රටටම බල­පාන තෙල් - පොහොර ගැට­ලු­ව | සිළුමිණ

රටටම බල­පාන තෙල් - පොහොර ගැට­ලු­ව

 

තුරු මැද පළාත ඇතුළු රටේ දිස්ත්‍රික්ක 12 ක පමණ වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් දිනෙන් දින වැඩිවෙමින් පැවැතීමත් සමඟ ඊට හේතුවන බවට හඳුනාගත් කෘෂි රසායනික මෙරටට ගෙන්වීම සඳහා තහනමක් පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පියවර ගත්තේ මෙරට ජනතාවත් රටේ පරිසරයත් සුරැකීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. ඊට අමතරව රසායනික පොහොර හා රසායනික වල්නාශක, කෘමිනාශක පිටරටින් ගෙන්වීම සඳහා මෙන් ම පොහොර සහනාධාරය සඳහාත් වියදම් වූ කෝටි 12000 ක පමණ මුදලක් මෙරට රඳවාගෙන ඒවා ගොවි ජනතාව වෙත ලබාදීම ද මෙම සුවිශේෂී උත්සාහයේ අපේක්ෂාවක් විය.

 

ඒ රසායනික ද්‍රව්‍ය නැති කාබනික කෘෂිකර්ම වැඩපිළිවෙළ ව්‍යාප්ත කිරීමට ජනපති අගමැති හා කැබිනට් මණ්ඩලය එක්වී කටයුතු කළත් කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශවල ඇතැම් නිලධාරීන් හා ඊට අදාළ දෙපාර්තමේන්තුවල ඇතැම් පළාත් නිලධාරීන් මෙන් ම ඇතැම් ප්‍රාදේශීය නිලධාරීන් ද මෙම වැඩපිළිවෙළට උපරිම සහයෝගයක් දැක්වූයේ නැත. ඒ නිසා මෙවර මහ කන්නය තුළදී රටට අවශ්‍ය තරම් කාබනික පොහොර හා කාබනික කෘමිනාශක හා වල්නාශක නිපැයුම දිරිමත් කිරීමේ වැඩපිළිවෙළ අපේක්ෂා කළ තරම් සාර්ථක නොවීය. එබැවින් ජනපතිගේ අපේක්ෂා මේ මහ කන්නයේදී ඉටු කරගැනීමට අපහසු වන තත්ත්වයක් පෙනෙන්නට තිබිණි.

විශාල ලෙස කාබනික පොහොර නිපදවීම ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සහ ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන් සිදු කරගෙන ගියත් ගමේ සාමාන්‍ය ගොවි ජනතාව ඒ සඳහා යොමු කිරීමේ හා දිරිගැන්වීමේ නිසි වැඩපිළිවෙළක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීය.

පසුගිය දිනවල පැවැති ගංවතුර හා අධික වැසි නිසා රටට පරිසරයට හිතැති අය නිපදවූ කාබනික පොහොර ප්‍රමාණයත් විනාශ වී ගියේය. ඊට අමතරව අවස්ථාවාදී ඇතැම් දේශපාලනඥයන් අහිංසක ගොවි ජනතාව තම දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට උපයෝගි කරගත්තේ නගර ගණනාවක උද්ඝෝෂණ සංවිධානය කරමිනි.

මෙවන් තත්ත්වයක් යටතේ මහජනතාවට තම කෘෂිකාර්මික කටයුතු ගැටලුවක් නැතිව කරගෙන යාමට රජය දැන් තිරසර තීරණ කීපයකට එළැඹී තිබේ. ඒ අනුව පෞද්ගලික අංශයට පමණක් ඉල්ලන අයට ලබාදීම සඳහා පමණක් රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක යළි මෙරටට ගෙන්වීමට අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කරන්නේ ගොවි ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් මෙලෙස රසායනික පොහොර මෙරට ගෙන්වීමට යළි අවස්ථාව ලබා දුන් නමුත් රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මය පමණක් බවයි. ඒ සමඟම රජය ලබා දෙන සියලු කෘෂිකර්ම සහනාධාර මින් පසුව ලැබෙන්නේ හරිත - කාබනික කෘෂිකර්මය අනුව වගා කරන ගොවීන්ට පමණක් බවත් ඔහු අවධාරණය කරයි. ඒ අනුව පොහොර සහනාධාරය, නොමිලේ බිත්තර වී ලබාදීම, නව කෘෂි තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුම ලබාදීම හා සහතික මිලට වී මිලදී ගැනීම යන ප්‍රතිලාභ ද මින් පසු ලැබෙන්නේ හරිත කෘෂිකර්මය අනුගමනය කරන ගොවීන්ට පමණක් බව ද ඇමැතිවරයා කියයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ද අවධාරණය කරන්නේ රජය ඉදිරියටත් අනුගමනය කරන කෘෂිකර්මික ප්‍රතිපත්තිය වන්නේ රටේ ජනතාවත් පරිසරයත් සුරකින හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය පමණක් බවයි. ඉදිරි කෘෂි ක්ෂේත්‍රයේ සියලුම සහනාධාර ලබාදෙන්නේ හරිත කෘෂිකර්මයේ යෙදුණු කාබනික ගොවීන්ට පමණක් බවත් මෙවර මහ කන්නයේ සිදුවූ කාබනික ක්‍රමයේ අඩු පාඩු සාදාගෙන ලබන යල කන්නයට සූදානම් විය යුතු බව ද ජනපති අවධාරණය කරයි. මේ සඳහා ගොවීන් නිසි පරිදි දැනුම්වත් කිරීම කළ යුතුය. එමෙන් ම ඒ ක්‍රියාත්මක කිරීමේ දී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳව හඳුනාගත යුතු ය. ඒ මාෆියාව සමඟ සටන් වැද නිවැරැදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. හිතට එකඟව වැඩකරන කණ්ඩායමක සහාය එම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ පසුගිය සඳුදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත කේ ජයසිංහ පැවසූයේ මහ කන්නයේ වී වගාව, බඩඉරිගු හා එළවළු සඳහා ද වැවිලි භෝග සඳහා ද අවශ්‍ය ශාක පෝෂක හා ශාක ආරක්ෂිත පොහොර මෙරටට ගෙන්වීමට අවසර ලැබී ඇති බවයි.

නොවැම්බර් 22 සිදුවූයේ මෙම ක්‍රියාදාමයට වෙනස් ක්‍රියාවලියකි. ඒ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නමින් අලුත් ගැසට් පත්‍රයක් නිකුත් වීමයි. එහි සඳහන් වූයේ 2014 දෙසැම්බර් 22 වැනි දින ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබොෆියුරාන්, කාබරිල් හා ක්ලෝෆයිරිපොස් නැමැති කෘමිනාශක තහනම් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන බවයි.

එම ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟම පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා අවසර නැතිව නොදන්වා කළ එම ක්‍රියාව නිසා එම තනතුරින් ඉවත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

එසේ වුවත් මේ පිළිබඳ කරුණු දැක්වූ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් පැවසූයේ මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සිදු කර ඇත්තේ තම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා නීති කැටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව බවයි.

මෙහිදී සිදුවී ඇත්තේ 2018 නිකුත් කළ යුතුව තිබූ ගැසට් පත්‍රයක් යම් යම් දෙපාර්තමේන්තුවල හා රාජ්‍ය ආයතනවල ප්‍රමාද වීම් නිසා පසුගිය 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීම බව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය පවසයි. මෙහිදී 2021 නොවැම්බර් 22 දින නිකුත් කළ ගැසට් පත්‍රය මඟින් 2014 දෙසැම්බර් 22 දිනැති 1894/4 දරන ගැසට් පත්‍රය අවලංගු කිරීම සිදු කළේ 2016 දෙසැම්බර් 28 දින අංක 1999/33 දරන ගැසට් පත්‍රය අනුව හා 2018 අගෝස්තු 13 වැනි දින නිකුත් කළ අංක 2089/37 යන ගැසට් පත්‍රය නිසා සිදු වූ තාක්ෂණික ගැටලු ඉවත් කිරීමක් සඳහා බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය පවසයි.

මෙය 2018 පැවැති රජයේ කැබිනට් මණ්ඩලයේ හා පළිබෝධ නාශක තාක්ෂණික උපදේශක කමිටුවේ අනුමැතිය ඇතිව ගත් තීරණයක් බවත් එය අඩංගු ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ප්‍රමාද වීමෙන් පසුව බවත් මෙහිදී තමා වැරැද්දක් කර නොමැති බවත් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා පවසයි. ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසන්නේ 2014 දෙසැම්බර් 22 දිනැති ගැසට් පත්‍රය අවලංගු කරමින් 2021 නොවැම්බර් 22 නිකුත් කළ අංක 2255/5 දරන නව ගැසට් පත්‍ර නිවේදනය අනුව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා කර ඇත්තේ මුලින් තහනම් කළ පළිබෝධ නාශක මෙරට ගෙන ඒම සඳහා ලබාදුන් අවසරයක් නොවන බවයි.

2014 දෙසැම්බර් 22 දිනැති ගැසට් පත්‍රය මඟින් එකල පැවැති පොදු පෙරමුණු රජය මුලින්ම සිදු කර ඇත්තේ ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන පළිබෝධ නාශක අපේ රට තුළ විකිණීම හා භාවිතය තහනම් කිරීමයි. ඊට පසු 2016 දෙසැම්බර් 28 දින කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් අඩංගු පළිබෝධ නාශක පමණක් මෙරටට ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර අවලංගු කරනු ලැබීය. ඊට පසු 2018 ඔක්තෝබර් 02 වැනි දින අංක 2019/13 දරන ගැසට් පත්‍රය මඟින් ග්ලයිෆොසෙට් වල්නාශකය පමණක් තේ, රබර් වගාවන් සඳහා සීමා කිරීමට අනුමැතිය ලබාදී තිබේ. මෙහිදී ප්‍රොපනිල්වල තහනම 2016 දී ඉවත් කර තිබේ.

මේ අනුව 2021 නොවැම්බර් 22 දින නිකුත් කර ඇත්තේ 2018 ඔක්තෝබර් මාසයේදී නිකුත් කළ යුතුව තිබූ රජයේ යම් යම් දෙපාර්තමේන්තුවල ප්‍රමාදය නිසා නිකුත් කිරීමට කල් ගිය ගැසට් පත්‍රයක් බව ද එම සංගමය පෙන්වා දෙයි.

මේ අනුව වත්මන් රජයට ඇතැමුන් අභූත චෝදනා කළත් ඇත්තටම පරිසරයට අහිතකර විෂ රසායනික 2 ක් වන ග්ලයිෆොසෙට් හා ප්‍රොපනිල් තහනම ඉවත් කර ඇත්තේ 2016 හා 2018 දී යහපාලන රජයෙන් බව මේ කරුණු අනුව පැහැදිලිව පෙනී යයි. කෙසේ නමුත් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ගේ උපදෙස් පරිදි නිකුත් කළ අලුත්ම ගැසට් පත්‍රය අනුව දැන් ඉහත පළිබෝධ නාශක 5 ම තහනම් ඒවා ලෙස නම්කර ඇත.

 

Comments