පාරි­ස­රික කෘෂි­ක­ර්මාන්තය වහ වහා ඇරඹිය යුතු නව ක්‍රියාදාමයක් | සිළුමිණ

පාරි­ස­රික කෘෂි­ක­ර්මාන්තය වහ වහා ඇරඹිය යුතු නව ක්‍රියාදාමයක්

ප ගමන් කළ යුතු වන්නේ කාබනික පොහොර වගාවටයි යන කරුණ අද වන විට සමාජයේ ප්‍රමුඛ කථිකාව බවට පත්වී ඇත. එහිදී මූලිකවම කිවයුතු කරුණ නම් පස අපේ ජීවයේ පැවැත්ම බවයි. මේ පැවැත්මට යම් හානියක් සිදුවුවහොත් එය මහා පුපුරා යෑමක් දක්වා ගමන් කළ හැකිය. මේ පුපුරා යෑම හරහා මුළු ශිෂ්ටාචාරයටම බලපෑමක් ඇති විය හැකිය. පස අපේ ජීවයේ පැවැත්ම වන්නේ මුළු ශිෂ්ටාචාරයම ගොඩනැඟී ඇත්තේ පස මත නිසාවෙනි. ආහාර නිෂ්පාදනය කිරීමට පමණක් නොව බොහෝ කර්මාන්ත සඳහා යෙදවුම් සපයන්නේ සෘජුව හෝ වක්‍රකාරව පස මඟිනි. මේ සියලු කාරණා නිසා ජීවයේ අත්‍යවශ්‍ය මූල සාධකය පසයි. ඉන් පසුව ඒ මත රඳා පවතිමින් ආහාර ඇතුළු නොයෙක් දේ නිපදවනු ලබයි.

නමුත් අපි මේ අත්‍යාවශ්‍ය සාධකය වන පස අමතක කර දමා ඇත. පසට යොදන විවිධ රසායනික යෙදවුම් නිසා පස දැනටමත් විනාශ වී ඇති බව පිළිගත යුතුව ඇත. මේ ක්‍රියාවලිය දිගින් දිගටම පැවතීම නිසා මෙම හානිය තවත් තීව්‍ර වී යම් උපරිමයකට ළඟාවිය. ඒ නිසා කෘෂිකර්මාන්තය සහ අනෙකුත් කර්මාන්තවලට සැපයෙන යෙදවුම් සීමා වීම මහත් ගැටලුකාරී තත්ත්වයකට යා හැකිය. එයට බලපාන ප්‍රධාන ක්‍රියාවලියක් වන්නේ රසායනික කෘෂිකර්මාන්තය වන අතර ඒ හරහා පසෙහි ඇති පෝෂක කොටස් බලහත්කාරයෙන් උදුරා ගැනීමක් සිදු වෙයි. මහ විශාල පුපුරා යෑමකට පෙර අප මේ පාරිසරක කෘෂිකර්මාන්තය යන සංකල්පයට හුරු විය යුතු වන්නේ එහෙයිනි.

ජනාධිපතිවරයා විසින් ජනතාවගේ ඉල්ලීම නිසා ගනු ලැබූ මේ හරිත වගාව සහ කාබනික පොහොර භාවිතය පිළිබඳ තීරණය සාධනීය නමුත් ජනප්‍රිය නොවන තීන්දුවක් බවට අද වනවිට පත්වී ඇත. එහෙත් මේ දශක ගණනාවක් රසායනික යෙදවුම් මත පරිසර පද්ධතිය විනාශ වන්නට පෙර ගත යුතුව තිබූ තීන්දුවකි. මේ වනවිටත් අපිට අවැසි කෘෂි බිම් නිර්මාණය කරගැනීමට යෑම නිසා පසෙහි ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා පහළ මට්ටමක පවතින බව සත්‍යයකි. අප ආහාර නිෂ්පාදනය කර ගනිමින් පසෙන් උකහා ගන්නා පෝෂණය කෘත්‍රිම පෝෂකකාරයට රසායනික යෙදවුම් හරහා පසට ලබාදීමට උත්සාහ කළද, අපි නැවත එය බලහත්කාරයෙන් ඊළඟ කන්නයේදී උදුරා ගන්නා ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක විය. එහෙත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති මේ කාබනික පොහොර වගාවට යොමු කරවීමේ ප්‍රයත්නය හරහා පරිසර හිතකාමි කෘෂිකර්මාන්තයකට ගොවියා යොමු කරවයි. එමඟින් පසෙන් ගන්නා දේ පසට නැවත සාධනීය ලෙස ලබාදීමක් සිදුවෙයි. පසේ නිරෝගි භාවය ආරක්ෂා කරගැනීම පෙරදැරිකරගත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයේ සුවිශේෂත්වය එයයි. මුළු කෘෂිකර්ම බිම එකම පද්ධතියක් ලෙස සැලකීම මෙහි විශේෂත්වයකි. අප පස, බෝගය, පත්‍රය, මූල පද්ධතිය, සහ පරිසරය, වෙන්කර හඳුනා නොගත යුතුය. එකම පද්ධතියක් ලෙස දැකීම සාර්ථකම ක්‍රමවේදයයි. කෘෂි පරිසරයේ පවත්නා භෝග, ගහකොළ, ඇළදොළ සතාසිවුපාවා එකම පද්ධතියක් ලෙස සැලකීම හා එහි කොටස්වල ක්‍රියාකාරීත්වය, භෝගයේ ක්‍රියාකාරිත්වය හා ආහාර නිෂ්පාදනයට එකසේ වැදගත් වන බව සලකමින් ඉතා සාර්ථකව සිදුකළ කෘෂිකර්මයක් අතීතයේදී අපට හිමි වී තිබිණි. ස්වභාවධර්මය විසින් ලබා දුන් දේ අදවන විට විනාශ වෙමින් පවතින අතර ජලමූල පද්ධතියටම හානි සිදුවී ඇත. ස්වභාව ධර්මය ලබාදුන් පරිසර පද්ධතිය අද වනවිට මිනිසුන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුය.

අප පරිසරයට මහත් ගෞරවයකින් ආදරයකින් මිහිකත දෙවියන් සේ සලකා කටයුතු කළ ජාතියකි. යම් හේතු සාධක නිසා විශේෂයෙන් ජනගහනය වැඩිවීම යන හේතු සාධක නිසා අපිට පහසු වූ සහ අස්වැන්න වැඩි කෘෂිකර්මාන්තයකට යොමු වීමු. රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක, වල් නාශක මත යැපෙමින් වඩා පහසු කෘෂිකර්මාන්තයක නියැළීම 1960 වසරින් පසු සිදු විය. ඒ නිසා සෞඛ්‍යමය වශයෙන් සිදුවූ හානිය සුළුපටු නොවෙයි. මේ ක්‍රමවේද ආරම්භ වූ කාලයට සාපේක්ෂව පසටද සිදුවූ හානිය සුළුපටු නැත. පසට සහ අපේ ජීවයට විශාල හානියක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. ඒ වසර වන විට ලොව ඉන්ධන භාවිතයෙන් වාහන නිෂ්පාදනය නවතන්නට අන්තර්ජාතික බලශක්ති ආයතනය තීරණය කර ඇත. තෙල් පිරිපහදු කර්මාන්තයෙන් අතුරු ඵලයක් ලෙස නිපදවන රසායනික පොහොර මේ හෙයින් ලොව පුරා හිඟවිමට ඉඩකඩ පවතී. එහෙයින් ඉදිරි වසර 10-15 ක කාලයේ මුළු ලෝකයම සුර්යය බලශක්තිය හා පාරිසරික කෘෂිකර්මයට අවතීර්ණ වීමට සුදානම් වෙමින් පවතින වටපිටාවක මෙරට පාරිසරික කෘෂිකර්මය කාබනික කෘෂිකර්මයට අවතීර්ණ වීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය කාලෝචිත යැයි හැඟෙයි.

ස්වභාවධර්මය අපිට වඩා බලවත්ය යන කරුණ අද වනවිට තහවුරු වී ඇත. මේ සංසිද්ධියම කෘෂිකර්මයේදී සිදුවෙයි. ලොව ජයගනිමින් පරිසරයට විරුද්ධව විශාල ගමනක් යෑමට සුදානම් වුවත් එහි අතුරුවිපාක අද අපට අත්විඳින්නට සිදුවී ඇත. එබැවින් අනිවාර්යෙන් විකල්පයකට යා යුතු අවස්ථාවක් උදා වී ඇත. විකල්පය ලෙස ජනාධිපතිවරයා යහපත් තීරණයක් ගෙන ඇත. එනම් අපේ කෘෂිකර්මය රසායනික යෙදවුම්වලින් පරිබාහිරව පරිසර හිතකාමී යෙදවුම් භාවිතයට යොමු කිරීමේ ක්‍රියාවලියයි. මෙරට බිම් මට්ටමේ කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීම, ගොවියා දැනුමින් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම, නව දැනුම ගොවින්ට ගෙනයෑම හා ගොවි ගැටලු විසඳීම වෙනුවෙන් මෙරට වගකිවයුතු ආයතන පවතී. එම ආයතන හරහා රජයෙන් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ලැබූ දායකත්වය කිසිසේත් ප්‍රමාණවත් නැති බව කිව යුතුය.

මේ ආයතනවල රාජකාරිය සඳහා කැපවු විශාල පිරිසක් සිටියද ඔවුන් මේ ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා දක්වන අලස ස්වභාවය ඉතාමත් කනගාටුදායකය. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයේ සේවකයන් බැඳි සිටින බව මතක් කර දිය යුතුය. ඉහළ සිට පහළ සේවකයන් මෙහෙය වීමේ මහ විශාල අර්බුදයක් මේ ක්‍ෂේත්‍රවල වෙයි. අප හුරුවී සිටින රසායනික ගොවිතැන පුර්ණකාලීන ගොවියකුට පහසු ක්‍රමවේදයක්, වැඩි අස්වැන්නක්, වැඩි මුදලක් පිළිබඳව සැලකිලිමත් වීම මෙතෙක් වගාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබූ ක්‍රියාවලියයි. රසායනික යෙදවුම් නිසා දීර්ඝකාලීනව වශයෙන් සිදුවන හානිය පිළිබඳව අවධානය යොමුනොවීම නිසා ඉදිරි පරම්පාරවන්ට වන හානිය සුළු පටුනොවෙයි. මෙහිදී දේශපාලන ක්ෂේත්‍ර, විෂයානුබද්ධ උගත් පිරිස, ගොවීන් යන පාර්ශ්වයන් කාබනික යෙදවුම් සමඟ ගැටීමේදී එය විසඳාගත නොහැකි අර්බුදයක් බවට පත් කරගෙන ඇත. ගොවි උද්ඝෝෂණ නිර්මාණය කර ගනිමින් දේශපාලනික වාසි ගැනීමට යම් දේශපාලන කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් සිටින බව පැහැදිලිය. එමෙන්ම කෘෂි විද්‍යාඥයන්, විෂයානුබද්ධ පර්යේෂණ සිදු කරමින් සිටින ක්ෂේත්‍රයන් තමන්ගේ මඟ වෙනස් මාවතකට හැරවීමට අකමැත්තක් හා මැළිකමක් දක්වන බව පෙනෙයි. ඒ නිසාම මෙම නව ප්‍රතිපත්තිය සඳහා විරුද්ධ මත සාකච්ඡා කරයි. ගොවීන් හුරුවූ ක්‍රියාවලියෙන් බැහැර වී කාබනික යෙදවුම් නිෂ්පාදනය කරගනිමින් කෘෂිකර්ම­ාන්තයකට අවතීර්ණ වීමට මහත් වූ මැළිකමක් දක්වයි. මේ නව ක්‍රියාදාමය මඳක් වෙහෙසකර වන නිසාත් ආරම්භයේදී වැඩි ශ්‍රමයක් වැයවන නිසාත් රසායනික කෘෂිකර්මාන්තය තරම් පහසු නොවූ යම් ක්‍රමවේදයකට යෑමට ගොවියෝ කැමැත්තක් නොදක්වති.

මීට වසර කිහිපයකට පෙර රසායනික කෘෂිකර්මාන්තය නිසා සිදුවන සෞඛ්‍යයට වන හානි හා පරිසර හානි ගැන ඉතා බැරෑරුම් කතිකාවන් ගොඩනැඟුවද ගොවියා අද ඒ සියලු දේ කැප කරමින් රසායනික යෙදවුම් ඉල්ලා උද්ඝෝෂෙණ කරමින් වීදි බසින්නේ මේ සම්බන්ධයෙන් ඇති අවිඥානික භාවය නිසාය. තම දරුවන් හා ඉදිරි පරම්පරාවන්ගේ පැවැත්ම පවා පාවා දෙමින් රසායනික යෙදවුම් ඉල්ලා උද්ඝෝෂණ කරන අතර එම යෙදවුම් නොලැබීම නිසා ගොවිතැන අත්හරින තත්වයකට පවා පැමිණ ඇත.

කාලයක් මුළුල්ලේ හුරු පුරුදු වූ රසායනික යෙදවුම් සමඟ ගෙන ගිය කෘෂිකර්මාන්තයෙන් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයකට මාරු වීම කෙටිකලකින් සිදු කිරීම අපහසු බව පිළිගත යුතු කරුණකි. ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වෙයි. ඒ සමඟම මේ වෙනස සඳහා සියලු පාර්ශ්වයන්ගේ මනස සුදානම් කරවීමට ද යම් කාලයක් ගතවන බව සැබෑය. කෙසේ වෙතත් මෙම සියලු දේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවැසිය. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාවලියක් අවශ්‍ය වේ. මෙම නව කෘෂි ප්‍රතිපත්තිය හරහා සිදු වූ කතිකාව අගය කළ යුත්තකි. එසේම මෙම සංක්‍රාන්ති කාලය ඉතා ඉවසීමෙන් සියලු දෙනා ඉතාමත් කැපවීමෙන් ගතකිරීම හා ක්‍රියාත්මක වීම අවශ්‍ය වේ. මෙය යම් ආකාරයක විප්ලවයක් බව අවබෝධ කර ගත යුතුය. එම විප්ලවය යහපත් ප්‍රතිඵල දැකීමට නම් සියලු දෙනා එකතු වී සැලසුම් සහගතව ක්‍රියාවලියකට යා යුතුය. මේ පාරිසරික ගොවිපොළේ විප්ලවයයි. දැනුම උපයන්නන්, දැනුම සමාජගත කරන්නන්, දැනුම භාවිතා කරන්නන් එක්ව මෙම විප්ලවයට දායක විය යුතුය. සහතිකකරණ කාබනික කෘෂිකර්මය මෙරටට අලුත් දෙයක් නොවන බව කිව යුතුය. විවිධ භෝග සඳහා විවිධ ප්‍රමාණවලින් නිෂ්පාදනය කර දේශීය හා විදේශීය වෙළෙඳපොළට අපනයනය කරන ගොවියෝ වෙති. ඒ අයගේ දැනුම සහතික කර ඉතා කෙටිකාලීන සැලසුමක් අනෙක් ගොවීන්ට දිය හැකිව තිබූ නමුත් ඒ සඳහා විවිධ යෝජනා ඉදිරිපත් වූ නමුත් අදාළ ආයතන සඳහා ක්‍රියාත්මක වු බවක් පෙනෙන්නට නොතිබිණි.

පර්යේෂණ කරමින් විවිධ භෝග සඳහා කාබනික කෘෂිකර්මාන්තයට අදාළ තාක්ෂණය හා ක්‍රමවේදයන් සෙවීමට කාලය අවශ්‍ය බව සැබෑවක් වුවද මේ වන තෙක් මෙරට සිදු කළ පර්යේෂණවලින් සොයාගත් දැනුම එකතු කරමින් කෙටිකාලීන සැලසුම් සඳහා යා යුතුව තිබිණි. එහෙත් අදාළ ආයතන සඳහා සාධනීය ලෙස ක්‍රියා කරනු පෙනෙන්නට නොතිබීම කනගාටුවට කරුණකි. ආරම්භයේදී කාබනික යෙදවුම් නිපදවීම සඳහා විවිධ ව්‍යාපෘති රජයේ මුදල් වැයකරමින් කඩිනමින් අරඹන ලද නමුත් අද වන විට එකතැන පල් වන ස්වභාවයක් පෙනෙන්නට ඇත. වගකිවයුත්තන් හෝ වගකිව යුතු ආයතන සඳහා ක්‍රියාත්මක වීම සැහීමකට පත්විය යුතු මට්ටමක නැත. අඩු වශයෙන් කොම්පොස්ට් සදා ගැනීම සම්බන්ධයෙන් ද දැනුම්වත් වීමක් නැත. ඒ සඳහා කිසිවෙක් ගොවියා බල ගන්වන බව පෙනෙන්නට ද නැත. මෙය ද කනගාටුවට කරුණකි. අප සියලු දෙනා දන්නා කරුණක් නම් ඉක්මනින් නරක්වන සුලු එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය 40% කි. මෙය දීර්ඝ කාලයක සිට මෙලෙසම පවතී. රසායනික යෙදවුම් හරහා අප ගොවිපොළෙන් ලබා ගන්නා ඉහළ අස්වැන්නෙන් 40% ක් ම සැපයුම් දාමය හරහා විනාශ වන විට අප පරිභෝජනයට ගනුයේ 60% කි. නිෂ්පාදනය වැඩි වන විට වෙළෙඳ පොළෙහි නිෂ්පාදනයට ඇති මිල අඩු නිසාම පාරිභෝගිකයා වැඩි වශයෙන් මිලදී ගන්නට පෙලඹෙයි. ඒ පාරිභෝජනය අඩු නිසා ඒ හරහා පසු අස්වනු හානිය ද වැඩිවන බව සැබෑය.

එහෙත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය හරහා නිෂ්පාදනය වන දේ ඉතා ඉහළ ගුණාත්මයකින් යුක්ත සේම පරිභෝජනයට ඉතාම සුදුසු හා ආරක්ෂාකාරී වෙයි. කාබනික කෘෂිකර්මයට අවතිර්ණයේදී සිදුවන අඩු අස්වැන්න නිසා වෙළෙඳපොළ මිල වැඩිවිය හැකිය. එවිට පාරිභෝගිකයා වගකීමෙන් හා පරෙස්සමෙන් තම ආහාර තමාට අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගැනීමට පෙලඹෙන නිසා ඒ හරහා නිෂ්පාදකයා, වෙළෙන්දා මෙන්ම පරිභෝගිකයා ද අස්වනු හානියට දායක වීම සිදුනොවෙයි. කාබනික කෘෂි නිෂ්පාදනයන් ප්‍රචලිත කිරීමට සහ සාධනීය පල නෙළා ගැනීමට නම් නොයෙක් ක්ෂේත්‍රවල සිටින පර්යේෂකයන් එකතු වී කරන පර්යේෂණයක් ලෙස මෙය සිදු කළ යුතුයි.

විශේෂයෙන් පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත්විට අපි කළ යුත්තේ මේ සම්බන්ධයෙන් විද්‍යාර්ථයන් බිහි කිරීමට පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා මේ විෂය පථය පුළුල් කිරීමයි. එමෙන්ම මේ සියලු දේ පස්සට හැරෙව්වත් මේ සම්බන්ධයෙන් කතිකාව පස්සට හැරවීමට නොහැකි වන්නේ ජනාධිපතිවරයා මෙ සම්බන්ධයෙන් සිටිනු ලබන තිර තීන්දුව නිසාවෙනි. යම් යහපත් දෙයක් ක්‍රියාත්මක කිරිමේදී එයට බහුතරයකගේ සහාය නොලැබෙයි. රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අලසකම් සහ නොසලකා හැරිම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම ප්‍රමාදයට හේතුවෙයි. පිටරටින් පොහොර අපට අනවශ්‍ය වෙයි. අපට අවශ්‍ය සියලු දේ අපේ පරිසරයේම නිපදවා ගනිමින් මේ පාරිසරික ක්‍රියාවලිය කිරීමට හැකියාවක් ඇත. මේ ක්‍රියාදාමයේදී ඉහළම සිට පහළම ස්ථරය දක්වා මේ වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතුය.

Comments