උද්ඝෝ­ෂ­ණයේ ලක්ෂණ දැන් උද්ඝෝ­ෂණ අව­ධිය යි | Page 2 | සිළුමිණ

උද්ඝෝ­ෂ­ණයේ ලක්ෂණ දැන් උද්ඝෝ­ෂණ අව­ධිය යි

 බැලූ බැලූ අත උද්ඝෝෂණ දක්නා ලැබේ. ගොවියෝ පෝර ඉල්ලා උද්ඝෝෂණය කරති. විදුලිය බලයේ සේවකයෝ ද යුගදනවිය උදෙසා උද්ඝෝෂණය කරති. ගුරුහු සිය ගුරුත්වය ද ලඝුකොට ගනිමින් උද්ඝෝෂණය කොට එ ද මඳි වැ වර්ජනයක් කොට දැන් නම් මඳක් නිහඬ වැ සිටිති. ඉදිරියේදී තව තව ද හොඳ හොඳ උද්ඝෝෂණ අහන්නට දකින්නට අපි සැදී පැහැදී සිටිමු.

උද්ඝෝෂකයෝ උද්ඝෝෂණ කෙරෙත්වා! අපට කිම? ඔවුනට ඉඩදී අපි පසකට වෙමු. හරි වහරින් විමැසෙන්නේ උද්ඝෝෂණ වචනය යි. මේ නම් එ සේ මෙසේ වූවත් නො ව මහත් ගැඹුරු වදනෙකි. සිය ගණනක් එක් වැ කෑ මුර ගාමින් කරන ක්‍රියාව සේ ම බරපතළ වදනෙකි. එහි බරපතළ බව කනට ඇසෙන විට ම දැනේ. නිකම් සෙල්ලමක් නොවේ. ඝෝෂ, මහාප්‍රාණ, මූර්ධජ ආදී අක්ෂර ගණනක් එකතු වැ නඟන හඬ ම එයින් කියැවෙන ක්‍රියාවෙහි ප්‍රබල භාවය හඟවාලයි. හරි වහරේ නියරටත් ගැළැපෙන පරිදි මේ බරපතළ වදන මඳක් විග්‍රහ කොට බලමු.

මේ උද්ඝෝෂණ යනු සිංහලයෙහි තත්සම ව යෙදෙන සංස්කෘත වචනයෙකි. සංස්කෘතයෙහි ‘ඝුෂ්’ යනුවෙන් ධාතුවක් හෙවත් ක්‍රියා මූලයක් වෙයි. ඒ කෑ ගෑම, හඬ නැඟීම අරුතෙහි යෙදේ. ඒ ධාතුවට ‘අත’ නම් (කෘදන්ත) ප්‍රත්‍යයය එකතු වූ කල්හි ‘ඝෝෂණ’ යන්න ඇති වේ. ‘උත්’ යනු සංස්කෘතයෙහි යෙදෙන උපසර්ගයෙකි (වදනකට මුලින් එකතු වී එහි අරුත වෙනස් කරන්නෙකි) ඉතින් ඒ ‘උත්’ යනු ඝෝෂණ යන්නට එක් වීමෙන් ‘උද්ඝෝෂණ’ යනු ඇතිවේ. (‘උත්’ යනු ‘ඝුෂ්’ ධාතුවට එක්වී එයට ‘අත’ ප්‍රත්‍යයය එක් වීමෙන් උද්ඝෝෂණ යනු ඇති වෙතියි වියරණ ඇදුරෝ කියති.)

මෙහි ‘උත්’ යනු ‘උද්’ බවට පත් ව ඇති සැටි පෙනේ. ඒ කවර හෙයින්ද? ‘ඝුෂ්’ යන්නෙහි ඇති ‘ඝ්’ යන ඝෝෂ මහාප්‍රාණයේ බලපෑමෙන් ‘ත්’ යන අඝෝෂ ශබ්දය ‘ද්’ යන ඝෝෂ ශබ්දය බවට පත් විමෙනි. වියරණ ඇදුරෝ මේ සිදුවීමට ඝෝෂාදේශය යැ යි බරපතළ නමක් දෙති.

මේ උද්ඝෝෂණ යන්නේ නියැදියාව යි (නිරුත්තිය යි) මෙහි අරුත කිම? ඝෝෂණය නම් කෑගෑම, හඬ නැඟීම, ඝෝෂා කිරීම යනු යි. ‘උත්’ යන උපසර්ගයේ අර්ථ කිහිපයක් වේ. ‘ඉහළ’ යනු එකෙකි. උද්ගමන වැනි වදන්හි ඒ අරුත යෙදේ. මහත් බව, පෘථුල භාවය තවත් අරුතෙකි. මෙහි යෙදෙන්නේ එය යි. එ නයින් උද්ඝෝෂණ යනු මහත් වූ ඝෝෂණය, මහත් වූ කෑ ගෑම යන අරුත් දෙන වදනෙකි.

මෙතෙක් කරුණු දක්වන ලද්දේ නිකම් ම මහ මඟ වේළෙමින් ඩහදිය මුගුරු හෙළාගෙන කෑ ගානවාට වඩා වචනයේ අර්ථය ද දැනගෙන ම උද්ඝෝෂණ කිරීම වඩාත් හොඳ හෙයිනි. වැඩි පණ්ඩිත කම් දක්වා ‘සිළුමිණ’ පාඨකයන් ගේ මොළය අවුල් කරති යි කතු තුමාණෝ උදහස් නො වෙත් වා!

දැන් මෙ කී කරුණු මනා විමැසුම් නුවණින් කියැවූ බුද්ධිමත් පාඨකයකුට පැනයක් ඇති වනු නො වැළැක්විය හැකි ය. කිමෙක් ද ඒ? ඝුෂ් යන්නට අත එකතු වීමේදී ඝූෂන නො වී ඝෝෂණ වූයේ කෙසේ ද, එහි (දන්තජ) න වෙනුවට (මූර්ධජ) ණ පැමිණියේ කෙසේ ද යනු යි. මෙහි ලා වඩා වැදගත් වනුයේ දෙ වැන්න යි. එහෙත් පළමු වැන්න මුලින් පැහැදිලි කරමු.

සංස්කෘත භාෂාවේ ධාතුවලට ‘අ’ ‘අත’ ‘අක’ වැනි ඇතැම් ප්‍රත්‍යයය එක් වීමේ දී ධාතුවේ මුල් අකුරේ ඇති ස්වරය වෘද්ධි වේ. එ නම් අ ස්වරය ‘ආ’ බවට ද ඉ ස්වරය ඒ බවට ද ‘උ’ ස්වරය ඕ බවට ද පත් වීමයි. ඝුෂ් යන්නෙහි ද ඝු යනු ඝෝ වී ‍ඝෝෂණ යනු නිපැදෙනුයේ ඒ අනුව යි. (සංස්කෘතයෙහි ස්වර වෘද්ධි මත තව ද බොහෝ තැන් වේ)

දැන් හැරෙමු දෙ වැන්නට. සංස්කෘතයේ ඍ ස්වර අක්ෂරයට හෝ ර්, ෂ් යන ව්‍යඤ්ජනාක්ෂරයකට හෝ පසු වැ යෙදෙන (දන්තජ) ‘න’ වුව ද (මූර්ධජ) ‘ණ’ බවට පත්වේ. ඒ යට කී මූර්ධජ ස්වර ව්‍යඤ්ජන අක්ෂරවල බලපෑමෙනි.

ඒ අනුව, සිංහලයෙහි යෙදෙන සංස්කෘත තත්සම වචනවල ද ඍ,ර්, ෂ් යන අක්ෂරවලට පසු ව (දන්තජ) ‘න’ නො යෙදේ. (මූර්ධජ) ‘ණ’ ම යෙදේ. මෙන්න නිදසුන්.

ඍණ
ආකර්ෂණ
ආභරණ
ආරණ්‍ය
කරණ
කාරණ
ඝර්ෂණ
චරණ
ධරණි
ධාරණ
ප්‍රාණ
පුරාණ
පර්යේෂණ
පරීක්ෂණ
භාෂණ
භූෂණ
භක්ෂණ
ලක්ෂණ
රක්ෂණ
විචක්ෂණ

මේ දැක්වුණේ කිහිපයෙකි. හොඳ ශබ්ද කෝෂයක් බැලූ කල තවත් වුව මනා තරම් උදාහරණ සොයාගත හැකිවේ. මෙහි තවත් කරුණු ඉදිරියේ දී විමසමු.

Comments