
ඉකුත් 23 වැනිදාට නැඟෙනහිර ක්ෂිතිජයෙන් හිරු උදා වූයේ තවත් දවසක උදාව සනිටුහන් කරමිනි. එදින නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමල වැසියන්ට පමණක් නොව මුළුමහත් රටවැසියාගේ ම හද කම්පා කරවන අඳුරු දිනයක් වේ යැයි කිසිවකු නොසිතන්නට ඇත. එහෙත් එදින කිසිවෙක් කිසි ලෙසකින්වත් නොපැතූ ඛේදවාචකයකින් ත්‍රිකුණාමලයේ, කුරුන්චන්කර්නිහි මල් කැකුළු වන් දරුවන් සිවුදෙනකුගේ ජීවිත ඇතුළු මිනිස් ජීවිත හයක් මේ වන විට මෙලොව හැර ගොස් අවසන්ය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි කින්නියා කළපුවෙන් දෙපස කින්නියා ප්‍රදේශය කින්නියා නගර සභාවටත්, කුරුන්චන්කර්නි ප්‍රදේශය කින්නියා ප්‍රාදේශීය සභාවටත් අයත් විය. කුරුන්චන්කර්නි ජනයා 23 වැනිදා දිනය උදාවත් සමඟ කඩි ගුලක් ඇවිසුණාක් මෙන් කඩිමුඩියේ තම දෛනික රාජකාරි සඳහා මුල පුරමින් සිටියේ ය. ඇතැම් කුඩා දරුවන් මාස හතකට අධික කාලයකට පසු පාසල් යන පළමු දිනයද උදාවී තිබුණේ එදින ය.
කුරුන්චන්කර්නිහි ජනයා තම දෛනික කටයුතු සඳහා වසර හයක පමණ සිට මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වී තිබුණේ කින්නියා කළපුව තරණය කරමින් කින්නියා ප්‍රදේශයට යෑමට පහසු මඟක් නොමැති වීමයි. මීටර් දෙසීයක් පමණ වන කින්නියා කළපුව තරණයට ඇති මාර්ගයේ කුරුන්චන්කර්නිහි වූ 1977 දී පමණ ඉදිකර ඇති පාලම් තුන ඉවුරු සෝදා පාළුවට ලක්වීමෙන් කැඩී ගොස් තිබුණේ මීට වසර හයකට පමණ පෙරදීයි.
එම නිසා එහි ජනයා කින්නියා කළපුව තරණය සඳහා පසුගිය කාලය පුරාවට භාවිතකර තිබුණේ පාලම් පාරු දෙකකි. කින්නියාවට යාමට වෙනත් මාර්ගයක් තිබුණත් එය කිලෝමීටර් හතරක පමණ දුරකින් යුත් ගමනක් වූ නිසාවෙන් ජනතාව එම මාර්ගය භාවිතයට මැළිකමක් දැක්වූහ.
පාලම් පාරු දෙක කින්නියා කළපුව තරණයට යොදවා තිබුණේ කින්නියා නගර සභාව මඟිනි. එකවර 20 දෙනෙකු පමණ ගමන් කළ හැකි ඒ පාරුවක ඊට වඩා වැඩි පිරිස් සමඟ පාපැදි, යතුරුපැදි පමණක් නොව ත්‍රීරෝද රථද පටවාගෙන යෑම පසුගිය කාලයේ සුලබ දසුනක් විය.
![]() |
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියා නිවෙසට විරෝධතාකරුවන් අලාභහානි කර තිබූ ආකාරය |
පාලම් පාරුව මඟින් පාසල් දරුවන් නොමිලේ ප්‍රවාහනයට කොන්දේසියක් යොදා තිබුණත් වැඩිහිටියකුගෙන් රුපියල් 30ක්ද; ඊට අමතරව පාපැදියක් රැගෙන යාමට රුපියල් 20ක් ද යතුරුපැදියකට රුපියල් 30ක් සහ ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 50ක්ද අයකර තිබිණි. සමගි ජන බලවේගයේ පාර්ශ්වකරුවකු වන මුස්ලිම් කොංග්‍රසයේ පාලනය යටතේ පවත්නා කින්නියා නගර සභාවේ සභාපතිවරයා එස්. එච්. එම්. නලීම්ය. ඔහු මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ්ගේ මස්සිනාය. පාලම් පාරු දෙක ඔස්සේ ජනයා ප්‍රවාහනයට සභාපතිවරයා විසින් අවසර පත්‍රයක් නිකුත්කර තිබුණේ එම්. ඒ. එම්. රියාස් නමැත්තකුටයි. ඔහුද මුස්ලිම් කොංග්‍රසයේ දැඩි හිතෛෂිවන්තයෙකි.
එලෙස මුදල් අය කරමින් ප්‍රවාහන පහසුකම් සැලැසුවත් එම පාලම් පාරුවන්හි ප්‍රමිතිය සහ ආරක්ෂාව පිළිබඳව ඊට අනුමැතිය දුන් වගකිවයුත්තන් ඇතුළු කිසිවෙක් එතරම් උනන්දුවක් දක්වා තිබුණේ නැත.
23 වැනිදා පාසල් ගමනට සැරැසුණු සකිලා, ෆාතිමා, පාසිම්, සාහිරා ඇතුළු දූ දරුවන්ගේ සිත් සතුටින් පිරී ගොස් තිබුණේ කලෙකින් පාසල් යාමට දිනය උදාවී තිබූ හෙයිනි.
ඔවුන් සිය මවුපියන් ඇතුළු වැඩිහිටියන් සමඟ කින්නියා කළපුව තරණයට පැමිණියේ පාලම් පාරුව නතර කරන කළපු ඉවුරටයි. එහෙත් ඒ වන විට එහි පාරුව නොවීය. අලුයම හය, හතේ සිට එක්රොක් වූ පිරිස පැමිණි පාරුවට ගොඩවන්නට වූයේ හැකි ඉක්මනින් ගමනාන්තයට ළඟාවීමේ අරමුණෙනි. පාරුවේ 20 දෙනෙකුට පමණක් යාමට ඉඩකඩ වූවත් තිහකට ආසන්න පිරිසක් පාරුවට නංවා ගත්තේ එහි ක්‍රියාකරුවන් ආරක්ෂාවට වඩා මුදල් ගැන පමණක්ම සිතමින් ජනයා ඊට නංවාගත් හෙයිනි.
පැරැණි ඔරු තුනක් එක්කොට බැරල් මත ලෑලි යොදා නිසි ප්‍රමිතියකින් තොරව සාදා තිබූ පාරුවෙහි දෙපස යකඩ කේබල් ඇද තිබිණි. කුරුන්චන්කර්නි කළපු ඉවුරේ සිට කින්නියා බලා පාරුව ගමන් ඇරැඹිණි. ගමන් කිරීමට හැකි වූයේ මීටර් 50ක් පමණ දුරක් පමණි. වේලාව පෙරවරු 7.30ට පමණ ඇත.
එක්වරම යකඩ කේබලයක් කැඩී යෑමෙන් පාරුවේ ලෑලි කඩා වැටීමත් සමඟ පාරුවේ සමබරතාව බිඳිණි. සිදු වූයේ ඛේදවාචකයකි. පාරුව පෙරළීමත් සමඟ එහි සිටි සැවොම කළපුවට වැටුණේ තත්පර කිහිපයක් ඇතුළතයි. කුඩා දරුවන්, වැඩිහිටියන් ඇතුළු සැවොම විලාප දුන්නේ මර බියෙනි. පිහිනීමට හැකි අයවලුන් පිහිනා ගොඩට ආවත් බොහෝ පිරිසක් කළපුවෙහි ගිලුණි. කළපුවෙහි ගිලෙමින් සිටි පිරිසේ විලාපයත් සමඟ එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ තරුණයන්, නාවික හමුදා කිමිඳුම් භටයන් සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් ක්ෂණිකවම ක්‍රියාත්මක වී බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වූහ. එම පිරිස විසින් ගොඩට ගත් පිරිස 20ක් පමණ විය. ඒ අතර සිටි හයදෙනෙකුගේ ජීවිත ඒ වන විටත් මෙලොව හැර ගොස් තිබුණේ අවාසනාවන්ත ලෙසිනි.
දිවි ගලවාගත් 26 දෙනෙකු පමණ කින්නියා මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අතර ගැහැනු දරුවන් 6 දෙනෙකුද පිරිමි දරුවන් 6 දෙනෙකු ද වූහ. වැඩිහිටි පිරිමි සහ කාන්තාවන් 8 දෙනෙක් විය. එම පිරිස අතර සිටි වයස අවරුදු 6ක දැරියක් ත්‍රිකුණාමලය මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් තවත් දරුවෙක් කිලිනොච්චි රෝහලටත් ඇතුළත් කෙරුණේ බරපතළ තත්ත්වයෙන් පසුවූ හෙයිනි.
කෙසේ හෝ සිදුවීම වී පැය හත අටක පමණ කාලයක් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් අටක සාමාජිකයන් 50 දෙනෙකු පමණ යොදවා කළපුවේ සෑම තැනෙකම පාහේ නිරීක්ෂණය කරමින් තවත් කළපුවේ ගිළුණු අය සිටියේද යන්න සොයා බැලීමටද කටයුතු කෙරිණි.
![]() |
අත්අඩංගුවට ගත් සභාපතිවරයා |
රටම කැලඹු කින්නියා කළපුවේ පාලම් පාරුවේ ඛේදවාචකයෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූවන් අතර කින්නියාහි අල් අෂ්රොප් විද්‍යාලයේ ගුරුවරියක වූ 32 හැවිරිදි සේගු සබ්රියා සහ ඇගේ දරුවන් දෙදෙනා වූ 3 හැවිරිදි සේගු සාහිරා දියණියත් 6 හැවිරිදි ෆරිඩ් පාසිම් පුතු ද විය. ඊට අමතරව එකම පවුලේ සහෝදරියන් වූ 8 හැවිරිදි එව් සරීන් සහ 6 හැවිරිදි සකිලා ෆතිමා ද වූවාය. තවද මියගියවුන් අතර 70 හැවිරිදි ෂහාබ්දුල් සාගර් අබ්දුල් කාදර් ද විය.
එම ඛේදනීය සිදුවීමත් සමඟ කුපිත වූ කින්නියා සහ කුරුන්චන්කර්නි ජනයා දැඩි විරෝධයක් දක්වන්නට වූයේ පාලම කඩිනමින් ඉදි නොකිරීම සහ පාලම් පාරුවේ ප්‍රමිතියක් නොමැති වීම මෙකී ඛේදවාචකයට හේතු වූ බව සඳහන් කරමිනි. ඒ පිළිබඳව ප්‍රදේශවාසියෙක් දැඩි ආවේගයෙන් සඳහන් කරන්නට වූයේ,
"අපි කාලෙක ඉඳන්ම බැරල්වලින් හදපු ඒ අනාරක්ෂිත පාරුවෙන් ගමන් කරන්න බැහැ කියලා කිව්වා. ඒ පාරුවේ කිසිම ප්‍රමිතියක් නෑ කියලා දිගින් දිගටම සෑම බලධාරියකුටම කිව්වා. ඔය පාරුව මීට පෙරත් වරක් පෙරළෙන්න ගියා... මෙතැන වුණේ තනිකරම බිස්නස් එකක්... මේ පාරුව මිනිස්සු ප්‍රවාහනයට අනුමත කරපු නගර සභාවයි මේ වෙච්ච ඛේදවාචකයට වගකිවයුත්තෙ..."
විරෝධතා දැක්වූ දහසකට ආසන්න පිරිස් එදින දහවල් වෙද්දී කින්නියා නගරයට පැමිණ කින්නියා - කොළඹ මාර්ගයේ බුහාරි හංදියට පැමිණ මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සමින් දැඩි විරෝධතාවක නිරත වූයේ අදාළ පාලම කඩිනමින් ඉදිකර දෙන ලෙස බල කරමිනි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකි. එකී මන්ත්‍රීවරුන් අතරින් එම්. එස්. තවුෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙකී පාලමෙහි මුල්ගල තැබීමට මූලික වූ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා විය. ඔහු මුල්ගල තැබීමට පමණක් පැමිණි අයෙක් බව පවසමින් විරෝධතා දැක්වූවන් ඔහුගේ නම කියමින් දැඩි විරෝධයක් පෑහ. අනතුරුව විරෝධතාකරුවන් කින්නියා නගරයේ පිහිටි මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවෙසට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ නිවෙසෙහි ගේට්ටුවද ගලවා දමා දොර ජනෙල් රැසක්ම කුඩුපට්ටම් කරමිනි. එම දර්ශන නිවෙසේ සීසීටීවි කැමරාවකද මනාව සටහන් වී තිබිණි. ඒ මොහොතේ මන්ත්‍රීවරයා හෝ කිසිවෙක් නිවෙසේ නොසිටි බවත් වාර්තා වේ.
1977 වසරේදී පමණ හිටපු ප්‍රවෘත්ති ඇමැතිවරයකු වූ අබ්දුල් මජිඩ්ගේ මූලිකත්වයෙන් ඉදිකර තිබූ කුරුන්චන්කර්නි පැරැණි පාලම් ඉවුර ඛාදනය වීම නිසා කැඩීබිඳි යාමෙන් නව පාලම් තුනක් ඉදිකිරීමට ඉකුත් යහපාලන රජය සමයේදී අදියර කීපයක් ඔස්සේ වැඩ කටයුතු ඇරැඹුණත් එම කටයුතු අතරමඟ ඇණහිට තිබේ. එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය එම පාලම් නැවත ඉදිකිරීම සඳහා ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා මුල්ගල් තබා තිබුණේ නිමල් ලන්සා රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මීටර් 120ක් දිගින් යුක්තව අදියර තුනක් යටතේ එම පාලම් ව්‍යාපෘතිය සඳහා මිලියන 750ක් වැය වන බවටද ඇස්තමේන්තු කර තිබිණි. එහෙත් එම වැඩ කටයුතුද යන්ත්‍රසූත්‍ර කිහිපයක් එම ස්ථානයට ගෙන ගොස් දමා ඇරැඹියත් ඉදිකිරීම් සිදුවී ඇත්තේ ඉබි ගමනේයි.
මේ පිළිබඳව ඉකුත් 23 සහ 24 වැනිදා දිනවල පාර්ලිමේන්තුවේදීද කතාබහක් ඇති විය. එහිදී විපක්ෂය මෙකී ඛේදවාචකයේ වගකීම රජය වෙත පවරන්නට තැත් කළත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලන්සා ඊට පිළිතුරු දුන්නේ සවිස්තර තොරතුරු ද සමඟිනි
"මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිත කිරීමට අවසර දීලා තිබෙන්නෙ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නියා නගර සභාව මගින්. එම නිසා මේ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාවූ කින්නියා නගර සභාවේ සභාපතිවරයා. මෙම කළපුවේ පාරු සේවයක් ආරම්භ කිරීමට රජය කිසිම අවසරයක් දීලා නෑ. කළපුවේ පාලමක් ඉදිකිරීමට තමා පසුගිය කාලයේදී මුල්ගල තැබුවට එය ආප්ප පුච්චන්නා සේ ඉදිකළ නොහැකියි. සාමාන්‍යයෙන් කලපුවක් මැද පාලමක් ඉදිකිරීමේදී කළ යුතු විශාල වැඩ කොටසක් තියෙනවා. අපේ රජය පාලම ඉතාම ඉක්මනින් ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කී ඇමැතිවරයා ඒ වගේම ඉම්රාන් මන්ත්‍රීවරයා ජනතාව නොමඟ යවලා. ඔවුන් මෙය බිස්නස් එකක් කරගෙන. තවුෆික් මන්ත්‍රීවරයා තමයි පාලම හදන්නත් අපෙන් ඉල්ලීමක් කළේ..."
කුරුන්චන්කර්නි පාලම ඉදිකරන තෙක් එහි ජනයාට තාවකාලිකව භාවිත කිරීම සඳහා අතුරු මාර්ගයක්ද රජය විසින් ඉදිකර දී තිබිණි. එය කිලෝමීටර් හතරක දුරකින් යුත් මාර්ගයකි. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාද මෙකී ඛේදවාචකය පිළිබඳ ව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ,
"මේ අපරාධයට සම්බන්ධ සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මම ඒ බව පොලිස්පතිතුමාටත් කතා කරලා කීවා. මේ පාරු සේවයට අවසර දුන්නෙ කොහොමද නීත්‍යානුකූල භාවය මොකක්ද කියලා වහාම පරීක්ෂණයක් කර සොයා බලන්න කියා. පාරු සේවය යොදවලා තියෙන්නෙ කින්නියා නගර සභාව මඟින්. මේ පිළිබඳව සොයන ලෙස මම ආණ්ඩුකාරවරියටත් දැනුම් දුන්නා. ඇත්තටම මමනම් දකින්නෙ මෙය මිනීමැරුමක් ලෙසටයි... පහුගිය යහපාලන රජය සමයේ එම පාලම ඉදිකිරීමට කටයුතු කර තිබුණේ ඇස්තමේන්තු නොකර ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි."
මේ අතර පාලම් පාරුව පෙරළීමෙන්වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් එදිනම පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන්ට නියෝග කෙරිණි. ඒ අනුව කඩිනමින් අදාළ පරීක්ෂණය පවත්වා පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදු කළේද යන්න ගැන වහාම තමාව දැනුවත් කරන ලෙස ද ආණ්ඩුකාරවරිය දන්වා තිබුණාය.
ඊට අමතරව ආණ්ඩුකාරවරිය විසින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙසට ත්‍රිකුණාමලය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකටද උපදෙස් දී තිබුණාය. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ත්‍රිකුණාමලය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් කින්නියා පොලිසිය විසින් විමර්ශනයක් සිදු කෙරිණි.
එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය 24 වැනිදා දින එම ඛේදවාචකයට අදාළ ව වයස අවුරුදු 35, 40 සහ 53 හැවිරිදි වියේ පසුවන පෙරියාතමුණ සහ කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිණි.
ඒ අනුව අත්අඩංගුවට ගැනුණේ පාරුවේ අයිතිකරු සහ පාරුව මෙහෙයවූ තැනැත්තාට අමතරව පාරුවේ මඟින්ගෙන් මුදල් ලබාගත් තැනැත්තාය. අයිතිකරු සහ පාරුව මෙහෙයවූ තැනැත්තා ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියට පැමිණ බාර විය. මුදල් ලබාගත් තැනැත්තා කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබා පිටව යද්දී කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට පත් තිදෙනා කින්නියා පොලිසිය විසින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දෙසැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඉකුත් බ්‍රහස්පතින්දා දින පාරුවට අවසර දුන් කින්නියා නගර සභාවේ සභාපති 59 හැවිරිදි ෂාවුල් හමීඩ් මොහොමඩ් නලීම්ද කින්නියා පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනිණි. එදිනම ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සභාපතිවරයා ලබන දෙසැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත් අබ්දුල් පයාස් රාසික් නියෝග කෙරිණි.
ඉකුත් 24 වැනිදා කුරුන්චන්කර්නි ජනයාට කින්නියා දක්වා ගමන් කිරීමට ලංගම බස් රථයක් යෙදවිණි. එහෙත් එම බස් රථයට ජනතා විරෝධය ද එල්ල වූ අතර එහෙත් පසුව එය ධාවනයට ඉඩකඩ විවර විය. මේ අතර ඉකුත් 25 වැනිදා කින්නියා කළපුව තරණය කරමින් විනාඩි ගණනකින් කින්නියා නගරයට යාම සඳහා 20 දෙනකුට යා හැකි බෝට්ටුවක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි. ඊට කාර්ය මණ්ඩලය පස්දෙනකු අයත් බවත් ඉන් දෙදෙනකු ජීවිතාරක්ෂක භටයන් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා සිළුමිණට කීය.
ඉකුත් 23 වැනිදා හිරු නැඟ එද්දී මල් කැකුළු සේ සිනාසෙමින් පාසල් ගිය දරුවන් සිවුදෙනා ඇතුළු මියගිය සයදෙනාගේ දේහයන් එදින මළහිරු බැස යන සන්ධ්‍යාවේදී පෙරියකින්නියා සුසාන භූමියේදී මිහිදන් කෙරුණේ තවත් ඛේදවාචකයක් පිළිබඳ මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එක්වෙමිනි.