
පස්වරු 2.30 චිත්‍රපටය නැරඹූ ඔහු ගෙදර ගොස් සිටියේ මඳ වේලාවකි. යළිත් කමිසයක් පටවලාගෙන නිවසින් එළියට ගියේ පස්වරු 6.30 චිත්‍රපටය නැරැඹීම පිණිසය. එතැනින්ද කෙරුවාව අවසන් නොවීය. මහ රෑ 12.00ට ආසන්න වී ඔහු නිවසට පැමිණෙන්නේ රාත්‍රී 9.30 චිත්‍රපටයද නැරැඹීමෙන් පසුවය. එවන් ඇතැම් දිනවල ගෙදරින් බැණුම් ඇසූ වාරද අනන්තය.
චිත්‍රපට නැරැඹීමට පුදුමාකාර ආසාවක් හා නැඹුරුවක් තිබුණු මේ තරුණයාට පියා විසින් ආදායම් මාර්ගයක් පිණිස මුද්‍රණාලයක් සපයා දුන්නේය. එහෙත් ඔහුගේ ව්‍යාපාරික දැනුම එය ඉදිරියට ගෙන යන්නට තරම් ප්‍රමාණවත් නොවීය. මුද්‍රණාලය බංකොලොත් විය. පියා ඔහුට බැණ වැදුණේ ‘උඹට ඔය බිස්නස් හරියන්නේ නැහැ, ගිහින් වෙන රස්සාවක් හොයා ගනින්‘ කියාය. අවසානයේ චිත්‍රපටයන්ට සම්බන්ධ රැකියාවකට ඔහු අවතීර්ණ විය. ඒ ‘සිලෝන් තියටර්හි කනිෂ්ඨ විධායක නිලධාරියකු ලෙසය. ටික කලකට පසුව ඔහුට අම්බලන්ගොඩ ඊගල් සිනමා හලේ කළමනාකරු ලෙස යන්නට සිදු විය. ඒ එම සිනමා හළේ කළමනාකරුට ප්‍රදේශවාසී ජනතාව විසින් පහර දී ඇති වුණු ගැටලුවක් මතය. එම කලබලකාරී තත්ත්වය මැඬ පැවැත්වීමට මේ තරුණ කළමනාකරුට හැකි විය.
ඔහු නමින් බුලත්සිංහලගේ සිරිසේන කුරේය. උපත ලැබුවේ 1931 වසරේ අප්‍රේල් 25 වැනිදා කොළඹදීය. ඔහුගේ මව මාලෙවල කන්දවත්ත වලව්වේ මෙරාසා ගුණතිලකය. පියා කෝට්ටෙ බුලත්සිංහල කුරේ ය.
සහෝදර සහෝදරියන් හය දෙනකුගෙන් යුත් පවුලේ බඩපිස්සා වූ සිරිසේන කුරේ පාසල් ගියේ කොටහේනේ කුමාර විද්‍යාලයට වන අතර පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. සිරිසේන කුරේගේ පියා අමද්‍යප
![]() |
1992 වසරේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සමඟ |
ව්‍යාපාරයේ සාමාජිකයෙක් වූ නිසා සිරිසේන ද එම සමාජයේම අයෙක් ලෙස එම කටයුතුවලට සම්බන්ධ විය.
සිරිසේනට වයස අවුරුදු 17ක් වන විට පදිංචිව සිටියේ කොළඹ මරදාන සංඝරාජ මාවතේ වලව්වත්තේය. ඔහු ඒ වන විට සිලෝන් තියටර්හි සේවය කරමින් සිටියේය.
කුරේගේ සොහොයුරා සුදුවැල්ල ආසනය නියෝජනය කළ අතර ඒ නිසා දේශපාලඥයන් නිරතුරුවම සිරිසේන කුරේගේ නිවසට යන්නට එන්නට විය. ඒ අතර ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකු වූ රණසිංහ ප්‍රේමදාස ද විය.
ප්‍රේමදාස නිවසට විත් කියනා කතා ඇසුණු විට සිරිසේන කුරේට ද දේශපාලනය ගැන දැඩි ආසාවක් ඇතිවුණු නමුත් ඒ ගැන වැඩිදුර සිතන්නට ඔහු අකමැති විය. කෙසේ වෙතත් දේශපාලනයේ නියැළීම හොඳ සේවයක් බව සිරිසේන කුරේ සිය මිතුරන්ට දිනක් පැවසුවේය. එය දැනගත් පියා දිනක් සිරිසේනට කතා කොට ‘උඹට දේශපාලනය කරන්න ඕන නම් අන්න අර කොලු ගැටයත් එක්ක හාදවෙයන්‘ යැයි ප්‍රේමදාස පෙන්වමින් කීවේය. ඒ දැනුම් දීම අනුව නිවසට ආ ගිය ප්‍රේමදාස සමඟ සිරිසේන කුරේ වඩාත් සමීප විය. ඒ අතර සුදුවැල්ල ආසනය නියෝජනය කළ සිරිසේනගේ සොහොයුරා 1952 වසරේ මිය ගියෙන් එම මන්ත්‍රී ධුරය හිස් විය. ඩඩ්ලි සේනානායකයන් දිනක් සිරිසේන කුරේට කතා කළේය. ඔහු සිරිසේන කුරේට දැනුම් දුන්නේ සුදුවැල්ල ආසනයට ඉදිරිපත් වන ලෙසයි. එහෙත් දේශපාලනයේ මුහුකුරා නොගිය කුරේ එයට කැමති නොවීය. එහෙත් ප්‍රේමදාසගේ දිරි ගැන්වීම හා ඩඩ්ලි සේනානායකගේ ඉල්ලීම මත ඔහු ඉදිරිපත් විය. ඔහු මැතිවරණයෙන් ජය ලැබුවේය. ඒ අනුව සුදුවැල්ල ආසනයේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස ඔහු දේශපාලනයට එක් විය. පියා ප්‍රේමදාසයන් ගැන දුන් ඔවදන ද කුරේට සිහිපත් විය. ප්‍රේමදාසගේ සහයෝගය නිසා ඉදිරියට ආ ගමන අනුව සිරිසේන කුරේද තම ඉදිරි ගමන ප්‍රේමදාසයන්ගේ සහාය ඇතිය යා යුතු යැයි සිතුවේය.
එදා සිට ප්‍රේමදාස හා සිරිසේන කුරේ සුසංයෝගය ගහට පොත්තක් බඳු විය. 1977 මැතිවරණයට කාලය උදා විය. එදා ප්‍රේමදාස හා ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදුණේ කොට්ඨාස බෙදාගෙනය. සිරිසේන කුරේ සතුවද මෝටර් රථයක් විය. එහි නැඟුණු ඔහු ආධාරකරුවන් සමඟ රට පුරා යන්නට විය. ඒ මැතිවරණ ව්‍යාපාරයේදී තිලක් රත්නාකාර හා ඇලෝසියස් මුදලාලි විශාල සහායක් සිරිසේන කුරේටද ලබා දුන්නේය. මැතිවරණය ජයග්‍රහණය කරන්නට එක්සත් ජාතික පක්ෂය සමත් විය. එහි විශාල කොටසක් සිරිසේන කුරේ විසින් සිදු කළ අතර මැතිවරණයෙන් පසුව සිරිසේන කුරේ පොදු පහසුකම් මණ්ඩලයේ සභාපතිවරයා ලෙසට පත් විය. එහෙත් සිරිසේන කුරේට අවශ්‍ය වූයේ නාගරික බවින් මිදී සිටින්නටය. පැහැදිලිව පෙනෙනා දේශපාලන පත්වීම්වලට ඔහු එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එක් පක්ෂයකට හංවඩු ගැසීම වළක්වා ගත යුතු බව ඔහු කල්පනා කෙළේය. ඒ බව දැනගත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයට කතා කොට සිරිසේන කුරේට කැමැති තනතුරක් දෙන ලෙස දන්වා සිටියේය. ඒ අනුව සිරිසේන කුරේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබුවේය. wwwඑහෙත් ඔහුට මැලේසියාවේ ඉන්නට ලැබුණේ මාස 7ක කාලයක් පමණි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඔහුට කතා කොට යළි දිවයිනට පැමිණෙන ලෙස දැන්වූයේය.
‘‘මම කතා කෙරේ කරුණු දෙකකට, එකක් මේ ප්‍රේමදාස ලොක්කට තමුන්නැහැ නැතුව බැහැයිලු, ඒක නිසා එයාට උදවු කරගෙන ඉන්න, අනිත් එක කොළඹ නගර සභාවෙ ඡන්දෙ ළඟම එනවා ‘සිරි‘ ඒකට ඉදිරිපත් වෙන්න ඕන‘ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිරිසේන කුරේට කරුණු ගෙන හැර දැක්වූයේ සැරෙන් වැරෙන් නොවන නමුත් සිරිසේන කුරේට ඒ එකදු දැනුම්දීමකින් හෝ ඉවත් වන්නට නොහැකි විය ඒ අනුව 1979 වසරේ කොළඹ නගර සභාවට තරග කළ සිරිසේන කුරේ එහි නගරාධිපති ධුරයට පත් විය. නගරාධිපති ධුරයට පත් වූ දා සිටම ඔහු කළේ බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවැති ඉපැරැණි සේවාවන් යුගයට ගැළපෙන පරිදි නවීකරණය කිරීම හා ඒවා වෙනුවෙන් සැලසුම් හැදීමය. කොළඹ නගරය අනාගතයේදී ජලයෙන් යටවීමට හේතුවක් වන්නට ඉඩ ඇති කොළඹ ජලාපවාහන පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට මුල්වරට දැනුම් දුන්නේ ඔහුය. එමෙන්ම අතුරු මාර්ග හා පදික මාරු ඇතුළු බොහෝ දේ නවීකරණය කිරීම ආරම්භ කළේ ඔහුය. ඒ අතර අගමැති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාසයන් විසින් ආරම්භ කළ ගම්උදාව වැඩසටහනට විශාල දායකත්වයක් ලබා දෙන්නට ද සිරිසේන කුරේ කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කෙළේය.
පළමු ගම් උදාව පැවැති අම්පාරේ සිට දිගින් දිගටම එහි විශාල බරක් උසුලන්නට සිරිසේන කුරේ කටයුතු කෙළේ කොළඹ නගරයේ ජනතාවගේ කටයුතුද කරන අතරතුරමය. ඒ අතර 1988 වසරේ මෙරට පැවැති භීෂණකාරී සමයේ පක්ෂය රැක ගන්නට විශාල වෙහෙසක් ගන්නට ඔහු කටයුතු කළේය. විශේෂයෙන් පාක්ෂිකයන් රැක ගන්නට ඔහු විසින් කටයුතු කරන ලදී. ඒ අතර අගමැති ප්‍රේමදාසයන්ද ඔහුට සැලකිය යුතු වැඩ කොටසක් පවරා තිබුණි. 1989 වසර දක්වා දීර්ඝ කාලයක් කොළඹ නගරාධිපති ධුරය හොබවන්නට ඔහු සමත් විය. 1989 මැතිවරණයද සිරිසේන කුරේට විශේෂී විය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර තිබූ භීෂණකාරී වාතාවරණය මැද මැතිවරණ කටයුතු කරන්නට සිදුව තිබුණු අතර එහිදී සිරිසේන කුරේගේ පෝස්ටර් ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේම ජනතාවගේ ඇස යොමු කරන්නට සමත් විය. ඒ ‘මේ කවුද? මොනවද කරන්නෙ?‘ යන්නය.
1989 මැතිවරණයේදී සොත්ති උපාලි නොහොත් උපාලි අරඹෙවෙලගේ සහාය ලබා ගන්නට සිරිසේන කුරේ කටයුතු කළේය. ඔහු පවසා තිබුණේ ඒ කටයුතු සිදු කෙළේ උපාලි අරඹෙවෙල ප්‍රේමදාසයන්ගේද හිතවතකු නිසා බවයි.
සිරිසේන කුරේ මුල් ම වරට මහා මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණේද 1989 වසරේ දීය. එහි දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි ඔහු, මනාප 92,263ක් ලබාගැනීමට සමත් වුණේ ලලිත් ඇතුළත්මුදලිට පමණක් දෙවැනි වෙමිනි. මැතිවරණයෙන් පසු ඔහුට නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුරය හිමි විය. ඒ අතර පක්ෂයේ මහ ලේකම් ධුරය දැරූ රන්ජන් විජේරත්න ඝාතනය වීමෙන් පසුව ඔහුට පක්ෂයේ මහ ලේකම් ධුරය හිමි විය. ඒ 1991 වසරේදීය.
ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ට දෝෂාභියෝගය ජය ගැන්මටද සිරිසේන කුරේ දැක් වූ දායකත්වය සුළුපටු නොවේ. එසේ වුවද සිරිසේන කුරේට එල්ල වූ චෝදනා ද සුළු පටු ඒවා නොවේ. ලලිත් හා ගාමිණී ගේ ඝාතනයන් ගැනද ඔහුට යම් යම් චෝදනා එල්ල විය. එහෙත් ඔහු ඒ වෙනුවෙන් පිළිතුරු ලෙස දන්වා තිබුණේ ‘ත්‍රස්තවාදී ක්‍රියා හඳුනා ගැන්මට නොහැකි අය සිටිනා‘ බව දැනුම් දෙමිනි. එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කළ ස්ථානය කඩිනමින් සෝදා හළ බවටද චෝදනා එල්ල විය. එසේම කළු බළල්ලු, කහ බළල්ලු වැනි සංවිධාන සම්බන්ධයෙන්ද ඔහුට එල්ල කළ චෝදනාවන් ගැන දක්වමින් සිළුමිණ සාකච්ඡාවකදී ඔහුගෙන් ප්‍රශ්න කළේ ඔබත් දේශපාලන මැරබලය භාවිතා කළා නේදැයි යන්නය.
එවිට ඔහු පැවසුවේ ‘මම කටින් බය කරන කෙනෙක් මිසක් පළි ගැනීම් කරන අයෙක් නොවන බවයි‘.
‘‘කවුරු හරි ‘අඩෝ‘ කියල කිව්වොත් මම ‘අඩෝ‘ කියල අහන්නෙ නැහැ, මම කියන්නෙ ‘මොකද අඩෝ‘ කියල, එතකොට ප්‍රතිවාදියා අඩියක් පස්සට යනවා‘. ඒ හැරෙන්න මම දේශපාලන චණ්ඩිත් එක්ක ගනුදෙනු කළේ නැහැ‘. 1989 වකවානුවේ පාක්ෂිකයන් රැක ගන්න කටයුතු කළා මිසක් කිසිවකුටත් හිරිහැර කළේ නැහැ‘
‘මම ගමනක් යන්න පිටත් වෙන වෙලාවෙ ගේන ලියුම් පවා මම කාර් එකේ බොනට් එක උඩ තියලා අත්සන් කරලා තියෙනවා, අපි ඉන්නෙ ජනතා සේවයට අපි ඒ අයට සේවය කළොත් විතරයි අපට යා දෙන්නෙ‘ ඒ ඔහුගේ අදහසකි.
කෙසේ වුවත් ඔහුට එල්ල වූ චෝදනා අතර වෙනත් පාක්ෂිකයන්ගේ කොඩියක් පවා දමන්නට නොදීමද විය. ඔහු එහිදී පැවසුවේ එය දේශපාලනයේ ක්‍රමවේදයක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහයන්ට මෙරටින් පැන යාමට උපකාරී වීම ඇතුළු විවිධ දේශපාලන චෝදනාවන්ද ඔහුට එල්ල වුවද සිරිසේන කුරේ පවසා සිටියේ ඒ කිසිවකට තමන් සම්බන්ධ නොමැති බවයි.