විශ්‍රා­මික වයස ඉහළ දැමීම ගැන විද්වත් මත පෙළගැස්ම | සිළුමිණ

විශ්‍රා­මික වයස ඉහළ දැමීම ගැන විද්වත් මත පෙළගැස්ම

 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් 2022 වසර සඳහා සිය මංගල අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේ මහජනතාවට බරක් නොවන අයවැයක් සකස් කිරීමට තමන් පරෙස්සම් වූ බවයි. අනතුරුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ “රාජ්‍ය සේවයේ බර රජයට තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත්, තවත් රාජ්‍ය සේවයට සහන දීම යනු මහ ජනතාවගෙන් මුදල් අය කිරීමක් බවත්ය”. එනිසා තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බව කී හෙතෙම විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 සිට 65 දක්වා ඉදිරියට සංශෝධය කරන බව ද පැවසීය. මේ ප්‍රකාශය විශ්‍රාමික වයසේ පසුවන රජයේ සේවකයින්ට ගැටලුවක් නොවූවද සමාජ මාධ්‍ය හා විපක්ෂ දේශපාලනඥයන් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේය.

 

ඇත්තෙන්ම මෙරට රාජ්‍ය සේවය පිළිබඳව කතා කිරීමට විපක්ෂයට වඩා අයිතියක් ඇත්තේ වත්මන් ආණ්ඩුවටය. 2005 සිට මේ දක්වා උපාධිධාරීන් මෙන්ම අනෙකුත් පිරිස්ද ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇත්තේ වර්තමානයේ බලය හොබවන දේශපාලන කණ්ඩායමය. එනිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විපක්ෂයට වඩා සුදුසුකමක් ආණ්ඩුවට තිබේ.

1947 අංක 02 දරන ආඥා පනත යටතේ නීතිගත වී ඇති විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සිවිල් විශ්‍රාම වැටුප් නීත්‍යානුකූල විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පත් විය. ඒ අනුව මෙරට විශ‍්‍රාම වයස් සීමාව 55 සීමාව තීරණය වූ අතර, එකල ලංකාවේ ජනතාවගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු හැටත් හැට දෙකත් අතර විය. අද වන විට එම තත්ත්වය සපුරා වෙනස් වී ඇති අතර උපතේදී ආයු අපේක්ෂාව හැත්තෑ පහත් අසූවත් අතර වේ.

එනම් අවුරුදු පනස්පහෙන් විශ්‍රාම යන පුද්ගලයකු තවත් අවුරුදු විස්සක් පමණ ජීවත්වීම සාමාන්‍යය තත්ත්වයක් බවට පත්ව තිබේ. මෙලෙස වැඩි ආයු අපේක්ෂාවක් පැවතීම සතුටට හේතුවක් වුව ද, එය සාමාජීය වශයෙන් සලකා බලනවිට කිසියම් ආකාරයක අර්බුදකාරී තත්ත්වයක්ද වේ. දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන වියපත් ජනගහනය සිටින රට ශ්‍රී ලංකාව වන අතර, 2020 වසර වන විට පුරවැසියන්ගෙන් පහෙන් එකක් ම වයස අවුරුදු හැටට වැඩි අය බව සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙයි. රජයේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත්තේ මේ සියල්ල සැලකිල්ලට ගෙන ය.

මේවනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටට උසුලන්නට හෝ දරන්න බැරි තරම් ප්‍රසාරණය වී ඇත. දිගින් දිගට ම රාජ්‍ය සේවයේ අධික වැටුප් බර අප වැනි දුර්වල ආර්ථිකයක් පවතින රටකට දරාගත නොහැකිය. රාජ්‍ය සේවයට එකතු වන සේවක සංඛ්‍යාව පමණක් නොව රාජ්‍ය සේවයේ වැටුප් තල ද වාර්ෂිකව ඉහළ යයි.

මීට අමතරව වෘත්තීය සමිති අරගල හරහා ද වැටුප් වැඩි කෙරේ. වැටුප් විෂමතා සකස් කිරීම් වශයෙන් ද සිදු වන්නේ වැටුප් තල ඉහළ යාමය. රාජ්‍ය බැංකු සහ රාජ්‍ය ආයතන සේවකයෝ සාමූහික ගිවිසුම් හරහා වසර තුනකට වරක් වැටුප් වැඩිකර ගනිති. මේ සියලු‍ වැඩි වීම් සිදු වන්නේ රජයේ ආදායම් තත්ත්වය දිගින් දිගටම පහළ වැටෙමින් පවතින තත්ත්වයකදී වීම වඩා ගැඹුරින් කල්පනා කර බැලිය යුතු කාරණයකි. මෙලෙස රජයේ සේවකයන්ට හිමිවන කිසිදු ප්‍රතිලාභයක් පුද්ගලික අංශයට හෝ දෛනිකව තම ශ්‍රමය වගුරා උපයා ගන්නා සියයට අසූවකට නොලැබේ. ඒ අනුව මෙම සියයට විස්සකට ආසන්න රජයේ සේවකයන් පිරිස සීයයට අසූවක පමණ පිරිසක් බදු ගෙවමින් නඩත්තු කළ යුතුය.

1999 වසරේදී ලංකාවේ විශ්‍රාම වැටුප් සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන විසිපන්දාහකට අඩුය. 2005 වන විට මෙම අගය රුපියල් මිලියන පනස්දාහ දක්වා වැඩි විය. එනම් පෙරමෙන් දෙගුණයක් විය. 2010 වනවිට රුපියල් මිලියන ලක්ෂයක් දක්වා වැඩි විය. 2015 සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන එක්ලක්ෂ පනස්දාහකි. මේවන විට විශ්‍රාමිකයන් හයලක්ෂ හැටහත්දහස් තුන්සිය අනූහතරක්(6,67,394) සඳහා මසකට ගෙවන මුළු මුදල රුපියල් කෝටි එක්දාස් නවසිය අසූනවයකට (19,888,577,392.65) ආසන්නය. විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වර්ෂයකට වෙන් කරන මුළු මුදල රුපියල් කෝටි විසිහතරදහසකි.

මේ සඳහාම වෙන් කළ වෙනම අරමුදලක් නොමැතිකමින් අප ඉතා අසරණ අඩියකට වැටී ඇත. සාමාන්‍ය ඒකාබද්ධ අරමුදලින් මෙම ගෙවීම් සිදු කරන අතර, මේවනතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අරමුදල් රහිත විශ්‍රාම වැටුප් ක්‍රමය(Non-funded pension scheme)කි. ඒ සඳහාම වෙන් කළ අරමුදලක් පවත්වාගෙන යන්නේ නම් අලුතින් රජයේ සේවකයකු බඳවා ගන්නා විට ඒ සේවකයාගේ වැටුපෙන් කොටසක් හෝ සේවාදායකයාගෙන් කොටසක් එනම් ඊපීඑෆ් ක්‍රමය මෙන් කිසියම් මුදලක් තැන්පත් කළ හැකිය. එවිට එම මුදල් ආයෝජනය කර ලබාගන්නා ආදායම අනුව ඉදිරි කාලයේ විශ්‍රාම වැටුප් ගෙවීම කළ හැකිය. නමුත් මෙම අරමුදල් රහිත විශ්‍රාම වැටුප් ක්‍රමය(Non-funded pension scheme) තවදුරටත් පවත්වාගෙන යාම ඉතාම භයානක තත්ත්වයක් නිර්මාණය කරයි. මෙවැනි තත්ත්වයක් යටතේ ඕනෑම මුදල් අමාත්‍යවරයකුට අයවැය තුලනය කර ගැනීම උභතෝකෝටිකයක් වීම අරුමයක් නොවේ. ඒ අනුව අමාත්‍යවරයා ගෙන ඇත්තේ ජනප්‍රිය නොවන රැඩිකල් තීන්දුවකි.

මෙරට බොහෝ තරුණ තරුණියන් (රැකියා විරහිත උපාධිධාරීන් ද ඇතුළුව) රාජ්‍ය සේවයට ඇතුළු වීමට උත්සාහ ගන්නා ලොකුම “ලොසින්ජරය” විශ්‍රාම වැටුප බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම විශ්‍රාම වැටුපට ලොල් වී අතේ තිබෙන වටිනා පෞද්ගලික අංශ රැකියා පවා අතහැර රාජ්‍ය සේවයට එකතු වීමට බොහෝදෙනා උත්සාහ දරන්නේ එනිසාය. මේ හේතුවෙන් සෑම ප්‍රධාන මැතිවරණයකදීම රාජ්‍ය සේවයේ රැකියා ලබාදෙන බව පවසමින් දේශපාලන නායකයන් විසින් තරුණ තරුණියන්ට ලබා දෙන පොරොන්දුව බලය ලබාගැනීමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

මෙම යෝජනාව පිළිබඳව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දැක්වූයේ මෙවන් අදහසකි.

විශ්‍රාම ගන්නා වයස අවුරුදු හැට පහ දක්වා දීර්ඝ කළේ ඇයිද යන්න මුදල් අමත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීමේදී පැහැදිලි කළ යුතුව තිබුණද එය එසේ සිදු නොවු බවට අදහස් නැගේ. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් බිහිවන විශාල පිරිසක් රාජ්‍ය අංශයේ රැකියාවලට යොමුවන අතර ඒ සඳහා කාලයක සිට රාජ්‍ය මඟින්ම ඔවුන් අපේක්ෂා කරන බව ප්‍රවර්ධනය කර තිබේ. උසස් අධ්‍යාපනය ලබා රැකියා අපේක්ෂිත පිරිස වසරකට ලක්ෂයකට වඩා වැඩිවන අතර කම්කරු පිරිස ලක්ෂ දෙක ඉක්මවයි. මේ පිරිස වසර පහක කාලය තුළ ලක්ෂ පහළවකට ආසන්න වන අතර වසර පහ ඉක්ම යනවිට ඔවුන් රජයේ රැකියා අපේක්ෂිතව සිටිති. එසේ වුවත් වසර පහකින් පසුව රජයේ පුරප්පාඩු ඇති වන්නේ සීමිත ප්‍රමාණයකි.

මේ නිසා ඊට විශාල ඉල්ලුමක් නිර්මාණය වන අතර දේශපාලන මැදිහත් වීම් මත ඒවා ලබාදීම නිසා අසාධාරණයට, පීඩඩනයට හා කලකිරීමට පත් විශාල තරුණ ප්‍රජාවක් රට තුළ නිර්මාණය වේ. එය 1971 -1988 වැනි විශාල සමාජ ව්‍යසනයකට මඟපෑදිය හැකි තත්වයක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පෙන්වා දෙයි.

ප්‍රජාවිද්‍යාත්මක අර්ථයකින් රටේ ආර්ථිකය වේගවත් කර ගැනීමට වයස්ගතවූවන් දායක කර ගන්නා රටවල් බොහොමයක් ඇති අතර, ඔවුන්ගේ අත්දැකීම් පළපුරුද්දට ඉඩක් ලබාදී ආර්ථිකය ශක්තිමත් කිරීමට හොඳ අඩිතාලමක් දැමීම මෙහි අපේක්ෂාව වෙයි. නමුත් ඒ සඳහා අප රට තුළ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් වී නොමැතිය. ඒ නිසා මෙය අත්තිවාරමක් නැති නිවසක දිරාගිය පරාලයක් ගැන කතා කරනවා හා සමාන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව අධ්‍යනය අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසයි.

වයස අවුරුදු හැට පමණ වන විට බොහෝ දෙනකුගේ ශාරීරික මානසික සෞඛ්‍ය මට්ටම පිරිහීමට පටන් ගන්නා අතර, රජයේ රැකියා ක්ෂේත්‍රයේ කාර්යාල තුළ මෙන්ම කාර්යාලයෙන් පිටතට ගොස් සිදු කරන රැකියා අවස්ථා පවති.

ඒවැනි රැකියාවල යෙදීමට මෙවැනි වයස් කාණ්ඩවල පසුවන අය කාර්යක්ෂම නොවීමට ඇති ඉඩකඩ වැඩිය. එසේම නූතන තාක්ෂණය පිළිබඳව මොවුන් තුළ ඇති උනන්දුව අඩුය. ඒ නිසා සියලු දෙනාටම මේ අවස්ථාව විවෘත්ත නොකර ශාරීරිකව මෙන්ම මානසිකව ශක්තිමත් රාජ්‍ය සේවයට වැඩි ඵලදායීතාවයක් ලබාදිය හැකි අය පමණක් තෝරාගෙන ඒ අය සඳහා මේ අවස්ථාව ලබාදීම සුදුසු බව පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහය.

වර්ෂ 1999 දී පැවති ආකාරය මෙන් දොළොස් ගුණයක් මේ වනවිට රාජ්‍ය අංශයේ වැටුප් සඳහා වැය කරයි. ලංකාවේ ජනගහන ව්‍යූහය අනුව කාන්තාවක සාමාන්‍යයෙන් අවුරුදු හැත්තෑහයක පමණ කාලයක් ජීවත්වන අතර පිරිමියකු අවුරුදු හැත්තෑ දෙකක පමණ කාලයක් ජීවත් වේ. එනම් සාමාන්‍යයෙන් මොවුන් අවුරුදු අසූවක අනූවක පමණ කාලයක් ජීවත්වේ. ඒ අනුව කෙනකු අවුරදු 60 දී විශ්‍රාම වැටුප ගන්නේ නම්, වයස අවරුදු අනූව දක්වා වසර තිහක පමණ කාලයක් විශ්‍රාම වැටුප් ගෙවීමට සිදු වේ.

සාමාන්‍යයෙන් විශ්‍රාම වැටුප සකස් වන්නේ ආරම්භක වැටුපට නොව විශ්‍රාම ගන්නා විට හිමි වැටුප අනුවය. එනම් විශ්‍රාම වැටුප ආරම්භක වැටුප මෙන් දෙගුණයක් ගෙවීමට සිදු වේ. එනම් කෙනෙකු රජයේ සේවයට බඳවා ගන්නා විට ඔහුගේ වැටුප මෙන් දෙගුණයක වගකීම රජය බාර ගනී. මේ තත්ත්වය රටකට දරාගත හැකිද යන පැනය ජනතාව තමන්ගෙන් ම ඇසිය යුතු වේ. මින් වැඩිහිටි ජනතාවට සමාජ ආරක්ෂණ දැලක් නොතිබිය යුතු යැයි අදහස් නොකෙරේ. ඇත්තෙන්ම මෙවැනි ආරක්ෂණ ක්‍රමයක් රජයේ සේවකයින්ට පමණක් නොව මේ රටේ සියලු වැඩිහිටියන්ට තිබිය යුතුය. නමුත් සිදුව ඇත්තේ රජයේ සේවකයන් යැයි සැලකෙන උපකුලකයක් වෙන්කර ඒ අය සඳහා අරමුදල් රහිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් (Non-funded pension scheme) පවත්වාගෙන යාමය. මෙය තිරසාර නොවන රජයේ ප්‍රතිපත්තිවලින් ප්‍රමුඛතම එකකි. මේ ක්‍රමය මේ තත්ත්වයෙන් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වන අතර, එසේ කළහොත් රට ශීඝ්‍රයෙන් බංකොලොත් තත්ත්වයට ඇද වැටෙන බව එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ උපදේශක මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.

විශ්‍රාම වැටුප් ක්‍රමය මේ ආකාරයෙන් තවදුරටත් පවත්වාගෙන යාමට කැමති වන්නේ නම් තවතවත් බදු මුදල් ගෙවීමට ජනතාවට සිදුවන අතර අධ්‍යාපනය සෞඛ්‍ය හා වෙනත් දේ සඳහා පවතින මුදල් ඒ සඳහා කැපකිරීමට සිදු වේ. එනිසා මේ සඳහා ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ගය වන්නේ ජනතාවට මෙහි සත්‍ය තත්ත්වය අවබෝධ කර දී ඒ සඳහා විධිමත් අරමුදල් සම්පාදනයවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමය.

Comments