ජනතා ඉඩම් මළ­වුන්ට විකිණූ ඉඩම් කොමි­සමේ අත­යට ගනු­දෙනු | Page 2 | සිළුමිණ

ජනතා ඉඩම් මළ­වුන්ට විකිණූ ඉඩම් කොමි­සමේ අත­යට ගනු­දෙනු

එරා­වුර් පුණ්ණ­කු­ඩාහි ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ස­මට අයත් ඉඩ­මක් පෞද්ග­ලික  හිමි­ක­රු­වන් අත්පත් කරගෙන ඇති අයුරු.
එරා­වුර් පුණ්ණ­කු­ඩාහි ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ස­මට අයත් ඉඩ­මක් පෞද්ග­ලික හිමි­ක­රු­වන් අත්පත් කරගෙන ඇති අයුරු.

 

“වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව” අපට මේ කියන්නට සිදුව ඇත්තේ එවන් කතාවකි. දිවයින පුරාම අතු පතර විහිදමින් සිදු කරන ලද මහා පරිමාණ දූෂණ හා අවභාවිතයන් සම්බන්ධයෙන් මේ කතාව වාර්තා වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ හා කොමිසම් සභාවෙනි.

 

ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ වර්තමානයේ සිදුව ඇත්තේ ව්‍යවස්ථාපිත නිශ්චය සහ රජයේ අවශ්‍යතාවන්ට ඉල්ලා ඇති ඉඩම් ලබාදීම පසෙක තබා සුළු දේශපාලනික හා ව්‍යාපාරික අවශ්‍යතා මත ඉඩම් අයථා ලෙසින් හා අක්‍රමවත් ලෙසින් ලබාදීමයි. ඒ හරහා තම සාක්කු පුරවා ගැනීමයි.

මේ සම්බන්ධව දිවයින පුරාම සිදුවන විශාල වංචාවක් බවට පත් ව ඇති කරුණු රැසක් ගෙන හැර දැක්වීමට ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ විසින් කටයුතු කළද ඒ සියලු පෙන්වා දීම් ගඟට ඉනි කැපුවා බඳු විය.

එහෙත් දැන් නම් බෝලය කැරකැවී ඇත. ඒ කෝප් කමිටුවට අනාවරණය වූ කරුණු හමුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සිදු කළ මහා පරිමාණ අවභාවිතයන් එළියට ඒම නිසාය. කෙසේ වුවත් අප මෙහිදී පළමුවෙන්ම ගෙන හැර දක්වන්නේ කෝප් කමිටුවට පවා තවමත් නිසි ලෙසින් හසු නොවූ කතාන්දරයන්ය. එය කෝප් කමිටුවේ පමණක් නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අවධානයට පවා යොමු විය යුතු තරම් මහා පරිමාණ විශාල අවභාවිතාවන්ය.

එයින් පළමුවැන්න අතේ පැළවෙන සේ සැකසූ සිදුවීම් දාමයකි. ඒ මියගිය තැනැත්තන්ගේ නමින් වංචනිකව ඉඩම් ඔප්පු ලබා දීම, මෙහි නිලධාරීන් විසින් සිදු කර තිබීමය. එය මහා පරිමාණ වංචාවකි.

විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020.02.24 දින පැවැති රන්බිම ඔප්පු ප්‍රදානයේදී මඩ/110 ගොනුවට අයත් පිඹුරු අංක 976/2005 දිනැතිව සකස් කර අනුමත කර ඇති පිඹුරේ, කැබලි අංක 4 හිමි සින්න තම්බි නඩේසපිල්ලෙ නැමති අය 2017.09.03 දින මියගොස් ඇති අතර ඔහු නමින් 2020 වසරේ ඉඩමක් ලබා දී ඇත.

ඉඩමක් ලබා දෙන්නට යෝජනා කර තිබියදී යම් අයකු මිය යාමට ඉඩ ඇත. ඒ නම් මාසයක් හෝ දෙකක් ඇතුළත සොයා ගැනීම අසීරු වේ. එහෙත් 2017 වසරේ මිය ගිය අයකු නමින් වසර 3කට පසුව එසේ ඉඩමක් වෙන් කර ලබා දීම මහා පරිමාණ වංචාවකි. එම ඉඩම 10984 දරන ඔප්පුව යටතේ නඩේසපිල්ලයි ඉන්ද්‍රදේවි යන අයට වංචනික ලෙස ලබා දී ඇත. මිය ගිය සින්න තම්බි නඩේසපිල්ලේගේ මරණ සහතිකය පවා අප සතුව ඇති අතර එය අංක 9130 ලෙස දෙමළ භාෂාවෙන් ලියන ලද්දකි. මෙම ඔප්පුව නඩේසපිල්ලයි ඉන්ද්‍රදේවි යන අයට නිකුත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර විගණන අංශය විසින් දන්වා ඇත. තවද මියගිය අයකු නමින් ඔප්පු ලබා දීම හිතාමතාම සිදු කරන ලද්දක් බව 2020.08.19 දින විගණන වාර්තාවේ පස්වැනි ඡේදයේ පැහැදිලිව දක්වා තිබේ.

මීට අමතරව මඩකළපුවේ ඉඩම් අධ්‍යක්ෂවරයකු එහි උප්පාරු වත්තේ මැන සකස් කරන ලද මිනින්දෝරු ෆාරුක් විසින් 1809 පිඹුරේ සඳහන් පරිදි (සෙක්ෂන් 1) (සෙක්ෂන් 6) ඉඩම් කැබලි 273ක් ඇති අතර ඊට අමතරව අක්කර එකහමාරක් පමණ ලොට් අංක වලට (ලොට් අංක 5, 6, 7, 8, 9, 52, 51, 50, 49, 55, 54, 53, 57, 56) යනුවෙන් වෙන් කර අදාළ අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි එක් පුද්ගලයකුට විකිණීම් කර ඇත. එහිදී මොහු විසින් අතිවිශාල ලෙස මුදල් උපයා ගෙන ඇති බවට වාර්තා වේ. අදාළ විකිණීම අංක 0545 දරන පිඹුරෙන් දක්වා තිබේ.

එසේම කන්තලේ ලෝ ලෑන්ඩ් (ශුන්ඩන්කාඩු) වත්තේ පිඹුරු අංක 126842 (පෞද්ගලික ) අක්කර 434 ක ඉඩම් (ගඟට යාබදව ඉඩම) පෞද්ගලික ආයතනයකට විකිණීම් කර ඇත.

එමෙන්ම උප්පාරු වත්තේ අංක 1809 දරන පිඹුරට යාබදව පිහිටි ඉඩමක් වන ත්‍රිකුණාමලය - මුතූර් පාරට මුහුණලා ඇති ඉතා වටිනා අක්කර 175ක විශාල රජයේ ඉඩම ෆිනෑන්ස් ආයතනයකට වංචනික ලෙස කූට ලේඛන සකසා සින්නක්කර විකිණීම් කර ඇත.

එමෙන්ම අදාළ අධ්‍යක්ෂවරයා විසින්ම ‘පැන්ඩෝරා පේපර්ස්හි‘ නම සඳහන් වූ නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරු නඩේසන් ට අයත් මඩකළපුව ඔඩ්ඩමාවඩිහි අක්කර 35ක පමණ ඉඩමක් කොමිසම හරහා කූට ලේඛන සකසා ව්‍යාපාරිකයකුට විකිණීම සිදු කිරීමට කටයුතු කර ඇති අතර එහි අයිතිකරු තිරු නඩේෂන් බව දැන ගැනීමෙන් පසු අදාළ ඉඩමට අයත් පත් තීරු අවලංගු කර ඇත.

මේ අප සඳහන් කෙළේ බිඳක් පමණි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරීන් විසින් දිවයින පුරා සිදු කළ දූෂණ වංචා අවභාවිත සංඛ්‍යාව හෙළි කළ නොහැකි තරමට අතිවිශාලය. මඩකළපුවේ එරාවුර්හි පුණ්ණකුඩා මාර්ගයේ ඉඩම් ප්‍රතිසංස්කණ කොමිසමට අයත් ඉඩම් එහි පිරිසක් විසින් අල්ලාගෙන ඒවා පෞද්ගලික ඉඩම් බව හඟවා ඒවායේ අදාළ ඉඩම් පෞද්ගලික ඉඩම් බවට අදාළ නාම පුවරුද යොදා තිබුණේ ඒ අසලම කොමිසමේ නාම පුවරු ද තිබියදීමය. මේ සියල්ල අත යට ගනුදෙනු විය හැකිය.

ඒ කරුණු කාරණා තවමත් කෝප් කමිටුවට යොමුව නැත. අප මීළඟට අවධානය යොමු කළ යුත්තේ කෝප් කමිටුව හමුවේ අනාවරණය වූ කරුණු සම්බන්ධයෙනි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව 2018 වසරේදී සේවකයන් 214 ක් ස්ථිර කොට ඇති බව පසුගිය දා කෝප් කමිටුවේදී අනාවරණය විය. එමෙන්ම වසර 50ක් තුළ අත්පත් කරගත් සහ බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැති බව ද එහිදී හෙළි වූ තවත් කරුණකි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට පවරාගත් ඉඩම්වලට අදාළ ලිපි ගොනු 200කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයි ද එහිදී හෙළි විය.

මේ සියලු අනාවරණ වාර්තා වන්නේ මේ කාර්යයන්ගෙන් අල්ලස් කොමිසමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු වග කිවයුතු පාර්ශ්වයන්ට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය මඟින් සාක්ෂි සහිතව දන්වා තිබියදීය.

විශේෂයෙන්ම කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බඳවා ගත් සේවකයන් 214ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීම ගැන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී දැඩි අවධානයක් යොමු විය. කැබිනට් අනුමැතියක් යටතේ ‍කොන්ත්‍රාත් පදනම මත මෙම බඳවා ගැනීම් සිදු කර ඇති බවත් ඉන්පසු, 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් මෙම පිරිස ස්ථිර කිරීමට ද කටයුතු කර ඇති බවත් මෙහිදී හෙළි විය.

මේ වන විට ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාව සතු වන බවත් එම අගය නිවැරදිම අගය නොවන බවත් අනාවරණය විය. ඉඩම් අත්පත් කරගැනීමේදී සහ ඉඩම් පවරාදීමේදී නිසියාකාරව මැනුම් කටයුතු සිදුනොකිරීම එයට ප්‍රධාන හේතුවක් බව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක් කොමිෂන් සභාව සතුවීම අත්‍යවශ්‍ය බැවින් ඉඩම් සම්බන්ධව නිවැරදිව මැනුම් සිදු තක්සේරු කිරීමත් ඒ පිළිබඳ නිශ්චිත පදනම් ලියවිලි සෑදීමත් අත්‍යවශ්‍ය බව කෝප් කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

ඉඩම් පවරා ගැනීමට අදාළව ඉඩම් ලිපි ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බව ඉඩම් කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ කමිටුව හමුවේ පැවසුවේය.

මේ පිළිබඳ වහාම සොයාබැලීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් කමිටුවේ සභාපතිවරයා උපදෙස් දී ඇත.

එසේම 1972 -1974 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත් හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත අක්කර 50ක ප්‍රමාණය නිදහස් නොකළ ඉඩම් 260ක් පවතින බව ද මෙහිදී අනාවරණය විය. මේ අනුව වසර 50ක් තුළ ප්‍රමාද වූ මෙම ක්‍රියාවලිය ‍විශේෂ ගැටලුවක්ව ඇති බැවින් විශේෂ කවුළුවක් විවෘත කොට ඉදිරි මාස 06 තුළ මෙම ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් දී ඇත. කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද තක්සේරුව අනුව එය රුපියල් මිලියන 676ක් ලෙස සඳහන්ව තිබුණද එම අගය වර්තමාන තක්සේරුව අනුව නිවැරැදි නොවේ.

එම තක්සේරුව අනුව අක්කරයක වටිනාකම රු.500ක් පමණ වන බව කමිටුව හමුවේ අනාවරණය විය. එය නිවැරදි කරගැනීම සඳහා මාස 06ක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් සභාපතිවරයා ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති නිලන්ත විජේසිංහ පැවසුවේ තමන් සභාපතිධුරයට පත්වීමට පෙර සිදුව ඇති මේ තත්ත්වයන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කරනු ලබන බවයි.

එමෙන්ම නැඟෙනහිර පළාතේ ඉඩම් වංචාවන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් මේ වන විට පරීක්ෂණ සිදු කර අවසන් බවත් ඒ සම්බන්ධව ඉදිරි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන බව ද හෙතෙම පැවසීය.

කොමිසමේ ඇතැම් සිද්ධාන්තයන් හා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය පවා ලබා ගත යුතු බවත් දූෂණ සිදු කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ කතාබහට අදාළ සාක්ෂි සහ විගණන වාර්තා ද සපයා ඇත. නීතිය ක්‍රියාත්මක වී දූෂිතයන්ට දඩුවම් ඉදිරියේදී ලැබෙනු ඇතැයි සැමගේ විශ්වාසයයි.

Comments