
බඩේ පාර වැදුණේ සාමාන්‍ය ජනතාවට
මොහොමඩ් නසීම් නවුෆර් (51) ග්‍රෑන්ඩ්පාස් - වෙළෙඳාම
පාන්, බනිස්, මාළුපාන්, රෝල්ස් ආදී පිටි කෑමත් ගණන් ගිය එකෙන් බඩේ පාර වැදුනේ සාමාන්‍ය ජනතාවට. කෙටි කෑමක් කාලා ප්ලේන්ටියක් බීලා වේල පිරිමහ ගත්ත අයත් අනාථයි. මොන දේ වැඩි වුණත් දේශපාලනඥයින්ට නම් ගාණක් නෑ. එයාලට ජනතාවගේ අඩුපාඩු තේරෙන්නේ නෑ. එයාලට අඩුපාඩු නැති නිසා. ජනතාවට තියෙන්නේ එකමුතුවෙලා මේ ජීවන යුද්ධය ජයගන්න වැඩ කරන්නයි. දැන් කන්න බොන්න වෙන්නෙත් කිරලා මැනලා හරිම අරපිරිමැස්මෙන්.
පිටිකෑම ගන්නෙ කලාතුරකින් නිසා අවුලක් නෑ
නොරින් ගුණවර්ධන (70)මත්තේගොඩ - ගෘහණියක්
අපි සාමාන්‍යයෙන් මුල්තැන දෙන්නේ නිවසේ පිළියෙල කරන කෑමවලට තමයි. සරල ජීවන රටාවක් තියනව නම් ප්‍රශ්න ගැටලු අඩුයි. කොයිතරම් ආදේශක තියෙනවද? රට යන අතට අවුලක් නැතුව පවුලක් ගෙනියන්න බුද්ධියෙන් කල්පනා කරන්න ඕනෑ. මේ කාලේ පාන් විතරක් නෙමෙයි හැමදේම මිල වැඩිවෙලානේ තියෙන්නේ. ඒ අනුව ජීවිතේ සැලසුම් කර ගන්නව නම් කොහොම හරි ජීවත්වෙන්න බැරි නෑ.
ජනතාව වෙත සානුකම්පිත නෙත් හෙළිය යුතුයි
තුෂාර සම්පත් දිසානායක (50) දණ්ඩගමුව - ක්ෂේත්‍ර නිලධාරි
වතුකරයේ ජීවත්වන ජනතාව වැඩිපුරම කන්නේ පිටි ආශ්‍රිත කෑම බීම. තිරිඟු පිටි මිල ඉහළයාමත් සමඟ පාන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ යාම ජනතාවට දරාගන්න අමාරුයි. රජයට වරදක් කියන්නත් බෑ. මේ කොරෝනා උවදුර මුළු ලෝකයටම බලපාලා තියන වසංගතයක්. මේ ගැන ව්‍යාපාරික ප්‍රජාව තවදුරටත් සිතිය යුතුයි. සාමාන්‍ය ජනතාව ගැන මීට වඩා සානුකම්පිතව බැලිය යුතුයි. අනික් අතට පිටි කෑමවලට හුරුවීමට වඩා කව්පි, මුංඇට, අල, බතල වගේ දේශීය ආහාරවලට යොමුවීම වඩා වැදගත්.
මිනිස්සුන්ට දැන් පාන් කියාගන්නවත් බැරුවයි ඉන්නේ
උමාදේවි මහේන්ද්‍රන් (41) කොටහේන - රක්ෂණ නියෝජිත
උද්ධමනය වැඩිවුණාට අපේ පඩි වැඩි වෙන්නේ නෑනේ. දරුවන්ට පාසල් වියදම් වගේම කෑම බීමටත් කොච්චර වියදම් ද? දුව පාසල් යන්නේ ත්‍රීවිල් එකේ. පුරුද්දට ෂෝටීස්ට් ඉල්ලනවා. දැන් ගණන් වැඩිවෙලා. දැන් ඉතින් තුන්වේලටම බත් තමයි දෙන්න වෙන්නේ. සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටිලා. රජය ජනතාවට සහන ලබාදිය යුතුයි. තිරිඟු පිටි ඉහළ ගිය නිසයි පිටි කෑම හා පාන් මිල ඉහළ ගියේ. පහුගිය කොවිඩ් කාලේ තුන්වේලම පාන් කාලා ජීවත් වූ අයත් හිටියා. දැන් මිනිස්සුන්ට පාන් කියාගන්නවත් බැරුවයි ඉන්නේ.
අඩුවට තිබ්බ පාන් ගෙඩියත් ගණන් ගිහින්
ලයනල් තිලකරත්න (79) දරමඩුව වත්ත - විශ්‍රාමික
කොළඹ ජීවත්වන අපිට අල, බතල, මයියොක්කා හිටවන්නවත් ඉඩක් නෑ. හාල්, පිටි, සීනි, පරිප්පු මිල වැඩිවුණාට පස්සේ සමහරු පාන් කාලා දෙවේලක් හරි වේල පිරිමහගත්තා. රටවහලා තිබුණු කොවිඩ් කාලේ චූන්පාන්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. දවසගානෙම පාන් කන්න මිනිස්සු පුරුදු වුණා. මොකද ගෙදර උයන ගෑස්එකේ ඉඳලම ගණන් නිසා. දැන් පාන් ගෙඩියකුත් රු. 70 - 80 වෙනවා. අද මොනවද අඩුවට තියෙන්නෙ. හැම දේම හරි ගණන්. දුප්පත් ජනතාව හරිම අසරණවෙලා.
දේශීය ආදේශක ආහාරවලට මුල්තැන දෙනවා
දීප්ති බණ්ඩාර (58) මෝදර - ගෘහණියක්
සියලුම බේකරි කෑම කෙටි කෑමත් මිල හුඟාක් වැඩිවුණා. ඉස්සර කෑම දෙක තුනක් ගත්ත ගානට දැන් ගන්න වෙන්නෙ එකයි. නගරබද ජීවත්වන හුඟාක් දෙනෙකුට නම් විශේෂයෙන් දිනපතාම රැකියාවට යන අයට තමයි ලොකුවට දැනෙන්නේ. අපි නම් පාන් කන්නේ ඉඳහිට. අල, බතල, මයියොක්කා, කඩල, මුංඇට, කව්පි වගේ ආදේශක ආහාරවලට තමයි අපි මුල්තැන දෙන්නේ. ඒ දේවල්වලට යොමුවුණාම ශරීර සෞඛ්‍යයටත් හොඳයි.