සඳහා අවස්ථාව ලබාදීම මෙන්ම ගෙයින් ගෙට හෙළ වෙදකම ගෙන යෑම ද අත්‍යවශ්‍යව ඇත. ඒ සඳහා වූ මූලික ආකල්පමය වෙනසක් ඇති කිරීම ද අත්‍යවශ්‍යය.
• ඩබ්ලිව්. ඩී. මැටිල්ඩා අදිකාරම්
තලාව
--------------------
ඇද්දුන්කැලේවත්ත ගමට කුඩම්මාගේ සැලකිලි
ගාල්ල දිස්ත්‍රික්කයේ, අහංගම, කොරහැඬිගොඩ වසමේ, ඇද්දුන්කැලේ වත්ත සහ ඒ අවට ගම්වාසීහු ජීවත්වීමට අවැසි මූලික අවශ්‍යතා නොමැතිකමින් මහත් සේ පීඩා විඳිමින් සිටී. මැතිවරණ සමයට එම ගම් ප්‍රදේශයට දේශපාලනඥයන් බහුල ලෙස පැමිණියත් අනතුරුව කිසිවෙක් ඒ දෙසවත් නොබලති.
පවුල් 250කට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන එම ප්‍රදේශය හරිහැටි පානීය ජලය ද නොමැත. වර්ෂා කාලයට පමණක් පතිත වන ජලයෙන් පානීය ජල අවශ්‍යතාව ඉටුකරගත්තත් පායන කාලයට පානීය ජල අවශ්‍යතාව මහත් සපුරා ගැනීමට දුෂ්කරතා රැසකට මුහුණ දෙති. ජල ප්‍රශ්නයට ප්‍රධාන ලෙසටම බලපා ඇත්තේ එම ප්‍රදේශය තනිකරම ගල් තලාවක් මත පිහිටා තිබීමයි. සාමාන්‍යයෙන් නිවෙසකට ගල විද නළ ළිඳක් ඉදිකර ගැනීම පවා දුෂ්කර වී ඇත්තේ ඊට රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් වැය වන හෙයිනි. ජලය මෝටර් මඟින් ලබා ගැනීමටත් නොහැකි වී තිබෙන්නේ පවතින විදුලිය ද නිසි පරිදි නොලැබීමයි.
අඩු ධාරිතාවකින් යුත් විදුලි සැපයුමක් ලැබෙන හෙයින් බොහෝ නිවෙස්හි විදුලි උපකරණ ද පිලිස්සෙන තත්ත්වයක් නිතරම පවතී. අඩු ධාරිතාවකින් යුත් විදුලිය සැපයීමකට හේතු වී ඇත්තේ පවුල් නිවාස 250ක් පමණ තිබෙන ප්‍රදේශයට විදුලි ට්‍රාන්ස්පෝමරයක් නොමැති වීමයි. අදාළ විදුලි ට්‍රාන්ස්පෝමරය පිහිටා ඇත්තේ ගම් ප්‍රදේශයට කිලෝමීටර් ගණනාවක් දුරිනි. සෑම නිවෙසකම පාහේ සවස හයත් 10ත් අතර මෙන්ම අලුයම් කාලයේත් පවතින්නේ අඩු දීප්තියකින් යුත් විදුලි සැපයුමකි. මේ පිළිබඳව කොග්ගල විදුලිබල මණ්ඩල කාර්යාලය දැනුම්වත් කළත් මේ වනතුරු ඔවුන් දක්වන්නේ නිහඬ පිළිවෙතකි. තවද අහංගම, ඉමදුව ප්‍රධාන පාරේ සිට ඇද්දුන්කැලේ වත්තට ඇතුළු වන මාර්ගයෙහි මීටර් 600ක් පමණ වන කොටස පා ගමනින්වත් යෑමට නොහැකි තරමටම අබලන් වී ඇත. මෙම ගම් ප්‍රදේශය සංචාරකයන් බහුල නගරයක් වන අහංගමට නුදුරුව පිහිටා තිබෙන හෙයින් සංචාරකයන් එම ගැමි පරිසර සුන්දරත්වය විඳීමට බොහෝ සේ ලොල් වූවත් නිසි ලෙස මාර්ග පහසුකම්, ජලය, විදුලිය නොමැති හෙයින් සංචාරකයන්ගේ පැමිණීම ද අඩු වී ඇත. මේ පිළිබඳව වගකිවයුතු බලධාරින්ගේ අවධානය යොමුකොට අසරණ ජනතාව වෙනුවෙන් පිහිටක් වන මෙන් ඉල්ලමි.
• කසුන් කුමාර
අැද්දුන්කැලේ වත්ත, අහංගම
--------------------
සීනි නිපැයුමෙන් රට ස්වයංපෝෂිත කරමු
අප රටේ උක් වගා ප්‍රදේශ මෙන්ම සීනි කර්මාන්ත ශාලා ඇත්තේ දෙක තුනකි. එහෙත් උක් වගා කරන කලාපවලට අමතරව හොඳින් උක් වැවෙන ප්‍රදේශ රාශියක් අප භූමියෙහි ඇත. ත්‍රිකුණාමලයෙන් ඇරැඹි වාකරේ, කදිරවේලි, වාලච්චේන සිට මඩකළපුව දක්වා ප්‍රදේශවල උක් වගාව ඉතාම හොඳින් කළ හැකි කලාප වේ. ඒ සඳහා අවැසි ජලය ද මහවැලි ගඟෙන් සපයා ගත හැකිය. නොඑසේනම් මොරගහකන්ද කළුගඟ ජලාශවලින් ද මාදුරුඔය ජලාශයෙන් ද සපයාගත හැකිය.
මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද එක් ගෙවත්තක උක් පඳුරු 10 බැගින් හෝ වගාකර ගැනීමට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය හා උපදෙස් දෙන්නේ නම්, සෑම නිවෙසකටම ඒ තුළින් අමතර ආදායමක් ද උපයාගත හැකිය. ඉන් රටට විදේශ විනිමය ඉතිරි කර දීමෙන් ජාතික ආර්ථිකය නංවාලීමට ද සෑම කෙනකුටම දායක විය හැකිය.
මෙරට තුළ අපමණ වූ සරුසාර ඉඩම් තිබියදී පමණටත් වඩා වර්ෂාපතනය අවැසි හිරු එළිය ලැබෙද්දී සීනි මිල ඉහළ යෑම ගැන රජයේ පාර්ශ්වයෙන් මෙන්ම සීනි ආනයනකරුවන්ගේ පාර්ශ්වයෙන් ද මේ දිනවල මාධ්‍යයෙන් අසන-දකින දේ ගැන ඇත්තේ ඉමහත් වූ කනගාටුවකි.
අපි තවමත් පිටරටින් සීනි ආනයනය කරමින් සීනි ආනයනයට ඩොලර් කෝටි ගණන් වැය කරමින් මැසිවිලි නඟමින් සිටීම අනවශ්‍ය කරුණකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කහවලින් රට ස්වයංපෝෂිත කළා සේ මෙරට වගා කළ හැකි උක් වගාව ඇතුළු සියලු දෙයින් රට ස්වයංපෝෂිත කිරීමේ මහා සංග්‍රාමයකට සැවොම එක්විය යුතු කාලය එළැඹ ඇත. ඒ සඳහා මෙරට සිටින ධෛර්යවන්ත ව්‍යවසායකයන් ද, ගම් මට්ටමේ ඉඩම් හිමියන් ද ගෘහස්ථ ගොවි ඒකක ද හවුල්කර ගතහොත් හෙට දවස එතරම් කළුවර නොවනු ඇත.
• ගුණපාල රත්නායක
කුරුණෑගල
---------------------
බහුකාර්ය සහායකයන්ට නිසි තැන දෙන්න
බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වර්තමාන රජය ආරම්භ කළේ ඉතාම සද්භාවයෙන් යුතුවය.
තරුණ පරපුර රජයේ සංවර්ධන ක්‍රියාදාමයට එක්කර ගැනීමේ නිසි වැඩපිළිවෙළක් එතෙක් පැවැති රජයන්ට නොතිබූ හෙයින් අවම අධ්‍යාපන මට්ටමක් තීරණය කර තරුණ පිරිස රැකියාගත කිරීමට ආරම්භ කළ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති වැඩපිළිවෙළ ඉතාම අනගි පියවරකි.
එහෙත් රජය ඉතාම සද් භාවයෙන් අරඹන ලද මෙම ක්‍රියාවලියේ පරිපාලනමය යම් ආකර්යක්ෂම බවක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ඇතැම් බහුකාර්ය සහායකයන් තනතුරේ අර්ථයට පටහැනිවම යම් යම් තනතුරු ප්‍රදානය කර රැකියාව ලබාදීමේදීම ඔහු හෝ ඇය අකර්මණ්‍ය කර ඇත. රටක තරුණ පිරිස් ඵලදායි ලෙස රැකියාවක් සඳහා යොමු කරන්නේ අරමුණු රාශියක් වෙනුවෙනි. එහෙත් බඳවා ගැනීමේදීම ඔවුන් අක්‍රිය කිරීම සුදුසු නොවේ. බඳවා ගැනීම බහුකාර්ය සඳහාය. එහෙත් ලැබෙන තනතුර ආරක්ෂක නිලධාරිය. එතැනම ඔහු හෝ ඇයගේ වැඩ කිරීම නතර කර ඇත. වර්තමානය වන විට රජයේ ආයතන පුරවා ඇත්තේ ආරක්ෂක නිලධාරින් වශයෙනි. රැකියාව ලබා දීමේදීම මොවුන් එලෙස අලස කිරීම අභාග්‍ය තත්ත්වයකි. අද අපේ රටට අවශ්‍ය ආරක්ෂක නිලධාරින් නොව වැඩ කිරීමට තරුණ පිරිස්ය.
• චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය
-------------------
මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඕනෑ
ඉදිරියෙහි පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉක්මන් කිරීම සඳහා 'පැරැණි සමානුපාතික ඡන්ද ක්‍රමය' යොදා ගැනීමට යෝජනා වී ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමය සාධාරණ වුවත් දේශපාලන ආයතනවල ඊනියා ස්ථාවරභාවය හා ජනවර්ග නියෝජනය කරන කුඩා පක්ෂවල පැවැත්ම තහවුරු කිරීමට යෑමෙන් එහි විකෘති තත්ත්වයක් ඉස්මතු වේ. දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයට බද්ධ කර ඇති 'බෝනස් ආසන' හා 'අවම ඡන්ද ප්‍රතිශත' වැනි වර්තමානයේ මෙරටට නොගැළපෙන අවිද්‍යාත්මක මෙවලම් හේතුවෙන් එහි මූලික අරමුණ වන ඡන්ද සමානාත්මකතාව පළුදු වී ප්‍රතිඵල ද විකෘති වී තිබේ. 2015 සහ 2020 මහ මැතිවරණ ප්‍රතිඵල දෙස අවධානය යොමුකළහොත් එලෙස විකෘති වූ ආකාරය මනාව දිස් වේ.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ සෑම ඡන්දයකටම සමාන වටිනාකමක් තිබිය යුතුය. 1981 හි අමුණන ලද දූෂිත 'මනාප' ක්‍රමය නිසා සමානුපාතික ක්‍රමයේ ද්වීතියික අරමුණද දුර්වල වී, ජනතාව පැතූ නිසි නියෝජකත්වය ඉෂ්ට නොවීය. මෙවැනි මැතිවරණ ක්‍රමයේ අසාර්ථකත්වයට පාදක වූ මෙවලම් තවදුරටත් උගත් දේශපාලනඥයන් තුළින් පවා ප්‍රවර්ධනය වෙමින් පැවතීම කනගාටුදායකය. පෙනෙන පරිදි සීමා නිර්ණ ක්‍රියාවලිය තුළම 'කුඩා ජනවර්ග' නියෝජනය සැලකිල්ලට භාජනය වේ. එම නිසා යථෝක්ත මෙවලම් භාවිතයෙන් පිරිසුදු ඡන්ද ක්‍රමයක් විකෘති කිරීම කිසිසේත් සාධාරණය කළ නොහැක.
මෙකී කරුණු පිළිබඳව විද්‍යාත්මකව සහ අපක්ෂපාතීව සලකා ප්‍රතියෝජිත අනුපාත, බෝනස් ආසන හා අවම ඡන්ද ප්‍රතිශත වැනි මෙවලම් භාවිතයෙන් වන විකෘති කිරීම්වලින් තොර සුපිරිසිදු මැතිවරණ ක්‍රමයක් පැවැත්වීමට කටයුතු කර ශ්‍රී ලාංකිකත්වය ද තහවුරු කරන මෙන් ජනතා පරමාධිපත්‍යයට ගරු කරන දේශපාලන අධිකාරියෙන් හා බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.
බර්නාඩ් ප්‍රනාන්දු
• මොරටුව
----------------------
ගුරුකම ඉහළමය
හිමිකම් තමාගේ, දෙවනුව ගැන බැලුවේ
යුතුකම් පළමුවෙන් අප වෙත ඉටු කෙරුවේ
කළකම් උතුම් ලෙසමයි හැම විට දුටුවේ
අපෙ පෙම්, එකල අපෙ ගුරුවරුනට හිමිවේ
නාවොත් බැරිම කමකින් පාසල් නාවේ
ආවොත් හවස තුන හතරට පිට වූවේ
නැණවත් මඳ අයට අමතර වැඩ කෙරුවේ
හැම අත් අරගෙනයි නැණ පියවර තැබුවේ
පොත පත හිඟ අපගෙ අත ඒවා තැබුවේ
වෙත සිත තුටු කරවන වදනද හමුවේ
නැත තනියම, ගෙනෙන බත්පත වුව කෑවේ
මෙත, මත අපයි දෙවිවරු ලෙස නම තැබුවේ
ගුරුකම කැත කෙරෙන දේවල් නැත කෙරුවේ
ගරුකම සමඟ මුළු දිවියම ඔප දැමුවේ
විරුකම අපට දෙන්නයි හැමදේ පිදුවේ
සරුකම අප ලදිමු, එතුමන්ලා බුදුවේ
• විශ්‍රාමලත් පරිවේණාචාර්ය
පී. බී. ගුණරත්න
-------------------------
සාම විනිසුරු පදවි ලබයි
වස්කඩුව, කුඩා වස්කඩුව, ගාලු පාරේ, 'හේමන්ත' නිවෙසෙහි පදිංචි ගී කියනගේ දයා හේමන්ත සිල්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සාමදාන විනිශ්චයකරුවෙකු ලෙස පත් කෙරිණි.
පාණදුර, ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන දයා හේමන්ත කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාධාරියෙකි. විද්‍යාව - ගණිතය ගුරුවරයකු මෙන්ම දහම් පාසල් ආචාර්යවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති දයා හේමන්ත ලංකා සළුසල ආයතනයේ තිස් වසරක සේවා කාලයක් සම්පූර්ණ කළ අයෙකි.
ශ්‍රී ලංකා ජාතික සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ තනතුරු හොබවමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ජාතික තලයට ඔසවාලීමට මහත් දායකත්වයක් සැපයූ දයා හේමන්ත, ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවෙකු ලෙසට ද සේවාවක නියැළී සිටී.