
මාධ්‍ය ආචාර ධර්ම රැකිය යුතුයි
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා
1. එවැනි ආයතනයක් පිහිටුවනවා නම් හොඳයි; එමෙන්ම මෙවැනි අධ්‍යාපන ආයතන පුළුල් කිරීම යහපත් තීන්දුවක් වුවත් ජනමාධ්‍යවේදීන් ද යම්කිසි අධ්‍යාපන මට්ටමක් වෘත්තිය නිපුණත්වයක් ගොඩනඟා ගන්න අවශ්‍යයි. ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ජනමාධ්‍යවේදයත් අනෙකුත් වෘත්තීන්ගෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මාධ්‍යකරුවන්ට ද බොහෝ දුරට වෘත්තිය සුදුසුකම් සහ පිළිගැනීමක් ලබාදීම ඉතා හොඳයි. අද ඉන්න බොහෝ මාධ්‍යවේදීන්ට උපාධියක් තියෙනවා. විශේෂයෙන් මාධ්‍යකරුවාට වෘත්තිය පිළිබඳව යම් නිපුණත්වයක් භාෂා හැකියාවක් තිබිය යුතුයි. භාෂා ඥානය දියුණු විය යුතුයි. තමන්ගේ භාෂාව නිවැරදි ලෙස හැසිරවීමට මෙන්ම ද්වී භාෂා හැකියාවක් තිබීම වඩා සුදුසුයි. භාෂා හැසිරවීමේ නොහැකියාව අද ජනමාධ්‍යවේදයේ තිබෙන ගැටලුවක්. ඒ නිසා මෙවැනි අධ්‍යාපනයක් ලබාදීමේදී නිපුණත්වයක් ඇති අය තෝරා ගෙන එවැනි පිරිසක් සම්බන්ධයෙන් විවිධිමත් ක්‍රමවේදයක් ඇති කර අධ්‍යාපනයක් ලබා දීම හොඳ ක්‍රියාදාමයක්. මෙහිදි පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් ඇති කිරීමට මෙවැනි අධ්‍යාපනික සුදුසුකම් ලබාදීම ඉතාමත් සුදුසුයි.
2. ජනමාධ්‍ය අද පුළුල් ක්ෂේත්‍රයන් කරා ගමන් කර තිබෙනවා. පුවත්පත, රූපවාහිනියට එහා ගිය සමාජ මාධ්‍යයක් කරා ගමන් කර තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දැන ගැනීම ක්ෂණික සහ සරල දෙයක් බවට පත්වී තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමටත් අවකාශ තිබෙනවා. ජනමාධ්‍ය සම්බන්ධයෙන් අපේ අදහස පුළුල් විය යුතුයි. ප්‍රකාශ කිරීමේ හැකියාව සහ මහජනයාට ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා ජනමාධ්‍ය කලාව හුඟක් සරල වී තිබෙනවා. මේ ආකාරයට පුළුල් වන ක්ෂේත්‍රය සදාචාරාත්මක හසුරුවා ගැනීමට යම් ගුණාත්මක වෙනසක් කිරීම හැර අපිට මේ දේවල් බැඳලා ගැටගහලා තියාගන්න බැහැ. තොරතුරු දැන ගැනීම කියන්නේ ඉතාමත් විශාල පරාසයක් දක්වා විහිදී ඇති දෙයක්. අපි දන්න දෙයක් නම් පුවත්පත් සහ දෘෂ්‍ය මාධ්‍යවලින් මහජනතාව ඉවත් වීමට යම් අවකාශයක් තිබිය හැකියි. ඒ වෙනුවට වෙනත් විකල්ප මාධ්‍ය නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා පවතින මුද්‍රිත සහ දෘෂ්‍ය මාධ්‍යයන්ට සමාජ මාධ්‍යවල කාර්ය භාරයක් යම් ප්‍රමාණයකට ඉටු කිරීම වැනි වෙනසක් කිරීමට සිදුවෙනවා. නැති නම් එවැනි මාධ්‍ය ගිලිහී යාමට ඉඩ තිබෙනවා.
3. අපි හැමදාම මාධ්‍ය සදාචාරය ගැන කතා කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් නීති රීති පද්ධතියක් තිබිය යුතුයි. ඒ නිසා සියලු මාධ්‍යකරුවන් සමඟ සාකච්ඡා කරලා එකඟ වන තැන් හෝ තර්කානුකූල තැන් ගැන එකම මතයකට පැමිණිය යුතුයි. මෙවැනි කාර්යයන් සොයා බලා කළ යුතු දීර්ඝ කටයුත්තක්. මම ඇමැතිවරයාව සිටින කාලයේ මේ දේවල් කරන්න උත්සාහ කළා. මට පස්සේ හිටපු හැම ඇමැති කෙනෙක්ම උත්සාහ කළා. ඒත් එය සාර්ථක වුණේ නැහැ. මාධ්‍ය ස්වාධීනව පවත්වා ගෙන යා යුතුව තිබෙනවා. ඒ වගේම මාධ්‍යකරුන්ගේ නිදහස ආරක්ෂා කරන්නත් අවශ්‍යයි. මාධ්‍යයත් යම් වෙනසකට සදාචාරාත්මක ස්වයං පාලනයක් ඇති කරගත යුතුයි. යම්කිසි පුද්ගලයකුට යම් චෝදනාවක් කරන විට ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ද මාධ්‍ය ආචාර ධර්ම රැකිය යුතුයි. චූදිතයකු බවට ඔප්පු වීමට පෙර වරදකරුවන් නොකළ යුතුයි. ජාත්‍යන්තර මාධ්‍ය හැසිරෙන ආකාරයට සහ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය තුලනාත්මක බව රකින්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඒ රටවල අත්දැකීම් බෙදා හදාගෙන අපි ඒ දේවල් ගැන දැනුම්වත් විය යුතුයි.
4. එය මහ විශාල බලපෑමක්. අනෙක් රටවල බීබීසී සහ සිඑන්ඒ වැනි මාධ්‍ය ජාල ගත් විටත් ටයිම්ස් සඟරාව වැනි සඟරා ගත්තත් අන්තර්ජාතික බුද්ධිමය තලයේ මාධ්‍යකරුවන් විසින් ඉතා සදාචාරාත්මක මාධ්‍ය හැසිරවීමක් කරනවා. ඒ වගේම මොනතරම් විශාල ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයක යෙදෙනවාද යන කාරණාව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. අනෙකුත් රටවල් සමඟ බැලීමේදි අපි පසුගාමියි. එයට එක් හේතුවක් මාධ්‍යකරුවන්ට පවතින ආර්ථික වටපිටාව ගවේෂණාත්මක වාර්තාකරණයකදී ලැබෙන පහසුකම් අපේ රටේ අඩුයි. ඒ නිසා අපි ඉන්නේ සැබැවින්ම පසුගාමි තැනක. මේ පසුගාමි තැන ඉදිරිගාමි කරන්න නම් මාධ්‍ය සම්බන්ධයෙන් නව ප්‍රවේශයක් ඇති කළ යුතුයි. පුද්ගලික සහ රජයේ කියලා මාධ්‍යකරුවන් වෙන්කොට නොදැක්විය යුතුයි. එය තේරුමක් නැති දෙයක් පුද්ගලික මාධ්‍ය ක්‍රියාකරන්නේ තමන්ගේ හිමිකරුවන්ගේ දේශපාලනික අවශ්‍යතා අනුවයි. රජයේ මාධ්‍ය හැසිරෙන්නේ රජයේ මාධ්‍ය ක්‍රියාකරන්නේ තමන්ගේ දේශපාලනික මාස්ටර්ට අවශ්‍ය වන ආකාරයටයි. මේ නිසා හොඳ මාධ්‍යකරුවෙක් හදන්න නම් ජනමාධ්‍ය තුළ නිදහස ලබාදිය යුතුයි අන්තර්ජාතික මට්ටමට පත් කිරීමට ඒ වෙනුවෙන් ලොකු ආයෝජනයක් කළ යුතුයි. ඒ අයෝජනය රජය කළොත් මම හිතනවා එය රටටම ඵලදායී ක්‍රියාවක් වෙයි.
5. රාජ්‍ය මැදිහත් වීම ස්වාධීනත්වයට බලපානවා. රජයේ ඉන්න අයට ඕන විදිහට ප්‍රවෘත්ති නිර්මාණය කිරිමයි රජයේ මාධ්‍ය කරන්නේ. මම හිතන්නේ මේ අධ්‍යාපන ආයතනය එසේ විය යුතු නැහැ. මගේ තර්කය රාජ්‍ය සහ පුද්ගලික යනුවෙන් මාධ්‍ය දෙකක් අවශ්‍ය නැහැ. තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේද හුඟක් තිබෙනවා. ජනතාවට නිවරැදි දේ සම්ප්‍රේෂණය විය යුතුයි. සියලු දෙනාටම මේ වරප්‍රසාදයන් ලබාදිය යුතුයි. එය රාජ්‍යයක කාර්ය භාරයයි.
ගරුත්වයක් ඇති ලෙස වෘත්තියේ නියැළෙන්න
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර
1. වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුවේදී අයවැය කතාවේදිත් මා මතු කළා. විශේෂයෙන් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ නිසා එවැනි ආයතනයක අවශ්‍යතාව මා හොඳින් දන්නා කාරණාවක්. මාධ්‍ය ක්ෂේත්‍රයටත් වෘත්තිය වටිනාකමක් තිබිය යුතුයි. අනෙක් සියලු වෘත්තින්ට වෘත්තිම වටිනාකමක් තිබෙනවා. වෘත්තියේ නියැළුණු කෙනෙක් විදිහට මාධ්‍යවේදීන්ට ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව මා හොඳින් දන්නවා. ෙඅද වන විට කිසිදු දැනුමක් බුද්ධියක් නැතුව මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. කැමරාවක් තියෙනවා නම් මොනවා හරි ලියන්න කියන්න පුළුවන් නම් මාධ්‍යවේදියෙක් වීම නොවෙයි කළ යුතු වන්නේ. මේ සියලු දේවල්වලට එහා ගිය දැනුමක් බුද්ධිමය වටපිටාවක් තිබෙනවා නම් පමණයි විචක්ෂණශීලී මාධ්‍ය කලාවක් බිහිවිම සිදුවෙන්නේ. වෘත්තියමය හැකියාවන් වගේම අදාළ විෂය සම්බන්ධයෙන් යම් උපාධිධාරියෙකු වීම ඉතා වැදගත් වෙනවා. වරලත්භාවය ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. මේ සඳහා අවශ්‍ය වෘත්තිභාවය ලබා නොදුන්නොත් එය විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මාධ්‍ය කියන්නේ රටක ප්‍රධාන කුලුනු තුනට අමතරව අනෙක් බල කණුව වෙන්නේ මාධ්‍යයයි. එය වැරදි ලෙස හැසිරෙනවා නම්; විෂය ගැන නොදැනුම්වත්ව ක්‍රියා කරනවා නම්; සමහර අයගේ අවශ්‍යතා මත පවතිනවා නම්; මාධ්‍ය කියන දේ ගාමක බලවේගය වෙන්නේ නැහැ. ඒ නිසා සදාචාරාත්මක මාධ්‍ය කලාවක වැදගත්කම ඉතා දැඩි ලෙස මම විශ්වාස කරනවා.
2. අනිවාර්යයෙන්ම කාලීන අවශ්‍යතාවක්. දැනුම, බුද්ධිය අවකාශය පුළුල් කිරීම ජනමාධ්‍ය විද්‍යාල, ජනමාධ්‍ය ඩිප්ලෝමා උපාධි වරලත් ජනමාධ්‍යවේදයන් පුළුල් කිරීමෙන් සිදුවනවා. අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය කලාවක් කරා ගමන් කිරීමට එය අනිවාර්ය අවශ්‍යතාවක්. අද වන විට මේ සියලු අධ්‍යාපන අවස්ථා තිබුණත් මාධ්‍ය ක්ෂේත්‍රයට යොමුවිමේ ඉඩකඩ අඩුයි. එයට ලොකු ඉඩකඩක් සකස් කරලා දිලා එය විශාල වෘත්තිය මට්ටමට පුළුල් කළොත් පමණයි; තවත් දැනුම්වත් පිරිසක් මේ මාධ්‍ය ක්ෂේත්‍රයට ඒකරාශි කරගැනිමට හැකිවෙන්නේ.
3. විධිමත් අධ්‍යාපනයක් ලැබීමෙන් වෘත්තීමය සුදුසුකම් ඇති බුද්ධිමත් සහ ක්ෂේත්‍රය පිළිබඳ, සාරධර්ම පිළිබඳ දැනුම්වත් පිරිසක් බිහිවෙනවා. ඒ වගේම මාධ්‍ය වාර්තාකරණයේදී ගුණාත්මක ලියවිල්ලක් සහ ප්‍රකාශ කිරීමේදි මාධ්‍ය සාරධර්මවලට අනුගතව ඉදිරිපත් කිරීමේ අවකාශයක් ඔවුන් සතු වෙනවා. ඒ තුළ ස්වයං වාරණයක් මඟින් සදාචාරාත්මක වාර්තාවක් නිරන්තරයෙන් එළි දැක්වෙනවා. ආරම්භයේදීම දැනුම, බුද්ධිය ඇතිව මේ ගමන ආරම්භ කළොත් පමණයි සාර්ථක ගමනක් යා හැකි වෙන්නේ.
4. අපි ඇත්ත වශයෙන්ම කනගාටුවෙන් වුවත් කිව යුතුයි; අද මාධ්‍යයට සංස්කෘතියක්, සදාචාරයක් නැහැ. තමන්ට ඕන විදිහට තම තමන්ගේ ආයතන ප්‍රධානින්ට අවශ්‍ය විදිහට සියල්ල කරනවා. එවැනි වාර්තාකරණයකදී තමන්ට, ආයතනයට, රටේ දරුවන්ට සහ කාන්තාවන්ට වන හානිය ගැන සිතීමට තරම් විචාරශීලී මනසක් ඇතැම් මාධ්‍යකරුවන්ට නැහැ. ලෝකයේ මාධ්‍යකරණය කියන්නේ ස්යංවාරණයක් ස්වං නියාමනයක් සහිත හොඳ ක්‍රමවේදයක් සහිතව පවත්වාගෙන යන දෙයක් අපි එවැනි දේ අධ්‍යයනය කළ යුතුයි. ජාත්‍යන්තර මට්ටමින් ප්‍රමිතිගත මෙවැනි ආයතනයක අවශ්‍යතාව මතුවන්නේ අපේ මාධ්‍ය ජාත්‍යන්තරයට තලයේ මාධ්‍යකරණයක් කරා ගෙන යාමටයි. වාර්තාකරණය සහ ගවේෂණාත්මක වාර්තාකරණය සියල්ල සම්බන්ධයෙන් අන්තර්ජාතිකතලයේ දැනුමින් සකස් කරගන්නා ස්ථානයක් බවට මේ ආයතනය පත්විය යුතුයි. මාධ්‍යවේදියා වෙන දේ බලාගෙන පාඩුවේ ඉන්න හිමිකරුවන් විසින් පාගා ගෙන සිටින පිරිසක් නොවිය යුතුයි. ඒ වගේම සිල්ලරට ගන්න පුළුවන්, කියවන විට ලියන පිරිසක් බවට පත් නොකළ යුතුයි. එය වෙනස් කරන්න නම් මාධ්‍යයට නිසි ගරුත්වය සහ බුද්ධිමය වටිනාකම දෙන්න අවශ්‍යයි. කොන්ද පණ තියාගෙන කටයුතු කරන්න බැරිනම් කොතෙක් ඉගන ගත්තත් වැඩක් වෙන්නේ නැහැ තමන්ගේ වපසරිය සහ වටපිටාවේදී ස්වාධීනව කටයුතු කිරීමට මාධ්‍යවේදියෙකුට හැකිවිය යුතුයි. මාධ්‍යවේදියෙක් ලෙස සිටින තාක්කල් කිසිම දේශපාලනික මතවාදයක් දරන්න බැහැ. ලිවීමේදී සහ යමක් ඉදිරිපත් කිරීමේදී තමන්ගේ දේශපාලන මතවාදය එළියට දාන්න බැහැ. ඍජු තැනක සිටගනිමින් මාධ්‍යකරණයේ නියැළිය යුතුයි. අද අපේ මාධ්‍යවේදියෝ නිවේදකයෝ දැක්කාම අපට පේනවා ඒ අයගේ මතවාදයයි බොහෝ වෙලාවට එළියට දාන්නේ .
5. රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. මෙවැනි ආයතනයන් ඉදිරියට ගෙන්න අන්තර්ජාතික තලයට ඔසවා තබන්න අවශ්‍යයි. දේශපාලන පක්ෂවල සහ ආණ්ඩුවේ අතගැසීම්වලින් තොර විය යුතුයි. රාජ්‍ය මැදිහත්වීම රාජ්‍ය පිළිගැනිම අනිවාර්යෙන් මෙවැනි ආයතනයකට ලබාදිය යුතුයි. ස්වාධිනත්වය පවත්වාගෙන යන්න අවසර ලබා දිය යුතුයි. ආණ්ඩුවක් මෙවැනි දේකදී මැදිහත් නොවිය යුතුයි. පාසලෙන් අධ්‍යාපනය ලබා මාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට කැමැත්ත ඇති ලියන්න, කියන්න මාධ්‍ය ගවේෂණය කරන්න හැකි අයට මෙහි ඉඩ ලබා දිය යුතුයි. රාජ්‍ය මැදිහත් වීමෙන් මෙය හරි තැනට ගෙන ආවොත් පමණයි මෙහි නිසි ප්‍රයෝජනයන් ගත හැකිවන්නේ. එවැනි අපක්ෂපාති වෙනසකදී පමණයි මේ රටේ මාධ්‍ය නිසි තැනකට ගෙනයා හැක්කේ .
ආයතනයක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවක්
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත්
1. ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා දියුණු කර ගැනීමට ආයතනයක් පිහිටුවීම හොඳයි. දැනටත් වරලත් ඉංජිනේරුවන්ගේ, වරලත් ගණකාධිකාරිවරුන්ගේ, වාස්තු විද්‍යාඥයන්ගේ එවැනි ආයතන තියෙනවා. එතකොට ජනමාධ්‍යවේදීන්ටත් තමන්ගේ හැකියාවන් ඉදිරියට ගෙනියන්න ඩිප්ලෝමාවන් උපාධීන් ලබා ගැනීම සඳහා එහෙම ආයතනයක් තියෙනවා නම් හොඳයි. එකම දේ තියෙන්නේ ඒ ආයතන වලට බඳවා ගැනීමේදී විනිවිඳ පෙනෙන ආකාරයේ දෙයක් විය යුතුයි. එහෙම නැතිව පවතින ආණ්ඩුවට උදවු කරන අයට විතරක් එහි අවස්ථාව දෙන පුළුවන් ක්‍රමවේදයක් හැදුණොත් ඒකෙන් ලොකු ගැටලු මතු වෙනවා. ඒ නිසා භේදයකින් තොරව ජන මාධ්‍යවේදියාට මේ ආයතනයට බැඳිලා තමන්ගේ වෘත්තීය නිපුණතාවයන් දියුණු කර ගන්න අවස්ථාව ලැබෙන විදිහට මෙය සකස් වෙනවා නම් වඩාත් සුදුසුයි.
2. පැහැදිලිවම. මේක කාලයක් තිස්සේ තියෙන සංවාදයක්. මාධ්‍ය සදාචාරයක් ඇත්තටම පැවැතිය යුතුයි. මාධ්‍ය කියන එක අයාලේ යන ඕනෑම කෙනෙක් ඕන දෙයක් ලියන්න කියන්න තත්ත්වෙට පත්වෙන්න එක වැරදියි. අද වෙලා තියෙන්නේ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සමහර මාධ්‍යවේදීන්ගේ පුද්ගලික මතයන් ඔවුන් සන්නිවේදනය කරනවා. රූපවාහිනියෙන් පුවත්පත් කියවද්දී පුවත්පතේ තියෙන ප්‍රවෘත්තිය නෙවෙයි මාධ්‍යවේදියාගේ අභිප්‍රාය තමයි සන්නිවේදනය වෙන්නේ. ඒක මාධ්‍ය කලාව නෙවෙයි. නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම, තොරතුරු වාර්තා කිරීම හා ගවේෂණාත්මක අධ්‍යාපනයකින් යම් තොරතුරු සන්නිවේදනය කිරීමයි මාධ්‍ය කලාව කියන්නේ. එයින් ඔබ්බට ගිහිල්ලා සමහර මාධ්‍යවේදීන් තම තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කරන ආකාරයක් පේනවා. ඒ නිසා මාධ්‍ය කලාවටත් යම් සදාචාරයක් පොදු සම්මුතීන් මාලාවක් තුළ මේ දේ වෙන ඒක කාලීන අවශ්‍යතාවයක් හැටියට පේනවා.
3. වරලත් ආයතනයක් පිහිටුව පමණින් එහෙම වෙයි කියලා මං හිතන්නේ නෑ. එයට හේතුව ලෙස මම දකින්නේ දැනටමත් අනෙක් වෘත්තීන්වලට එහෙම ආයතන තිබුණා කියල ඒ වෘත්තියවේදින් සියලු දෙනාම තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්නේ නෑ. ආකල්පමය හා සමාජමය ව්‍යුහයේ පරිවර්තනයත් එක්ක තමයි මේක ඇති වෙන්නේ. මාධ්‍ය කියන එක මේ තියෙන ආර්ථික දේශපාලන ක්‍රමයෙන් වියුක්ත වෙන්නේ නෑ. ඕනෑම රටක ආර්ථික පදනම මත තමයි දේශපාලනය, නීතිය, කලාව, මාධ්‍ය මේ සියල්ල තීරණය වෙන්නෙ. අද ආර්ථිකය පුපුරා යනකොට මාධ්‍යවේදින් ආර්ථික වුවමනාවන් පස්සේ යනවා. මාධ්‍යවේදීන් ගොඩක් ප්‍රාග්ධනයට යටත් වෙනවා. ඇතැම් අවස්ථාවලදි වගකීමකින් තොරව තොරතුරු ලබා දීම නිසා ඇතැම් ගෞරවනිය චරිතයන්ට දරුවන්ට කාන්තාවන්ට හානි සිදුවෙනවා. මෙහිදී මාධ්‍ය කලාව සහ මාධ්‍යවේදියා නිවරැදි මඟට ගන්න නම්, මේ රටේ යම් ස්වයංමාධ්‍ය වාරණයක් සහ ආර්ථික ව්‍යුහයේ ද යම් වෙනසකට යා යුතුයි. ආයතනයක් පිහිටු වූ පමණින් සියල්ල සිදුවෙයි කියලා හිතන්න බැහැ.
4. මාධ්‍ය කියන දේ ලෝකයේ ප්‍රධානතම සන්නිවේදන උපකරණයක්. එය අද වනවිට දේශීය සීමාවන්ට පමණක් යටත්වෙන්නේ නැහැ. ඇත්තවශයෙන්ම ජාත්‍යන්තරව පවා ප්‍රවෘත්ති ප්‍රචලිත වෙලා තිබෙනවා. බොහෝ රටවල මාධ්‍ය තුළ දියුණු මාධ්‍ය සංස්කෘතීන් තියනවා. ප්‍රචණ්ඩත්වය වැඩි වන රූප රාමු ලෝකයේ දියුණු රටවල්වල මාධ්‍ය හරහා දර්ශනය කරන්නේ නැහැ. නමුත් අපේ රටේ එහෙම නැහැ. ලේ නොපෙන්වීම ලෝකයේ පිළිගත් සම්මුතියක්. මිනීමැරුම් සහ ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන රූප රාමු පෙන්වන්නේ නැහැ. අපේ රටේ යම්කිසි සිද්ධියක් වුණාම චූදිතයා බවට ඔප්පු වීමට පෙර මාධ්‍ය වලින් වැරදිකාරයා කරලා ඉවරයි. මේ දේවල් අපි ජාත්‍යන්තරව දියුණු මාධ්‍ය භාවිතයක් ඇති රටවලින් ඉගන ගන්න ඕන. අපි බොහේ දේ ඉගනගන්න අවශ්‍යයි මාධ්‍ය සංස්කෘතින් තිබෙන රටවලින් අපේ මාධ්‍ය සංස්කෘතියට ඇතුළත් කරගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ අනුව උසස් මාධ්‍ය සංස්කෘතියක් මෙරට තුළ නිර්මාණය කළ යුතුයි.
5. රාජ්‍ය මැදිහත්වීමක් තිබුණත් ආණ්ඩුව මැදිහත්වීමක් නොවිය යුතුයි. ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ඉඩ සැලසිය යුතුයි. ඍජු හෝ වක්‍රාකාරයෙන්වත් ආයතන කටයුතවලට ආණ්ඩුව සහභාගි නොවිය යුතුයි. විධිමත් රාජ්‍ය මැදිහත්වීමක් මෙවැනි ආයතනයක් පිහිටුවීමේදී තිබිය යුතුයි. රජය මැදිහත් වෙලා මාධ්‍ය කොමිසමක් පත් කළ යුතුයි. ස්වාධීන මාධ්‍ය කොමිසමක් මාධ්‍යයටත් අවශ්‍ය බව අපි පක්ෂයක් ලෙස බොහෝ කාලයකට පෙර යෝජනා කළා. 17 සංශෝධනය අවස්ථාවේදී ස්වාධීන කොමිසන් සභාවක් ලෙස මාධ්‍ය කොමිසමකුත් පත් කරන්න කියලා අපි යෝජනා කළත් එය සිදුවුණේ නැහැ. දැන් හෝ එය ක්‍රියාත්මක කළ හැකියි. එයට හේතුව ස්වාධීන මාධ්‍ය කොමිසමක අවශ්‍යතාව අදත් මාධ්‍යයට තිබෙනවා..එවැනි ස්වාධීන කොමිසමකින් විධිමත් නියාමනයක් මාධ්‍ය සම්බන්ධ සියලු කාරණාවලදී තිබිය යුතුයි.