ජීවිත ආරක්ෂණය ප්‍රධාන ශීර්ෂය බවට පත්කළ ‘ඇසි­දිසි රක්ෂ­ණා­ව­ර­ණය’ | Page 2 | සිළුමිණ

ජීවිත ආරක්ෂණය ප්‍රධාන ශීර්ෂය බවට පත්කළ ‘ඇසි­දිසි රක්ෂ­ණා­ව­ර­ණය’

කුත් දෙසැම්බර් 2 වැනිදා ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ට සුවිශේෂී දිනයක් වූ අතර මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දිගුකාලීන අවශ්‍යතාවක් ඉටු වූ දිනයක් ලෙස ඉතිහාසයට එක් විය. ඒ, වත්මන් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය පිණිස ඉදිරිපත් කළ සුවිශේෂි යෝජනාවකට අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය’ ආරම්භය සිදුවූ දිනය ලෙසිනි.

අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සියලු මාධ්‍ය ආයතන නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් 98 දෙනකුට අගමැතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතින් රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම සිදුවූ අතර මුල් අදියරේදී ජනමාධ්‍යවේදීන් 3,000කට රක්ෂණාවරණය ලබාදීමට නියමිතය.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අගමැති මහින්ද රාජපක්ෂයන් සිදු කළ කතාව මාධ්‍ය වේදීන්ගේ හදවතට කළ ආමන්ත්‍රණයක් විය.

” මට මතකයි එදා, මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපතිතුමිය කිව්වා “ඔන්න රිපෝටර් එනවා කියලා, මම කිව්වා මම රිපෝටර් නෙවෙයි, එඩිටර්” කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා පක්ෂයටවත් මටවත් හානි නොවන විදියට. ඒ නිසයි මම කිව්වේ මම එඩිටර් කියලා. මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගෙ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඩ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා. මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍යය අපිව ශක්තිමත් කරනවා. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ කියලා මට හිතෙනවා.”

රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නැතැයි යන චෝදනාව මාධ්‍යයට හැමදාම එල්ල වූ බව පවසමින් අගමැතිවරයා අතීත කතාවක් ද සිහිපත් කළේය.

“අපිට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා “රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පළ වෙන්නේ නෑ. කරොංචි හාමි නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි” කියලා. රූපවාහිනි ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් ප්‍රේක්ෂකයො නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා.”

‘ඇසිදිසි’ රක්ෂණාවරණය යථාවත් කිරීමේ කර්තව්‍යයට උරදුන් පෙරගමන්කරු වත්මන් ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ය. සහෘද මාධ්‍ය වේදියකු ලෙස මාධ්‍යවේදීන්ගේ ආදරය දිනාගෙන සිටින ඇමති අලහප්පෙරුම එහිදී පැවසුවේ ප්‍රතිපත්ති සම්පාදකයකුට වඩා විකල්ප පත්තරකාරයෙක් ලෙස වැඩි බරකින් තමා මෙම අවස්ථාව හඳුනා ගන්නා බවයි.

”ජීවිත රක්ෂණය කියන එක උප ශිර්ෂයක් ලෙස පාවිච්චි කරපු යුගයක විකල්ප පත්තරකාරයෙක් විදිහට අපි එදා කටයුතු කළේ ජනතාව වෙනුවෙන් වගකීම් සහගත මාධ්‍ය කලාවක් කියන දේ ශීර්ෂ පාඨය කරගන්න ජීවිත ආරක්ෂණය උප ශිර්ෂය කරගෙන. විකල්ප පත්තරකාරයෝ විදිහට දින රහිත මරණ වරෙන්තුවත් බෝල්පොයින්ට් පෑනත් විතරයි අපේ සන්තකයේ තිබුණේ. එදා අපිට ජීවිත ආරක්ෂාව , ජීවිත රක්ෂණය සැපවූයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයෝ. ඒ බොල්ට්පොයින් පෑන අතට ගත්තු අපේ වෘත්තීය සගයෝ. ඒ පාර්ශ්ව දෙකට අමතරව දේශපාලන නායකයෝ හතර දෙනෙක් මහා ප්‍රාකාරයක් විදිහට ඒ අඳුරු සෙවණැලි පත්තර පිටු මත වැටිච්ච යුගයේ අපේ ආරක්ෂාව වෙනුවෙන් හිටගත්තා.

එදා සුනිල් මාධව ප්‍රමුඛ එක විකල්ප පත්තරයක් , සුනන්ද දේශප්‍රිය ප්‍රම්‍රඛ තව විකල්ප පත්තරයක් ආණ්ඩුවේ ගොරෝසු පිළිවෙතට අභියෝග කරන වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිතුමත් තවත් තිදෙනෙකුත් නිරන්තරයෙන් සුනිල් මාධව ප්‍රමුඛ අපි දිහාත් සුනන්ද දේශප්‍රිය ප්‍රමුඛ යුක්තිය කණ්ඩායම දිහාත් හොයා බැලුවා. අපිට ආදරය රැකවරණය දුන්නා.

අද රාජ්‍යයක වගකීම ඉෂ්ට කරමින් මේ රටේ වෘත්තීය මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණය ප්‍රදානය කරන වෙලාවේ ඔබතුමාට ඒ ගෞරවය ප්‍රදානය කරමින් ප්‍රථම වතාවටයි වේදිකාවක ජනමාධ්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් විදිහට මට ඒ ගැන මතක් කරන්න ලැබුණේ. අනිත් තිදෙනාවත් මම කෘතවේදීව සිහිපත් කරනවා. අවාසනාවකට මංගල සමරවීර, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි කියන ඒ තිදෙනාම අද ජීවතුන් අතර නැහැ. ඔවුන් තමයි මහින්ද රාජපක්ෂ කියන විපක්ෂයේ සටන්කාමී, නිර්භීත දේශපාලඥයාට අමතරව එදා අපිට ජීවිත රක්ෂණාවරණය වෙනුවෙන් පෙනී සිටියේ“ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එලෙස සිය කෘතවේදීත්වය පළ කළේය.

ඇසිදිසි රක්ෂණාවරණයේ වැදගත්කම පිළිබඳ අප ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකුගෙන් අදහස් විමසීමක් කළ අතර ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජික, අරුණ ඉරිදා පුවත්තේ කර්තෘ මහින්ද ඉලේපෙරුම පැවසුවේ මෙරට මාධ්‍ය වේදීන්ට රක්ෂණාවරණයක් ලැබිය යුතු කාලය බොහෝ ඉක්මවා ඇතත් ප්‍රමාද වී හෝ එය ආරම්භ වීම පිළිබඳ සතුටට පත්වන බවයි.

“මේ රටේ මාධ්‍යවේදීන්ට භීෂණ කාලයේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් තබා ග්‍රාමසේවා සහතිකයක්වත් ලබාගත නොහැකි ඉතාම අවදානම් අනාරක්ෂිත කාලයක් ගත කළා. ඊටපසු තිස් වසරක් පැවැති යුද්ධයේ අපේ මාධ්‍ය වේදීන් යුද පිටියට ගොස් මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණෙත් ජීවිතය පිළිබඳ කිසිදු ආරක්ෂාවක් නැතිවයි. ඒ සියල්ල අවසන් වූ පසු ලැබිය යුතුම කාලයේ නොලැබුණු රක්ෂණයක් දැන් ලැබී තිබෙනවා. දැන් මොකටද රක්ෂණයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෙතෙක් කාලයක් පැවති ආණ්ඩුවලින් සහ රජයේ අවිගත් මැරයන්ගෙන් තමයි ජනමාධ්‍ය වේදීන්ට තර්ජන තිබුණේ. දැන් එවැනි බියක් නැතිවුණත් තර්ජන අවසන් වෙලා නැහැ. ජනමාධ්‍ය වේදීන්ට විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට කැලෑ කපන, වැලි ගොඩ දමන, පරිසරයට හානි කරන, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්ගෙන් මරණ තර්ජන තියෙනවා. මාසයකට සැරයක් දෙකක් අපේ ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙක් එවැනි තර්ජනවල ප්‍රතිඵලයක් විදිහට රෝහල්ගත වෙන්න, පොලිසි යන්න සිදුවෙනවා. ඒ නිසාම රක්ෂණාවරණය තවදුරටත් වලංගු බව මගේ අදහසයි. මෙම රක්ෂණාවරණයෙන් ජනමාධ්‍ය වේදීන්ට වෙනදාටත් වඩා ධෛර්යයෙන් තමන්ගේ රාජකාරිය කරගෙන යන්න හයියක් ලැබෙනවා වගේම සමාජයටත් පණිවිඩයක් ලැබෙනවා ජනමාධ්‍ය වේදියා කියන්නේ රටට වැදගත් වෘත්තියක නියැළෙන පුද්ගලයෙක් කියලා.”

මහාචාර්ය අජන්තා හපුආරච්චි ද පැවසුවේ බොහෝ කලකට පෙර ලැබිය යුතුව තිබූ රක්ෂණාවරණය ප්‍රමාද වී හෝ වත්මන් රජය විසින් ක්‍රියාවට නැංවීම ගැන සියලු මාධ්‍ය වේදීන් වෙනුවෙන් රජයට ස්තුතිවන්ත වන බවයි. විශේෂයෙන් ඉකුත් කොවිඩ් සමයේ මාධ්‍ය ආයතනවලට ආදායම් අහිමි වීම හේතුවෙන් බොහෝ මාධ්‍ය වේදීන්ට ජීවත් වීමට සරිලන වැටුපක් පවා නොලැබුණු බවත් එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම රක්ෂණාවරණය ගෙනඒම ඉතා කාලෝචිත බව ද ඇයගේ අදහසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, අන්තර් ජාතික මාධ්‍ය සහයෝගිතා සංසදයේ ආසියානු කලාපීය උපදේශක ලෙස කටයුතු කරන ආචාර්ය රංග කලංසූරිය අන්තර්ජාතිත වශයෙන් නීත්‍යානුකූලව මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රැසකින් පිළිගෙන තිබෙන මාධ්‍ය වේදීන් ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම, ඇසිදිසි රක්ෂණාවරණය මඟින් ශ්‍රී ලංකාවේ ද යථාවත් වීම ගැන සතුට පළ කළේය.

“මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව නිර්වචනය කරද්දි බොහෝ විට කියැවෙන්නේ පහරදීම, ඝාතනය කිරීම සහ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම වැනි භෞතික ආරක්ෂාව ගැනයි. නමුත් මාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව කියන කාරණාවේදී ඔවුන්ගේ රැකියා සුරක්ෂිත භාවයත් ඇතුළත් වෙනවා. එම නිසා රජයේ මැදිහත්වීමෙන් ජනමාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් ලබාදීම ඉතා වැදගත්. පූර්ණකාලීන මාධ්‍යවේදීන්ටත් වඩා විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට මෙය වැදගත්. පූර්ණකාලීන මාධ්‍යවේදීන්ට ආයතනයෙන් යම් කිසි ආරක්ෂාවක් සැලසුණත් නිදහස් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ඒ කිසිදු ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේ රක්ෂණාවරණයෙන් ඔවුන් ද ආවරණය වනු ඇතැයි මම විශ්වාස කරනවා.. ”

ජාත්‍යන්තරය තුළ මාධ්‍යවේදීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙවැනි රක්ෂණාවරණ පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය රංග කලංසූරිය ශ්‍රී ලංකාවේ අසල්වැසි රට වන ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම දැනටමත් එවැනි රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව කීවේය.

වත්මන් ජනමාධ්‍ය ඇමතිවරයා මාධ්‍යවේදියකු ලෙස ජනමාධ්‍ය වේදීන්ගේ සැබෑ තත්ත්වය හඳුනාගනිමින් මෙවැනි රක්ෂණාවරණයක් ගෙන ඒමට කටයුතු කිරීම ගැන බලවත් සතුට ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, නවමිණ කර්තෘ එන්.එම්. අමීන් පැවසීය. කොන්දේසි රහිතව එහි ප්‍රතිලාභ සියලු ජනමාධ්‍යවේදීන්ට ලබාගැනීමට අවස්ථාව සැලසීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී මාධ්‍ය ආයතන නියෝජනය කරමින් රක්ෂණ ඔප්පුව ලබාගත් ‘තිනකරන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ, අශෝක් කුමාර් රාජා පැවසුවේ වසර 25ක් වන සිය වෘත්තීය මාධ්‍ය ජීවිතයේ මෙය සුවිශේෂී අවස්ථාවක් බවයි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරයාව සිටියදී මෙවැන්නක් යෝජනා කළ බවත් ප්‍රමාද වී හෝ ජනමාධ්‍යවේදීන්ට ලැබුණු මේ අවස්ථාව පිළිබඳ රජයට කෘතඥ වෙන බවත් ඔහු කීවේය.

Comments