පොහොර නාටක මැද ගෑස් නාට­කත් | Page 3 | සිළුමිණ

පොහොර නාටක මැද ගෑස් නාට­කත්

 

කුත් සතිය පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයේදී විවාදයට ගැණුනේ විදුලිබල, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයකි. එහෙත් එම අමාත්‍යාංශ විවාදයට ගැනුණද සතියේ බරපතළ ගැටලුවක් වූ තැනින් තැන ගැස් සිලින්ඩර පිපිරීම් හේතුවෙන්, ගෙවී ගිය සතිය මැති සබයද ගෑස්වලින් වරින් වර ගිනි ගත්තේ උණුසුම් වාද විවාදයෙන් හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ගේ ඝෝෂා මධ්‍යයේය. ඒ හේතුවෙන් මැති සබයේ මතු වූ ගෑස් පිපිරීමේ ගැටලු ගැන කතා කරන්නට ගෙවුණු සතියේ බදාදා දින පෙරවරු 9 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමක්ද පැවැතුණත් එයද තීරණයකින් තොරව අවසන් විය.

 

“කථානායකතුමනි, රටේ විවිධ පළාත්වලින් ගැස් සිලින්ඩර පුපුරලා. මගේ ගමේ කාන්තාවකුත් මිය ගියා. අද ගෑස් සිලින්ඩරේ ගෙදර ගෙනියනවා කියන්නේ බෝම්බයක් ගෙනියනවා වගේ දෙයක්. පොහොර නාටකය අස්සේ ගෑස් නාටකයකුත් මතු වෙලා. ඒ නිසා වහා මේකට විසඳුම් දිය යුතුයි.... “ කතාව ආරම්භ කළේ පොලොන්නරුවේ කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයාය. ඒ වන විට ඔහුගේ ගමේ කාන්තාවක්ද මේ නිසාවෙන් මියගොස් තිබුණි.

“ඇයි තවත් පුපුරනකම් ඉන්න ඕනද?....“ ඒ මන්ත්‍රි හේෂාගේ උපහාසයකි.

“ ඔව් ගෑස් කියන්නේ පුපුරන ද්‍රව්‍යයක් නේ...“ කථානායකවරයා ඇඟට පතට නොදැනි පිළිතරු දෙන විට විපක්ෂයේ මන්ත්‍රිවරු කෑ මොර දුන්නේ “ ඒක මරු කතාවක් “ යැයි කෑගසමිණි.

සිය කතාව ආරම්භ කරමින් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ගෑස් සම්බන්ධයෙන් පැතිර යන කතාවට අනිසි බියක් ඇති කර නොගත යුතු බවකි.

“මේ ගැන පර්යේෂණ කරගෙන යනවා. ඒ නිසා බියක් ඇති කර ගත යුතු නැහැ. අපිට හංගන්න දෙයක් නැහැ....ලෝකයේ බොහෝ රටවල මෙවැනි අනතුරු සිදුවී තියෙනවා. නමුත් කෙටි කාලයකින් අපේ රටේ සිදුවූ මේ අනතුරු ගැන අපි අවධානයෙන් පසු වෙනවා...“ විටක ඔහු විපක්ෂය සමඟ තර්ක කරන්නට ගියේ නැත; සියල්ලට සාවධානව ඇහුම්කන් දෙමින් විපක්ෂයේ ප්‍රශ්නවලට පිළිතුර දෙන්නට විය. නමුත් ඊට විරුද්ධව පිළිතුරු දෙමින් මන්ත්‍රි මුජිබර් රහුමාන් කියා සිටියේ ගෑස් සංයුතිය වෙනස් කර ඇති නිසා මෙසේ ඒවා පුපුරා යන බවකි.

“ මේ ගෑස් සංයුතිය වෙනස්කරන නිලධාරින් සි.අයි. ඩී එකෙන් අත් අඩංගුවට ගන්න ඕන. “ මන්ත්‍රි මුජිබර් සෘජුව කියා සිටි විට රාජ්‍ය ඇමැති ලසන්නට කේන්ති ගියේය. “ අධ්‍යයනයක් නැතුව කතා කරන්න එපා...“කෙසේවෙතත් ගෑස් පිපිරීම් සම්බන්ධ පාර්ලිමේන්තුවේ පැවැති වාද විවාදයන් අවසන් වූයේ මේ සම්බන්ධ විශේෂ පක්ෂ නායක හා බලධාරීන් අතර සාකච්ඡාවකිනි.

 

'ඔම්ක්‍රෝන්' මැති සබයටත්

මේ වන විට අප්‍රිකානු රටවල් ඇතුළු රටවල් කිහිපයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් දරුණු නව ප්‍රභේදය වන 'ඔම්ක්‍රෝන්' පාර්ලිමේන්තුවේ උණුසුම් කතා බහක් මතු කළේ ගෙවුණු සතියේය.

“ අපිට අලුත් ' ඔම්ක්‍රෝන් ' හඳුනා ගත්තත් පැතිරීම, මරණය රෝග ලක්ෂණ අපි හඳුනාගෙන නැහැ. අපි අනුමාන කරනවා කලින් කොවිඩ් රෝගය හැදුණු අයටත් මෙය වැළඳිය හැකි බව. 28වැනිදා සිට අවදානම් රටවලින් කිසිවෙක් ලංකාවට ආවේ නැහැ.“ රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ එසේ අවධාරණය කළේ සිය කතාවේදීය.

' ඔම්ක්‍රෝන් 'නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාසටද ගැටලුවක් මතු විය. ඒ ' ඔම්ක්‍රෝන් ' අභියෝගයට රජය සූදානම්ද යන්න පිළිබඳවය. ඔහු මැති සබයේ මතු කළේ මේ සඳහා රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, විදේශයින් පැමිණෙන සියලුදෙනා කොවිඩ් පරීක්ෂාවට යොමු කළ යුතු බවත් අවධාරණය කරමිනි. මීට පිළිතුරු දීමට සභාවේ නැඟී සිටියේ ඇමැති නාමල් රාජපක්ෂය.

“ජනාධිපතිවරයා රජය ජනතාවට තුන්වැනි මාත්‍රාව ලබා දුන්නේ ඔය වයිරසය එන්න කලින්. ගුවන් තොටුපළවල සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන සියල්ල තර කර අවසන්. ඒ වෙනුවෙන් ඇප් එකකුත් හඳුන්වලා දීලයි තියෙන්නේ. ....“ ඇමැති නාමල් කීවේ විපක්ෂ නායකවරයාටය. වෙනදා විවාදයට යන ඔහු එදා එතැනින් එහාට ඒ ගැන කතා කරන්නට ගියේ නැත.

 

හරක් ප්‍රශ්නයක්

සතුන්ගේ නම් කියා චෝදනා කිරීම පාර්ලිමේන්තුවට අලුත් දෙයක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයදා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි විජිත හේරත් හා පොදු ජන පෙරමුණු මන්ත්‍රි උපුල් ගලප්පත්ති අතර වාදයක් හට ගත්තේ ' හරක් කතාවක් ' නිසාවෙනැයි සබයේ ප්‍රසිද්ධ විවාදයක් ඇති විය. මන්ත්‍රී විජිත හේරත් අයවැය විවාදය ආරම්භ කළේ චෝදනා රැසක් මතු කරමිණි. ඒ අයවැයෙන් සෞඛ්‍යට වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවන බව පවසමිණි.

“රජයෙන් එක් පුද්ගලයෙකුට වෙන් කරලා තියෙන්නේ රුපියල් 8000 යි. වෛද්‍ය පරිපාලන නිලධාරින් බඳවා ගැනීමේ ගැසට් එක නැවතිලා. විශාල මුදලක් මෙයට වෙන් කළා. ඒත් මෙය ක්‍රියාත්මක වන්නේ නැහැ. වියදම් කළ මුදලේ ප්‍රතිඵල රජය ලබා ගන්නේ නැහැ. රහස සෞඛ්‍ය ඇමැති දන්නවා. ඊට හේතුව තමයි GMOA බලපැමට සෞඛ්‍ය ඇමැති යටවීම. ඇමැති බය වෙලා. GMOA වෛද්‍ය පරිපාලනය ඔවුන් හරහා සිදු කරන්න කටයුතු කරනවා. අපේ රටේ මිලියන ගණනක් වතුරේ. “ මන්ත්‍රි විජිත කියාගෙන ගියේ වෛද්‍ය පරිපාලන නිලධාරින් බඳවා ගැනීමේ ප්‍රමාදය පිළිබඳවය.

මීට පිළිතුරු දෙන්නට නැඟී සිටියේ සෞඛ්‍ය ඇමැති නොව පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්තිය.

“මම එතුමාගෙන් අහනවා, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස හා නීතීඥ වටවලගේ නෝනා ඉන්නේ කොහෙද කියා. ඒ අය ඉන්නේ GMOA නෙමෙයිද?..“ මන්ත්‍රී ගලප්පත්ති කියාගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි බිරියන්ද GMOA සිටීම පිළිබඳවය. එහෙත් ඔහුගේ පිළිතුරට මන්ත්‍රී විජිතට යකා නැග්ගේය.

“මම දැන ගත්තා නැඟිටින කොට හරක් ප්‍රශ්නයක් අහන්නේ කියලා. ඔය තත්ත්වයට පත් වුණාම සෞඛ්‍යට වෙන්නේ ඔය දේමයි. ඔය කතා කළෙත් එහෙම කෙනෙක්. මෙයා තොත්ත බබෙක්. ඔයාගේ ප්‍රශ්නය GMOA එකත් එක්ක බේර ගන්න. මේක රටේ ප්‍රශ්නයක්....“ මන්ත්‍රි විජිත කියාගෙන ගියේ උපහාසයෙනි.

 

ආණ්ඩුවට ක්‍රිම් පවුඩර්

මැති සබය රස ගඟුලක් කරමින් රස කතා කියන්නට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් කවදත් දක්ෂය. අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගැණුනු දා ඔහු සිය කතාව කර ගෙන ගියේ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධනටද දෝෂාරෝපන රැසක් එල්ල කරමිනි.

ඒ තමාගේ කතාවට සවන් නොදි ඇමැතිවරයා ජොලියෙන් සිටින බව පවසමිනි. නයි කතාවද නැවතත් කරලියට පැමිණියේ ඔහුගේ මේ කතාවේදිය.

“ අද දරුවන් හාර දහසකට සුරක්ෂා රක්ෂණය නැහැ. කින්නියා පාරුව පෙරළුණා. දරුවන් මැරුණා . අද මේ දරුවන්ට සුරක්ෂා රක්ෂණය කෝ?......මම මේ කියන කිසිම දෙයක් ඇමැතිතුමා අහගෙන ඉන්නේ නැහැ.

අර බලන්නකෝ හෙන ජොලියේ ඉන්නේ.....( ඔහු අධ්‍යාපන ඇමැතිවරයා දෙස බලමින් තවත් බොහෝ දේ කියන්නට විය) බොරළුගොඩ සිංහයා මම කියපු කිසිම දෙයක් කණකට ගන්නේ නැහැ.

අද බෝඩ් එකෙනුයි, තාප්පෙනුයි තමයි ජාතික පාසල් හදන්නේ. කොළඹ විශ්වවිද්‍යාලය හෑල්ලු වුණා. කුලපති තනතුරේ වැදගත්කම විනාශ වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට කුලපති ලෙස හාමුදුරු නමක් දාලා. මම උන්වහන්සේගේ නම දන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ වෙන නමක්. ආණ්ඩුවට ක්‍රිම් පවුඩර් දාන්නද මේ අය දාලා තියෙන්නේ...?..“ ඔහු උපහාසයෙන් කියාගෙන ගියේ සභාවේ දැඩි ඝෝෂා මධ්‍යයේය.

 

කෝකටත් තෛලය

රාජ්‍ය ඇමැති වාසදේව නානායක්කාරට කෝකටත් තෛල වාගේයැයි කීවේ විපක්ෂයේ සංවිධායක ගයන්ත කරුණාතිකය. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය දා සෞඛ්‍ය කාඩ් පතක් සැකසීමේ වුවමනාව අවධාරණය කරමින් කතා කරන විට එය අසන්නට අණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමැතිවරයෙකුට සිටියේ ඇමැති වාසුදේව පමණක් වීමය.

“කෝ සෞඛ්‍ය ඇමැතිවරයා මේ අවස්ථාවේ නැහැ. ඇමැතිතුමා නැතුව කතා කරද්දී දුකයි. අපි අපේ අමාත්‍යාංශ ගැන කතා කරද්දී ආසනයෙන් හෙල වුණේ නැහැ. අද කිසිම කැබිනට් ඇමැතිවරයෙක් මෙතැන නැහැ. කෝකටත් තෛලය වගේ ඉන්නේ වාසුදේව ඇමැති විතරයි. 1990 සුව සැරිය ගෙනෙද්දී බිල්ලෝ මැවුවා.

ඉන්දියාව අත දානවා කව්වා. අද කොහොමද ප්‍රයෝජනය. අද දැනුම් දුන් ගමන්ම 1990 එතැනට එනවා.....“ ගයන්ත දිගු කතාවක් කළේ යහපාලන රජයේ තම රජය යටතේ සිදුවූ සෞඛ්‍ය ක්‍රියාදාමයන් විග්‍රහ කරමිණි.

 

අසාර්ථකත්වයේ පාපොච්චාරණය

අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයදා කපා හැරීමේ කතාව කළ මුස්ලිම් කොන්ග්‍රස් නායක මන්ත්‍රී රවුෆ් හකිම් මෙවර අයවැය හැදින්වූයේ මෙය අසාර්ථකත්වයේ පාපොච්චාරණයක් වශයෙනි. ඒ අධ්‍යාපනයට මෙවර අයවැයෙන් වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවන බව දැඩිව අවධාරණය කරමිනි. එහිදි කොතලාවල පනත ගැනද කතා කිරීම විපක්ෂය අමතක කළේ නැත.

“මෙය අසාර්ථකත්වයේ පාපොච්චාරණයක්. අධ්‍යාපන අමාත්‍යාංශය විශාල අභියෝග රැසකට මුහුණ දෙන අමාත්‍යාංශයක්. එහෙත් මෙවර අයවැයෙන් ලබා දී ඇති ප්‍රතිපාදන බලන්න. ජල සම්පාදන අමාත්‍යාංශයට රුපියල් ත්‍රිලියනයක් වෙන් කරලා. මේ මොන විහිළුවක්ද? මේ විදියට මුදල් වෙන් කිරීමෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? සෑම රජයක්ම මේ වැරදි කර තිබුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ සැක සහිත ආකාරයට. අද පාර දිගේ ගියාම උපාධි කඩ පේනවා. මේවා ප්‍රමිතියකට යටත් කළ යුතුයි. මේ රජය ප්‍රසිද්ධ වුණේ ගැසට් ගැහිලිලටයි, එය ආපස්සට හැරිල්ලටයි.....“

 

ෆයිව් ස්ටාර් පාසල්

අධ්‍යාපන අමත්‍යාංශ වැය ශීර්ෂයදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ආර්ථික අතින් බිඳ වැටී ඇති මොහොතක පාසල් සිසුන්ගේ පහසුකම් හා සේවා ගාස්තු අය කරන්නට නැවතත් පාසල් ප්‍රධානින් කටයුතු කර ඇති බව චෝදනා කරමිනි. ඔහු ඊට උදාහරණ වශයෙන් ගණන් මිමි සමඟින් ඉදිරිපත් කළේ කුලියාපිටිය මධ්‍ය මහ විදුහල, පඩුවස් නුවර ජාතික පාසල මෙන්ම වාරියපොළ පාසලක් අය කරන පහසුකම් ගාස්තු ද සඳහන් කරමිනි. මේ අවස්ථාවේ අධ්‍යාපන ඇමැතිවරයාද පාර්ලිමේන්තුවේ සිටීම විශේෂත්වයක් විය.

“දැන් පාසල්වලින් පහසුකම් හා සේවා ගාස්තු අය කරන්න පටන් ගෙන. දැන් හාල් පෝලිම්, සීනී පෝලිම්. ගෑස් පෝලිම් නතර වෙලා, ගෑස් පුපුරන නිසා. පෝලිම් යුගයේ පිඩනය තුළ දුවා දරුවන්ගෙන් පහසුකම් හා සේවා ගාස්තුත් අය කරන්න පටන් ගෙන. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර සංකල්පයට මේ 3000, 1560 එකතු කිරීම සාධාරණද? වහාම චක්‍රලේඛයක් නිකුත් කරන්න, අද දවසේ සිට මේ මුදල් එකතු කිරීම තහනම් කරමින්. එහෙම කළොත් අද දවසේ සිට ඔබ ඉතිහාසගත වෙනවා....“ විපක්ෂ නායකවරයා දරුවන් ගැන මහත් අනුකම්පාවෙන් ඒ ඉල්ලීම කරද්දී අධ්‍යාපන ඇමැති දිනේෂ් නැඟී සිටිමින් කීවේ ඉතිහාසගත වන මේ ඉල්ලීම පිළිබඳව තමන් මැදිහත් වන බව පවසමිනි.

නමුත් ඊට පසු කතාව කරමින් හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයකු වූ එස්. බී. දිසානායක සඳහන් කළේ ෆයිව් ස්ටාර් පාසල්වලටත් පිට්ටනි, නේවාසිකාගාර ප්‍රශ්න ඇතිබව පවසමිනි. “ මෙරට අධ්‍යාපනයේ ශක්තිය දෙමවුපියන්. ෆයිව් ස්ටාර් පාසල්වලටත් අඩුපාඩු තියෙනවා. ඒවාට දෙමවුපිය ශක්තිය ලබා ගත යුතුයි. දරුවෙක් ගෙදර ආවට පස්සේ පැය දෙකට රුපියල් 2500 ක් දීලා ටියුෂන් දෙනවා. ඒ නිසා දෙමවුපිය කැමැත්තෙන් උදවු කරන්න....“

 

අතිශයින්ම පිරිමින්ට පමණයි

අධ්‍යාපන වැය ශීර්ෂය දා විවාදයට කාන්තා කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයද විවාදයට ගැණුනෙන් පසුගිය සතියේ මෙන්ම මෙවරද කාන්තා හිංසන මාතෘකාව යළි මතු කළේ එයට අදාළ රාජ්‍ය ඇමැති වූ පියල් නිශාන්තය. ඔහු පැවැසුවේ විපක්ෂය කාන්තා හිංසනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට එක් ඇඟිල්ලක් දිගු කරන්නේ නම් ඔවුනගේ පැත්තට ඉතුරු ඇඟිලි හතර දිගු කළ යුතු බවය. මේ නිසාවෙන් අතිශයින්ම පුරුෂයන්ට පමණයි යන්න පාර්ලිමේන්තුවේද ක්‍රියාත්මක විය යුතු බව ඔහු පැවැසුවෙ උපහාසයෙනි.

“ එදා කාන්තා හිංසනය වෙනුවෙන් බෝඩ් ලෑල්ලක් අරගෙන බැජ් එකක් පලඳා ගෙන වෙනසක් ඇති කරන්නට කටයුතු කෙරුවා. සමහර මන්ත්‍රීන්ගේ බිරින්ඳන් ගිනි තියාගෙන මැරුණා. ගෙවල්වල හිටපු අහිංසක දරුවෝ හිංසනයට ලක්වෙලා ගිනි තියාගෙන මැරුණා. අපේ අමාත්‍යාංශයේ අතිශයින්ම පිරිමින්ට පමණයි කියලා සංකල්පයක් ක්‍රියාත්මක කරනවා. මේ වැඩ සටහන පාර්ලිමේන්තුවේත් ක්‍රියාත්මක කරන්න ඕන. කාන්තාවන්ගේ අගය පිරිමින්ටත්, පිරිමින්ගේ අගය කාන්තාවන්ටත් දැනගත යුතුයි. හිරුනිකා කොහොමද එදා පිරිමින්ට කතා කළේ...හිරිකිතයි....“ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත කතා කළේ කාන්තා මන්ත්‍රිවරියන් කිහිප දෙනෙක්ම සභා ගැබේ සිටියදිය.

 

Comments