ජීවන බරට යට­වුණු ගතේ බර පපු­වට ම දැනවූ නට්ටා­මි­ලාගේ හෙට දවස | Page 2 | සිළුමිණ

ජීවන බරට යට­වුණු ගතේ බර පපු­වට ම දැනවූ නට්ටා­මි­ලාගේ හෙට දවස

පිටකොටුව 4 වන හරස් වීදියේ දසුනක්
පිටකොටුව 4 වන හරස් වීදියේ දසුනක්

 

නාකීර්ණ කාර්ය බහුල කොළොම්පුරයේ තොග වෙළෙඳසල් අසල මහා මෙරක් තරම් බරක් කරමතින් හෝ අත් කරත්තයේ එහාට මෙහාට රැගෙන යන ඔවුන්ගේ දසුන දිනපතාම සුලබ දසුනකි. ඔවුන් රස්සාවට නාවා කියා පඩි කපන කෙනෙක් නැත.

 

රස්සාවට එන යන වෙලාව බලා රතු ඉර ගහන කෙනෙක් ද නැත. රැකියාවට අධ්‍යාපන චරිත සහතික, දේශපාලන බලවතුන්ගෙන් මන්ත්‍රීන්ගෙන් ලියුම් වුවමනා ද නැත. ඇඟ පතේ අතේ හයිය ඇත්නම් තමන්ට කැමැති වෙලාවක් රස්සාව කරගත හැකි ය. මෙවර අපේ කතා නායකයන් වන්නේ නාට්ටාමිලා නොහොත් බර උසුලන්නන් ය. ඇඟේ පතේ වාරුව ඇතිතාක් කළ හැකි මෙම වෘත්තිය, සිය ශරීර ශක්තිය පිරිහී යනවිට රැකියාව කළ නොහැකි වේ. එතැන් පටන් ඔවුන් ජීවත් වන්නේ අනුන්ට අත පෑමෙනි.

නගරයේ වීදිවල කෑගසමින් බර ඉසිලූ ඇතැම් නාට්ටාමිවරුන් අවසාන කාලයේ පදික වේදිකාවේ අවසානය ගෙවති. ඇතැම්විට බර ඔසවාගෙන යද්දීම මැරී වැටුණහ. එහෙත් ඇතැම් නාට්ටාමිලා නගරයෙන් පිටත ඉඩකඩම් මිලදී ගෙන ගෙවල් දොරවල් ඉදිකොට අඹු දරුවන් සමඟ යහතින් ජීවත් වෙති. ඔවුන් අතර මුදල් පොලියට දෙන්නෝ ද චැලි හා සී.සී 90 මෝටර් සයිකල්වලින් සේවය සඳහා නගරයට එන අය ද හොඳින් ඇඳ පැලඳ සෙලියුලර් දුරකථන භාවිත කරන අය ද සිටී.

කොතරම් විශාල බරක් පැටවූ එක් ගෝනියක් පටවන විට රු. 10 ක් බාන විට රු. 8 මුදලක් පමණක් ගෙවීම ප්‍රමාණවත් නොවන බව කියමින් බර ඔසවන්නන් පසුගියදා එක් ගෝනියකින් රු. 5 ක් වැඩි කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූහ. නාට්ටාමි රැකියාවේ යෙදෙන පිරිස කොළඹ නගරයේ දස දහසකට වැඩි වන අතර මේ පිරිස අගනුවර මුඩුක්කු හා අනවසර නිවාසවල පදිංචිව සිටිති. හවස ගෙදර යනවිට නොමිලේ උපයාගත් එළවළු හාල් ඇතුළු බඩු මල්ලක් ගෙදර ගෙනියන බර ඔසවන්නන් ද නැත්තේ නොවේ. දැන් කරත්ත කුලිය ද රු. 200 දක්වා ඉහළ දමා ඇත.

බර ඔසවන්නන්ගේ දුක - සැප සොයනු වස් පසුගියදා අප පිටකොටුවේ තොග කඩ වීදි පුරා සැරිසැරුවෙමි. නාට්ටාමි රැකියාව කලින් සිදු කළ එක් කාන්තාවක් පමණක් හමුවූ අතර ඇය කොන්දේ ආබාධය හා හන්දිපත් අමාරුව නිසා නාට්ටාමි රැකියාව අතැර දැමූ බව කීවාය.

නාට්ටාමි රැකියාව කරන ඒ.ආර්. කුමාරගේ (32) - ගම නුවරඑළියේ රම්බොඩයි. වසර 13 ක් රැකියාව කරමින් දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නඩත්තු කරන බව කීවේය. “පවුලට මාසෙට රු. 30000 විතර යවනවා. දවසේ පඩි අරන් බැංකු පොතක දාලා ඉතුරු කරනවා. දවසකට ආදායම රු. 2500 විතර වුණාට රු. 1500 වියදම්. පාන්දර පහේ ඉඳලා සවස දෙක වෙනකම් වැඩ. ආයෙ තුනේ ඉඳලා රෑ වෙනකම්. දවල් රෑ දෙකේම වැඩ කරලයි මේ ගාන හොයන්නේ. පටවන්න රු. 10 යි. බාන්න රු. 8 යි ගෙවන්නේ. පඩිය හුඟාක් මදි.”

පංචිකාවත්තේ මොහොමඩ් රියාස් (36) පැවසුවේ මෙවැන්නකි. “අවුරුදු 7 ක් වැඩ කළා. හාල්, රට ඉඳි, සුදුලූනූ, මිරිස්, උම්බලකඩ, උළුහාල්, අබ, ගොරකා, සියඹලා පටවනවා. දවසකට රු. 2750 විතර හොයනවා. දවසකට රු. 500, 1000 ක් පවුලට දෙනවා. ඉතුරු කරන්න. ළමයි තුන්දෙනෙක් ඉන්නවා පාසල් යවන්න”

මාලිගාවත්තේ පදිංචි හුසේන් පජීම් (52) වසර 10 ක් පමණ නාට්ටාමි රැකියාවේ යෙදුණු අයෙකි.

“අපිට ගෙවන්නේ හරි අඩු මුදලක්. කන්න බොන්න දවසකට රු. 1000 විතර යනවා. දවස ගානෙම වැඩ නැති දවසුත් තියනවා. පසුගිය කොරෝනා කාලේ අපි නන්නත්තාර වුණා. හැම දෙයක් ම ගණන් ගිහින්”

තොටළඟ බී. සිවකුමාරන් (43) මෙසේ කීය. “දවසක් රෑ වැඩවලදී රු. 1000 – 1500 හොයනවා. සමහරදාට වැඩ නෑ. ළමයි 4 දෙනෙක් ඉන්නවා. මිටියකින් රු. 10 යි ලැබෙන්නේ දවසකට පොඩි ගානයි හොයන්නේ. හැම දේකම මිල වැඩියි.

මට්ටක්කුලියේ එම්. රෆයිල් (53) පැවසුවේ මෙවැන්නකි.

“අවුරුදු 3 ක් රැකියාව කරනවා. එදා වේල කනවා බොනවා. බජාර් එකේ ජීවත්වෙද්දී කෑම බීමවලට හරි වියදම්. අවුරුද්ද අවසානෙට කඩෙන් ලෝන් එකක් දෙන්නෙත් කපන්න බලාගෙන. මේ තාක් කීයක්වත් ඉතුරු කරලා නම් නෑ. වැඩ නැති දාට අතේ සතේ නෑ. කොත්මලේ මොහොමඩ් මොගන් (42) ගේ හඬ. “මිරිස්, ලූනු, අල, සුදුලූනු පටවන්නේ දවසකට කෑමට බීමට රු. 600 විතර යනවා. දරුවො 2 යි. හරි අමාරුවෙන් ජීවත්වෙන්නේ. ගෙදරට කීයක් හරි යවන්නෙත් පුදුම දුකක් විඳලා. ගෝනියකින් වැඩිය ඉල්ලන්නේ රු. 5 යි. ඒකවත් තාම දුන්නෙ නෑ.” මට්ටක්කුලියේ මොහොමඩ් නයිසර් (55) මෙසේ කීය.

මම 1983 ඉඳලා වැඩ කරන්නේ. දවසකට දෙතුන් දාහක් හොයනවා. ඒ කාලේ රු. 200 – 300 දවසට ලැබුණේ. පහසු නෑ මේ ජීවිතේ. හරි කට්ටක් කන්නේ. ගෙදර වියදමට පවුලට සල්ලි දෙනවා. තියෙන විදිහට ජීවත්වෙනවා.”

මාලිගාවත්තේ මසාර් මොහොමඩ් (60) මෙසේ කීය. අපි අවුරුදු 40 වැඩ කරනවා. ඒ කාලේ දැනටත් වඩා පඩි අඩුයි. කඩෙන් කන්න බොන්න ගිහාම මේ කාලේ හම්බ කරන දේ ඉතුරුවක් නෑ.

මස්කෙලියේ සිට පැමිණි ශක්ති මුර්තා (52) සුදුලූනු, කොත්තමල්ලි, පටවමින් සිටියේය. “අවු. 20 ක් රස්සාවට. දවසකට රු. 1500 – 2000 ලැබෙනවා. ගෙවල් කුලිය ගෙවනවා. කනවා බොනවා. එච්චරයි.

මට්ටක්කුලියේ පී. බාලා (56) අවු. 37 ක් නාට්ටාමි රැකියාව කළ අයෙකි. මේ ඔහුගේ හඬ. “අද වැඩ නම් හෙට වැඩ නෑ. අත් කරත්තෙට දැන් රු. 170 - රු. 200 විතර දවසට ගෙවන්න වෙනවා. අමාරුවෙන් තමයි ජීවතේ ගැට ගහ ගන්නේ. කීයක් හරි හම්බ කරත් වියදම් හරිම සැරයි.

සේදවත්තේ කේ. රමේෂ් (47) වසර 30 තිස්සේ නාට්ටාමි රැකියාව කළ අයෙකි. “අපි උස්සන ගෝනියකට රු. 5 ක් වැඩි කරන්න කියලා ස්ට්‍රයික් කළා. ඒත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. දැන් මේ රස්සාවට හුඟාක් කට්ටිය එනවා.” කොම්පඤ්ඤවීදියේ රියාස් මොහොමඩ් (41) විවාහ වී දරුවන් සිටින අයෙකි. මේ ඔහුගේ හඬ. “උදේ 9.00 ඇවිත් රෑ 6.00 ට යනවා. හාල්, පරිප්පු, වියළි මිරිස් පටවනවා. විවාහවෙලා දරුවෝ ඉන්නවා. එදිනෙදා හම්බ කරලා වියදම් කරනවා මිසක් ඉතුරු කරන්න අමාරුයි.”

ගිනි අව් කූටකේ, දහඩිය වගුරවමින් රුපියල් සත සොයා අනේකවිධ දුක් වලඳන බර උසුලන්නන් වෙත සානුකම්පිත නෙත් හෙළීමට කාලය පැමිණ ඇත.

 

Comments