විදු­ලිය හොරා­ගත් මහ­ර­ගම නග­රා­ධි­පති යකා නටපු හැටි | Page 3 | සිළුමිණ

විදු­ලිය හොරා­ගත් මහ­ර­ගම නග­රා­ධි­පති යකා නටපු හැටි

 නගර සභාපති ටිරාජ් විදුලිබල සහ පොලිස් නිලධාරින්ට තර්ජනය කරමින්...
නගර සභාපති ටිරාජ් විදුලිබල සහ පොලිස් නිලධාරින්ට තර්ජනය කරමින්...

 

ටිරාජ් ලක්රුවන් පියරත්න; මහරගම නගර සභාවේ වත්මන් සභාපතිවරයායි. ඔහු තරම් ආන්දෝලනාත්මක චරිතයක් වූ මෑත කාලීන ප්‍රාදේශීය දේශපාලනඥයකු නොමැති තරම්ය.

2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් 'බයිසිකලය' ලකුණින් අංක 2 ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදී පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා පාලන බලයට පත්ව සභාපති පුටුවේ වාඩි වූ ටිරාන් ලක්රුවන්ගේ කල්ක්‍රියාවන් පිළිබඳව මුලින්ම කරළියට ආවේ සභාපතිවරයා ලෙස පත්ව කෙටි කලක් ගෙවී යද්දීමය. ඔහු කෙතරම් සභාපති තනතුර 'ඇඟට' ගෙන සිටියේද යත් තමා හට සැවොම 'සර්' ලෙස ආමන්ත්‍රණය කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.

සැප්තැම්බර්යේදී තම පියා, උපසභාපතිවරයා ලෙස පත්කළ අයුරු

මහරගම නගර සභාවේ මාසික රැස්වීමකදී ජංගම දුරකථනයෙහි 'ඉයර් පෝනය' කනෙහි ගසා සිටීමෙන්ද ඔහු පිළිබඳව වරක් කතාබහට ලක්වූයේ එම ක්‍රියාව මන්ත්‍රීවරුන්ගේද දැඩි දෝෂදර්ශනයට ලක්වෙමිනි. තවද අයාලේ ගිය සුනඛයන්ව අල්ලාගෙන ගොස් ආහාරයක්ද නොමැතිව කනත්තකට ගාල් කිරීම නිසාත්, මහරගම නගර සභාවේ සේවකයන්ට පහර දීම වැනි මෙකී නොකී සිදුවීම් රැසක් ඔස්සේම ඔහු පිළිබඳව පුවත් මැවිණි.

එසේ කරළියට ආ මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් පිළිබඳව ගෙවී ගිය සතියේ නැවත කතාබහක් වූයේ ඔහුගේ පියාට අයත්, ටිරාජ්ද වෙසෙන නිවෙසකට ප්‍රධාන විදුලිබල පද්ධතියෙන් අනවසරයෙන් විදුලිය ලබා ගැනීමක් නිසාවෙනි.

පන්නිපිටිය, මාකුඹුර, ශාන්ති මාවතේ වූ ටිරාජ්ගේ පියා වන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන සුනිල් පියරත්නට අයත් නිවෙසෙහි අවට පරිසරය ආලෝකවත් කිරීම සඳහා එම අනවසර විදුලිය ලබා ගෙන තිබිණි. එම නිවෙසට ලබාගෙන තිබූ ස්ථිර විදුලි රැහැන් පද්ධතියෙන් බැහැරව ප්‍රධාන විදුලිබල පද්ධතියේ කණුවකින් අධි වෝල්ටියතාවෙන් යුත් විදුලි බල්බ දැල්වීම සඳහා එම අනවසර විදුලිය ගෙන තිබුණේය.

එම විදුලි බල්බ සවස් යාමයේ සිට අලුයම් කාලය දක්වා දැඩි ආලෝකයක් විහිදුවා තිබුණේ අවට පරිසරයම දීප්තිමත් කරමිනි. අනවසරයෙන් ලබාගෙන තිබූ එම විදුලි ආලෝක ධාරා අවට වැසියන්ට මහත් හිසරදයක් වී තිබේ. රාත්‍රී කාලයද දහවල් කාලය සේ දීප්තිමත්ව පැවැතීම අවට වැසියන්ගේ නින්දටද මහත් බාධාවක්ව පැවැතිණි.

පසුගිය දින කීපය පුරාම වූ එම විදුලි ආලෝකය පිළිබඳව උනන්දු වූ අවට වැසියන්ට දැකගැනීමට ලැබී ඇත්තේ එය අනවසරයෙන් ලබාගත් විදුලිබල රැහැන් මඟින් ක්‍රියාත්මක වන බවයි. පැය 12ක පමණ කාලයක් පමණ එක දිගට දැල්වෙන එම විදුලි බල්බ නිසාවෙන් ජාතික විදුලි බල පද්ධතියටද සිදුව තිබුණේ විශාල අපරාධයක් බව අවට වැසියන්ටද ඒත්තු ගොස් තිබිණි.

ඒ අනුව ඒ පිළිබඳව හෝමාගම පොලිසිය සහ අනවසර විදුලිය ලබා ගැනීම් පිළිබඳව රටපුරා වැටලීම් සිදුකරන ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කිරීමට අවට පිරිස් කටයුතු කළහ. තොරතුර ලද සැණින් හෝමාගම පොලිසිය සහ විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකක නිලධාරිහු ඉකුත් 23 වැනිදා සන්ධ්‍යාවේ අදාළ නිවෙස සොයා ගියහ.

ඒ වන විට නිවෙසෙහි මහරගම නගර සභාපති ටිරාජ් සහ ඔහුගේ පියා වන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වත්මනෙහි මහරගම නගර සභාවේ උප සභාපති සුනිල් පියරත්න ද විය.

 සභාපතිවරයාට එරෙහිව නාගරික මන්ත්‍රීවරුන් සභා ගැබ තුළදී විරෝධය දක්වමින්

ඒ මොහොතේ රාජ්‍ය නිලධාරින්ට මරණීය තර්ජනද එල්ල කරමින් සභාපතිවරයා දැඩි විරෝධයක් පෑවේ, "මේවා මගේ වරප්‍රසාද... ලයිට් එකක් දාගන්න බැරිද මට... මේවා සභාපති හැටියට මගේ වරප්‍රසාද... අපි සාධාරණ මිනිස්සු... මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක්. සභාපතිවරයා වශයෙන් මට හිමි වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා.

ඒ අනුව මට හිමි වරප්‍රසාද අනුවයි මම කටයුතු සිදු කළේ. කෙසේ හෝ දිගින් දිගටම මම කරන දේවල් දරාගන්න බැරි පිරිසක් සිටිනවා" යැයි සභාපතිවරයා ආවේගශීලි ස්වරයෙන් පවසන්නට විය.

ඔහු එසේ පැවැසුවද නගරාධිපතිවරයා සහ උප සභාපතිවරයා සිදුකර තිබුණේ නම් නීති විරෝධි ක්‍රියාවකි. තමනට හිමි වරප්‍රසාද යැයි සඳහන් කරමින් දහස් ගණනක් වන රටේ සියලුම ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු මන්ත්‍රීවරුන් අනවසරයෙන් විදුලිය ලබාගැනීමට ගියහොත් එම විදුලියටද බිල ගෙවිය යුත්තේ රටේ සිටින අහිංසක ජනතාවම බව මහජන සේවයට පැමිණි ටිරාජ්ට නොවැටහීම ඔහුගේ තරම කියාපාන්නකි.

අනතුරුව එම නිවෙස හිමි ටිරාජ්ගේ පියා වන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් අත්අඩංගුවට ගෙන ඉකුත් 24 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිණි. අදාළ නඩුව 2022 මැයි 04 වැනිදා නැවත කැඳවීමටද අධිකරණය නියම කළේය.

නිවෙස හිමි සභාපතිවරයාගේ පියා වන සුනිල් පියරත්න වසර 40ක පමණ කාලයක් පොලිස් සේවයේ නිරතව සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස ඉකුත් සැප්තැම්බර් මස 06 වැනිදා විශ්‍රාම ගිය අයෙකි. අනතුරුව සභාපති ටිරාජ් විසින් 'තමාගේ දෑත් ශක්තිමත් කිරීමට' යැයි සඳහන් කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහරගම නගර සභාවේ උප සභාපතිවරයා ලෙස පත් කෙරුණේ ඉකුත් සැප්තැම්බර් මස 24 වැනිදායි.

එම පත් කිරීමට පෙර මහරගම නගර සභාවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළේද ටිරාජ්ගේ සීයා වූ කරෝලිස් රාජපක්ෂයි. කරෝලිස් රාජපක්ෂ පසුගිය අප්‍රේල් මාසයේ මිය ගියේ 86 වැනි වියේ පසුවෙද්දීයි.

පසුගිය 25 වැනිදා පැවැති මහරගම නගර සභාවේ මාසික රැස්වීමේදීද නගර සභාවේ සභාපතිවරයා වංචා සහගත ලෙස සිය නිවසට විදුලිය ලබාගත් බවට සහ නගරසභා අරමුදලින් කෝටි අටක් වංචා කළ බවට චෝදනා කරමින් මන්ත්‍රීවරු ඔහුට විරෝධතාව පළ කළහ.

වර්තමානය වන විට රටේ ජාතික විදුලිබල පද්ධතියට මෙවැනි හොරෙන් විදුලිය ලබා ගැනීමේ පුද්ගලයන් නිසා සිදුව ඇති පාඩුව අතිමහත්ය.

 

Comments