
ජනාධිපතිවරයකු තමාට හිමි බලතල අනුව ලබා දෙන තවත් එක් පත්වීමක් වන්නේ ජනාධිපති නීතීඥ පත් කිරීම්ය. බොහෝ විට එදා සිට තම දේශපාලන හිතවාදී නීතිඥවරුන්ට එම තනතුර පිරිනැමුණු අතර ගෞරවනීය සේවයක් ඉටුකළ පුද්ගලයින්ටද ජනාධිපති නීතිඥ තනතුර හිමි විය. මෙලෙස පදමනමකින් තෙරව සිදුවූ මෙම පත්කිරීම් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ යහපාලන රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 35 දෙනෙකු ජනාධිපති නිතිඥයන් ලෙස පත් කිරීමත් සමඟය. එදා පාර්ලිමේන්තුවේ විවාදයන්ටද, සමාජ මාධ්‍ය ජාලාවල පුළුල් කතිකාවතක් මෙන්ම විවිධ චෝදනාද මේ සම්බන්ධව ඇති වූයේ මෙම පත් කිරීම් විනිවිද භාවයෙන් තොර වීම නිසාය.
2017 ජූනි දක්වා ඒ වසර තුළ ජනාධිපති නිතිඥයින් 28 කට යහපාලන රජය පත්වීම් ලබා දි තිබුණි. එසේම 2016 වසරේ ජනාධිපති නිතිඥයින් 5 ක්ද, 2015 වසරේ 2 දෙනෙක්ද ඇතුළු මේ 35 දෙනා හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළේ දැඩි විවේචන මධ්‍යයේය.
එහෙත් යම් යම් හේතු මත අතීතයේ එවැනි තනතුරු ලබා ගැනීම අදාළ නිතීඥවරු විසින්ම ප්‍රතික්ෂේප කළ අවස්ථා හමුවේ. ජනාධිපති නීතිඥකමට පත්කළ පසු එම තනතුර ප්‍රතික්ෂේප කළ තිදෙනෙක් වන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා (එවකට රාජනීතිඥ තනතුර), ආර්. කේ. ඩබ්ලිව් ගුණසේකර සහ තංගල්ලේ නීතිඥ එච්. එස්. ද සිල්වාය. ආචාර්ය කොල්වින් කියා සිටියේ අධිරාජ්‍ය විරෝධී අරගලයක නිරතව සිටින්නෙකුට එය උචිත නොවන බවය. නිතිඥ ගුණසේකරයන් කියා සිටියේ තමාට වඩා පරිණත සහ ජ්‍යෙෂ්ඨ අය සිටින බැවින් ප්‍රතිපත්ති මත එය බාර නොගන්නා බවකි. එච්. එස්. ද සිල්වා කියා සිටියේ ජනාධිපති නීතිඥවරයකුගේ අවම දෛනික ගාස්තුව වන රුපියල් 50,000 තමාගේ තංගල්ලේ සේවාදායකයන්ට දැරීමට නොහැකි බැවින් තමා එය බාර නොගන්නා බවකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඉ) ව්‍යස්ථාව යටතේ නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත් වූ, පැවැත්මෙහි හා වෘත්තිය කටයුතු පිළිබඳ අවංක උත්කෘෂ්ට තත්ත්වයක් පවත්වාගෙන ඇති නීතීඥයින් ජනාධිපතිවරයෙකුට පත් කිරීමට ප්‍රතිපාදන ඇත්තේය. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් මෙන්ම නීති කෙටුම්පත සම්පාදක තනතුරට පත්වන නිලධාරීන්ද සම්ප්‍රදායක් ලෙස ජනාධිපති නීතිඥ තනතුරට පත් වෙති.
2019 වසරේ ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් වූ අතර එහිදිද අවධාරණය කළේ නිසි සුදුසුකම් සම්පූර්ණ වූ අයට මෙම ඉහළ තනතුර හිමි විය යුතු බවකි. එහෙත් එයද නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බව සැලය. කෙසේ වෙතත් යහපාලන සමයේ වූ මෙම ජනාධිපති නීතීඥ පත්වීම් ලබා දීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිසාවෙන් පසුගිය නොවැම්බර් 24 වැනිදා ජනාධිපති ලේකම්වරයා නැවතත් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරන්නේ ජනාධිපති නිතීඥවරුන් පත් කිරීමේ නව මාර්ගෝපදේශ ද සමඟිනි. අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ගේ මුලිකත්වයෙන් සිදුවූ මේ කටයුත්ත අධිකරණ ක්ෂේත්‍රය ලද තවත් ජයග්‍රහණයකි.
“නීතිඥ වෘත්තියේ සිටින කෙනකුට ජනාධිපති නිතීඥයකු වීම අතිශයින් වැදගත් අවස්ථාවක්. නමුත් එම පත් කිරිම් සඳහා සුදුසු නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. මෙම පත් කිරීම් තුළ අත්තනෝමතික බව නොතිබිය යුතුයි. නිතීඥ ක්ෂේත්‍රයේ නිර්දේශයන් මත මේ කටයුතු සාධාරණය හා විනිවිද බවකින් යුතුව සිදු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලාපොරොත්තු වන දේ ඉෂ්ට විය යුතුයි....“ ඒ ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නිතිඥ සාලිය පීරිස්ය සිළුමිණ සමග කියා සිටියේ එසේය.
නව මාර්ගෝපදේශයන්ට අනුව යමකු ජනාධිපති නීතීඥයකු වීමට නම් ඔහු අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු විය යුතු අතර මේ අතර ඔහු හෝ ඇය වසර 20 ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයකු වශයෙන් සේවය කර තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වෙයි. එසේම ලංකාවේ ඕනෑම අධිකරණයක සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති, නීති තර්ක තුළින් සක්‍රීය දායකත්වයක් දක්වා ඇති මෙන්ම ලංකාවට ගෞරවයක් හෝ කීර්තියක් අත්කර දී ඇති අයෙකු යන අමතර සුදුසුකම් තිබිම අනිවාර්යය. එසේම ඔහු යහපත් චරිතයකින් හෝ කීර්ති නාමයකින් යුතු අයකු විය යුතුයි. එසේම ඔහු හෝ ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කර නොමැති, නීතියේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදු කර නොමැති, අධිකරණයයක් ඉදිරියේ වරදකරුවෙකු නොවූ අයෙකු විය යුතු බව අවධාරණය කළ යුතුය. මෙම නව ගැසට්ටුවෙන් දැඩිව අවධාරණය කරන්නේ මෙවැනි පුද්ගලයින් හැර වෙනත් කිසිදු අයකු මෙම ගැසට්ටවුව යටතේ පත් කිරීම සිදු නොකළ යුතු බවය.
මාර්ගෝපදේශ අඩංගු මෙම ගැසට්ටුවෙන් ජනාධිපති නිතීඥවරයකු ලෙස පත්වීමක් ලැබීමට තිබිය යුතු අමතර සුදුසුකම්ද දක්වා ඇත. ජාත්‍යන්තර සමුළු පත්‍රීකා ඉදිරිපත් කර තිබීම, ග්‍රන්ථ ප්‍රසිද්ධියට පත්කර තිබීම, නීති විෂය ඉගැන්වීම ආදිය සුදුසුකම් වන අතර නොතාරිස්වරයකු ලෙස සේවයේ යෙදි සිටීම නුසුදුසුකමක් සේ අවධාරණය කර ඇත.
ජනාධිපති නීතීඥවරු පත් කිරීමේදී විනිවිද භාවයකින් කටයුතු කිරීමට මෙයින් හැකි වන අතර ජනාධිපති නීතීඥයන් පත් කිරීම උපරිම වශයෙන් වසරකට එක් කණ්ඩායමක් සීමා කළ යුතු බවද අවධාරණය කර ඇත. මෙහි අන්තර්ගත කර ඇති වැදගත්ම කරුණ වන්නේ හිතුමතේ අවශ්‍ය තරමට ජනාධිපති නිතීඥයන් පත් කිරීමේ බලය මෙම ගැසට්ටුවෙන් අහිමි කිරීමය. ඒ අනුව වසරකට ජනාධිපති නිතීඥයින් පත් කළ හැක්කේ 10 දෙනෙක් පමණි. මෙම ගැසට්ටුවේ අවධාරණය කර ඇති තවත් වැදගත් කරුණක් වන්නේ ජනාධිපති නීතීඥයකු වීම සෑම නිතිඥයෙකුගේම අයිතිවාසිකමක් නොවන බවකි.
“රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති නිතීඥයන් පත් කිරීමේ බලය ජනාධිපති සතුවෙනවා. නමුත් මුල් කාලයේ සිටම එය කෙසේ සිදු කළ යුතුද යන නිර්ණායක තිබුණේ නැහැ. මේ නිසා කෙටි සේවාවක් සහිත, දේශපාලන හිතවත්කම් මත බොහෝ අය මේ තනතුරු ලබා ගත්තා. 2017 ජනාධිපති නිතීඥවරු පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් වුණත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මෙවර නිකුත් වූ ගැසට්ටුවෙන් නිර්ණායක ඇතුළත් නිසි ක්‍රමවේදයක් සැකසුණා. මේ නිසා අනිවාර්යයෙන්ම නිතීඥයකු වී වසර 20 ක් සම්පූර්ණ වූ හා නීති ක්ෂේත්‍රයට යම් සේවාවක් කළ, කීර්ති නාමය පළුදු නොවු කෙනෙකුට ඒ අවස්ථාව ලබා ගත හැකියි. මෙහි ඇති තවත් වැදගත් කරුණක් වන්නේ වසරකට මෙම පත් කිරිම් 10 දෙනෙකුට සීමා කිරීමයි. ඒ වගේම මෙසේ පත් වන්නන් අවුරුදු 5 ක් තුළ ආදායම් බදු ගෙවු පුද්ගලයෙක් විය යුතුයි. එහිදි ඔහුට ආදායම් බදු ලිපි ගොනුවක් ඉදිරිපත් කිරීම සිදු වෙනවා. එසේම නොතාරිස්වරුන්ට ඉල්ලිම් කරන්න බැරි බව පැහැදිලිවම අවධාරණය කරනවා. මෙය සරලයි. පහසුයි. සුදුසුකම් ඇති අයට ලබා ගන්න පුළුවන් විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයක්.....“ ඒ අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක, නිතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නිතීඥ යූ ආර් ද සිල්වාය.
එදා ජනාධිපති නීතිඥයෙක් වීමට යටත් පිරිසෙන් අවම වශයෙන් වසර 20ක සක්‍රීයව වෘත්තීමය දායකත්වයක් තිබිය යුතු බව පිළිගත්තද එය නීතියක් නොවීය. ජනාධිපති නිතීඥයින් පත්කිරීම පිළිබඳව ක්‍රමවේදයක් සකස්කිරීමට නීතීඥ සංගමය අවස්ථා කිහිපයකදිම උත්සහ කළද එය ව්‍යවර්ථ විය.
මෙම විශේෂ ප්‍රදානයන් සිදු කළ ආකාරයද හේතු කිහිපයක් මත විවේචනයට ලක්විය. මොවුන් අයකරන ගාස්තුව සාමාන්‍ය ජනයාට කිසිසේත් දරාගත නොහැකිවීම, තමාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ජනාධිපති නිතිඥයකු නඩුවට සම්බන්ධ කරගෙන ඇති විට විශාල මුදලක් වැය කළ නොහැකි සේවාදායකයා මානසික පීඩාවකට පත්වීම, දේශාපාලන හිතවත්කම් මත ඇතැම් නොසුදුසු අය ජනාධිපති නීතිඥවරු ලෙස පත් කිරීම හා මෙම ප්‍රදානය වර්තමානය වනවිට මුළුමනින්ම වාගේ කොළඹ නීතිඥවරුන්ට පමණක් සීමා වී තිබීම මේ අතර ප්‍රධාන වේ.
කෙසේ වෙතත් ඉදිරියේ මේ කටයුතු නව ක්‍රමවේදයන් ඔත්සේ විනිවිද බවකින් යුතුව සිදු කරනු ඇතැයි සියල්ලන්ගේම අපේක්ෂාවය.