ජය­ග්‍ර­හණ සහ ලැබීම් ඉහළ සිට පහ­ළට බෙදීම බ්‍රැන්ඩික්ස් සාර්ථ­ක­ත්වයේ රහ­සයි | Page 2 | සිළුමිණ

ජය­ග්‍ර­හණ සහ ලැබීම් ඉහළ සිට පහ­ළට බෙදීම බ්‍රැන්ඩික්ස් සාර්ථ­ක­ත්වයේ රහ­සයි

ආය­ත­නික සමාජ සද්කා­ර්ය­න්ගෙන් කිහි­ප­යක්
ආය­ත­නික සමාජ සද්කා­ර්ය­න්ගෙන් කිහි­ප­යක්

 

මෙරට 24 වැනි ' ජනාධිපති අපනයන සම්මාන උළෙල' පසුගිය නොවැම්බර් 26 දා, ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් මහත් හරසරින් යුතුව නිම විය.

 

ශ්‍රී ලාංකේය අපනයනකරුවකුට සිය ව්‍යාපාරික ජීවිතයේ ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම ඇගැයීම වන 'ජනාධිපති අපනයන සම්මානය' දිනා ගන්නට අපනයන ක්ෂේත්‍රයේ නියැළි සමාගම් 63ක් මෙවර සමත් වූ අතර, 2019-20 සහ 2020-21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙම සම්මාන පිරිනැමිණි.

එහිදී උළෙලේ විශිෂ්ටත ම ඇගැයීම වන 'වසරේ විශිෂ්ටත ම අපනයනකරු' සම්මානය 2019-20 වසර සඳහා අඛණ්ඩව හත් වැනි වරටත් දිනා ගන්නට බ්‍රැන්ඩික්ස් සමාගම සමත් විය.

ලෝක වසංගත තත්ත්වයක් යටතේ වුවද අපනයන ක්ෂේත්‍රයේ රැඳී සිටිමින්, රටට විදේශ විනිමය උපයන්නට දරන ලද පරිශ්‍රමය, කැපවීම සහ නොපසුබට උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක්වූ අතර, හොඳම අපනයනකරුවා තෝරා ගැනීමේ දී මෙතෙක් සලකා බැලුණු අපනයන ආදායමට අමතරව, අපනයන සඳහා අගය එකතු කිරීම, රැකියා උත්පාදනය, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ අපනයන ආදායමේ වර්ධනය වැනි නිර්ණායක රාශියක් මෙවර සම්මානය සඳහා සලකා බැලිණි.

ඒ අනුව, මේ කරුණු කාරණා සියල්ල සපුරමින් අඛණ්ඩව හත්වැනි වරටත්, හොඳම අපනයනකරුවා වන්නට බ්‍රැන්ඩික්ස් සමූහයට හැකි විය. ඒ, 60,000ක් තරම් වන බ්‍රැන්ඩික්ස් පවුලේ සියලු සාමාජිකයන් ගේ අප්‍රතිහත ධෛර්යයෙනි. කැපවීමෙනි.

මෙම සම්මානයට අමතරව, 2019- 20 කාල පරිච්ඡේදය සඳහා 'අපනයන සැපයුම් දාමය සඳහා කලාපීය දායකත්වය', 'නැඟී එන වෙළෙඳපොළවල විශිෂ්ටත ම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ අපනයනකරු' සහ 'විශිෂ්ටතම අපනයනකරු සම්මානය- ඇඟලුම්- මහා පරිමාණ කාණ්ඩය' සඳහා වන කාණ්ඩ සම්මානය ආදී ලෙස එකම වේදිකාවක දි ජනාධිපති අපනයන සම්මාන 5 ක් හිමි කර ගන්නට බ්‍රැන්ඩික්ස් සමාගම සමත් විය.

ඊට අමතරව, 2020 - 21 කාල පරිච්ඡේදය සඳහා 'අපනයන සැපයුම් දාමය සඳහා කලාපීය දායකත්වය' යන කාණ්ඩයේ සමස්ත ජයග්‍රහණය හිමි වූයේ ද බ්‍රැන්ඩික්ස් වෙත ය.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමාගමේ ඒකාබද්ධ ව්‍යාපාරික හවුල්කාර, InQube Global සමාගම ද පළමුවරට 2019- 20 වසර සඳහා වසරේ නැගී එන අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම ජයග්‍රහණය පිළිබඳ, බ්‍රැන්ඩික්ස් සමාගමේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර් පවසා සිටියේ,

"බ්‍රැන්ඩික්ස් කියන්නේ කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ටත්ව යන සාරධර්ම මූලික කරගත් සමාගමක්. සෑම දිනකම ලොව ජනප්‍රියතම ඇඟලුම් සන්නාම වෙත පිබිදුණු විසඳුම් පිරිනැමීම සඳහා අපගේ හැට දහසකට අධික සාමාජික සාමාජිකාවන් ඇප කැප වී වැඩ කරනවා. බ්‍රැන්ඩික්ස් සමාගම මෙලෙස ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් කිරීමට බොහෝ දෙනකු නොයෙක් ආකාරයෙන් දායකත්වය ලබා දුන් අතර, ඔවුන් සෑම දෙනාට ම අපගේ කෘතඥතාව හිමි වනවා. දහස් ගණනක ගේ ජීවන තත්ත්වය නගාසිටුවමින් සහ තිරසාර සංවර්ධන ක්‍රියාවලියේ පෙරමුණ ගනිමින් ජාතික ආර්ථිකයට ශක්තිමත් අත්වැලක් සැපයීමට හැකිවීම ගැන අප බොහෝ සතුටට පත් වනවා..." යනුවෙනි.

ඇමෙරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුමක් සහිත සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමූහය, අපනයන හරහා දේශීය ආර්ථිකයට සුවිසල් දායකත්වයක් සපයන අතර ම, ජනතාවට සමීප ආයතනයක් ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ, එහි සමූහ මූල්‍ය අධ්‍යක්ෂ, හසිත ප්‍රේමරත්න පවසා සිටියේ මෙවැනි අදහසකි.

"ඇත්තට ම බ්‍රැන්ඩික්ස් කියන්නේ, පවුලක්; කණ්ඩායමක්. මේ ජයග්‍රහණය ඒ Team work එකේ ප්‍රතිඵලයක්. ඒ සඳහා මේ රටේ විවිධ පළාත්වල විහිදුණු කර්මාන්ත ශාලා 18 ක වැඩ කරන, ඈත ගම්දනව්වලින් ආ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් සිය දායකත්වය සපයා තිබෙනවා. විශේෂයෙන් කොවිඩ් සමයේ පවා, ඔවුන් දැඩි කැපවීමෙන් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වූ නිසයි සමාගමක් ලෙස මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. ඒ හැමෝම මේ සුවිසල් ජයග්‍රහණයේ කොටස්කරුවෝ වන්නේ ඒ නිසා.

ජනාධිපති සම්මාන පහක් ඇතුළුව පළාත් මට්ටමේ සම්මාන තුනක් සමඟ අපනයන සම්මාන අටක් අප දිනා තිබෙනවා.

කර්මා­න්ත­ශා­ලාව ඇතු­ළත සේවයේ යෙදෙන බ්‍රැන්ඩික්ස් සාමා­ජි­ක සාමා­ජි­කාවෝ
 

එය සම්මාන ජයග්‍රහණයකටත් වඩා, මේ රටට විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතේ ඩොලර් ඉපැයීම සඳහා සමූහයක් ලෙස අප කළ කැපවීම සඳහා ලැබුණු ඇගැයීමක් ලෙසයි මා දකින්නේ.

අනෙක් අතට, අඛණ්ඩව හත් වසරක් මෙම සම්මානය දිනා ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. සියලු දුෂ්කරතා මධ්‍යයේ රට සහ සමාගම වෙනුවෙන් වැඩ කළ සමස්ත සේවක මණ්ඩලය තුළ ම වූ සාධනීය ආකල්ප ඊට ප්‍රබල ලෙස බලපෑවා. එය, ආයතනයකට විශාල ශක්තියක්; ධෛර්යයක්.

සේවකයන් ලෙස ඔවුන් එසේ සිතන්නට, විශේෂයෙන් ආයතනයේ සියලු ජයග්‍රහණ සහ ආයතනික දියුණුවේ වාසිය, ඉහළ සිට පහළට බෙදී යන ආකාරයෙන් ක්‍රියාත්මක වීම බ්‍රැන්ඩික්ස් සමාගමේ විශේෂ ලක්ෂණයක්.

වසර 50 ක ඉතිහාසයක් ඇති සමාගමක් ලෙස එය තවදුරටත් දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑමේ ආයතනික සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් බ්‍රැන්ඩික්ස් සාරධර්ම අතර කැපී පෙනෙනවා. ඒ වගේම බ්‍රැන්ඩික්ස් සාර්ථකත්වයේ රහසත් එයයි..."

කෙසේ වෙතත්, ලද සම්මානයෙන් උදම් වනවාට වඩා එය ශක්තියක් කර, තව තවත් රටට විදේශ විනිමය ඉපැයීම සඳහා කැප වන්නටත්, සියලු සේවක අභිවෘද්ධිය සඳහා තව තවත් සැලසුම් ක්‍රියාත්මක කරන්නටත්, සමාජ සද්කාර්යයන් තව තවත් පුළුල් කරන්නටත් ඇප කැප වන බවයි, ඔහු තවදුරටත් පවසා සිටියේ.

Comments